Home Blog Page 193

අනිල්ගේ ‘සැණෙලි වියුම්’ සහ ‘ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්’

0

අනිල් හේරත්ගෙ පළමු කෙටි කතා සංග්‍රහය වන ‘සැණෙලි වියුම්’ සමඟ මෑතක දී පළකෙරුණු ‘ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්’ කතා එකතුව විමසීමේ දී අප කියවාගත් ලකුණු මෙපරිදි වෙයි. පහසුව තකා කෘති දෙකේ ම ලකුණු පොදුවේ දක්වනු රිසියෙමි.
කෙටි කතාවක් කෙටි වියයුතු ම ද, කෙටි විය යුත්තේ නම් ඒ කොතැනින් ද, දිගු කෙටි කතා තිබිය නොහැකි ද, කෙටි කතාවක් කෙටි ම කෙටි වූ විට එය කෙටි කතාවක් නෙමේ ද යන පැන සඳහා අනිල් හේරත් කට වසාගෙන පිත්තෙන් හයේ පහරක් එල්ල කර ක්‍රියාවෙන් පිළිතුරු දෙන කෙටි කතා සංග්‍රහ දෙකකි මේ.

කෙටිකතාවක තිබිය යුතු සේ සැලකෙන ශිල්පීය ලකුණු එලෙස ම තිබියදීත් පිටුවකින් දෙකකින් කලාත්මක කතාවක් එක් පිඬක්ව සාරයක්ව රැස් කිරීමේ සමතෙකි, මේ කතුවරයා. කතාව කෙටි ම කෙටි වුවත් සම්පූර්ණ කතාවක් ඒ හැම එකක ම තිබෙයි. නොඑසේ නම්, කෙටිකතාවක් කියැවූවිට කියවන්නාගේ බඩ හොඳට පිරෙයි. කිවිය යුතු දේ කියයි. මැවිය යුතු දේ මවයි. එන්න කියා වාඩි කරවාගෙන, දුප් කියා එළවයි.

ආකෘතිය පැත්තෙන් සැලකූවොත්, මේ හැම කතාවක ම පාහේ ආරෝහණයක්, මැදක්, අවරෝහණයක් වෙයි. කියවන්නාව කනපිට ගසන තැන, හිතන්නට සලස්වන තැන, හරඹය පාන තැන, උච්චස්ථානය කතාවසානයට ගෙන එයි.

අනිල් හේරත් මේ කෙටි කතා වවන්නේ තිරස් අතට නොවේ, සිරස්ව ය. එබැවින්, අපට එක් එක් කරුණකට විසාල විස්තර පදාස එළනු නොපෙනේ. නමුත් පුදුමය නම් එසේවුවත් අඩුවක් නොදැනීම ය. එක ම දෙය දිගට දිගට එපාවෙනකම් හිතෙ තියෙන සේරම ලියාගෙන වවාගෙන උයාගෙන පිහාගෙන කියවන්නාටත් එපා කරවාගෙන හෑලි ලිවීමේ සහ ඒ හෑලිවලින් පිටු පිරවීමේ උන්මාදයක් කතුවරයාට නැති බැවින් කියවන්නාට මහත් පහසුවක් දැනේ. චරිත, පසුබිම, නිරූපණ, සංඛේත, ජීවිත තතු සියල්ල කෙටි වචන, වාක්‍යය බැගින් ගෙන ලැයිස්තු ක්‍රමයට නැතිනම් පොයින්ට් ක්‍රමයට අහුරා, අපගේ ඔළුවට දමන බැවින්, වරු ගණන් ගෙන ඒ කතාවල කොටස් කඩා පෙරා ඔළුවට දමාගැනීමේ ගැටලුව මතු නොවේ.

මේ කතාවල භාෂා ලක්ෂණය අප සිත් ගත්බව කිව යුතු ය. පොයින්ට් ක්‍රමයට එක වචනයක් කියා, ඒ දිගට සෙසු වචන අහුරක් අමුණන කතුවරයා, වාක්‍යාංශ / වාක්‍ය කොටස් ප්‍රධාන වාක්‍යයේ පසුපසට එක් කරයි. ජේද ගණන් දිගු වාක්‍යය හරඹ කරන්නට ගොස් කතාව අවුල් කර නොගනී. අනෙක් අතින් මේ බස කවි ගුණ දරයි.

කෙටි කතාවල චරිත අප වෙත එන්නේ, සමාන්තර හඳුන්වාදීමේ ක්‍රමයකට ය. එනම්, ‘එයා. මෙහෙට ගියා. මේක ගත්තා. හෙමින්..’

‘මෙයා. අරහෙන් ආවා. අරක දුන්නා. දුරින්..’ වැනි එකක් සමඟ අනෙක් යමකුත් සමාන්තරව, ද්විත්වව ගළපන වාක්‍යය ක්‍රමයකිනි. ‘සැණෙලි වියුම්’ පොතේ බොහෝ කතාවල නම් පවා දෙජාතියක මුහුවක් බව පෙනේ. ඇනා කැරනිනා පොතේ පරිච්ඡේදයකින් පරිච්ඡේදයකට තෝල්ස්තෝයි යන්නේ මෙවැනි ම ද්විත්ව කථා වින්‍යාසයකිනි.

