දේශපාලක – නිලධාරි – භික්ෂු රජ තුන්කට්ටුව හවුලේ කළ ඉඩම් කොල්ලයට අධිකරණය හරස් වෙයි !

Share post:

අනුරාධපුර, ගල්නෑව හා නාකොළගනේ යන ප්‍රදේශවල ජනතාවට සහ සතුන්ට හානිවන පරිදි අක්කර 4,500ක් වටා ඉදිකර ඇති අලි වැට වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වලත්තෑවේ රාහුල හිමියන්ට පසුගිය 12දා නියෝග කළේය.
එම ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ නිවාස ආවරණය වන පරිදි ඉදිකර ඇති අලි වැට ඉවත් නොකිරීමට වගබලාගන්නා ලෙස ද වගඋත්තරකාර රාහුල හිමියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරිණි.

තමන්ගේ පන්සලට සන්නසකින් හිමිව ඇති බව කියමින් අක්කර 4,500ක ඉඩම් වපසරියක් කොටස් කර විවිධ වානිජ වගා කටයුතු වෙනුවෙන් ලබාදීමට මෙම භික්ෂූන් වහන්සේ ක්‍රියාකර ඇති අතර, එයින් ප්‍රදේශයට සිදුවන පීඩාවට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම නඩුව පවරා තිබිණි.

ලංකා විදුලිබල මණ්ඩලයේ හා පොලිසියේ සහාය ඇතිව එම ආයතනවල අධීක්ෂණය යටතේ එම අලි වැට ඉවත් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අප කළ විමසීමකදී පැවසුවේ මුලදී මෙම අලි වැට ඉවත් කිරීමට අධිකරණය ඉදිරියේ පළ කළ එකඟතා වගඋත්තරකරුවන් කඩ කර ඇතැයි තමන් අධිකරණයට පෙන්වා දුන් බවයි.

මේ ලිපිය එහි පසුබිම විමසා බැලීමකි.

වලත්තෑව රාහුල හිමි සහ වලත්තෑව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාළුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව, කැලේගම යන ග්‍රාම නිලධාරි වසම්වල පිහිටි අලි-ඇතුන්ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් ඇතුළු ව ජනතාවගේ වගා බිම් විශාල ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන නාකොළගනේ රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර ව්‍යාපාරිකයන්ට සහ විවිධ සමාගම්වලට බදු දීමේ ජාවාරමක් සැලකිය යුතු කාලයක සිට සිදුකරයි.

තනි වාක්‍යයකින් එසේ මෙම ජාවාරමේ සමස්තය පැහැදිලි කළ හැකිය. මේ සඳහා ආණ්ඩු පක්ෂ – විපක්ෂ දේශපාලනඥයන්ගේ සහායත්, ප්‍රදේශයේ පොලිස් ස්ථාන බාර ස්ථානාධිපතිවරුන්ගේ සහායත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ඉඩම් නිලධාරීන්ගේ සහායත් නොඅඩුව ලැබිණි. නිකවැරටිය සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් වලත්තෑව රාහුල හිමියන්ට මෙම ඉඩම් කොල්ලය සඳහා ව්‍යාජ සන්නසක් සකස් කර දී ඇත.
සන්නස් ඉඩම් නැත. ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අවසාන ගම් සිතියම් පරීක්ෂා කිරීමේදී තහවුරු වී ඇත්තේ සන්නස් ඉඩම් මෙම ප්‍රදේශයේ නැති බවයි. මෙම ප්‍රදේශයේ ඇති සියලු ඉඩම් රජයට අයත් බවයි.

ගල්කඩවල මහා විහාරය, නාකොළගනේ පුරාණ රජමහා විහාරය, අතරගල්ල ශ්‍රී විජයාරාමය, කෝන්වැව විහාරය හා දේවගිරිපුර විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති ධුර දරමින් වලත්තෑව රාහුල හිමියන් අතරගල්ල ශ්‍රී විජයාරාමයේ වැඩ වාසය කරන අතර, රාහුල හිමියන්ගේ බෑණනුවන් වන වලත්තෑව සුනන්ද හිමි නාකොළගනේ පුරාණ රජමහා විහාරයේ වැඩ වාසය කරයි.

