බ්‍රිතාන්‍යයේ සිංහල වේදිකා නාට්‍යය “පටාචාරා”

Share post:

දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන සම්ප්‍රදායක් වන නූතන රංග කලාව ශ්‍රී ලංකාව අද මුහුණ පා ඇති දේශපාලන සහ ආර්ථික අර්බුධයේ ප්‍රතිපල හමුවට එන්නේ ප්‍රචන්ඩ අතීතයක්ද පසු කරමින්ය. රංග කලාව යනුවෙන් මා මෙහිදී අදහස් කරනුයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කලා කෘතීන් ඇතුලත්වය. බහුභාෂා සන්දර්භය තිබියදීත්, ලාංකීය නාට්‍ය කලාවේ දිසානතිය ධ්‍රැවීකරණය වන්නේ භාෂාමය රේඛා ඔස්සේය. එනම් විවිධ භාෂාවලින් රඟහල අතර සබඳතා සහ විසංයෝජනය කරුණු අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පුළුල් අධ්‍යයනයක් නොමැතිය. සාම්ප්‍රදායික “කුත්තු” ගැමි ප්‍රසංගය පශ්චාත් යටත් විජිත යුගයේ සිංහල හා දෙමළ නාට්‍ය කලාවේ පුනර්ජීවනයේ පදනම ලෙස ක්‍රියා කල නමුත්, ඒ සමග බැඳුනු ශාස්ත්‍රීය හා අධ්‍යයනයන් අඩුවීමත් සිදුවන්නේ රාජ්‍යය ‘සිංහල පමණක්’ ස්ථාවරයකට තල්ලුවීම නිසාය. මේ පසු බිම මත 1971 සහ 1987-89 දකුණේ තරුණ අරගල, ආර්ථික ලිබරල්කරණය, 1983 දෙමළ විරෝධී කොළාහලත් ඉන් පසු දෙමළ තරුණ අරගලය සහ අවතැන්වීම වලින් පසුව අද නාට්‍ය කලාව පාලකයන් විසින් බංකොලොත් කරනු ලැබූ රාජ්‍යයක කලා මාධ්‍යයකි.

සිංහල නාට්‍ය කලාවේ ඉහත පසුබිමක් තිබියදී, එන්ගලන්තයේ සිට සිංහල වේදිකා නාට්‍යයක් නැරඹීම තරමක අභව්‍ය බවක් හැඟෙනු ඇත. එහෙත් එංගලන්තයේ අරුණළු කලා ආයතනය විසින් නිර්මාණය කල “පටාචාරා” වේදිකා නාට්‍ය විසින් මට, සිංහල වේදිකා නාට්‍යයක් සජීවීව නැරඹීමේ අවස්ථාව වසර පහලොවකට පමණ පසු ලෙස්ටර් නගරයේදී උදාකර දුන්නේය.
” අරුණළු කලා ආයතනය” යේ මහ ගෙදර පිහිටි ලීස්ටර් නගරය පිහිටා ඇත්තේ මා ජීවත් වන ලිවර්පූල් නගරයේ සිට සැතපුම් 120 ක පමණ දුරින් පිහිටි නැගෙනහිර එන්ගලන්ත කලාපයේ මිඩ්ලන්ඩ් ප්‍රදේශයේය. එහි සිට ලෝකයේ සියළු කලාවන්ගේ මර්මස්ථානයක් වන ලංඩනයට ඇති දුර සැතපුම් 106ක පමණ වේ.

වසර දහ හතරක් පුරා එංගලන්තයේ ජීවත් වුවද, එම කාලය පුරා මෙම අරුනළු කලා ආයතනය ගැන මගේ අවධානය යොමු වී නොතිබුනි. එයට හේතුව වූවේ බ්‍රිතාන්‍යයේදී මට හමුවූ සියළුම සිංහල නැටුම් කලා ආයතන කරනු ලබන්නේ යූ ටියුබ් වල ඇති බොලිවුඩ් නැටුම් සිංහල දරුවන්ට පෙන්වමින් ඒවා අනුකරණය කරවීම පොළඹවමින් එය දේශීය නැටුම් කලාව යයි හැඳින්වීමය. මෙම පසුබිම මත අරුනළු කලා ආයතනය පිළිබඳ මගේ අවධානය යොමුවන්නේ තමන් එංගලන්තයේ සංචාරයකට පැමිණීමට සූදානම් වන බව ප්‍රසන්නජිත් අබේසූරියගෙන් ලැබුනු දුරකතන ඇමතුමෙන් පසුවය. ප්‍රසන්නජිත් සහ මා අසූව දශකයේ මුලදී සිට ගාමිණී හත්තොටුවගමගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් වූ අතර, “සීතාම්බරපට” නමැති ගැමි කතාවක් පසුබිම් කර ගනිමින් එකල සිටි පාලකයා වූ ආර් ප්‍රේමදාසව උපහාසයට ලක් කරමින් නිර්මාණය කල “රජ දැක්ම” නාට්‍යයේ රජුගේ චරිතය මම රඟ පෑවෙමි. පසු කලක ප්‍රසන්නජිත් මා සමග රාජ්‍ය නාට්‍ය පාසලේ ඉගෙනගත් නයනා හෙට්ටිආරච්චි සමග විවාහ වූ අතර, මා ධම්මජාගොඩගේ “සකළජණ” නාට්‍යයෙන් පසුව නාට්‍ය කලාවෙන් ඉවත් වී වෘත්තීය පුවත්පත් ඡායාරූපකලාව තෝරා ගත්තෙමි. ඒ කාලය තුල නාට්‍ය කලාව අත නොහැරි ප්‍රසන්නජිත් ලංකාවේ වේදිකා නාට්‍ය කලාව තුල තම අනන්‍යතාවය ගොඩ නැගුවේ ගාමිණී හත්තොටුවගම, එදිරිවීර සරච්චන්ද්‍ර සහ සෝමලතා සුබසිංහ යනාදී ගුරුවරුන්ගෙන් උකහා ගත් අත්දැකීම් හරහා යමින් කරන ලද අධ්‍යයනයන් සහ හැදෑරීම් මත සිටිමින්ය.