මේ කෙටිකතා කෙටි ම කෙටි වෙද්දීත්, සියලු ලකුණු අඩු නොකර රඳවා තබාගද්දීත්, අඩු පිටු ප්‍රමාණයකින් කතාව කියද්දීත්, කතාව බාගෙට කිව්වා සේ හෝ කියන්නට තිබූ ටික ගිලගත්තා සේ හෝ කම්මැලිකමට ඔහේ ලිව්වා සේ හෝ නොහිතීමට හේතුව, කතාවට අදාළ පොඩි පොඩි දේ, අත්තිවාරම් ගොඩනැගූ පසුබිමක් බවට පත්කිරීමයි. එය ඔහු කරන්නේ වචනයෙන් දෙකෙන්, වාක්‍යයෙන් දෙකෙන් පමණයි. නමුත්, වැඩේ සිද්ධ වෙයි.

‘අත් සහ මාංචු’ කතාවෙදි උච්චස්ථානය ගන්න තැන, බලය දරන හා නොදරන දෙන්නෙක්ව පැරලල් නිරූපණයකරන හැටි… ‘රතු සහ කළු’ කතාවෙ දි බොහෝ දේ ගානට, මිම්මට, තිතට දිග, පළල, අංශක ආදිය කියවෙන යන්ත්‍ර ජීවිත වගේ… මේ කතා, නූතන කෙටිකතා රචකයන් කියවිය යුතු කතා.

‘සැණෙලි වියුම්’ වලට සාපේක්ෂව බලතොත් ‘ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්’ කෙටිකතා එකතුවේ දී කතුවරයා, මුල් කෙටිකතාවල තියෙන සාර කිරීමේ ගුණය හෝ ශිල්පීය ලකුණු වෙත ම නැඹුරු වී සිටීමේ ගුණයෙන් ඒ බැමි තරමක් ලිහිල් කිරීමට පෙළඹෙයි. අත පය මුදා හැර විවේක ගනී. බොහෝ කතා බය නැතිව වවන්නට ගනී. තවත් කතා කවි කරයි. ඇතැම් කතා කෙටි ම කෙටි ම කෙටි ම කෙටි ම කෙටි ම කෙටි ම කර දෙකට තුනට නවා සාක්කුවේ දාගනී.

‘වැහි මල්’, ජී.බී.සේනානායකගේ කතාවල මෙන් මනෝ කේන්ද්‍රීයව ගොඩනැගුනක් සේ දැනෙයි. ‘කළු අඩි රතු සපත්තුව’, ‘රැළි සහ ටියුලිප්’.. ඇතුළු කතාවලට වැකියෙන් දෙකෙන් මෙසේ විමසුම් දීම සාධාරණ නොවෙයි. වේලාව ලැබෙන පරිදි ඒවා පසුව කියාලමි.

මේවායේ කතාවසාන කලින් කතාවල මෙන් නිතර ම උච්චස්ථානයකින් අවසන් නොකරයි. හිස්ව තියයි. කතා වුණත්, අජිත් තිලකසේනගේ කතාවල මෙන්, දකින පෙනෙන දේ අපට කියා පෙන්වා මවා, බබා සේ අපට බලාඉන්නට කියා සියලු පිති හරඹවල් පා, අපිට ඕනෑ හැටියකට හිතාගන්නට ඉඩ දී අනිල් හේරත් බෑග් එකත් එල්ලන් යන්න යයි.

ඩිල්ශානි චතුරිකා දාබරේ

ඉන්ධන පිරවුම්හල් 450ක් පිටරට සමාගම් 3කට : පෞද්ගලිකකරණයක් නෙමෙයි, ඇත්ත මෙන්න – වෘත්තීය සමිති

විදේශීය සමාගම් 3කට මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා අද (27) කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පවසන්නේ Hell PLC සමග එක්ව චීනයේ Sinopec, United Petroleum of Australia සහ USA RM Parks යන සමාගම් සඳහා මෙම අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අදාළ සමාගම්වලට වසර 20ක බලපත්‍රයක් හිමිවීමට නියමිත ය. මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම යන කාර්යයන් සඳහා ඔවුන්ට මෙම බලපත්‍රය හිමි වේ.

නියෝජිත ඉන්ධන පිරවුම්හල්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක නියෝජිත ඉන්ධන පිරවුම්හල් 450ක් රට පුරා තිබේ. එම නියෝජිත පිරවුම්හල් 450, අදාළ සමාගම් 3ට 150 බැගින් ලබාදීමට සැලසුම් කර තිබේ.

එදා තීරණය

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව පැවති කාලයේදී ඉදිරිපත් වූ ලංකා ඛනිජ තෙල් සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අනුව සංස්ථාව කොටස් 03කට වෙන්කෙරිණි. ඒ අනුව සංස්ථාවේ කොටස්වලින් සියයට 33ක් සංස්ථාවට හිමි විය. ඉන්දියන් ඔයිල් සමාගමට සංස්ථා කොටස්වලින් සියයට 33ක් හිමි විය. ඉතිරි සියයට 33 නියෝජිත මට්ටමේ පැවති අතර, එය ලබාගැනීම සඳහා චීනයේ Sinopec සමාගම ඒ කාලයේදී ද ටෙන්ඩර් ඉදිරිපත් කළේය. එහෙත් එය සිදු වූයේ නැත.

