නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යවයි : ආණ්ඩුව දින 10කදී බිලියන 123ක් ණයට අරන් : ස්වාධීනත්වය මෙන්ම වගවීම අත්‍යවශ්‍යයි !

Share post:

පළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සම් විහාගයේදී නීතිපතිවරයා විසින් ආර්ථික අර්බුදය නිසා මැතිවරණය පැවැත්වීමේ ගැටළුවක් ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නද, පසුගිය දින 10ක කාලය තුළදී පමණක් ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 123ක් බව තහවුරු වේ.

පසුගිය 15දා රුපියල් බිලියන 85ක් ලබාගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදු කළ අතර, එහිදී රුපියල් බිලියන 70ක් ද, පසුගිය 22දා රුපියල් බිලියන 75ක් ලබාගැනීම සඳහා තවත් භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදු කළ අතර, එහිදී රුපියල් බිලියන 53ක් ද මෙසේ ලබාගෙන තිබේ.

මැතිවරණය සඳහා අවශ්‍ය වන මුදල රුපියල් බිලියන 10ක් බවට ගණනය කර ඇති අතර, එයින් බිලියන 5කට වැඩි මුදලක් ගෙවිය යුත්තේ මුද්‍රණ, ප්‍රවාහන, රාජකාරි දීමනා ආදී වශයෙන් මැතිවරණයෙන් පසුව ය.

මේ නිසා නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන් පරිදි බරපතළ ආර්ථික අර්බුදයක් ඇතත්, එම නිසා ඇති වූ මුදල් සපයාගැනීමේ බරපතළ දුෂ්කරතාවක් ආණ්ඩුවට නැති බව පැහැදිලි වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමන ලෙස විශ්‍රාමික කර්නල් රංජිත් විජේසුන්දර ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ විභාගයේදී ඊයේ (24) නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.

මූලික විරෝධතා ?

මෙම පෙත්සමට වගඋත්තරකාර මැතිවරණ කොමිසම පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරන ලදි. ඒ, පෙත්සම මගින් පෙත්සම්කරු ඡන්දදායකයෙකු බව පැහැදිලි කර නොතිබීමත්, පෙත්සමට අවශ්‍ය පාර්ශ්ව වන දේශපාලන පක්ෂ ඇතුළත් කර නොතිබීමත් ය.

කෙසේ වෙතත් මූලික විරෝධතා තිබියදී නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් අදාළ ආර්ථික අර්බුදය පිළිබඳ ගැටළුව මතුකරන ලදි. අධිකරණය ඒ පිළිබඳ අවධානය යොමුකිරීමත් සමග මැතිවරණයක් පැවැත්විය හැකි බව අධිකරණයට කරුණු සහිතව පෙන්වාදීමට කොමිසම හෙවත් වගඋත්තරකාර පාර්ශ්වය ආසන්න දිනයක් ඉල්ලා සිටින ලදි.

ඉන්පසු මැයි 11 දිනට පෙත්සම් විභාගය කල් තැබිණි. මීට අතුරු පෙත්සම් ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල සහ එරංග ගුණසේකර විසින් ද ඉදිරිපත් කර තිබිණි.

අධිකරණයට අපහාසයක් ?

ජී.එල්. පීරිස් මීට අදාළ ව ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් මතුකරන ලද්දේ රජයේ නිලධාරීන් විසින් මැතිවරණය පැවැත්වීමට සහාය නොදැක්වීම හරහා අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවයි. ඊට හේතුව ලෙස දැක්වූයේ මීට පෙර ජී.එල්. පීරිස් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේදී අධිකරණය විසින් ලබාදුන් තීන්දුවයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක් අවශ්‍ය නොවන බවත්, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් යොදවාගැනීම ඇතුළු අවශ්‍ය කටයුතු සඳහා මැතිවරණ කොමිසමට බලය ඇති බවත් ය. රාජ්‍ය නිලධාරීන්, රජයේ මුද්‍රණාලයාධිපති ඇතුළු පාර්ශ්ව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වුණේ මේ සමග ය.

මැතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ විභාගය ලබන 28දාට කල්තැබිණි.

මැතිවරණයට අධිකරණයෙන් බාධා නෑ !

මැතිවරණය පැවැත්වීම වලක්වමින් හෝ මැතිවරණය නියමිත දිනට නොපවත්වා කල්දැමීමට අදාළ ව හෝ කිසිදු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙතෙක් ලබාදී නැත. එම නිසා ආණ්ඩුව මුදල් ලබාදෙන්නේ නම්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ කිසිදු ගැටළුවක් මැතිවරණ කොමිසමට නැත.

පරමාධිපත්‍යය වෙනුවෙන් වගවීම !

එසේ ම රජයේ ආයතන ස්වාධීනත්වය පමණක් නොව වගවීම පිළිබඳව ද දැඩි අවධානය යොමු කළ යුතුය. සියලු පාර්ශ්වවල තර්ක ගොඩනැගීම් මගින් තීරණ ලබාදීමෙන් ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසයක් තහවුරු වුවද, තමන්ගේ ක්‍රියාවලියට වගකිව නොහැකි නම්, එහිදී වගවීම සුරක්ෂිත වන්නේ ද යන්න ගැටළුවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට රටේ පුරවැසියන්ගෙන් බහුතරය සක්‍රීය ව දායකවෙමින් සිටින බව පැහැදිලිව පෙනෙන කරුණකි. එම නිසා එම පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කළ හැකි ආකාරයට වගවීමක් සහිතව කටයුතු කිරීම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ප්‍රමුඛ සියලු ආයතනවල මගහැරිය නොහැකි වගකීමක් වේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ව මෙම ආයතනවලින් එය ප්‍රමාණවත් පරිදි ඉටුනොවන බව මේ වනවිට සමස්තයට පැහැදිලි වෙමින් තිබෙන කරුණකි. ජනතා විශ්වාසය බිඳවැටීම යනු බරපතළ තත්ත්වයකි.

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...