ජනාධිපතිට වුවත් ජනාධිපතිවරණය වෙනස් කරන්න බලයක් නැහැ – “1977 ඡන්දෙන් පරාජය වුණාම ප්‍රසන්නගේ මහ ගෙදරට ගිනි තිබ්බෙ රනිල්ගේ එජාපය”

Share post:

ජනමත විචාරණයකට යෑමේ උපක්‍රමයක් මගින් 2024 පැවැත්විය යුතු ජනාධිපතිවරණය නොපවත්වා මගහැර යන උපරවැට්ටියකට ආණ්ඩුව අර අඳින බවට දේශපාලන අංශ තුළ සැකයක් මතුව තිබේ. ඒ සම්බන්ධව ඇති ව්‍යවස්ස්ථානුකූල භාවය හා නෛතික ස්වරූපය පිළිබඳව හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා ගෙන් ප්‍රශ්න කළෙමි. එහිදී හිටපු අග විනිසුරු මෙසේ පැවසීය.

“විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමක් ගැන මේ අවස්ථාවේ කතා කිරීමේ කිසිම තේරුමක් නැහැ. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තවත් ඇත්තේ මාස හතරක් පහක් පමණයි. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ආවොත් ඒක ආපහු කැබිනට් මණ්ඩලයට යන්න ඕන. කැබිනට් එකේදී ආණ්ඩුව ඒක ඉදිරිපත් කරන්නේ නැහැ කියලා දැනුම් දුන්නොත් ආපහු ඒක පාර්ලිමේන්තුවට එනවා.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධව පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා දිවුරුම් දුන් නොවැම්බර් මාසයට මාස තුනකට පෙර අගෝස්තු මාසයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරණය සඳහා වූ ක්‍රියාදාමය ආරම්භ කළ යුතුයි. නියමිත දිනය වන විට ජනාධිපතිවරණය පවත්වා අවසන් විය යුතුයි. දින වකවානු නිශ්චිතව ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා.

ඒවා කිසිවකුට වෙනස් කරන්න බැහැ. ජනාධිපතිට වුවත් එය වෙනස් කරන්න බලයක් නැහැ. ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සිදුවිය යුතුමයි. ජනාධිපතිට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු 4 ක් ගෙවුණු පසු මහ මැතිවරණය කැඳවිය හැකියි. නමුත් මේ ජනාධිපතිට රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර කැඳවීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ . ඔහුට අවශ්‍ය නම් ජනාධිපති ධූරයෙන් අස්වෙන්න පුළුවන්. එවිට ඉතිරි කාලය සඳහා නව ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත් කරනවා. ජනාධිපතිවරණයකින් මැන්ඩේට් එකක් ලැබූ ජනාධිපතිවරයකුට පමණයි හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය හිමිවන්නේ. මේ ජනාධිපතිවරයාට එහෙම මැන්ඩේට් එකක් නෑ.

රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයක් කෝල් කරන්න බෑ. එයා ජනාධිපති ධුරයේ ඉතිරි කාලය ආවරණය කරන අනුප්‍රාප්තිකයෙක් පමණයි. ජනවරමකින් පත් වූ අයෙක් නොවෙයි. රටේ මතයක් තියෙනවා ඔහු සීමා වෙන් එහාට ගිහින් කටයුතු කරනවා කියලා. ඒක එහෙම වෙන්නේ ඔහු කරන සෑම කටයුත්තකටම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබෙන නිසා. ඒ අය ඕනම දේකට අත උස්සනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ එයාට දැන් මැතිවරණ මෙහෙයවන්න බෑ. බැසිල් රාජපක්ෂ කොහෙද කියලා නෑ. ඉතින් ඒ අයට යන එන අතක් නැති නිසා ,පොහොට්ටුවේ මන්ත්‍රීවරු රනිල්ගේ ඇඟේ එල්ලෙනවා. අදත් මම දැක්කා ප්‍රසන්න රණතුංග කියලා තියෙනවා ජනාධිපතිවරණයකදී මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මගේ සහාය දෙනවා කියලා.

මම ප්‍රසන්න රණතුංගගේ තාත්තව හොඳට හඳුනනවා. ගම්පහ රෙජී රණතුංග. එයා 1977 ඡන්දෙන් පරාජය වුණාම ඒගොල්ලන්ගේ මහ ගෙදරට රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය ගිනි තිබ්බා. එතකොට ප්‍රසන්නල ,අර්ජුනලා පොඩි ළමයි. සිනමා ශාලාවක් තිබුණා ඒකටත් ගිනි තිබ්බා. ව්‍යාපාරික ස්ථාන තිබුණා ඒවටත් ගිනි තිබ්බා. 1977 ඡන්දෙන් පැරදුණාට පස්සේ ගිනි තියලා ඔවුන්ගේ ගේදොර ඔක්කොම විනාශ කළේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය.

ඒ වෙලාවේ රණතුංග පවුල අන්තිම දුක්ඛිත තත්ත්වයට පත්වුණා. කොළඹ ඇවිත් පොඩි ගෙයක් අරන් පදිංචි වෙලා හිටියේ . ඒ විනාශය කරේ එක්සත් ජාතික පක්ෂය. ඒවා අමතක කරලා තමන්ගේ ගෙට ගිනි තියපු පක්ෂයත් එක්කම දැන් අපූරුවට ඉන්නවා. සමහරු හිතනවා රනිල් වික්‍රමසිංහට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. එයා 2014 පළාත් සභා ඡන්දය බකල් කළා. ඊට පස්සේ ගිය අවුරුද්දේ පළාත් පාලන ඡන්දය බකල් කළා. දැන් මිනිස්සු හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට විරුද්ධව මෙයාට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව එයාව තෝරා පත් කර ගත්තේ නෑ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දින නියම කරන්න එයාට නීතියෙන් කිසිම ඉඩක් නෑ. බලය තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. පළාත් පාලන මැතිවරණයේදී වගේ මුදල් ලේකම්වරයාට ගිහින් කියන්න පුළුවන් ජනාධිපතිවරණය තියන්න සල්ලි නැහැ කියලා. නමුත් දැන් ඒක කියන්නත් බැහැ මොකද අයවැය ලේඛනයෙන් ජනාධිපතිවරණය සඳහා සල්ලි පාස් කරලා තියෙන්නේ.