‘පෞද්ගලිකකරණයක් නෙමෙයි’

මෙම කැබිනට් තීරණය සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ මෙය පෞද්ගලිකකරණය කිරීමක් ලෙස හැඳින්විය නොහැකි වුවද, මේ හරහා සිදුකිරීමට උත්සාහ දරන ක්‍රියාවලිය අතිශය බරපතළ බවයි.

ලාභාංශ අහිමි වෙයි

මෙම ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික ඒවා වුවද, ඒවායින් සංස්ථාවට ලැබුණු ලාභාංශ මෙමගින් අහිමි වේ. එසේ ම ඇමතිවරයා සඳහන් කළ ආකාරයට මෙම තීරණය මගින් ඉන්ධන මිල අඩුවීමක් හෝ සංස්ථාවේ සේවක ප්‍රමාණය අඩුවීමක් ද සිදුනොවන බව ආනන්ද පාලිත පෙන්වා දෙයි.

ඉන්දියන් ඔයිල් උදාහරණය

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්දියන් ඔයිල් සමාගමට මෙරට ඉන්ධන ව්‍යාපාර සිදුකිරීමට අවස්ථාව ලබාදෙන විට එයින් තරගකාරීත්වයක් ඇතිවන නිසා ජනතාවට වාසි සැලසිය හැකි බව පැවසුණද, එවැන්නක් සිදු නොවූ බවයි. ඉන්පසු ක්‍රමයෙන් ඉන්දියන් ඔයිල් සමාගම මෙරට ඉන්ධන අලෙවිය වර්ධනය කරගත් බවත්, මේ වන විට එම සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 140 ද ඉක්මවන බවත් ඔහු පැවසීය.

එසේ ම උතුරු – නැගෙනහිර පළාත්වල ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් 35ක් එම සමාගමට ලබාදීමට ද තීරණය කර තිබේ.

අවදානම මෙන්න !

මේ ආකාරයට ම අද (27) ගන්නා ලද කැබිනට් තීරණය මගින් ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් අක්‍රීය වන බවත්, ඉන්පසු සංස්ථාවේ ඉතිරි කොටස් ද සමාගම්වලට ලබාදීමට පසුබිම නිර්මාණය කරගනු ඇති බවත් අප වෙත අදහස් දක්වමින් ප්‍රකට වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත අවධාරණය කළේය.   

සතියක් හැර සතියක් CID එන්න බෑ : තරුණයන් 11ක් අතුරුදන් කළ නඩුවේ චූදිත ලුතිනන් කමාන්ඩර්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි !  

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇති නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට එරෙහිව පනවා ඇති ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කෙරිණි.

අද (27) මෙම ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය. මෙම නඩුව විභාග කෙරෙනුයේ අමල් රණරාජා, නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන් ඉදිරියේ ය.

සෑම මසකම පළමු සහ තුන්වැනි ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස චූදිත හෙට්ටිආරච්චිට අධිකරණයෙන් ඇප කොන්දේසියක් පනවා තිබේ. ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණේ මෙම ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙසයි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න මෙම ඉල්ලීමට දැඩි විරෝධය පළකළාය. ඇය අධිකරණයට පෙන්වාදුන්නේ විත්තිකාර හෙට්ටිආරච්චි වසර 2කට ආසන්න කාලයක් අධිකරණය මගහැර රටින් පළාගොස් සිටි අයෙකු බවයි. එම නිසා ඇප කොන්දේසි ලිහිල් කළහොත්, යළිත් ඔහු රටින් පළායෑමේ හැකියාවක් ඇති බව ද නීතිඥවරිය අවධාරණය කළාය.

2008 අගෝස්තු 08 සහ 2009 සැප්තැම්බර් 21 අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී කස්තුරි ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජේ. ඩිලාන්, අමනන් ලියෝන්, ඇන්තනී කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන්, මොහොමඩ් අලි අන්වර් යන පිරිස ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපොළ බලහත්කාරයෙන් ලබාගැනීම, තරුණයන් අතුරුදන් කිරීමට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 667කට අදාළව නීතිපතිවරයා විසින් මෙම විත්තිකරු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත.

මෙහි විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර ඇත්තේ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, දිලංක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්‍රිආරච්චිගේ ගාමිණී, උපුල් චමින්ද, චන්දන ප්‍රසාද් හෙට්‌ටිආරච්චි, නන්දප්‍රිය හෙට්ටිහැන්නදි, සම්පත් ජනක පෙරේරා හා වසන්ත කරන්නාගොඩ ය.

‘ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුණා’ – නරීන් අබ්ගර්යාන්

0

‘ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුණා’ – නරීන් අබ්ගර්යාන්

පරිවර්තනය – කේ. ඩී. චන්ද්‍රසිරි

ආමේනියාවේ, ඈත එපිට කඳුකරයේ පිහිටි මරාන් ගම්මානය, සෙසු ලෝකය හා සම්බන්ධ වන්නේ, ඉපැරණි විදුලි පණිවිඩ රැහැනකින්, සතියකට වතාවක් පැමිණෙන තැපැල්කරුවකුගෙන් හා එළුවන් පවා තරණය කරන්නට අදිමදි කරන, නිතර හිමෙන් වැසී යන, අනතුරුදායක කඳුකර මගකින් පමණි.