රාහුල හිමියන් අතරගල්ල කණිෂ්ඨ විද්‍යාලයේ උප විදුහල්පති ලෙස කටයුතු කළ සමයේදී පාසලට අයත් අක්කර 2ක භූමියක් ඩෙල්මෝ සමාගමට අඹ වගාකිරීම සඳහා බදු දී තිබේ. මීට අමතරව නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අයත් අක්කර 20ක භූමියක් ද ඩෙල්මෝ සමාගමට බදු දී ඇත.
නාකොළගනේ එක්සත් මරණාධාර සමිතියේ සභාපති ජයකොඩි ආරච්චිලාගේ සියාතුහාමි නැතහොත් ආරියපාල විසින් පාලුකඩවල වැවේ ඉහත්තාවේ අක්කර 5ක භූමියක් නීතිවිරෝධී ව වගා කළ අතර, විවිධ ව්‍යාපාරිකයන්ට රජයේ වනාන්තර ඉඩම් ලබාදීමේ ක්‍රියාවලිය රාහුල හිමියන් හා එක් ව සම්බන්ධීකරණය කර ඇත්තේ ඔහු විසින් බව අනාවරණය වී තිබේ. අඹන්පොල පොලීසියේ ඉහළ නිලධාරියකු විසින් කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ කොණ්ඩගල කන්ද වටා පිහිටි අක්කර 8ක වනාන්තර භූමියක් සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා ලබාගෙන ඇත්තේ ද මෙම පුද්ගලයාගේ සම්බන්ධීකරණය යටතේ ය.

ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සහ පර්යේෂක සජීව චාමිකර පෙන්වාදෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ද මෙසේ ඉඩම් ලබාගෙන ඇති බවයි. රාහුල හිමියන්ගෙන් බදු පදනම මත ලබාගත් පාලුකඩවල වැව ඉහත්තාවේ කඳුබොඩයාගම ප්‍රදේශයේ අක්කර 5ක පමණ භූමියක ඔහු ගස්ලබු වගාබිමක් පවත්වාගෙන ගියේය. ඒ ආසන්නයේ පිහිටි අලි – ඇතුන්ගේ වාසස්ථානයක් වන වනාන්තර ඉඩම් අක්කර 50ක් ද එළිපෙහෙළි කරමින් වගා බිම් ව්‍යාප්ත කිරීමට සූදානම් වුවද, විරෝධතා නිසා එය වැළකිණි. ඩෝසර් යන්ත්‍ර භාවිත කර මාර්ග සකස් කර වනාන්තර එළිපෙහෙළි කිරීම දිගටම සිදුවීම නිසා වනාන්තරයේ ජීවත් වූ අලි – ඇතුන් ගම් වැදීම බහුල ව සිදු වෙමින් පවතී.

බදු දීම සිදුකරන ඉඩම් නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අයත් බව සඳහන් කළ ද, ඒ පිළිබඳව කරුණු සොයාබැලීමේදී තහවුරු වූයේ මෙම ඉඩම් මී ඔය ව්‍යාපාරය සඳහා අත්පත් කරගත් ඉඩම් බවයි. 1948 වසරේදී පමණ ඩී. එස්. සේනානායක විසින් මී ඔය ව්‍යාපාරය හෙවත් අතරගල්ල ව්‍යාපාරය ආරම්භ කර තිබේ. මී ඔය හරස් කර ඉදිකර ඇති අඹකොළ වැව, අතරගල්ල වැව හා පාලුකඩවල වැව පුළුල් කිරීමෙන් ආරම්භ කළ අතරගල්ල ව්‍යාපාරය යටතේ ගොවි ජනතාවට ඉඩම් ලබාදීම 1953 වසරේදී ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අත්පත් කර ගත් ඉඩම්වලට වන්දි ගෙවීම 1968 වසරේදී අවසන් කර ඇත.

අතරගල්ල ව්‍යාපාරය යටතේ මෙම ප්‍රධාන වැව් 03ට අමතරව පාලුව වැව, අරසන් වැව හා වන්නිකුඩා වැව යන වැව් 03ට ද ජලය සැපයෙන අතර, මේ සියලු වැව්වලින් අක්කර 4,000ක පමණ කුඹුරු ඉඩම් වගා කෙරේ. මෙම වැව් යටතේ අඹකොළ වැව, නිකවල යාය, සේරුගොඩ, අලුත් කොලනිය, වානේ කොලනිය, ඒරියාව, නාකොළගනේ, වෙහෙරගොඩයාය, යක්දෙස්සාව, පාලුකඩවල, කුරුන්දෑව, ජාගම, කට්ටකඩුව යන ගම්මානවල ගොවි පවුල් 1,000 ක් පමණ වගා කටයුතුවල නිරත වේ.

