Home Blog Page 207

අද 24 සිට 26 දක්වා “SOMEWHERE IN BETWEEN” කොළඹ හැරල්ඩ් පීරිස් කලාගාරයේ

0

“SOMEWHERE IN BETWEEN” නමින් ප්‍රභානි අමන්දිකා අද දින පටන් ගත් චිත්‍ර ප්‍රදර්ශනය අනාගතවාදී සළකුණක දෘශ්‍ය සළකුණක්. ගමන් කරන මනුස්සයෙකුට එක එක තැන්වලදි දේවල් මුණගැහෙනවා. අපි ඒ ඒ මොහොතේ නිස්චිත දැනුමෙන් වැඩ කරන්නෙ. ප්‍රභානිගෙ වැඩෙත් එහෙම වැඩක්. අවුරුදු 23 ක් වෙද්දි චිත්‍රයේ භාෂාවට දියුණු තැනකින් ඇතුල් වෙමින් ඇය ගමන් කරන බව පෙන්වමින් ඉන්නවා. ගොඩක්ම සජීවීව ආදර්ශ රූපයක් එක්ක ගනුදෙනු කරන ප්‍රභානි පිටින් වගේම ඇතුළතින් ඔවුන්ගෙ හැඟිම් අල්ලමින් කරන මේ වැඩේ ආලේඛ්‍ය කලාවේ අපට බලාපොරොත්තු තබාගන්න පුලුවන් තැනක්. කාලරේඛීයව ගමන් කරද්දි මේ විෂයෙදි අපට මුණගැහෙන සිත්තර සිත්තරියන් අතරට මේ පුන්චි කෙල්ල ලොකු බරතැබීමක් කරන බවයි මගේ විශ්වාසය. සංකල්පීයව සහ තාක්ෂණිකව තමන්ගෙ වැඩේ විසඳගන්න art language එක හොයාගෙන යන ප්‍රභානි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට තේරී පත්වුවත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම ඇයගේ විශ්වාසය පිළිබඳ පරීක්ෂාවක්. ඇය උසස් පෙළට චිත්‍ර විෂය සඳහා මා ලඟට එද්දිත් ඇය තුළ මේ වැඩේදි ගොඩක් දේවල් තිබුනා. මේ විභවයේ කතෘත්වය ප්‍රභානිගේමයි. මේ මොහොතේ ප්‍රභානි මේ නෙලාගන්නෙ ඇය විසින් වැපිරූ අස්වැන්නයි. මට අනුව මේ අස්වැන්න සාරයි. අපි එයාට සරු පසක් හදල දෙමු. ප්‍රභානි අපව පහු කරන හැටි බලා සතුටු වෙමු.
2023.03.24 දින සිට 26 දක්වා කොළඹ හැරල්ඩ් පීරිස් කලාගාරයට එන්න.

ප්‍රගීත් රත්නායක

සිල්පර මතින් අපිලිවෙලට පිය මැන යන ගමනක අත්දැකීම් වැනි ළහිරුගේ කෙටි කවි

0

‘නොඉම්’ – ළහිරු කරුණාරත්න

ලාංකීය කාව්‍ය ක්ෂේත්‍රයෙහි සංක්ෂිප්ත කවිය නැතිනම් කෙටි කවිය අත් කරගනිමින් ඉන්නා තැන වඩ වඩා අර්ථවත් සහ අලංකාරවත් බව සනාථ වෙමින් පවතී. ජපන් හයිකුවෙහි ලක්ෂණ රැක ගන්නා හයිකු කවි නොවුනද සංක්ෂිප්ත කවිය තුළ අපේ කවීන් පානා සමත්කම් අවධානයට ලක්විය යුතුව තිබේ.

සංක්ෂිප්ත කවිය ලෙස නාමකරණයට ලක් කර තිබුණද ඒ තුළ පවත්නා සංක්ෂිප්ත බවම එහි පුළුල් බව විදහන සාධකය බවට පත්වෙයි. ඉතා සීමිත වදන් සංඛ්‍යාවක් තුළ පාඨක පරිකල්පනයට වැඩි ඉඩක් සදමින් ඔහුගේ නිර්මාණශීලීත්වයටද ආරාධනය කරනා කෙටි කවිය කවියා අපේක්ෂිත සීමාවන් පවා බිඳ ඉදිරියට යන්නට සමත්වන අවස්ථා දකිත හැකිය. ජීවිතයේ ඇතැම් නිමේෂයන් විෂය කරගනිමින් නිර්මාණය වන ඇතැම් කෙටි කවියක් ඒ නිමේෂය ඉක්මවා ජීවිතයේ පුළුල් සහ විසල් සිත්තමක් මවාපානා අවස්ථා විරල නැත. දැනට කලකට පෙර අද අප අතර නැති ඉන්දික ගුණවර්ධන කවියා විසින් රචිත කෙටි කවියක් මෙපරිදිය.

තිබුණ නං
නැටි අපට
වනල වනලම‍
කැඩිල මෙලහට

තමන් අභිමානවත් යයි මහත් ප්‍රහර්ෂයෙන් ඔජ වඩනා මිනිසුන් තුළ වන දීනත්වය සහ අසරණකම විදහන්නට මේ කවිය දක්වන සමත්කම ඉතා විශාලය. එහි ඇති සියුම් උපහාසය මෙන්ම ප්‍රහාරාත්මක බවද මේ වදන් කිහිපය තුළ මොනවට ගැබ්වෙයි.