ගම්මානයේ කෙමෙන් වියපත් වන ගම්මු, හිමපතනය, භූමිකම්පා, කෘමි වසංගත, සාගතය හා යුද්ධය හමුවේ ඒ සියල්ල නිහඬව දරා ගනිමින්, තමන්නේ පැරණි විශ්වාස, ඇදහිලි හා සිහින සමග දිවි ගෙවති. ඒ දොම්නස හා සතුට එකට මුසු වූ අපූරු දිවිසැරියකි. එහෙත්, මේ කටුක පරිසරය මැද වුව, අපේක්ෂාවේ ප්‍රාර්ථනා රඳවාගත හැකි බව ඇනටෝලියා සෙවොයාන්ට්ස් හා වැසිලි කුදමාන්ට්ස් නම් වියපත් යුවළ සනාථ කරති.

ආමේනියානු ප්‍රභවයක් සහිත රුසියානු ලේඛිකාවක වන Narine Abgaryan ගේ මේ පොත මුල්වරට පළවන්නේ 2016 දීය. අතිශයින් ජනප්‍රිය නිර්මාණයක් බවට පත්වූ මේ පොතට, මහ ගත්කරු ටොල්ස්ටෝයි සම්ප්ර්දාය අනුගමනය කරනා කෘතිවලට පිරිනැමෙන යස්නායා පොල්යානා ත්‍යාගය මෙන්ම PEN English Award සම්මානයද පිරිනැමුණේය.

නරීන් අබ්ගර්යාන්, 1971 දී ආමේනියාවේ බර්ග් පළාතේ ඉපිද, ආමේනියාවේ අගනුවර වන යෙරවාන්හි භාෂා විශ්වවිද්‍යාලයෙන් රුසියානු බස හා සාහිත්‍යය උගැන්වීම මූලික විෂය කරගනිමින් ප්‍රථම උපාධිය ලැබුවාය.
ඇය Manyunya, People Who are Always with Me, Three Apples Fell from the Sky, Simon ආදී නවකතා කිහිපයක්ද කෙටිකතා සංග්‍රහයක්ද පළකොට ඇත.
The Guardian පුවත්පත, ඇය හැඳින්වූයේ යුරෝපයේ දීප්තිමත්ම ලේඛිකාවක ලෙස ඔසවා තබමිනි.

Three Apples Fell from the Sky පළවූයේ 2020 දීය. එයට යස්නායා පොල්යානා සාහිත්‍ය ත්‍යාගය සහ English PEN Award යන සම්මාන හිමි වූ අතර, භාෂා එකොළහකට පරිවර්තනය වී ඇත.
ඇගේ කෘතියක් සිංහලට පරිවර්තනය වන්නේ පළමු වරටය.

ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුණා
කර්තෘ: කේ. ඩී. චන්ද්‍රසිරි
‘විදර්ශන’ ප්‍රකාශන ආයතනයට අනුබද්ධ ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස් ප්‍රකාශනයකි.

වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල් යයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ එම අභියාචනය අද (27) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටින හෙයින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැඳවන බව මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයා දැනුම් දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිටි වසන්ත මුදලිගේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් නිදහස් කර තිබුණි.

එසේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් එම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

සබැඳි පුවත්

දකුණු ආසියානු නීතිඥයන්ගේ ක්‍රිකට් කුසලානය කොළඹදී !

දකුණු ආසියානු නීතීඥයින්ගේ ක්‍රිකට් කුසලානය 30 වනදා සිට අප්‍රේල් 5 වන දා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ලෝයර්ස් ක්‍රිකට් හා එක්ව CAAI හි ක්‍රිකට් නීතිඥ සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

ඉන්දියාවෙන් බැංගලෝර්, දිල්ලි, මුම්බායි සහ කල්කටා, පකිස්ථානයෙන් ලාහෝර් සහ කරච්චි, බංග්ලාදේශයෙන් ඩකා සහ ශ්‍රී ලංකාවෙන් කොළඹ කණ්ඩායම් තරගයට ඇතුළත් වේ.

මෙම සියලු තරග කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්ගර් විනෝද ක්‍රීඩා සමාජය (BRC) සහ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය අප්‍රේල් 5 වැනිදා කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

යාපනයේදී අන්තරේට මොකද වුණේ ? : EPDP කිව්වෙ එයාලමයි – මුදලිගේ : ඕව අපි නොදන්න විරෝධතා – දේවානන්දා

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු එහි ක්‍රියාකාරීන් පිරිසකට පසුගිය 25දා යාපනයේදී ජනතාව විරෝධය පළකළ බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.

ශිෂ්‍ය බල මණ්ඩල පිරිස සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවක් පවත්වන අතර පිරිසක් පැමිණ එම සාකච්ඡාව පැවති යාපනය රිම්මර් ශාලාව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. යාපනයේ ජනතාව අතර ප්‍රචණ්ඩත්වය ඇති නොකරමින් යාපනයෙන් පිට වන ලෙස එම විරෝධතාකරුවන් විසින් අවධාරණය කෙරිණි.

උණුසුම් වචන හුවමාරුවක්

මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ මෙම පිරිස මෙහෙයවා ඇත්තේ ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා නායකත්වය දරන EPDP පක්ෂයේ (Eelam People’s Democratic Party) හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් බවයි. මේ පිරිසෙන් බහුතරය බීමත් ව, ලබාදුන් උපදෙස් අනුව කටයුතු කර නැති බවට විරෝධතාවෙන් පසු අදාළ මන්ත්‍රීවරයා චෝදනා කිරීමත් සමග උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වී තිබේ.

