පුද්ගල විඳීම් විකසිත කළ ගොවිඳුහෙලෙහි අසිරිය

Share post:

වෘත්තියෙන් ගුරුවරියක වන චමිලා මැණික්ගමගේ විසින් රචිත මංගල කවි සරණිය “සඳ බිඳුණු ගොවිඳුහෙල” නම් වේ. සක්නද ප්‍රකාශනයක් ලෙසින් මුද්‍රිත කෘතියේ කාව්‍ය නිර්මාණ පනස්හතක් අන්තර්ගත ය. ඇයගේ පබැඳුම් හතරක ඉංග්‍රීසි පරිවර්තනය ද එයට ම අන්තර්ගත වේ. විවිධ තේමා පාදක කරගනිමින් රචනා වුව ද පද්‍ය නිර්මාණ බොහොමයක් පුද්ගලානුබද්ධ ව නිර්මිත නිමැවුම් බව මෙම කෘතිය පරිශීලනයේ දී ප්‍රත්‍යක්ෂ වේ. ඒවා ඇතැම් විටෙක කිවිඳියගේ අතීත මතකාවර්ජනයන් විය හැකි ය.

ප්‍රේමයේ විප්‍රයෝගය අරමුණු කරගනිමින් රචිත “පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වුණෙමි” පැදි පෙළ ඉහත මා විසින් සඳහන් කළ අතීත කාමය මැනවින් සාක්ෂාත් කරයි.

“විටින් විට හඬ තලන පල්ලියේ බර බර ය
හෙමින් ඇවිදින් ආපු සුළඟටත් හිරිහැරය
පණිවිඩය මඟ හළපු කුරුලු තුඩු අවසරය
දැන් ඉතින් නුඹ නැති ව තව රැයක් යා යුතු ය”

“පල්ලියේ බර බරය” වැනි සරල කථන බැසිවහර කාව්‍යාත්මක පද සමඟ ඇය සංඝටනය කරන්නේ ඉතා සූක්ෂම ලෙස ය. එය කවියට හෝ ආකෘතියට හෝ අර්ථයට හෝ කිසිදු හානියක් සිදු නොකරයි.

පරිසරයේ සෞන්දර්යාත්මක බව “රහස් සැඟවූ අහසක්” යන පද්‍ය පන්තියෙන් මනාව නිරූපණය වේ. නිර්මාණය පුරාවට කිවිඳිය භාවිත කරනු ලබන සරල චිත්ත රූපිත බස්වහර ප්‍රශස්ත ය.

“මල් වඩා ගත් ගස්
උකුළට අරන් තුරු පත්
හෙමින් ගයනවා ඇති
සුළං සරින් ගීතයක්”

තුරුපත් අතර පිපුණු මල් සුළඟට සැලෙන ආකාරය කිවිඳිය පබඳන්නේ අපූරු ලෙස ය. චමිලා නිර්මාණය පුරා ම කාව්‍යාත්මක බස්වහරක් භාවිත කරන්නේ මෙලෙසිනි.

“මිහිඳුම් සළුවක සැඟවී
තුරුලු කරගෙන ආදරෙන්
සිඹිනවා ඇති නළල හෙමිහින්
නිල් පැහැය බොඳ කඳු හිස්”

මින් කිවිඳිය සතු කාව්‍ය ප්‍රතිභාව මැනවින් ගම්‍ය වේ.
සුනඛයකු හා මිනිසකු අතර පවත්නා මානුෂීය සබැඳියාව අනුභූති කරගනිමින් “කැටන්දොල බණ්ඩා සහ කඩියා” කව රචිත ය. කුඩා කල සිට ම ‘බණ්ඩා’ නම් අප කථකයාගේ කලණ මිතුරා ‘කඩියා’ ය. බණ්ඩා සමඟ කැලයේ මී වද කඩන්නට යන අනෙක් සගයා මේ සුනඛ මිතුරා ය. එක්තරා දිනෙක හදිසියේ ගසකින් ලිස්සා ඇදවැටෙන කථකයා එම මොහොතේම මිය යයි. ඉන් කම්පාවට පත් කඩියා ඉතා ම කලබලයෙන් ගම්වැසියන් සොයා දිව යයි.

