අනිල්ගේ ‘සැණෙලි වියුම්’ සහ ‘ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්’

Share post:

අනිල් හේරත්ගෙ පළමු කෙටි කතා සංග්‍රහය වන ‘සැණෙලි වියුම්’ සමඟ මෑතක දී පළකෙරුණු ‘ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්’ කතා එකතුව විමසීමේ දී අප කියවාගත් ලකුණු මෙපරිදි වෙයි. පහසුව තකා කෘති දෙකේ ම ලකුණු පොදුවේ දක්වනු රිසියෙමි.
කෙටි කතාවක් කෙටි වියයුතු ම ද, කෙටි විය යුත්තේ නම් ඒ කොතැනින් ද, දිගු කෙටි කතා තිබිය නොහැකි ද, කෙටි කතාවක් කෙටි ම කෙටි වූ විට එය කෙටි කතාවක් නෙමේ ද යන පැන සඳහා අනිල් හේරත් කට වසාගෙන පිත්තෙන් හයේ පහරක් එල්ල කර ක්‍රියාවෙන් පිළිතුරු දෙන කෙටි කතා සංග්‍රහ දෙකකි මේ.

කෙටිකතාවක තිබිය යුතු සේ සැලකෙන ශිල්පීය ලකුණු එලෙස ම තිබියදීත් පිටුවකින් දෙකකින් කලාත්මක කතාවක් එක් පිඬක්ව සාරයක්ව රැස් කිරීමේ සමතෙකි, මේ කතුවරයා. කතාව කෙටි ම කෙටි වුවත් සම්පූර්ණ කතාවක් ඒ හැම එකක ම තිබෙයි. නොඑසේ නම්, කෙටිකතාවක් කියැවූවිට කියවන්නාගේ බඩ හොඳට පිරෙයි. කිවිය යුතු දේ කියයි. මැවිය යුතු දේ මවයි. එන්න කියා වාඩි කරවාගෙන, දුප් කියා එළවයි.

ආකෘතිය පැත්තෙන් සැලකූවොත්, මේ හැම කතාවක ම පාහේ ආරෝහණයක්, මැදක්, අවරෝහණයක් වෙයි. කියවන්නාව කනපිට ගසන තැන, හිතන්නට සලස්වන තැන, හරඹය පාන තැන, උච්චස්ථානය කතාවසානයට ගෙන එයි.

අනිල් හේරත් මේ කෙටි කතා වවන්නේ තිරස් අතට නොවේ, සිරස්ව ය. එබැවින්, අපට එක් එක් කරුණකට විසාල විස්තර පදාස එළනු නොපෙනේ. නමුත් පුදුමය නම් එසේවුවත් අඩුවක් නොදැනීම ය. එක ම දෙය දිගට දිගට එපාවෙනකම් හිතෙ තියෙන සේරම ලියාගෙන වවාගෙන උයාගෙන පිහාගෙන කියවන්නාටත් එපා කරවාගෙන හෑලි ලිවීමේ සහ ඒ හෑලිවලින් පිටු පිරවීමේ උන්මාදයක් කතුවරයාට නැති බැවින් කියවන්නාට මහත් පහසුවක් දැනේ. චරිත, පසුබිම, නිරූපණ, සංඛේත, ජීවිත තතු සියල්ල කෙටි වචන, වාක්‍යය බැගින් ගෙන ලැයිස්තු ක්‍රමයට නැතිනම් පොයින්ට් ක්‍රමයට අහුරා, අපගේ ඔළුවට දමන බැවින්, වරු ගණන් ගෙන ඒ කතාවල කොටස් කඩා පෙරා ඔළුවට දමාගැනීමේ ගැටලුව මතු නොවේ.

මේ කතාවල භාෂා ලක්ෂණය අප සිත් ගත්බව කිව යුතු ය. පොයින්ට් ක්‍රමයට එක වචනයක් කියා, ඒ දිගට සෙසු වචන අහුරක් අමුණන කතුවරයා, වාක්‍යාංශ / වාක්‍ය කොටස් ප්‍රධාන වාක්‍යයේ පසුපසට එක් කරයි. ජේද ගණන් දිගු වාක්‍යය හරඹ කරන්නට ගොස් කතාව අවුල් කර නොගනී. අනෙක් අතින් මේ බස කවි ගුණ දරයි.