දේවානන්දා කියන දේ

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී EPDP නායක ඩග්ලස් දේවානන්දා පැවසුවේ මෙම විරෝධතාවට තම පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. එවැනි සම්බන්ධයක් ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එය දේශපාලන අරමුණු සඳහා සිදුකරන ව්‍යාජ ප්‍රචාරයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

එම පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් අදාළ විරෝධතාව මෙහෙයවීම පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ පක්ෂය කිසිදු අවස්ථාවක එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් නොගත් බවයි. අදාළ ඡායරූපවලට අනුව පක්ෂයේ ක්‍රියාකාරීන් හෝ මන්ත්‍රීවරුන් කිසිස්වකු එහි නොමැති බව ද ඩග්ලස් දෙවනනන්දා සඳහන් කළේය.

එහිදී අප විමසුවේ සාමාන්‍යයෙන් මෙහෙයවන පුද්ගලයන් ඡායාරූපවලට නොපැමිණෙන නිසා මෙය ද එවැන්නක් විය නොහැකිද යනුවෙනි. එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් දේවානන්දා ඇමතිවරයා පැවසුවේ තම පක්ෂය මෙම විරෝධතාව පිටුපස නොසිටි බව පමණක් පැවසිය හැකි බවයි. දීර්ඝ කාලයක් තිස්සේ යාපනයේ දේශපාලන කටයුතුවල නිරත EPDP පක්ෂය නොදැන මෙවැනි විරෝධතා එහි පැවැත්විය හැකිද යනුවෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ එවැනි විරෝධතා ඕනෑ තරම් පැවතිය හැකි බවයි.

මුදලිගේ තැබූ සටහන

මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙසේ පවසයි.

‘25දා අන්තරේ PTA අහෝසි කරන්න බලකරමින් යාපනය නගරයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. යාපනයේ සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් ඒකට සම්බන්ධ වුණා. ඒ වගේම ඩග්ලස් දේවානන්දාගේ (EPDP) පක්ෂයේ 25ක වගේ පිරිසක් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් එක්ක ඇවිත් හෝල් එක ඉස්සරහා voice cut එකක් මීඩියාවලට දුන්නා ටිකක් අමාරුවෙන් වැනි වැනී. එයා කිව්වා එයාලට අපි කියන ප්‍රශ්න නෑ කියලා. ඒ වගේම අරගලයක් ගැන එයා දන්නේ නෑ කියලා එයාම EPDP කියලා කිව්වා. ඇත්ත. අපි කියන ප්‍රශ්න ඩග්ලස්ගේ පක්ෂයටවත්, ඒ ආව සභාපතිටවත් නෑ. තමන්ගේ අතුරුදන් වුණ දරුවට මරණ සහතිකයක් හරි දෙන්න කියන ප්‍රශ්නය ඩග්ලස්ට නෑ. PTA එකේ අපි කියන මර්දනය ඒ පක්ෂයට නෑ ආණ්ඩුවේ ඔඩොක්කුවේ හුරතල් වෙන නිසා. ඒ නිසා ඊයේ ‘යාපනය ජනතාව විරෝධය දැක්වූවා කියන එක…, EPDP පක්ෂය විරුද්ධ වුණා කියලා වෙනස් වෙන්න ඕන.’ එයාලගේ බල දේශපාලනයට අභියෝගයක් වෙන නිසාම මේක බලාපොරොත්තු විය යුතු තත්වයක්. හැබැයි අපිට ඒක අදාළ වුණේවත් නෑ. සම්මන්ත්‍රණය සිද්ධ වුණා. යාපනේ ඇවිදලා එහේ අය හදලා දුන්න කෑමත් කාල හවස ක්‍රිකට් එහෙමත් ගහලා කොළඹ ආවා. අපි ආයෙත් ළඟදිම යාපනේ යනවා.’

රට යන නිලධාරීන්ට ඩොලර් දීමනා ගෙවීම ජනපති නියෝගයෙන් යළිත් අරඹයි !

රාජකාරි කටයුතු සඳහා විදේශගත වන රජයේ නිලධාරීන්ට ඩොලර් දීමනා ලබාදීම යළිත් ආරම්භ කර තිබේ.

ඩොලර් හිඟය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම දීමනා ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙම දීමනා ගෙවීම ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇත. එම උපදෙස් අනුව පසුගිය 20දා සිට විදේශගත වන රජයේ නිලධාරීන්ට අනියම් දීමනා, සංග්‍රහ දීමනා සහ සංයුක්ත දීමනා ගෙවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව යම් රජයේ නිලධාරියකු රාජකාරි කටයුතු සඳහා විදේශ සංචාරයක නියැළෙන අවස්ථාවකදී අනියම් වියදම් පියවාගැනීම වෙනුවෙන් දිනකට ඇමරිකානු ඩොලර් 25 බැගින් උපරිම දින 15ක් සඳහා ගෙවීම් සිදුකෙරේ. ඉහළ නිලධාරීන් වෙනුවෙන් ඩොලර් 40 බැගින් උපරිම දින 10ක් සඳහා මෙම ගෙවීම සිදුකිරීමට නියමිත ය. එසේම ගෙවීම් අත්හිටුවා තිබූ සංයුක්ත දීමනාව සියයට 30කින් කප්පාදු කර නැවත ගෙවීම් ආරම්භ කිරීමට ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අනුමැතිය ලබා දී තිබේ.

