මේ ශිවා. අපි ඊයේ වලයර්මඩම් වෙරළට ගියා. අර පසුබිමේ පේන්නේ වලයර්මඩම් පල්ලිය. ඒක වෙනම කථාවක්. ශිවා කියන විදියට… “යුද්දේ අන්තිම දවස් තුනේ අපි ලක්සයක් විතර හිරවෙලා හිටියේ මේ මුහුදු තීරයේ. දෙපැත්තෙම කට්ටිය අහසින් පොළොවෙන් මුහුදින් අපි ඉන්න ඉසව්වට පහර දෙනවා. මිනිස්සු බංකර් ඇතුලේ හිරවෙලා. ජීවිතේ අවසාන හුස්ම අදිමින් සිටියා. මම තෙල් වලින් වැඩකරන පොඩි ජෙනියකට ස්පීකර් එකක් හයි කරලා හයියෙන් සිංදු දාලා නැටුවා. මිනිස්සු මට පරැස වචනයෙන් බැන්නා. ඒ වුනාට මං නෙවෙයි නතර වුනේ. මේ මගේ අවසාන නර්ථනය කියලා හිතාගෙන නැටුවා”
මම මගේ අවසාන වාර්තා චිත්රපටිය රෑපගත කරමින් විශ්වමඩු, පුචුකුඩුඉරයිප්පු, පුදුමාතලන්, නන්දිකඩාල් පැත්තේ යුද්ධයේ ඇටසැකිලි අතර සැරිසරනවා. මට හරි වෙහෙසක් දැනෙනවා. විශ්රාම වයසේ මට එහෙම වෙහෙස දැනෙන එක සාධාරණයි. තවත් නං මේ වාගේ No budget බර වැඩවලට අත ගහන්නේ නැහැ. ඒක සත්තයි. ඒ වුනාට මේ සුන්දර මිනිසුන් සොයා රස්තියාදුවේ යන ගමන් නවත්තන්නේ නැහැ. මම මැරෙණකල්ම ලියනවා.
සිම්පල් සයිමන්
(විෂ්ණු වාසු)