සතියක් හැර සතියක් CID එන්න බෑ : තරුණයන් 11ක් අතුරුදන් කළ නඩුවේ චූදිත ලුතිනන් කමාන්ඩර්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි !  

Share post:

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇති නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට එරෙහිව පනවා ඇති ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කෙරිණි.

අද (27) මෙම ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය. මෙම නඩුව විභාග කෙරෙනුයේ අමල් රණරාජා, නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන් ඉදිරියේ ය.

සෑම මසකම පළමු සහ තුන්වැනි ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස චූදිත හෙට්ටිආරච්චිට අධිකරණයෙන් ඇප කොන්දේසියක් පනවා තිබේ. ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණේ මෙම ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙසයි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න මෙම ඉල්ලීමට දැඩි විරෝධය පළකළාය. ඇය අධිකරණයට පෙන්වාදුන්නේ විත්තිකාර හෙට්ටිආරච්චි වසර 2කට ආසන්න කාලයක් අධිකරණය මගහැර රටින් පළාගොස් සිටි අයෙකු බවයි. එම නිසා ඇප කොන්දේසි ලිහිල් කළහොත්, යළිත් ඔහු රටින් පළායෑමේ හැකියාවක් ඇති බව ද නීතිඥවරිය අවධාරණය කළාය.

2008 අගෝස්තු 08 සහ 2009 සැප්තැම්බර් 21 අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී කස්තුරි ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජේ. ඩිලාන්, අමනන් ලියෝන්, ඇන්තනී කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන්, මොහොමඩ් අලි අන්වර් යන පිරිස ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපොළ බලහත්කාරයෙන් ලබාගැනීම, තරුණයන් අතුරුදන් කිරීමට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 667කට අදාළව නීතිපතිවරයා විසින් මෙම විත්තිකරු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත.

මෙහි විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර ඇත්තේ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, දිලංක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්‍රිආරච්චිගේ ගාමිණී, උපුල් චමින්ද, චන්දන ප්‍රසාද් හෙට්‌ටිආරච්චි, නන්දප්‍රිය හෙට්ටිහැන්නදි, සම්පත් ජනක පෙරේරා හා වසන්ත කරන්නාගොඩ ය.

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...