මේ අතර යම් නිල චාරිකාවකදී එහි නායකත්වය දරන ඇමැතිවරයකුට හෝ අමාත්‍යංශ ලේකම්වරයකුට සංග්‍රහ දීමනා ගෙවන්නේ නම්, අදාළ රටේ තානාපති කාර්යාලය හරහා ඩොලර් 750ක මුදලක් ගෙවිය හැකිය.

ඡන්දය : මැතිවරණ කොමිසම අගමැති සමග සාකච්ඡාවකට : රනිල්ට එරෙහිව නඩුවක් !

මූල්‍ය ගැටළු විසඳාගනිමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර මේ සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මැතිවරණ කොමිසම පාර්ශ්වයෙන් එවැනි සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ඉල්ලා ඇති බවත්, එය මේ සතිය තුළ සිදු වනු ඇති බවත් ය.

මේ අතර දෙවරක් කල්දැමීමට සිදු වූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ද මේ සතියේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් (People’s Alliance for Free and Fair Elections – PAFFREL) සංවිධානය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් ඇමතිවරයා ලෙස මැතිවරණයට අවශ්‍ය මුදල් මුදානොහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ද නියමිත ය. පසුගිය 03දා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් මෙම මුදල් රඳවාගැනීම අත්හිටුවමින් නියෝගයක් ද නිකුත් කෙරිණි.

කැබිනට් මණ්ඩලය මගින් අදාළ මුදල් නිකුත් කිරීම වැලැක්වීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මගින් මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මගින් ද අවස්ථා කිහිපයකදී උත්සාහ දරන ලදි. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අවසාන වරට කැබිනට් මණ්ඩලය මගින් දැනුම් දෙන ලද්දේ අත්‍යවශ්‍ය සේවා සඳහා මුදල් නිකුත් කරන ලෙසත්, එසේ නොවන අවශ්‍යතා සඳහා මුදල් ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවත් ය.

මැතිවරණ කොමිසම මගින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමුකරන ලද මුදල් ඉල්ලීමේ ලිපිය සම්බන්ධයෙන් ද ලේකම්වරයා විසින් ප්‍රතිචාර දක්වා තිබුණේ ඇමතිවරයාගේ අනුමැතිය මෙතෙක් නොලැබුණු බවටයි.

පොලිස්පති අධිකරණයට අපහාස කරයි ? : නඩුව – තීන්දුව සහ සැකකරුවන් ඝාතනයේ සත්‍ය කතාව !

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් විමර්ශන කටයුතු සඳහා අදාළ පොලිස් ස්ථානයෙන් පිටතට  රැගෙන යන අවස්ථාවකදී මරණයට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් නොතකා හැරීමෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න අධිකරණයට අපහාසයක් කර ඇතැයි යන සැකය මත ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කැඳවා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්. නවාස් සහ අචල වෙන්ගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් අදාළ නියෝගය පැහැරහැරීම සම්බන්ධයෙන් වන මෙම නියෝගය කර තිබිණි. ඒ අනුව ලබන 03දා පොලිස්පතිවරයා අධිකරණය ඉදිරියේ පෙනීසිටිය යුතුය.

තීරණාත්මක නඩුව කුමක්ද ?

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වීමට අදාළ ව පොලිසිය පාර්ශ්වයෙන් අධිකරණයට ඉදිරිපත් කරන කරුණු සැකසහිත බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් අවධාරණය කෙරුණේ පසුගිය 03දා ය.

මේ නිසා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් විමර්ශන සඳහා රැගෙන යෑමේදී පළායෑමට උත්සාහ කිරීම නිසා පොලිස් වෙඩිපහරවලින් මරණයට පත්වීම වැලැක්වීමට මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව අවධාරණය කරන ලද්දේ 398/2008 අංක දරන මූලික අයිතිවාසිකම් නඩුවට අදාළ තීන්දුවක් ප්‍රකාශයට පත්කරමිනි. කොළඹ – 10, මාලිගාවත්තේ පදිංචි මොහම්මද් රෂීඩ් ෆාතිමා ශර්මිලා විසින් ගොනුකර තිබූ පෙත්සමකට අදාළ ව මෙම තීන්දුව පසුගිය පෙබරවාරි 03දා ලබාදෙන ලදි. බුවනෙක අලුවිහාරේ, ඊ.ඒ.ජී.ආර්. අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඒකමතිකව මෙහි තීන්දුව ලබාදුන්හ. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සහ දිව්‍යා මෑස්කරන් මෙහි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් පෙනීසිටියේය.

කොම්පඥ්ඥවීදිය පොලිස් ස්ථානයේ සැරයන් කේ. ඩබ්ලිව්. ජී. නිශාන්ත, කොස්තාපල් සිද්ධික්, සැරයන් කරුණාතිලක, පොලිස් පරීක්ෂක කේ.එන්.සී.පී. කළුආරච්චි, එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

පළායෑමට උත්සාහ දැරීම

පෙත්සමේ සඳහන් පළමු සහ සිව්වැනි වගඋත්තරකරුවන් විසින් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සමග  2008 වසරේ සැප්තැම්බර් 02දා පස්වරු 1ට පමණ මොහම්මද් නිසාර් මොහොමඩ් ඉර්ෆාන් අත්අඩංගුවට ගෙන ඇත. ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම, මිනීමැරීමට උත්සාහ කිරීම, මිනිමරුමකට සම්බන්ධ වීම සහ මංකොල්ලයකට අදාළ චෝදනා ඔහුට එරෙහිව එල්ල කර තිබේ.