“ලේ වැල් ගලා විත් පොඩි වුණු මුව පෙම්මා
කඩියා ඉවබලා ඉහ නළලත ඉම්බා
වැටි වැටි නියරෙ, බඩවැටි පහුකරමින් ආ
මඟ හමුවෙනා හැමට ම පණිවුඩ දුන්නා”

පෙම්වතියක ඝාතනය කරන පෙම්වතුන් සිටින, දරුවන් මරණයට පත්කරන මවුපියවරු වෙසෙන, මිතුරකුට උරණව තවත් මිතුරකුගෙ පණ නසන සමාජයක කඩියා නම් සුනඛයා මිනිසාට ම ආදර්ශයකි. කිවිඳියගේ පද සංයෝජනයෙන් මැවෙන වාග් සිත්තම පාඨක හදවතෙහි සංවේගය වඩාත් තීව්‍ර කරයි.

ස්ත්‍රිය පිළිබඳ අපූරු පාරිකල්පන නිමැවුමක් ලෙස “මල් නැති ගසක අවනඩුව” පද්‍ය පෙළ නම් කළ හැකි ය.

“තුරුපත් සිප අරන් එන සුළඟක් සේ ම
මල් කෙමි බිම හලාගෙන යන බඹරුන්ට
නෑ කිසි වගක් මලකට රිදවුම් කරුණ
මලකට වුණත් වටිනව කටු ඇති නටුව”

තුරුපත් අතර ඇති මල්වල රොන්සුනු විඳිනු පිණිස හිතුමතේ බඹරු පැමිණෙති. මේ නිසා ම මලකට වුව කටු ඇති නටුවක් යනු ආරක්ෂාවේ ආභරණය යි. එලෙසම මඩ ගොහොරෙන් මතුව එන සියපත් ද තම ගුණ සුවඳ පරිසරයට මුදාලයි. කිවිඳිය මෙහි ‘මල’ ලෙස සංකේත කරන්නේ දරු පරපුර යි. මල් සියුම් ය; සුවඳ ය; පැහැපත් ය; පියකරු ය. දරු දැරියන් ද එලෙසම ය. විශේෂයෙන් ම වත්මන් සමාජයේ දැරියන් මුහුණපාන ඛේදවාචකයන් චමිලා වක්‍රව සහෘදයා වෙත රූපණය කරයි.

“පල නොදරනා ගස් අවමන් ලැබ විඳවයි
මල් නැති ගසක් උයනක් මැද වුව තනිවෙයි”

කවියේ කූටප්‍රාප්තිය තුළින් කිවිඳිය තවත් සමාජ ඛේදයක් විශද කරයි.
යශෝදරා චරිතය අතික්‍රමණය කරමින් නව මානයකින් නිරීක්ෂණය කරන “ඉතින් සිදුහත්” පද්‍ය පන්තිය ද මෙහි අන්තර්ගත තවත් සාර්ථක නිර්මාණයකි.

“ඔබ ඔය කියන
යශෝදරා නම් නොවෙමි මම
පුරුෂයා හැර ගිය සොවින්
රජ බොජුන් ඉවත හළ
හාමතේ වැළපුන
අනේ, අසරණ ගැහැනියයි මම”

බෝසත් චරිතය තුළ අපට හමුවන යශෝදරා පිළිබඳව වරනගා ඇත්තේ වෙන ම දෘෂ්ටියකිනි. නමුදු චමිලා පාඨකයා හමුවේ චිත්‍රණය කරන්නේ ඇයගේ ජීවිතයේ ශෝකාන්ත ම පැතිකඩකි. කිවිඳිය නිර්මාණය අවසන් කරන්නේ ද උත්ප්‍රාසාත්මක ලෙසිනි.

“නුඹ බුදු වූ පසු ව
අවලාද නොඅසන්න
ජාතක පොතේ ලියන්නාට
බොරු ගොතා කී
යශෝදරා වෙමි ය මම”

වෘත්තියෙන් ගුරුවරියක නිසා ම දුෂ්කර සේවයේ පවත්නා අත්දැකීම් පාදක කරගනිමින් “පානමේ ගුරුතුමියට” කවි පන්තිය සංරචිත ය. එහි දී කථකයාට තම ගුරුවරිය අහිමිවීම දරාගත නොහැකි වේ. ඒ හේතුවෙන් ඔහු ඇයගේ ස්ථාන මාරුව අවලංගු කරන මෙන් කාරුණිකව අයාචනා කරයි.