මෙතනදි අපි තේරුම් ගන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම වෙනම එකක්. ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වීම තවත් එකක්. ඡන්දෙන් පත්වන පුද්ගලයාට පුළුවන් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා
විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න. එහෙම විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමේ සැබෑ වුවමනාවක්
වර්තමාන ජනාධිපතිවරයාට තියෙනවා නම් එයාට පුළුවනි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේදී මම විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරනවා කියන යෝජනාව ජනතාවට ඉදිරිපත් කරලා ජනවරමක් ගන්න.

කරු ජයසූරියටත් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න උවමනාවක් තියෙනවා නම් එයාටත් පුළුවනි ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වෙලා ඒ අදහසට ජනතාවගේ කැමැත්ත ගන්න.

ජනාධිපති වුවහොත් අන්න ඊට පස්සේ පුළුවන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න තමන්ට ජනවරමක් ලැබී තිබෙන බව පාර්ලිමේන්තුවට දන්වලා එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න. එහෙමයි කෙරෙන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය වෙනස් කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නෑ. ජනතාවගේ පරමාධිපත්‍ය බලය අනුව වෙනස්වීම සිද්ධ වෙනවා නම් ඒකට ප්‍රශ්නයක් නෑ.

පාර්ලිමේන්තුව තුළින් ඔය මොනවත් කරන්න දැන් වෙලාවක් නෑ. දැන් තැටිය රත්වෙලා තියෙන්නේ ඒකයි මේ කලබලේ. දියකඩිත්තේ වතුර හිඳෙනකොට මාළුවෝ කලබල වෙලා දඟලනවා. 2024 වෙනකම් මේවා ගැන මේගොල්ලො හිතුවේ නෑ. දැන් ව්‍යවස්ථාව දිහා බැලුවහම ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් වෙනවා අගෝස්තු මාසය වෙනකොට ජනාධිපතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ යුතුයි කියලා.
අගෝස්තු වල ක්‍රියාදාමය පටන් ගත්තාම නොවැම්බර් වෙනකොට අවසන් වෙනවා.

මේගොල්ලෝ අවදි වුණේ 2024 දී. එතකන් නිදාගෙන හිටියා. දැන් වෙන වෙන නූල් සූත්‍තර අදින්න හැදුවට වැඩක් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට සිග්නල් එක දීලා තියෙනවා.මාස තුනකට පෙර ජනාධිපතිවරණයේ කටයුතු ආරම්භ කරන්න. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන දිනය ප්‍රකාශයට පත් කරන්න ඕන.

මොකද ජනමත විචාරයකින් ජනාධිපතිවරණය කල් දමන නීතියක් සම්මත වෙලා නැති තත්ත්වය උඩ අගෝස්තු මාසේ අනිවාර්යයෙන්ම කොමිසම ජනාධිපතිවරණ ක්‍රියාදාමය ආරම්භ කරන්න ඕන. මම දැක්කා ගම්මන්පිල මන්ත්‍රීවරයා ගෙනාපු
තර්කය. එයා බොහෝ ඈතට ගිහින්.
එච්චර ඈතට යන්න වුවමනාවක් නෑ.

ගම්මන්පිලලා ඡන්දය නොදී හිටියා නම් ජනතාවට විරුද්ධව ඔය පනත් සම්මත වෙන්නෙත් නෑ. දැන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් නෑ. තියෙන්නේ සරල බහුතරයක් විතරයි. ඔය කියන ජනමත විචාරණය පවත්වන්න ඉස්සෙල්ලා අගෝස්තු මාසෙ එනවා.
කවුරුවත් මේවා පටල ගන්න හොඳ නෑ.

අලුත් නීතියක් බලාත්මක වෙන්නේ ජනමත විචාරණයකින් අනුමත වුණොත් පමණයි. එතෙක් බල පවත්වන්නේ දැනට ව්‍යවස්ථාපිත නීතිය. අපි මේවා ගැන අවුලක් ඇතිකර ගත්තොත් මැතිවරණ කොමිෂන් සභාවත් අවුල් වෙනවා. මතක තබාගන්න මෙතැනදී මැතිවරණ කොමිෂන් සභාවටවත් 78 ව්‍යවස්ථාවෙන් අභිමතානුසාරී බලයක් දීලා නෑ. ව්‍යවස්ථාවේ මෙහෙම නිශ්චිත සඳහන් කිරීමක් තිබෙන්නේ ජනාධිපතිවරණයට පමණයි.
මේ ඔක්කොම කතා කරන්නේ නැති නීති ගැන. ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාවේ තිබෙන නීතිය ගැන කවුරුවත් කතා කරන්නේ නෑ.
මේ අවස්ථාවේ කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව ශක්තිමත් කිරීමයි.

ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන්නට ඔවුන්ට ශක්තිය ලබා දීමයි. දියකඩිත්ත සිඳීගෙන යනකොට මාළුවො දඟලනවා වැඩියිනෙ මේ සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ දෙයක්.”

උදේනි සමන් කුමාර (fb)

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...