එහෙම එකක් නීතියේ නෑ : පොලිස්පතිගේ ඇඳිරි නීතියට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට !

Share post:

2022 ජූලි 08දා පොලිස්පති චන්දන වික්‍රමරත්න පැනවූ ඇඳිරි නීතිය නීතිවිරෝධී බව සඳහන් කරමින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන තරිඳු උඩුවරගෙදර සහ තරිඳු ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කර තිබේ.

කිසිදු නීතිමය පසුබිමක් නොමැතිව ජූලි 08දා ඇඳිරි නීතිය පැනවීමටත්, ඒ හරහා කොළඹ පැවති විරෝධයකට ජනතාව සහභාගී වීම සීමා කිරීමටත් කටයුතු කිරීම පිළිබඳ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකෙරිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ හෙජාස් හිස්බුල්ලා ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන විසින් මෙම පෙත්සම් සලකා බලා එම නඩුව ඉදිරියට ගෙනයෑමට තීන්දු කළේය.
ඒ අනුව ඔක්තෝබර් 9දා සිට එය විභාගයට ගැනීමට නියමිත ය.

වගඋත්තරකරුවන්

නීතිඥ හෙජාස් හිස්බුල්ලා සහ නීතිඥ රම්සි බාචා යන නීතිඥවරුන්ගෙන් සමන්විත නීතිඥවරු පිරිසක් මාර්ගයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ නීතිපතිවරයා නම් කර තිබේ.

ජූලි 08

2022 ජූලි 08දා රාත්‍රී 9 සිට නැවත දැනුම් දෙන තුරු වගඋත්තරකාර පොලිස්පතිවරයා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව නිවේදනයක් මගින් නිවේදනය කළ බවත්, එමගින් එම ප්‍රදේශවල ගමන් කිරීම නතර කර නිවෙස්වලට වී සිටින ලෙසත්, එම ප්‍රදේශ හරහා ගමන් නතර කරන ලෙස එමගින් උපදෙස් දී ඇති බවත් එම පෙත්සමේ සඳහන් වේ.

පසුදින උදෑසන 06ට ඇඳිරිනීතිය ඉවත් කරන බව නිවේදනය කළ බව ද, ඇඳිරිනීතිය පනවන නිවේදනයේ නොතිබුණු ගම්පහ කොට්ඨාසය ඉවත් කිරීමේ නිවේදනයේ සඳහන් වූ බව ද, පොලිස් ඇඳිරිනීතිය පැනවීම නීති විරෝධී, අත්තනෝමතික සහ නීතිමය පදනමක් නැති ක්‍රියාවක් බව ද එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ.

යටි අරමුණක්

මෙය ද්වේශසහගතව යටි අරමුණක් ඇතිව බලය අනිසි ලෙස භාවිත කිරීමක් බව සඳහන් කර ඇති පෙත්සම්කරුවන්, ඊට පසු දින පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව අධිකරණ නියෝගයක් මගින් තහනම් කිරීමට නොහැකි වූ තැන බලය අවභාවිත කරමින් ඒ සඳහා පුරවැසියන්ගේ සහභාගිත්වය වැලැක්වීමේ අරමුණෙන් මෙය සිදු කර ඇති බව ද පෙන්වා දෙයි.

පළමු වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීති විරෝධී ඇඳිරිනීතිය නිසා දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා පවා නතර කර දැමූ බවත්, එමඟින් පුරවැසියන් අපහසුතාවට පත්වූ බවත්, ජනමාධ්‍යවේදීන් ලෙස තමන් පවා එමගින් අපහසුතාවට පත්වූ බවත් පෙත්සමේ සඳහන් වේ.

ඉල්ලීම

පොලිස්පතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කිහිපයක්ම කඩවී ඇතැයි ප්‍රකාශයට පත් කරන ලෙස පෙත්සම්කරුවන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලා ඇත.

නීත්‍යනුකූල ඇඳිරි නීතිය

මහජන ආරක්ෂක පනතේ 16 වගන්තිය ප්‍රකාරව ඇඳිරි නීතිය පැනවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.

මහජන ආරක්ෂක පනතේ විධිවිධානවලට පටහැනිව අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලයේ වෙනත් පුද්ගලයෙකු පනවනු ලබන කිසිදු හදිසි නීති තත්ත්වයක් හෝ කිසිදු ඇඳිරි නීති තත්ත්වයක් නීතිමය වශයෙන් වලංගු නැත.

පොලිස්පතිට බෑ

පොලිස්පතිවරයාට ‘පොලිස් ඇඳිරි නීතිය’ යනුවෙන් ඇඳිරි නීති තත්ත්වයක් පැනවීමට මහජන ආරක්ෂක පනතින්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් හෝ පොලිස් ආඥා පනතින් හෝ බලයක් ලැබෙන්නේ නැත.

ඉහත නීතිමය තත්ත්වය තුළ වලංගු නොමැති ඇඳිරි නීතියක් කඩකිරීම නීතිය ඉදිරියේ වරදක් නොවන බවත්, එසේම එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ජ්‍යේෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...