ළහිරු කරුණාරත්න යනු අද ඉන්නා තරුණ කවීන් අතර සීරුවෙන් පිය නගා යන්නෙකි. ඔහු සිය පළමු කාව්‍ය කෘතිය පල කරන්නේ 2012 වසරේදීය. ඒ කටු තුඩට පිණි පහස කමිනි. ඉන්පසු ඔහු දෙවන කාව්‍ය කෘතිය එළිදක්වන්නට වසර පහක කාලයක් ගත කරයි. 2017දී එළි දකින ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය වැහි බින්දු කටහඬ නමි. ඔහුගේ තෙවන කාව්‍ය සංග්‍රහය ගොළු වෙණ තුරුලු කරගෙන එළිදකිනුයේ 2020 දීය. යඝළිත් ඔහ1 තෙවසරක විරාමයකින් පසව නොඉම් සමගින් පැමිණ සිටී.
නොඉම් යනු ඔහු විසින් රචිත සංක්ෂිප්ත කවි එකතුවකි. ඔහුගේ මේ කෙටි කවි හරහා සීරුවට වැයෙනුයේ විවිධ අර්බුධ මැද බිඳී විසිරෙන ජීවිතයේ අනේකවිධ නිමේෂයන්ය. එහෙත් ඒ නිමේෂයක් යනු දියත්තක් මත කැටක් වන් කළ නැගෙනා දිය විසිරුමෙහි සිත්තම මෙන් හදෙහි විවිධ රටා මැවෙමින් රැඳී පවතින්නකි.

තුවාල වූ අතින්
බෙහෙත් අඹරන්නීය
වෙද හාමිනේ

මේ කවිය ගත්තද එය මතු පිටින් සපයනු ලබනා වාච්‍යාර්ථය ඉක්මවා ජීවිත.යේ සැඟවුනු අහුමුළු ආලෝකමත් කර බලන්නට පාඨකයා පොළඹවන ශක්තියෙන් යුතු නිර්මාණයකි.

අප බොහෝ විට අවිඥානකවම පාලනය කරනු ලබන්නේ පරම්පරාගතව පැවතෙන විශ්වාසයන් සහ අප තුළට කා වද්දන ලද අදහස් විසිනි. ඒවා බිඳ දැමීම ලෙහෙසි නැති. විශේෂයෙන්ම ග්‍රහයන් යනු අපේ ජීවිත වල අත්හැරිය නොහැකි කොටසක් බවට පත්ව ඇති සාධකයකි. විද්‍යාව කෙතරම් දියුණු වුවද මිනිසා හට ඉන් ගැලවීම ලෙහෙසි නැත. එහෙත් ළහිරු ඒ විශ්වාසය දෙස බලන්නේ වෙනත් කවුළුවක් විවර කරගනිමිනි.

අම්මාගේ සෙනසුරු අපලය
මොන තරම් ලස්සනද?

ඔහු කවියෙහි නම තබනුයේ ග්‍රහලෝකාගාරයේදී යනුවෙනි. ඔහු ඇතැම් තැනෙක සම්මතය ප්‍රශ්ණ කරන ආකාරයද අපූරුය. සාමාන්‍ය භාවිතාවේදී වැලක් යනු තුරක පිහිට නැතිවම ඉහල යා නොහැකි දෙයකි. මෙය සමාජයෙහි ආදේශ වන්නේ කතකට පිරිමියෙකුගේ ආරක්ෂාව නොමැතිව පැවැත්මක් නැතිය යනුවෙනි. වැලෙක උරුමයම තුරක එතී ඉහල නැගීම යනු සම්මත අදහසයි. එහෙත් ළහිරු එය ප්‍රශ්ණ කරයි.

ගසකට
වැලක එතෙන්නට
නොසිතේද යම් මොහොතක

ජීවිතය සැබෑ ලෙසම අල්ලා ගන්නට අපට මේ කවිය අත්වැලක් සපයයි. ඒ අතරම එය මුල්බැසගත් අදහසට එකඟ නොවී වෙන හැරවුමක් දෙස අප යොමු කරවයි. සැබැවින්ම ජීවිතය යනුම සම්මත අදහස්හී පිහිටා එකම පීල්ලේ යන්නක් නොවන බව මේ කවිය අපට සිහිපත් කරයි. මෙයද එවන් ජීවිතාවබෝධය පුළුල් කරනා කවියකි.

මට ඔබ හමුවුණේ
අප වෙන්ව ගිය පසුවය

ආදරය ගැන මේ කියවීම සීමිත වදන් තුළ සිතුවම් වන විට ඉන් දනවන හැඟුම් බෙහෙවින් බලවත්ය.
එකිනෙකා හඹා යන අනෙකා පසුකර යන්නට ලැබෙන මොහොතේ සතුටක් විඳින පාරිභෝජනවාදයේ කරවටක් ගිලී සිහින මැවීම ජීවිතය ලෙස ගෙන අපේක්ෂා භංගත්වයේ දරුණු වේදනාවන්ගෙන් හද දවන ජීවිතය යනු බරකි. එහෙත් අප ඒ පිලිගන්නට සූදානම් නැති. එය වෙනස් කරන්නටද අදහසක් නැති. ළහිරු මේ අසන පැණය ස්වයං විවේචනයක් සඳහා වන පිවිසුමකි

පැරණි පින්තූරය
ඒ විධිහට
සිනාසෙන්නට
ඇයි බැරි
දැන් අපට?