“සේවයේ දුෂ්කර ම දැනුණා ද මහ හුඟක්
යුද්දෙ අහවරයි දැං නවතිමු ද තව ටිකක්
අවලංගු කළ හැකි ද ට්‍රාන්සර් ලියමනත්
පානමේ දරුවන්ට සුවඳ අහිමි ද හෙටත්…”

ගුරු වෘත්තියේ නියැලෙන බොහෝ දෙනකු දුෂ්කර සේවයේ ටික කාලයක් ගතකර කෙසේ හෝ ස්ථාන මාරුවක් සාදා ගනිමින් වැඩි පහසුකම් සොයා යෑම හේතුවෙන් එවැනි ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනය කඩින් කඩ බිඳ වැටේ. කිවිඳිය නිර්මාණය තුළින් මේ සමාජ හා අධ්‍යාපනික ඛේදවාචකය ද වක්‍රව ප්‍රතීයමාන කරන්නී ය.

“තාත්තගෙ සොහොන මත
පිපුණු මල් සුවඳ නැත
පස් ගොඩැලි බොරලු මත
නොවියළුණු කඳුළු ඇත”

“රිදෙන මතකය” හිසින් යුත් ඉහත පැදි පෙළ මගේ පුද්ගලික විඳුම මත තරමක් දුරට අසාර්ථක පරිකල්පනයක් යැයි මම සිතමි. තාත්තාගේ සොහොන මත පිපෙන්නේ තාත්තාගේ දිරාගිය භෂ්මාවශේෂයන්ගෙන් මිශ්‍ර වූ පාෂණවලින් සුපෝෂණ ව හැඳුණු සරු ගසකි. එවන් සරු ගසක උපදින මලක් සුගන්දවත් නොවන්නේ කුමන හේතුවක් නිසා ද? එවැනි පුෂ්පයක් දුගඳ වන්නේ තාත්තා නිදන සොහොන අපිරිසිදු නිසා ද? යන්න මට නම් උභතෝකෝටික ගැටලුවකි. නමුදු තවමත් ඔහුගේ කඳුළු වියළි නොතිබීම ඔහුගේ ආදරය නැවත සිහිකරයි. පාඨකයාගෙන් පාඨකයාට නිර්මාණයක රසවිඳුම් විෂම විය හැකි ය. ඒ හේතුවෙන් තව අයකුට මෙය සංවේගයක් උපස්තම්භනය කළ හැකි ය.

“පපුව මැද්දේ ඇනුණු කටුවක්”, “අසමත් ගුරුවරිය”, “කළු ලප”, “ගැටබෙරයක කඳුළු”, “තාත්තා දුටුවෙමි”, “සිරගත කළ බුදුන්” සහ “නිදන් සොරකුට බිරිඳ කී කව” යන නිර්මාණ මා විඳි තවත් සාර්ථක නිර්මාණ කිහිපයකි.

සමස්තයක් ලෙස කාව්‍ය කෘතියේ නිර්මාණ සැලකීමේ දී ඇය භාවිත කරන සිවුපද මෙන් ම නිදහස් කාව්‍ය ආකෘති සහ සරල බස්වහර සාර්ථක ය. සංකේත භාවිතය හා චිත්ත රූප මවන වාග් පෙළහර ද පාඨකයා යම් සංවේදනාවකට පත්කිරීමත් බොහෝ නිර්මාණ හරහා කරුණා රසය මතුකිරීමත් අගනේ ය. ඇතැම් නිර්මාණ වඩාත් ඉවසීමකින් තව තවත් සංස්කරණයට භාජනය කළේ නම් වඩාත් සාර්ථක යයි හඟිමි. පුද්ගල විඳීම්වලට අමතරව නිර්මාණ හරහා සමාජ කැනීම්වලද යෙදෙන්නට මම ඇයට යෝජනා කරමි. මේ කාරණා සැලකීමේ දී චමිලා මැණික්ගමගේ විසින් රචිත “සඳ බිඳුණු ගොවිඳුහෙල” නම් මංගල කවි සරණිය සාර්ථක කවි මගක මංගල පියවරක් බව නිර්ලෝබි ලෙස සඳහන් කරමි.

අශෝක කුලතුංග

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...