ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී පනවා තිබුණු ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව ඔහුට රාත්‍රී කාලයේ නිවසින් බැහැරව යාමට සහ whatsapp භාවිතා කළ හැකිවනු ඇත.
විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී Tinder නම් Dating App මගින් හමු වූ කාන්තාවකට ඇගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීමේ චෝදනාව මත ධනුෂ්ක පසුගිය නොවැ. 6 සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
දින 11ක් සිරගතව සිටි ඔහුට (නොවැ. 17) ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ පැවති නඩු විභාගයකින් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබිණි.
එමෙන්ම ඔහුට දැඩි ඇප කොන්දේසි පැනවුණු අතර
- සෑම දිනකම පොලිසියට වාර්තා කිරීම
- සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා සංචරණ සීමා පැනවීම
- පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීම තහනම් කෙරුණු අතර Tinder හා අනෙකුත් Dating App ඇප් භාවිතය තහනම් කෙරිණි.
අද (23) ධනුෂ්ක ගුණතිලක තම නීතිඥයින් මාර්ගයෙන් සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණු අතර එය සලකා බැලූ අධිකරණය ඔහුට whatspp භාවිතයට සහ රාත්‍රී කාලයේ නිවසින් බැහැරව යාමට අවසර ලබා දීමට තීරණය කළේය.
එහෙත් ඔහුට සමාජ මාධ්‍ය භාවිතයට හෝ dating app භාවිතයට තවමත් අවසර නැත.