මේ කවියද එවන් චින්තාවන් පාඨකයා තුළ දල්වන්නකි.

වෙන වෙන
මගුල් පින්තූර
එක වගේ
රාමු තුළ

ළහිරුගේ කෙටි කවි සිල්පර මතින් අපිලිවෙලට පිය මැන යන ගමනක අත්දැකීම් වැනිය. තබන සෑම පියවරක් පාසාම අසමාන පියවරෙහි අවිනිශ්චිතතාව දැනෙයි. එහෙත් ඒ මැද වුව පය ඉදිරියට ඇදෙයි. ඒ අසමාන පියවර තුළ නෙතට සහ සිතට දැනෙන දේ බොහෝය. ළහිරුද එසේ ජීවිතයේ පලින් පල මල් සහ කටු, දිය උල්පත් සහ සිඳුණු ගං පත්ලවල් ඉදිරියේ තබයි. විටෙක එය සොඳුරුය විටෙක කටුකය. එහෙත් අප ලබන්නේ කටුකබවද සොඳුරු බවද යන මේ කිසිත් නොතකා ඒ කවි ජීවිතයෙහි සංකීර්ණත්වය ගැන අපට කොඳුරයි.

චූලානන්ද සමරනායක

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යවයි : ආණ්ඩුව දින 10කදී බිලියන 123ක් ණයට අරන් : ස්වාධීනත්වය මෙන්ම වගවීම අත්‍යවශ්‍යයි !

0

පළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සම් විහාගයේදී නීතිපතිවරයා විසින් ආර්ථික අර්බුදය නිසා මැතිවරණය පැවැත්වීමේ ගැටළුවක් ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නද, පසුගිය දින 10ක කාලය තුළදී පමණක් ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 123ක් බව තහවුරු වේ.

පසුගිය 15දා රුපියල් බිලියන 85ක් ලබාගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදු කළ අතර, එහිදී රුපියල් බිලියන 70ක් ද, පසුගිය 22දා රුපියල් බිලියන 75ක් ලබාගැනීම සඳහා තවත් භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදු කළ අතර, එහිදී රුපියල් බිලියන 53ක් ද මෙසේ ලබාගෙන තිබේ.

මැතිවරණය සඳහා අවශ්‍ය වන මුදල රුපියල් බිලියන 10ක් බවට ගණනය කර ඇති අතර, එයින් බිලියන 5කට වැඩි මුදලක් ගෙවිය යුත්තේ මුද්‍රණ, ප්‍රවාහන, රාජකාරි දීමනා ආදී වශයෙන් මැතිවරණයෙන් පසුව ය.

මේ නිසා නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන් පරිදි බරපතළ ආර්ථික අර්බුදයක් ඇතත්, එම නිසා ඇති වූ මුදල් සපයාගැනීමේ බරපතළ දුෂ්කරතාවක් ආණ්ඩුවට නැති බව පැහැදිලි වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමන ලෙස විශ්‍රාමික කර්නල් රංජිත් විජේසුන්දර ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ විභාගයේදී ඊයේ (24) නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.

මූලික විරෝධතා ?

මෙම පෙත්සමට වගඋත්තරකාර මැතිවරණ කොමිසම පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරන ලදි. ඒ, පෙත්සම මගින් පෙත්සම්කරු ඡන්දදායකයෙකු බව පැහැදිලි කර නොතිබීමත්, පෙත්සමට අවශ්‍ය පාර්ශ්ව වන දේශපාලන පක්ෂ ඇතුළත් කර නොතිබීමත් ය.

කෙසේ වෙතත් මූලික විරෝධතා තිබියදී නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් අදාළ ආර්ථික අර්බුදය පිළිබඳ ගැටළුව මතුකරන ලදි. අධිකරණය ඒ පිළිබඳ අවධානය යොමුකිරීමත් සමග මැතිවරණයක් පැවැත්විය හැකි බව අධිකරණයට කරුණු සහිතව පෙන්වාදීමට කොමිසම හෙවත් වගඋත්තරකාර පාර්ශ්වය ආසන්න දිනයක් ඉල්ලා සිටින ලදි.

ඉන්පසු මැයි 11 දිනට පෙත්සම් විභාගය කල් තැබිණි. මීට අතුරු පෙත්සම් ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල සහ එරංග ගුණසේකර විසින් ද ඉදිරිපත් කර තිබිණි.

අධිකරණයට අපහාසයක් ?

ජී.එල්. පීරිස් මීට අදාළ ව ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් මතුකරන ලද්දේ රජයේ නිලධාරීන් විසින් මැතිවරණය පැවැත්වීමට සහාය නොදැක්වීම හරහා අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවයි. ඊට හේතුව ලෙස දැක්වූයේ මීට පෙර ජී.එල්. පීරිස් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේදී අධිකරණය විසින් ලබාදුන් තීන්දුවයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක් අවශ්‍ය නොවන බවත්, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් යොදවාගැනීම ඇතුළු අවශ්‍ය කටයුතු සඳහා මැතිවරණ කොමිසමට බලය ඇති බවත් ය. රාජ්‍ය නිලධාරීන්, රජයේ මුද්‍රණාලයාධිපති ඇතුළු පාර්ශ්ව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වුණේ මේ සමග ය.

මැතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ විභාගය ලබන 28දාට කල්තැබිණි.

මැතිවරණයට අධිකරණයෙන් බාධා නෑ !

මැතිවරණය පැවැත්වීම වලක්වමින් හෝ මැතිවරණය නියමිත දිනට නොපවත්වා කල්දැමීමට අදාළ ව හෝ කිසිදු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙතෙක් ලබාදී නැත. එම නිසා ආණ්ඩුව මුදල් ලබාදෙන්නේ නම්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ කිසිදු ගැටළුවක් මැතිවරණ කොමිසමට නැත.

පරමාධිපත්‍යය වෙනුවෙන් වගවීම !

එසේ ම රජයේ ආයතන ස්වාධීනත්වය පමණක් නොව වගවීම පිළිබඳව ද දැඩි අවධානය යොමු කළ යුතුය. සියලු පාර්ශ්වවල තර්ක ගොඩනැගීම් මගින් තීරණ ලබාදීමෙන් ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසයක් තහවුරු වුවද, තමන්ගේ ක්‍රියාවලියට වගකිව නොහැකි නම්, එහිදී වගවීම සුරක්ෂිත වන්නේ ද යන්න ගැටළුවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට රටේ පුරවැසියන්ගෙන් බහුතරය සක්‍රීය ව දායකවෙමින් සිටින බව පැහැදිලිව පෙනෙන කරුණකි. එම නිසා එම පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කළ හැකි ආකාරයට වගවීමක් සහිතව කටයුතු කිරීම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ප්‍රමුඛ සියලු ආයතනවල මගහැරිය නොහැකි වගකීමක් වේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ව මෙම ආයතනවලින් එය ප්‍රමාණවත් පරිදි ඉටුනොවන බව මේ වනවිට සමස්තයට පැහැදිලි වෙමින් තිබෙන කරුණකි. ජනතා විශ්වාසය බිඳවැටීම යනු බරපතළ තත්ත්වයකි.

බ්‍රිතාන්‍යයේ සිංහල වේදිකා නාට්‍යය “පටාචාරා”

0

දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන සම්ප්‍රදායක් වන නූතන රංග කලාව ශ්‍රී ලංකාව අද මුහුණ පා ඇති දේශපාලන සහ ආර්ථික අර්බුධයේ ප්‍රතිපල හමුවට එන්නේ ප්‍රචන්ඩ අතීතයක්ද පසු කරමින්ය. රංග කලාව යනුවෙන් මා මෙහිදී අදහස් කරනුයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කලා කෘතීන් ඇතුලත්වය. බහුභාෂා සන්දර්භය තිබියදීත්, ලාංකීය නාට්‍ය කලාවේ දිසානතිය ධ්‍රැවීකරණය වන්නේ භාෂාමය රේඛා ඔස්සේය. එනම් විවිධ භාෂාවලින් රඟහල අතර සබඳතා සහ විසංයෝජනය කරුණු අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පුළුල් අධ්‍යයනයක් නොමැතිය. සාම්ප්‍රදායික “කුත්තු” ගැමි ප්‍රසංගය පශ්චාත් යටත් විජිත යුගයේ සිංහල හා දෙමළ නාට්‍ය කලාවේ පුනර්ජීවනයේ පදනම ලෙස ක්‍රියා කල නමුත්, ඒ සමග බැඳුනු ශාස්ත්‍රීය හා අධ්‍යයනයන් අඩුවීමත් සිදුවන්නේ රාජ්‍යය ‘සිංහල පමණක්’ ස්ථාවරයකට තල්ලුවීම නිසාය. මේ පසු බිම මත 1971 සහ 1987-89 දකුණේ තරුණ අරගල, ආර්ථික ලිබරල්කරණය, 1983 දෙමළ විරෝධී කොළාහලත් ඉන් පසු දෙමළ තරුණ අරගලය සහ අවතැන්වීම වලින් පසුව අද නාට්‍ය කලාව පාලකයන් විසින් බංකොලොත් කරනු ලැබූ රාජ්‍යයක කලා මාධ්‍යයකි.

සිංහල නාට්‍ය කලාවේ ඉහත පසුබිමක් තිබියදී, එන්ගලන්තයේ සිට සිංහල වේදිකා නාට්‍යයක් නැරඹීම තරමක අභව්‍ය බවක් හැඟෙනු ඇත. එහෙත් එංගලන්තයේ අරුණළු කලා ආයතනය විසින් නිර්මාණය කල “පටාචාරා” වේදිකා නාට්‍ය විසින් මට, සිංහල වේදිකා නාට්‍යයක් සජීවීව නැරඹීමේ අවස්ථාව වසර පහලොවකට පමණ පසු ලෙස්ටර් නගරයේදී උදාකර දුන්නේය.
” අරුණළු කලා ආයතනය” යේ මහ ගෙදර පිහිටි ලීස්ටර් නගරය පිහිටා ඇත්තේ මා ජීවත් වන ලිවර්පූල් නගරයේ සිට සැතපුම් 120 ක පමණ දුරින් පිහිටි නැගෙනහිර එන්ගලන්ත කලාපයේ මිඩ්ලන්ඩ් ප්‍රදේශයේය. එහි සිට ලෝකයේ සියළු කලාවන්ගේ මර්මස්ථානයක් වන ලංඩනයට ඇති දුර සැතපුම් 106ක පමණ වේ.

