විරාත් කෝලි ඉවතට ?

Share post:

2024 T20 ලෝක කුසලානය සඳහා විරාත් කෝලි ඉවත් කරන බවට කතාවක් ඉන්දියාව පැත්තෙන් ඇහෙනවා.
ප්‍රසිද්ධ ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය සියල්ලම මේ පුවත වාර්තා කරලා තිබුණා.
මේ පුවත සත්‍යයක් දැයි හරියටම තහවුරු කර නැහැ.
එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් ඉන් කියවෙන පණිවිඩය බොහෝ වටිනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ මේ මොහොතේ ගෝලිය සංකේතය විරාත් කෝලි.
තර්කයකින් තොරවම වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පිතිකරුවා විරාත් කෝලි.
ඕනෑම කණ්ඩායමක් සිහින මවනා, ලොව ඕනෑම කණ්ඩායමක ස්ථානයක් වෙන්වන ක්‍රීඩකයෙකු ඇත්නම් ඒ කෝලි.
තනිව තරග දිනවිය හැකි, ඔහු වැනි ක්‍රීඩකයෙක් සමග කණ්ඩායමක් නාම පත්‍රිකාවේදීම ප්‍රබල කණ්ඩායමක්.
එවැනි විරාත් කෝලිගේ ස්ථානය පවා ඉන්දියාවේ දී අස්ථිර බව මේ ප්‍රවෘත්තිය කියනවා.
විරාත් කෝලි ඉවත් කර ඒ වෙනුවට ආදේශ කළ හැකි වඩා හොඳ යෞවනයන් සිටින බවට ඉන්දියාව සංඥාවක් දෙනවා.
අවම වශයෙන් ඉන්දීය කණ්ඩායමේ කෝලි ගේ ස්ථානය පවා ස්ථිර නැති බවත්, කෝලි ඉවත් කළ හැකි නම් වෙනත් ඕනෑම ක්‍රීඩකයෙකු ඉවත් කළ හැකි බවත් ඉන් අනියමින් කියවෙනවා.
ඉන්දීය කණ්ඩායමේ දී සිය ස්ථානය ආරක්ෂා කරගත යුතු නම්, දක්ෂතා දැක්වීම හැර වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බවත් එහි ගැබ්වී තිබෙනවා.
ඒ තරගකාරීත්වය විසින් සාර්ථක වීම හැර වෙනත් විකල්පයක් නොමැති කණ්ඩායමක් ගොඩනගනවා.
වත්මන් ඉන්දීය කණ්ඩායම ලැබූ සාර්ථකත්වයන් පසුපස, කිසිදු ක්‍රීඩකයෙකු කණ්ඩායමට වඩා විශාල වීමට ඉඩ නොදීමේ මේ ප්‍රතිපත්තිය විශාල හේතුවක්.
වර්තමාන සුදු පන්දුවේ ලොව හොඳම වේග පන්දු යවන්නා ජස්ප්‍රිත් බුම්රා.
නමුත් ඔහු ආබාධයකට ලක් වූ විටෙක ඉන්දියාව කඩා වැටුණේ නැහැ.
ශාමි සහ සිරාජ් පැමිණ ඒ හිස්තැන පිරවූවා.
පසුව බුම්රාගේ අඩුව නොදැනෙන තැනකට ඉන්දියාව ආවා.
ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩක හාර්ඩික් පාන්ඩ්‍යා ආබාධයකට ලක් වුණා.
ඔහුගේ ස්ථානයට පැමිණි ක්‍රීඩකයන් නිසා පාන්ඩ්‍යාට සිය ස්ථානය යළි තහවුරු කරගැනීම පවා අපහසු වුණා.
දැන් ඉන්දියාව විරාත් කෝලි ගේ ස්ථානය පවා සෙලවීමට සුදානම්.
කෝලිට වඩා ස්ථානය ස්ථිර විය හැකි තවත් ක්‍රීඩකයෙකු, ලොව කිසිඳු කණ්ඩායමක නැහැ.
ඔහුගේ ස්ථානයත් අස්ථිර නම්, සෙසු ක්‍රීඩකයන් ගැන කතා කිරීමට හෝ දෙයක් නැහැ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ඉවත් කළ නොහැකි තරමේ විශාල ක්‍රීඩකයෙකු නොමැති බව පෙනෙනවා.
විරාත් කෝලි ගේ හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් දශමයකුදු හෝ නොමැති ක්‍රීඩකයන් වෙනුවෙන් ස්ථිර ස්ථාන ලියවා දී තිබෙන ශ්‍රී ලංකාවට නම් ඉන්දියාවේ මේ තේරීම් ප්‍රතිපත්තිය ආදර්ශයක් විය හැකියි.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...