අරුණළු කලායතනය විසින් නාට්‍ය හා රංග කලාවේ එම හසල අත්දැකීම් සහිත ප්‍රසන්නජිත්ව එංගලන්තයට ගෙන්වන්නේ පටාචාරා නාට්‍යයේ අවසාන සංස්කරණ සහ නිර්මාණාත්මක කටයුතු නිම කර එය එංගලන්තයේ ප්‍රසිද්ධ වේදිකාව මතට ගෙන ඒම සඳහාය. ඔවුන් ඒ වන විට වසර තුනක් පුරා නාට්‍යයේ සූදානම් වීමේ කටයුතු කර තිබුනි. පනස් දෙනෙකු පමණ රඟපාන වේදිකා නාට්‍යයක් එංගලන්තයේ නිර්මාණය කිරීම කෙතරම් දුෂ්කරදැයි අවබෝධ කරගත හැක්කේ මෙහි ජීවත් වන්නෙකුට පමණකි. එවන් කටයුත්තකට අත තබනුයේ ඒ සඳහා හැබෑ “ඇම්මක්” ඇති අයෙකු පමණකි. ඒ ඇම්ම ඇති දෙදෙනෙකු ඒ වෙන විටත් ලීස්ටර් නගරයේ අරුනළු කලායතනයේ පුරෝගාමීන්ව සිටියේය. ඔවුන් දෙදෙනා නම් මධුකා ෆර්ඩිනන්ඩ්( Maduka Ferdinand ) සහ අරුණ ශාන්ත ( Aruna Shantha Kotawella ) දෙදෙනාය.

“පටාචාර” නම සහ ඒ නම හා බැඳුනු කතාව අපට ඉතා සුපුරුදු එකකි. වෙසක් කාලයට පටචාරා නාට්‍ය පෙන්වීම අපේ ලාංකීය ගැමි සමාජයේ සුලබව දැකිය හැක. එවන් සුලබ කතාවක් කෙරෙහි ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ තබා ගැනීම එංගලන්තයේ නාට්‍යයක් කරනවාක් වැනිම වූ දුෂ්කර කාර්යයයකි. ඒ අභියෝගයට ප්‍රසන්නගේ සහයෙන් මධුකා මුහුණ දෙන්නේ කොහොමද යන්න පේක්ෂකාගාරයට ඇතුළවන විට මගේ මා තුල තිබූ ගැටළුව විය. ලීස්ටර් නගරයේ ටවුන්සෙන්ඩ් නාට්‍යාගාරයේ ආසන තුන්සීයම නාට්‍ය ආරම්භ වනවිටම පිරී තිබුනි.

නාට්‍ය ආරම්භ වන්නේ සම්ප්‍රදායික නාට්‍යයන්හි බමුණෙකු මෙන් වෙස් ගත් කථකයාගෙනි. කථකයා ලෙස රඟපාන ප්‍රසන්නජිත් කතාවේ පෙර අපර ගලපමින් එකිනෙක චරිත වේදිකාවට ගෙන එන අතර කතාවේ සිද්ධිදාමය ගීතමය ශෛලියකින් ගලායාමට පටන් ගනී. එම ආරම්භයේදීම, සජීවී සිංහල වේදිකා නාට්‍ය කලාවට ආධුනික එංගලන්තයේ ප්‍රේක්ශකාගාරයේ නොබිඳෙන අවධානය ගැට ගසා ගැනීමට පටාචාරවට හැකි වන්නීය. ඒ අනුව මම එංගලන්තයේ සිංහල නාට්‍යයක් නැරඹුවා පමණක් නොව සිංහල වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් දක්ෂ රංගන ශිල්පිණියක් බිහිවනවාද දුටුවෙමි.
ලීස්ටර් නගරයේ පැවති මංගල දර්ශනයෙන් පසුව පෙබරවාරි 25 වන සෙනසුරාදා, ලංඩනයේ the art Center,Hounslow හිදී වේදිකා ගතවන “පටචාරා” ව නැවත නැරඹිය යුතුය.

අනුරුද්ධ ලොකුහපුආරච්චි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...