වසර දහ හතරක් පුරා එංගලන්තයේ ජීවත් වුවද, එම කාලය පුරා මෙම අරුනළු කලා ආයතනය ගැන මගේ අවධානය යොමු වී නොතිබුනි. එයට හේතුව වූවේ බ්‍රිතාන්‍යයේදී මට හමුවූ සියළුම සිංහල නැටුම් කලා ආයතන කරනු ලබන්නේ යූ ටියුබ් වල ඇති බොලිවුඩ් නැටුම් සිංහල දරුවන්ට පෙන්වමින් ඒවා අනුකරණය කරවීම පොළඹවමින් එය දේශීය නැටුම් කලාව යයි හැඳින්වීමය. මෙම පසුබිම මත අරුනළු කලා ආයතනය පිළිබඳ මගේ අවධානය යොමුවන්නේ තමන් එංගලන්තයේ සංචාරයකට පැමිණීමට සූදානම් වන බව ප්‍රසන්නජිත් අබේසූරියගෙන් ලැබුනු දුරකතන ඇමතුමෙන් පසුවය. ප්‍රසන්නජිත් සහ මා අසූව දශකයේ මුලදී සිට ගාමිණී හත්තොටුවගමගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් වූ අතර, “සීතාම්බරපට” නමැති ගැමි කතාවක් පසුබිම් කර ගනිමින් එකල සිටි පාලකයා වූ ආර් ප්‍රේමදාසව උපහාසයට ලක් කරමින් නිර්මාණය කල “රජ දැක්ම” නාට්‍යයේ රජුගේ චරිතය මම රඟ පෑවෙමි. පසු කලක ප්‍රසන්නජිත් මා සමග රාජ්‍ය නාට්‍ය පාසලේ ඉගෙනගත් නයනා හෙට්ටිආරච්චි සමග විවාහ වූ අතර, මා ධම්මජාගොඩගේ “සකළජණ” නාට්‍යයෙන් පසුව නාට්‍ය කලාවෙන් ඉවත් වී වෘත්තීය පුවත්පත් ඡායාරූපකලාව තෝරා ගත්තෙමි. ඒ කාලය තුල නාට්‍ය කලාව අත නොහැරි ප්‍රසන්නජිත් ලංකාවේ වේදිකා නාට්‍ය කලාව තුල තම අනන්‍යතාවය ගොඩ නැගුවේ ගාමිණී හත්තොටුවගම, එදිරිවීර සරච්චන්ද්‍ර සහ සෝමලතා සුබසිංහ යනාදී ගුරුවරුන්ගෙන් උකහා ගත් අත්දැකීම් හරහා යමින් කරන ලද අධ්‍යයනයන් සහ හැදෑරීම් මත සිටිමින්ය.

අරුණළු කලායතනය විසින් නාට්‍ය හා රංග කලාවේ එම හසල අත්දැකීම් සහිත ප්‍රසන්නජිත්ව එංගලන්තයට ගෙන්වන්නේ පටාචාරා නාට්‍යයේ අවසාන සංස්කරණ සහ නිර්මාණාත්මක කටයුතු නිම කර එය එංගලන්තයේ ප්‍රසිද්ධ වේදිකාව මතට ගෙන ඒම සඳහාය. ඔවුන් ඒ වන විට වසර තුනක් පුරා නාට්‍යයේ සූදානම් වීමේ කටයුතු කර තිබුනි. පනස් දෙනෙකු පමණ රඟපාන වේදිකා නාට්‍යයක් එංගලන්තයේ නිර්මාණය කිරීම කෙතරම් දුෂ්කරදැයි අවබෝධ කරගත හැක්කේ මෙහි ජීවත් වන්නෙකුට පමණකි. එවන් කටයුත්තකට අත තබනුයේ ඒ සඳහා හැබෑ “ඇම්මක්” ඇති අයෙකු පමණකි. ඒ ඇම්ම ඇති දෙදෙනෙකු ඒ වෙන විටත් ලීස්ටර් නගරයේ අරුනළු කලායතනයේ පුරෝගාමීන්ව සිටියේය. ඔවුන් දෙදෙනා නම් මධුකා ෆර්ඩිනන්ඩ්( Maduka Ferdinand ) සහ අරුණ ශාන්ත ( Aruna Shantha Kotawella ) දෙදෙනාය.