නාකොළගනේ, කඳුබොඩයාගම යාය, කිරිබත්පැලැස්ස, කරඹෙයාය, පූලෑ අමුණ, උල්පතේ යාය, ගුරුගොඩ යාය, අගුරුවැල්ල, හඳුගොඩයාය, මඩදෙනිගම යාය, කිවුලේගම යාය යන ප්‍රදේශවලට අයත් ඉඩම් ඩෙල්මෝ සමාගම, දේශානි එන්ටර්ප්‍රයිසස් යන ආයතනවලට මෙන් ම මීගමුව ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයන්ට විකිණීම රාහුල හිමියන් විසින් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

පුරාවිද්‍යාත්මකව වටිනා ස්ථාන රැසක් ද මෙම ප්‍රදේශයේ පවතී. නාකොලගනේ රජමහා විහාරය, ගුරුගොඩයාය, වෙහෙරගල, කරගස්සන රජමහා විහාරය හා ආඩිගම – කිරිබත්පැලැස්ස මෙන් ම වනාන්තර තුළ කටාරම් සහිත ගල් ලෙන් රැසක් ද පවතී.

ලංකාවේ අලි – මිනිස් ගැටුම වැඩි ම ප්‍රදේශ අතරින් එකක් ලෙස සැලකෙන වයඹ කලාපයේ රක්ෂිත ප්‍රදේශවලින් පරිබාහිරව බොහෝ වැව් හා හුදෙකලා වූ වනාන්තර කුට්ටි ආශ්‍රිත ව සැලකිය යුතු අලි ගහනයක් ජීවත් වේ. එම සතුන් දහවල් කාලයේ රැදී සිටීමට මෙම වනාන්තර කුට්ටි භාවිත කරන අතර, රාත්‍රී කාලයේදී වගාබිම්වලට හා වැව් ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණේ. එවැනි වනාන්තර ප්‍රදේශ ය, මේ ආකාරයෙන් එළිපෙහෙලි කර ව්‍යාපාරිකයන්ට ලබාදී ඇත්තේ.

2011 වසරේදී ප්‍රකාශයට පත් කළ මෙරට අවසන් අලි – ඇතුන් සංගණනයේ සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය අයත් වන වයඹ පළාතේ අලි – ඇතුන් 1,189ක් පමණ ජීවත් වේ. එය ලංකාවේ වාර්තා වන සමස්ත අලි – ඇතුන් ප්‍රමාණයෙන් සියයට 20කි. එම සතුන්ට වාසස්ථාන සපයන වනාන්තර හා තෘණ භූමි ඉතිරි වී ඇත්තේ ඉතා ම සුළු ප්‍රමාණයකි.

2018 වසරේදී අවසන් වරට සිදුකෙරුණු ඉඩම් භාවිතය පිළිබඳ ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව පෙනී යන්නේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවම වනාන්තර ප්‍රතිශතයක් ඉතිරි වී ඇති බවයි. හෙක්ටයාර 481,600ක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ස්වභාවික වනාන්තර ලෙස වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ළඳූ කැළෑ හා තෘණ භූමි ඉතිරි ව ඇත්තේ හෙක්ටයාර 66,228ක ප්‍රමාණයකි. එය දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 14ක් පමණ වේ.

වනාන්තර මේ ආකාරයෙන් අඩු මට්ටමක පැවතීම අලි – මිනිස් ගැටුම උග්‍රවීමට සහ ජල මූලාශ්‍රවල ජල පෝෂක ප්‍රදේශ ප්‍රමාණය අඩුවීමෙන් පානීය හා වාරි ජල අර්බුද ඇතිවීමට ද හේතු වී තිබේ.

රාහුල හිමියන්ගෙන් බදු පදනම යටතේ ලබාගත් සියලූම වනාන්තර ඉඩම් මේ වන විට එළිපෙහෙළි කර ඇති අතර, විදුලි වැටවල් යොදා එම ඉඩම් සියල්ල ම ආවරණය කර තිබේ. මේ නිසා පාලුකඩවල වැව ඇතුළු ව අලි – ඇතුන්ගේ වාසස්ථාන හා ප්‍රධාන ආහාර බිම් වෙත පිවිසීමට ඇති අවස්ථා අහිමි වීම හා අවහිර වීම සිදු වී ඇත. මේ නිසා මෙම සතුන් ගම් වැදීම වැඩි වී ඇති අතර, දරුණු අලි – මිනිස් ගැටුමක් මෙම ප්‍රදේශයේ නිර්මාණය වී ඇත. මේ තත්ත්වය පාලනය කිරීමට නම් මෙම සියලු විදුලි වැටවල් ගලවා ඉවත් කිරීම මෙන් ම නීති විරෝධී වගා බිම් සියල්ල නැවත අලි – ඇතුන් ඇතුළු සියලූම සත්ත්ව ප්‍රජාව වෙනුවෙන් හා ජල පෝෂක බිම් වෙනුවෙන් ආරක්ෂා කළ යුතුය.

මේ සම්බන්ධව සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මිනිසුන්ට සහ සතුන්ට හානිවන ලෙස සකස් කර ඇති සියලු අලි වැටවල් ඉවත් කරන ලෙස නියෝග කරන ලද්දේ.

ශාලික විමලසේන

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...