අත්අඩංගුවේදී ඔහු ඝාතනය වී තිබේ. පළායෑමට උත්සාහ දැරීමේදී සැකකරුට වෙඩි තැබීමට සිදු වූ බව පොලිසිය පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති කතාවයි.

සැකසහිත බව

මේ පිළිබඳ බරපතළ සැකයක් මතුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුවේ සඳහන් කරන්නේ මාංචු දමා සිටි සැකකරු සමග ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු සිටියදී පළායෑමට තැත් කළ බවත්, එහිදී ආත්මාරක්ෂාවට වෙඩි පහර 02ක් එල්ල කර ඇති බවත් පොලිසිය පාර්ශ්වයෙන් පැවසීම සැකයට හේතුවන බවයි. එසේ ම මෙවැනි අවස්ථාවක පිරිස සමග සසඳන විට ආත්මාරක්ෂාවට වෙඩි තැබූ බව සඳහන් කිරීම පිළිගත නොහැකි බව ද එමගින් අවධාරණය කර ඇත.

12(1) සහ 13(4)

එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සඳහන් නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය යන වගන්තිය සහ 13(4) සඳහන් නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට අනුකූල ව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස කිසිම තැනැත්තෙකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තෙකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේය යන වගන්තියත් මෙහිදී බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

මෙම අයිතිවාසිකම් ඇතුළු ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය සහ එහි ආයතන බැඳී සිටින බව ද මෙම තීන්දුවේ විශේෂයෙන් අවධාරණය කර තිබේ.

වන්දි නියෝගයක්

මේ නිසා පෙත්සම්කාරියට වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 475,000ක් සහ රජයේ මුදලින් රුපියල් 250,000ක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්

මේ අතර මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වී ඇති ඒ.ජී. සමන්ත ප්‍රීති කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 13දා වැදගත් ප්‍රකාශයක් සිදුකරන ලදි.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ ව අධිකරණයත් නොමග යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේ යැයි සැක මතු වන බවයි. අත්අඩංගුවට ගෙන මාංචු දමා සිටි සැකකරු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සමග පොරබදා පළායෑමට උත්සාහ දැරූ බවට පොලිසිය මගින් වාර්තා කර ඇති තොරතුරුත්, අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙය පහරදීමෙන් සිදු වූ මරණයක් බව සඳහන් කර තිබීමත් යන කරුණු සැලකීමේදී ඒවායේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු වන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය අවධාරණය කර තිබිණි.

මහේස්ත්‍රාත් වගකීම

පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, ඇතැම් අවස්ථාවලදී එය ඉටුනොවන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා අවධාරණය කළේය.

එම පරීක්ෂණයේදී පොලිසිය පවසන කරුණු ඒ ආකාරයෙන්ම සටහන් කරගැනීම වෙනුවට, සාක්ෂිකරුවන් කැඳවීම, කැඳවූ ආකාරය, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවූයේද යන්න වැනි ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබාගත යුතු බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, ඇතැම් මහේස්ත්‍රාත්වරුන් එසේ කටයුතු කළ ද, බොහෝ අවස්ථාවලදී එය දැකිය නොහැකි වීම බරපතළ කරුණක් බව ද සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදු නොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් අවධාරණය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව පෙන්වා දෙයි.

වගකිවයුත්තා කවුද?

1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ පනත හෙවත් වධහිංසා පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානය බාර ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය. එහෙත් බොහෝ අවස්ථාවලදී අධිකරණය මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ එම වගකීම ප්‍රමාණවත් පරිදි ප්‍රශ්න නොකරන අතර, පොලිසියේ සටහන් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගනු ලබයි. විශේෂයෙන්ම මෙවැනි ඝාතනවලදී සුලබව ප්‍රකාශ කෙරෙන්නේ ආයුධ පෙන්වීමට ගෙන ගිය අවස්ථාවේ, සොයාගත් ආයුධයකින් පහරදීමට උත්සාහ දැරීමේදී, පොරබැදීමේදී ආත්මාරක්ෂාව පතා වෙඩි තැබීම, පළායෑමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම වැනි කරුණු ය.

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන සඳහා රැගෙන යන්නේ නම්, ඔහුට මාංචු දැමීම අනිවාර්ය බවත්, එසේ මාංචු දමා ඇති සැකකරුවන් ආයුධවලින් පහරදීමට උත්සාහ කිරීම, ගංගාවලට පැන පළායෑමට උත්සාහ කිරීම වැනි දේවල් සිදු කරන්නේ කෙසේද යන්න සාමාන්‍ය ජනතාවට පවා ඇති වන ප්‍රශ්නයක් වුවද, එය ඇතැම් මහේස්ත්‍රාත්වරුන් විසින් ප්‍රශ්න නොකිරීම බරපතළ ලෙස අවධානයට යොමු විය යුතු කරුණක් බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දෙයි.