“පටාචාර” නම සහ ඒ නම හා බැඳුනු කතාව අපට ඉතා සුපුරුදු එකකි. වෙසක් කාලයට පටචාරා නාට්‍ය පෙන්වීම අපේ ලාංකීය ගැමි සමාජයේ සුලබව දැකිය හැක. එවන් සුලබ කතාවක් කෙරෙහි ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ තබා ගැනීම එංගලන්තයේ නාට්‍යයක් කරනවාක් වැනිම වූ දුෂ්කර කාර්යයයකි. ඒ අභියෝගයට ප්‍රසන්නගේ සහයෙන් මධුකා මුහුණ දෙන්නේ කොහොමද යන්න පේක්ෂකාගාරයට ඇතුළවන විට මගේ මා තුල තිබූ ගැටළුව විය. ලීස්ටර් නගරයේ ටවුන්සෙන්ඩ් නාට්‍යාගාරයේ ආසන තුන්සීයම නාට්‍ය ආරම්භ වනවිටම පිරී තිබුනි.

නාට්‍ය ආරම්භ වන්නේ සම්ප්‍රදායික නාට්‍යයන්හි බමුණෙකු මෙන් වෙස් ගත් කථකයාගෙනි. කථකයා ලෙස රඟපාන ප්‍රසන්නජිත් කතාවේ පෙර අපර ගලපමින් එකිනෙක චරිත වේදිකාවට ගෙන එන අතර කතාවේ සිද්ධිදාමය ගීතමය ශෛලියකින් ගලායාමට පටන් ගනී. එම ආරම්භයේදීම, සජීවී සිංහල වේදිකා නාට්‍ය කලාවට ආධුනික එංගලන්තයේ ප්‍රේක්ශකාගාරයේ නොබිඳෙන අවධානය ගැට ගසා ගැනීමට පටාචාරවට හැකි වන්නීය. ඒ අනුව මම එංගලන්තයේ සිංහල නාට්‍යයක් නැරඹුවා පමණක් නොව සිංහල වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් දක්ෂ රංගන ශිල්පිණියක් බිහිවනවාද දුටුවෙමි.
ලීස්ටර් නගරයේ පැවති මංගල දර්ශනයෙන් පසුව පෙබරවාරි 25 වන සෙනසුරාදා, ලංඩනයේ the art Center,Hounslow හිදී වේදිකා ගතවන “පටචාරා” ව නැවත නැරඹිය යුතුය.

අනුරුද්ධ ලොකුහපුආරච්චි

නාවික හමුදා ක්‍රීඩකයින් – ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පිට පිට මල්ලවපොර ශූරතා දිනති

කොළඹ ටොරින්ටන්හි ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පසුගියදා පැවති 74 වැනි ජාතික මල්ලවපොර පිරිමි ශූරතාවය අඛණ්ඩව 20 වන වරටත් දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.

එහිදී ඔවුන් රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට සමත්විය.

එමෙන්ම රන් පදක්කම් 03, රිදී පදක්කම් 03 සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම අනුශූරයන් බවට පත්විය.

එහිදී ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් අඛන්ඩව 6 වැනි වරටත් ශූරියන් බවට පත්විය.

මෙවර ජාතික මල්ලවපොර ශූරතාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළුව දිවයිනේ ප්‍රකට මල්ලවපොර ක්‍රීඩා සමාජ 20 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 ක පමණ පිරිසක් විවිධ බර පංතීන් යටතේ තරග කළේය.

ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව

දින 160ක් සිරගතව සිටි වසන්ත මුදලිගේ යළිත් අත්අඩංගුවට !

0

දින 160කට අධික කාලයක් සිරගතව සිට නිදහස් වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (23) යළිත් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යංශය තුළ පැවති විරෝධතාවක් අතරතුරදී ය. හෝමාගම පිහිටි පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ විරෝධතාව සංවිධානය කර තිබිණි. ඊට හේතු වූයේ ඊයේ (22) පැවති විරෝධතාවට පහරදීමට විරෝධය පළකිරීමත්, එම විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන ලෙස බලකිරීමත් ය.

මෙම විරෝධතාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද එක්ව සිටියේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ කොළඹ මහාධිකරණය මගින් නිදහස් කෙරුණේ එම පනත් යටතේ චෝදනා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කරුණු විමර්ශන අංශ විසින් ඉදිරිපත් නොකිරීම නිසයි.

සබැඳි පුවත්

ලංසා – රෝහිත – මහින්දානන්ද ප්‍රමුඛ නව කෝප් කමිටුව පත්කරයි !

0

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව (Committee on Public Enterprises – COPE) සඳහා නව සාමාජිකයන් පත් කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා මෙම කමිටුව අහෝසි වූ නිසයි. පසුගිය ජනවාරි 27දා පාර්ලිමේන්තුව වාර අවසාන කෙරුණු අතර, පෙබරවාරි 08දා නව සැසිවාරය ආරම්භ කෙරිණි.  

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 114 යටතේ තේරීම් කාරක සභාවක් පත් කෙරේ. ඒ අනුව විශේෂ කාර්යයන් සඳහා පත්කරනු ලබන කාරක සභා, වාර අවසාන කිරීමත් සමග අක්‍රීය වේ. නව සැසිවාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු වේ.

  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
  • ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
  • ගෘහ්‍ය කාරක සභාව
  • ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
  • ව්‍යවස්ථාදායක කාරක සභාව
  • අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව
  • රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
  • රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව
  • මහජන පෙත්සම් කාරක සභාව
  • පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් එකඟ වූ යෝජනාවට අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා අදාළ මන්ත්‍රීවරුන් පත්කළ බව කතානායකවරයා නිවේදනය කර සිටී.

