ඉන්ධන පිරවුම්හල් 450ක් පිටරට සමාගම් 3කට : පෞද්ගලිකකරණයක් නෙමෙයි, ඇත්ත මෙන්න – වෘත්තීය සමිති

Share post:

විදේශීය සමාගම් 3කට මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා අද (27) කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පවසන්නේ Hell PLC සමග එක්ව චීනයේ Sinopec, United Petroleum of Australia සහ USA RM Parks යන සමාගම් සඳහා මෙම අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අදාළ සමාගම්වලට වසර 20ක බලපත්‍රයක් හිමිවීමට නියමිත ය. මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම යන කාර්යයන් සඳහා ඔවුන්ට මෙම බලපත්‍රය හිමි වේ.

නියෝජිත ඉන්ධන පිරවුම්හල්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක නියෝජිත ඉන්ධන පිරවුම්හල් 450ක් රට පුරා තිබේ. එම නියෝජිත පිරවුම්හල් 450, අදාළ සමාගම් 3ට 150 බැගින් ලබාදීමට සැලසුම් කර තිබේ.

එදා තීරණය

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව පැවති කාලයේදී ඉදිරිපත් වූ ලංකා ඛනිජ තෙල් සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අනුව සංස්ථාව කොටස් 03කට වෙන්කෙරිණි. ඒ අනුව සංස්ථාවේ කොටස්වලින් සියයට 33ක් සංස්ථාවට හිමි විය. ඉන්දියන් ඔයිල් සමාගමට සංස්ථා කොටස්වලින් සියයට 33ක් හිමි විය. ඉතිරි සියයට 33 නියෝජිත මට්ටමේ පැවති අතර, එය ලබාගැනීම සඳහා චීනයේ Sinopec සමාගම ඒ කාලයේදී ද ටෙන්ඩර් ඉදිරිපත් කළේය. එහෙත් එය සිදු වූයේ නැත.

‘පෞද්ගලිකකරණයක් නෙමෙයි’

මෙම කැබිනට් තීරණය සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ මෙය පෞද්ගලිකකරණය කිරීමක් ලෙස හැඳින්විය නොහැකි වුවද, මේ හරහා සිදුකිරීමට උත්සාහ දරන ක්‍රියාවලිය අතිශය බරපතළ බවයි.

ලාභාංශ අහිමි වෙයි

මෙම ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික ඒවා වුවද, ඒවායින් සංස්ථාවට ලැබුණු ලාභාංශ මෙමගින් අහිමි වේ. එසේ ම ඇමතිවරයා සඳහන් කළ ආකාරයට මෙම තීරණය මගින් ඉන්ධන මිල අඩුවීමක් හෝ සංස්ථාවේ සේවක ප්‍රමාණය අඩුවීමක් ද සිදුනොවන බව ආනන්ද පාලිත පෙන්වා දෙයි.

ඉන්දියන් ඔයිල් උදාහරණය

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්දියන් ඔයිල් සමාගමට මෙරට ඉන්ධන ව්‍යාපාර සිදුකිරීමට අවස්ථාව ලබාදෙන විට එයින් තරගකාරීත්වයක් ඇතිවන නිසා ජනතාවට වාසි සැලසිය හැකි බව පැවසුණද, එවැන්නක් සිදු නොවූ බවයි. ඉන්පසු ක්‍රමයෙන් ඉන්දියන් ඔයිල් සමාගම මෙරට ඉන්ධන අලෙවිය වර්ධනය කරගත් බවත්, මේ වන විට එම සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 140 ද ඉක්මවන බවත් ඔහු පැවසීය.

එසේ ම උතුරු – නැගෙනහිර පළාත්වල ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් 35ක් එම සමාගමට ලබාදීමට ද තීරණය කර තිබේ.

අවදානම මෙන්න !

මේ ආකාරයට ම අද (27) ගන්නා ලද කැබිනට් තීරණය මගින් ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් අක්‍රීය වන බවත්, ඉන්පසු සංස්ථාවේ ඉතිරි කොටස් ද සමාගම්වලට ලබාදීමට පසුබිම නිර්මාණය කරගනු ඇති බවත් අප වෙත අදහස් දක්වමින් ප්‍රකට වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත අවධාරණය කළේය.   

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...