තීන්දුව ලැබෙන තුරු නිවැරදිකරුවෙක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ නෙරංජි විජේවර්ධන පවසන්නේ පොලිස් අත්අඩංගුවට ගනු ලබන ඕනෑම පුද්ගලයෙකුට පහරදීමේ හෝ අයිතියක් පොලිස් නිලධාරීන්ට නොමැති බවයි. විධිමත් අධිකරණයකින් අදාළ සැකකරු වැරදිකරු බව තහවුරු කරන තුරු ඔහු නිවැරදිකරුවකු වන බවත්, පොලිසිය දක්ෂ විය යුත්තේ පහර දී තොරතුරු ලබාගැනීමට නොව විමර්ශන කර වැරදිකරුවන් හඳුනාගැනීමට බවත් ඇය අවධාරණය කරයි.

යම් අපරාධයක් සිදු වූ ස්ථානය සහ වින්දිතයන් මෙන් ම සැකකරුවන් ආරක්ෂා කිරීමට දියුණු රටවල පොලිස් නිලධාරීන් ප්‍රමුඛත්වය ලබා දෙන බව සඳහන් කරන කථිකාචාර්යවරිය, ශ්‍රී ලංකාව තුළ විමර්ශනවලට අදාළ බොහෝ කරුණු ක්ෂණිකව මාධ්‍ය ඔස්සේ පළවන බැවින් සාක්ෂි ලබාදීමට ජනතාව මැලිකමක් දැක්වීම බරපතළ කරුණක් බව ද පෙන්වා දෙයි.

අභියාචනා අවස්ථා කුමකටද?

සැකකරුවන් ඝාතනය කිරීම කොතරම් බරපතළ අපරාධයක් ද යන්න පැහැදිලි වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ මීට ලබාදී ඇති විශේෂ අවස්ථා පිළිබඳව අවධානය යොමුකිරීමේදී ය. ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසන්නේ යම් සිදුවීමකට අදාළව පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමෙන් පසුව වුවද, අදාළ පුද්ගලයාට අභියාචනා අයිතිවාසිකම් දෙකක් ඇති බවයි. පහළ අධිකරණයකින් ලබාදෙන තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාව සැකකරුවන්ට ලබා දී තිබේ. ඊට හේතුව යුක්තිය පසිඳලීම එතරම්ම විනිවිදභාවයකින් සිදුවිය යුතු වීම යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කරයි.

නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් ය. ඒ අනුව යම් සැකකරුවකු පිළිගත් අධිකරණයක් හමුවේ වරදකරුවකු බව තහවුරු වන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම අවධාරණය කරන්නේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නඩු විභාගයකින් තොරව තීන්දු ගන්නේ නම් එය අතිශය බරපතළ තත්ත්වයක් බවයි. සැකකරුවකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ බලය ඇත්තේ විනිසුරුවරයකුට පමණක් බවත්, මෙවැනි අත්තනෝමතික ඝාතන මගින් පොලිසිය නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවත් ආචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙසේ සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිවිධාන රැසක් සලසා ඇති තත්ත්වයක් තුළ, මාධ්‍ය මගින් පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන කරුණු මත සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු පළකිරීම බරපතළ තත්ත්වයකි. පිළිගත් අධිකරණයකින් වැරදිකරුවන් කිරීමට පෙර, පොලිසියේ තොරතුරු මත මාධ්‍ය මගින් ඔවුන් අපරාධකරුවන් ලෙස නම්කරනු ලබයි. අදාළ සැකකරුවන් අපරාධ කළ බවට සාක්ෂි දහස් ගණනක් තිබුණද, ඔවුන්ට අදාළ තීන්දුව ගැනීම අධිකරණයේ කටයුත්තක් පමණක්ම බවත්, ඒ තීන්දුව ලැබෙන තුරු ඔවුන් අපරාධකරුවන් බව ඒත්තු යන පරිදි මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීම අනුමත කළ නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා පවසයි. කෙසේ වෙතත් මාධ්‍ය මගින් විධිමත් ලෙස විමර්ශනය කොට, සියලු පාර්ශ්වවල සාක්ෂි සහිතව තොරතුරු වාර්තා කිරීමත්, පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන තොරතුරු මත කරුණු වාර්තා කිරීමත් දෙකක් බව තේරුම් ගත යුතු යැයි ද නීතිඥවරයා අවධාරණය කරයි.

රජයේ වගකීම ?

මෙම පොලිස් අත්අඩංගුවේ ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදන මගින් ද කරුණු සඳහන් කර තිබේ. තම බාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම පොලීසියට සහ රජයට පැවරුණු යුතුකමක් බව නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දුවලදී තමන් බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බව ද එම නිවේදනවල සඳහන් වේ.

මෙවැනි මරණ, නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර, එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වනු ඇතැයිද මිනීමැරීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින පුද්ගලයන්ට එරෙහිව නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් අනතුරුව පමණක් එකී අපරාධවලට දඬුවම් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ. මෙම මරණවලට අධිකරණමය නොවන (Extra-judicial killings) ඝාතනවල සියලු ලක්ෂණ ඇති බවත්, සිය බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම සංගමය අවස්ථා ගණනාවකදී පොලිස්පතිවරයාට අවධාරණය කර තිබිණි.