නව කාරක සභාව පහත දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර

පා.ම. ජානක වක්කුඹුර

පා.ම. ලොහාන් රත්වත්තේ

පා.ම. ඉන්දික අනුරුද්ධ හේරත්

පා.ම. ඩී.වී චානක

පා.ම. ශාන්ත බණ්ඩාර

පා.ම. අනුර දිසානායක

පා.ම. නීතිඥ රවුෆ් හකීම්

පා.ම. නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා

පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ

පා.ම. දයාසිරි ජයසේකර

පා.ම. රෝහිත අබේගුණවර්ධන

පා.ම. එරාන් වික්‍රමරත්න

පා.ම. නිමල් ලාන්සා

පා.ම. ජයන්ත සමරවීර

පා.ම. එස්.එම්. එම්. මුෂාරෆ්

පා.ම. නලින් බණ්ඩාර ජයමහ

පා.ම. එස්.එම් මරික්කාර්

පා.ම. රෝහිණී කුමාරි විජේරත්න

පා.ම. චමින්ද විජේසිරි

පා.ම. සංජීව එදිරිමාන්න

පා.ම. ජගත් කුමාර සුමිත්‍රආරච්චි

පා.ම. සුදර්ශන දෙනිපිටිය

පා.ම. නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත

පා.ම. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ

පා.ම. එම් රාමේෂ්වරන්

පා.ම. ශානක්‍යන් රාසමානික්කම්

පා.ම. රාජිකා වික්‍රමසිංහ

පා.ම. මධුර විතානගේ

පා.ම. රංජිත් බණ්ඩාර

පා.ම. චරිත හේරත්

“ජීවිතේ අවසාන හුස්ම අදිමින් ඉද්දි මේ මගේ අවසාන නර්ථනය කියලා හිතාගෙන නැටුවා”

0

මේ ශිවා. අපි ඊයේ වලයර්මඩම් වෙරළට ගියා. අර පසුබිමේ පේන්නේ වලයර්මඩම් පල්ලිය. ඒක වෙනම කථාවක්. ශිවා කියන විදියට… “යුද්දේ අන්තිම දවස් තුනේ අපි ලක්සයක් විතර හිරවෙලා හිටියේ මේ මුහුදු තීරයේ. දෙපැත්තෙම කට්ටිය අහසින් පොළොවෙන් මුහුදින් අපි ඉන්න ඉසව්වට පහර දෙනවා. මිනිස්සු බංකර් ඇතුලේ හිරවෙලා. ජීවිතේ අවසාන හුස්ම අදිමින් සිටියා. මම තෙල් වලින් වැඩකරන පොඩි ජෙනියකට ස්පීකර් එකක් හයි කරලා හයියෙන් සිංදු දාලා නැටුවා. මිනිස්සු මට පරැස වචනයෙන් බැන්නා. ඒ වුනාට මං නෙවෙයි නතර වුනේ. මේ මගේ අවසාන නර්ථනය කියලා හිතාගෙන නැටුවා”

මම මගේ අවසාන වාර්තා චිත්රපටිය රෑපගත කරමින් විශ්වමඩු, පුචුකුඩුඉරයිප්පු, පුදුමාතලන්, නන්දිකඩාල් පැත්තේ යුද්ධයේ ඇටසැකිලි අතර සැරිසරනවා. මට හරි වෙහෙසක් දැනෙනවා. විශ්රාම වයසේ මට එහෙම වෙහෙස දැනෙන එක සාධාරණයි. තවත් නං මේ වාගේ No budget බර වැඩවලට අත ගහන්නේ නැහැ. ඒක සත්තයි. ඒ වුනාට මේ සුන්දර මිනිසුන් සොයා රස්තියාදුවේ යන ගමන් නවත්තන්නේ නැහැ. මම මැරෙණකල්ම ලියනවා.

සිම්පල් සයිමන්

(විෂ්ණු වාසු)

එහෙම එකක් නීතියේ නෑ : පොලිස්පතිගේ ඇඳිරි නීතියට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට !

0

2022 ජූලි 08දා පොලිස්පති චන්දන වික්‍රමරත්න පැනවූ ඇඳිරි නීතිය නීතිවිරෝධී බව සඳහන් කරමින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන තරිඳු උඩුවරගෙදර සහ තරිඳු ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කර තිබේ.

කිසිදු නීතිමය පසුබිමක් නොමැතිව ජූලි 08දා ඇඳිරි නීතිය පැනවීමටත්, ඒ හරහා කොළඹ පැවති විරෝධයකට ජනතාව සහභාගී වීම සීමා කිරීමටත් කටයුතු කිරීම පිළිබඳ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකෙරිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ හෙජාස් හිස්බුල්ලා ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන විසින් මෙම පෙත්සම් සලකා බලා එම නඩුව ඉදිරියට ගෙනයෑමට තීන්දු කළේය.
ඒ අනුව ඔක්තෝබර් 9දා සිට එය විභාගයට ගැනීමට නියමිත ය.

වගඋත්තරකරුවන්

නීතිඥ හෙජාස් හිස්බුල්ලා සහ නීතිඥ රම්සි බාචා යන නීතිඥවරුන්ගෙන් සමන්විත නීතිඥවරු පිරිසක් මාර්ගයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ නීතිපතිවරයා නම් කර තිබේ.