කෙටි කතාවල චරිත අප වෙත එන්නේ, සමාන්තර හඳුන්වාදීමේ ක්‍රමයකට ය. එනම්, ‘එයා. මෙහෙට ගියා. මේක ගත්තා. හෙමින්..’

‘මෙයා. අරහෙන් ආවා. අරක දුන්නා. දුරින්..’ වැනි එකක් සමඟ අනෙක් යමකුත් සමාන්තරව, ද්විත්වව ගළපන වාක්‍යය ක්‍රමයකිනි. ‘සැණෙලි වියුම්’ පොතේ බොහෝ කතාවල නම් පවා දෙජාතියක මුහුවක් බව පෙනේ. ඇනා කැරනිනා පොතේ පරිච්ඡේදයකින් පරිච්ඡේදයකට තෝල්ස්තෝයි යන්නේ මෙවැනි ම ද්විත්ව කථා වින්‍යාසයකිනි.

මේ කෙටිකතා කෙටි ම කෙටි වෙද්දීත්, සියලු ලකුණු අඩු නොකර රඳවා තබාගද්දීත්, අඩු පිටු ප්‍රමාණයකින් කතාව කියද්දීත්, කතාව බාගෙට කිව්වා සේ හෝ කියන්නට තිබූ ටික ගිලගත්තා සේ හෝ කම්මැලිකමට ඔහේ ලිව්වා සේ හෝ නොහිතීමට හේතුව, කතාවට අදාළ පොඩි පොඩි දේ, අත්තිවාරම් ගොඩනැගූ පසුබිමක් බවට පත්කිරීමයි. එය ඔහු කරන්නේ වචනයෙන් දෙකෙන්, වාක්‍යයෙන් දෙකෙන් පමණයි. නමුත්, වැඩේ සිද්ධ වෙයි.

‘අත් සහ මාංචු’ කතාවෙදි උච්චස්ථානය ගන්න තැන, බලය දරන හා නොදරන දෙන්නෙක්ව පැරලල් නිරූපණයකරන හැටි… ‘රතු සහ කළු’ කතාවෙ දි බොහෝ දේ ගානට, මිම්මට, තිතට දිග, පළල, අංශක ආදිය කියවෙන යන්ත්‍ර ජීවිත වගේ… මේ කතා, නූතන කෙටිකතා රචකයන් කියවිය යුතු කතා.

‘සැණෙලි වියුම්’ වලට සාපේක්ෂව බලතොත් ‘ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්’ කෙටිකතා එකතුවේ දී කතුවරයා, මුල් කෙටිකතාවල තියෙන සාර කිරීමේ ගුණය හෝ ශිල්පීය ලකුණු වෙත ම නැඹුරු වී සිටීමේ ගුණයෙන් ඒ බැමි තරමක් ලිහිල් කිරීමට පෙළඹෙයි. අත පය මුදා හැර විවේක ගනී. බොහෝ කතා බය නැතිව වවන්නට ගනී. තවත් කතා කවි කරයි. ඇතැම් කතා කෙටි ම කෙටි ම කෙටි ම කෙටි ම කෙටි ම කෙටි ම කර දෙකට තුනට නවා සාක්කුවේ දාගනී.

‘වැහි මල්’, ජී.බී.සේනානායකගේ කතාවල මෙන් මනෝ කේන්ද්‍රීයව ගොඩනැගුනක් සේ දැනෙයි. ‘කළු අඩි රතු සපත්තුව’, ‘රැළි සහ ටියුලිප්’.. ඇතුළු කතාවලට වැකියෙන් දෙකෙන් මෙසේ විමසුම් දීම සාධාරණ නොවෙයි. වේලාව ලැබෙන පරිදි ඒවා පසුව කියාලමි.

මේවායේ කතාවසාන කලින් කතාවල මෙන් නිතර ම උච්චස්ථානයකින් අවසන් නොකරයි. හිස්ව තියයි. කතා වුණත්, අජිත් තිලකසේනගේ කතාවල මෙන්, දකින පෙනෙන දේ අපට කියා පෙන්වා මවා, බබා සේ අපට බලාඉන්නට කියා සියලු පිති හරඹවල් පා, අපිට ඕනෑ හැටියකට හිතාගන්නට ඉඩ දී අනිල් හේරත් බෑග් එකත් එල්ලන් යන්න යයි.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...