ජූලි 08

2022 ජූලි 08දා රාත්‍රී 9 සිට නැවත දැනුම් දෙන තුරු වගඋත්තරකාර පොලිස්පතිවරයා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව නිවේදනයක් මගින් නිවේදනය කළ බවත්, එමගින් එම ප්‍රදේශවල ගමන් කිරීම නතර කර නිවෙස්වලට වී සිටින ලෙසත්, එම ප්‍රදේශ හරහා ගමන් නතර කරන ලෙස එමගින් උපදෙස් දී ඇති බවත් එම පෙත්සමේ සඳහන් වේ.

පසුදින උදෑසන 06ට ඇඳිරිනීතිය ඉවත් කරන බව නිවේදනය කළ බව ද, ඇඳිරිනීතිය පනවන නිවේදනයේ නොතිබුණු ගම්පහ කොට්ඨාසය ඉවත් කිරීමේ නිවේදනයේ සඳහන් වූ බව ද, පොලිස් ඇඳිරිනීතිය පැනවීම නීති විරෝධී, අත්තනෝමතික සහ නීතිමය පදනමක් නැති ක්‍රියාවක් බව ද එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ.

යටි අරමුණක්

මෙය ද්වේශසහගතව යටි අරමුණක් ඇතිව බලය අනිසි ලෙස භාවිත කිරීමක් බව සඳහන් කර ඇති පෙත්සම්කරුවන්, ඊට පසු දින පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව අධිකරණ නියෝගයක් මගින් තහනම් කිරීමට නොහැකි වූ තැන බලය අවභාවිත කරමින් ඒ සඳහා පුරවැසියන්ගේ සහභාගිත්වය වැලැක්වීමේ අරමුණෙන් මෙය සිදු කර ඇති බව ද පෙන්වා දෙයි.

පළමු වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීති විරෝධී ඇඳිරිනීතිය නිසා දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා පවා නතර කර දැමූ බවත්, එමඟින් පුරවැසියන් අපහසුතාවට පත්වූ බවත්, ජනමාධ්‍යවේදීන් ලෙස තමන් පවා එමගින් අපහසුතාවට පත්වූ බවත් පෙත්සමේ සඳහන් වේ.

ඉල්ලීම

පොලිස්පතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කිහිපයක්ම කඩවී ඇතැයි ප්‍රකාශයට පත් කරන ලෙස පෙත්සම්කරුවන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලා ඇත.

නීත්‍යනුකූල ඇඳිරි නීතිය

මහජන ආරක්ෂක පනතේ 16 වගන්තිය ප්‍රකාරව ඇඳිරි නීතිය පැනවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.

මහජන ආරක්ෂක පනතේ විධිවිධානවලට පටහැනිව අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලයේ වෙනත් පුද්ගලයෙකු පනවනු ලබන කිසිදු හදිසි නීති තත්ත්වයක් හෝ කිසිදු ඇඳිරි නීති තත්ත්වයක් නීතිමය වශයෙන් වලංගු නැත.

පොලිස්පතිට බෑ

පොලිස්පතිවරයාට ‘පොලිස් ඇඳිරි නීතිය’ යනුවෙන් ඇඳිරි නීති තත්ත්වයක් පැනවීමට මහජන ආරක්ෂක පනතින්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් හෝ පොලිස් ආඥා පනතින් හෝ බලයක් ලැබෙන්නේ නැත.

ඉහත නීතිමය තත්ත්වය තුළ වලංගු නොමැති ඇඳිරි නීතියක් කඩකිරීම නීතිය ඉදිරියේ වරදක් නොවන බවත්, එසේම එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ජ්‍යේෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී පනවා තිබුණු ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ඔහුට රාත්‍රී කාලයේ නිවසින් බැහැරව යාමට සහ whatsapp භාවිතා කළ හැකිවනු ඇත.

විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී Tinder නම් Dating App මගින් හමු වූ කාන්තාවකට ඇගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීමේ චෝදනාව මත ධනුෂ්ක පසුගිය නොවැ. 6 සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

දින 11ක් සිරගතව සිටි ඔහුට (නොවැ. 17) ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ පැවති නඩු විභාගයකින් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබිණි.

එමෙන්ම ඔහුට දැඩි ඇප කොන්දේසි පැනවුණු අතර

  • සෑම දිනකම පොලිසියට වාර්තා කිරීම
  • සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා සංචරණ සීමා පැනවීම
  • පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීම තහනම් කෙරුණු අතර Tinder හා අනෙකුත් Dating App ඇප් භාවිතය තහනම් කෙරිණි.

අද (23) ධනුෂ්ක ගුණතිලක තම නීතිඥයින් මාර්ගයෙන් සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණු අතර එය සලකා බැලූ අධිකරණය ඔහුට whatspp භාවිතයට සහ රාත්‍රී කාලයේ නිවසින් බැහැරව යාමට අවසර ලබා දීමට තීරණය කළේය.

එහෙත් ඔහුට සමාජ මාධ්‍ය භාවිතයට හෝ dating app භාවිතයට තවමත් අවසර නැත.