රුවන් ඩී. අළුබෝමුල්ලගේ කවියා හා මා තවමත් මුහුණට මුහුණ මුණගැසී නැත්තෙමු. දුරකථනයෙන් කෙරෙන සංවාද පමණකි. ඒ කතාවන්වලදී , ඔහුගේ ජීවිතය රිය අනතුරකින් අඩපණ වූ සැටි අසා තිබුණෙමි. එහෙත් ඔහුගේ තත්ත්වය මා සිතා සිටි පමණට වඩා බරපතළබව වැටහුණේ මට එව්ණු , ඔහුගේ ” තුත්තිරි ” කවි එකතුවේ ඔහුගේ සටහන කියවූ විටය.
“තුත්තිරි ” රුවන්ගේ මංගල කෘතියයි. තවත් කෘති දෙකක් ඉතා නුදුරේ මුද්‍රණයෙන් නිකුත් වන බව මෙහි සඳහනි. මගේ පරම්පරාවේ කවියකු වන රුවන්ගේ ප්‍රමාදයට හේතු දෙකක් ඔහුගේ සටහනේ එයි. 1986 සිට 2011 දක්වාම , ඔහුත් නොදන්නා හේතුවකට කවි ලිවීම නතරව තිබී එය නැවත ඇරඹී ඇත්තේ 2012 ජනවාරි මසය. 2014 මාර්තු මස 1 වැනි දින මුහුණ පෑ රිය අනතුරින් වූ බරපතළ හානි හේතුවෙන් යලි අකර්මණ්‍ය වන රුවන් නැවත ලිවීම අරඹා ඇත්තේ 2023 දීය.
නිර්මාණකරුවකුට ලිවීම හා ඒවා කෘති සේ පළ කිරීම තරම් අන් අරමුණක්, තෘප්තියක් වේද? එබැවිනි, පමාවී නමුත් අප්‍රතිහත ධෛර්‍යයෙන් යුතුව රුවන්ද සිය නිර්මාණ කෘති පළ කරන්නට ප්‍රවේශව ඇත්තේ. ඒ දිරිය අපටද ආදර්ශයකි.
” තුත්තිරි ” කවි එකතුවට ආචාර්‍ය රත්න ශ්‍රී විජේසිංහ සාහිත්‍යවේදියා ගෙනෙන පෙරවදනේ, ඔහු රුවන්ගේ කාව්‍ය මාර්ගයේ හැරවුම් හා එනයින් ඔහුගේ කවියේ සිදුවන වෙනස්කම් පිළිබඳ බොහෝ මැදිහත් නිරීක්ෂණ දක්වා ඇත. මාද කල්පනා කරන්නේ, සතතාභ්‍යාසයට, සිය නිර්මාණ පිළිබඳ ස්වයං පසු හැදෑරීමකට හෝ පාඨක- විචාරක මත විමසුමකට හෝ ඉඩ හසරක් නොලත් රුවන්ගේ, ප්‍රථම කාව්‍ය සරණිය ගැන නිර්දය විමසුමක් කළ හැකිද යන්නයි. නොහැකිය යන්න මගේ හැඟුමයි.
රුවන් සමාජ නිරීක්ෂණය, අත්දැකීම් සන්තකය හා ඒවයේ විවිධත්වය යන කරුණුවලින් ඉතා පොහොසත්බව එක හෙළා කිය හැකිය. ආචාර්‍ය රත්න ශ්‍රී
කියන්නා සේ , 70- 80 දශකවල නවක අප කවුරුනුත් ගොදුරු වූ ‘ජනතාවාදය’ , ‘සමාජසත්තා යථාර්ථවාදය’ බඳු ප්‍රවණතාවලට වසඟවීමෙන් රුවන් පමණක් ගැලවෙයිද? එය ඔහුගේ පුද්ගලික දුබලතාවක් නොවේ. යුගයේ බලපෑමය.
එහෙත් රුවන්ගේ කවිය එතැන නතර වී නොමැත. ඔහු සිය දෘෂ්ටිය හා කෞශල්‍ය වඩවාගෙන ඇති බව පෙන්වන නිර්මාණ ” තුත්තිරි ” හි මුණගැසේ. ඒවායින් කීපයක් ඔබට ගෙන එමි.
‘පරඬැල’ කවිය, දරුවන්ද සමඟ ගඟකට පැන දිවි නසාගත් මවක ගැනය. මෙහිදී දෘශ්‍යමානය වාර්තා නොකොට සංසිද්ධිය, ඛේදවාචකය දෙස භාවාත්මක ගැඹුරකින් දකින්නට වැර දැරේ.
මිරිදියට එක් කරලා කඳුළූ
ජීවිතයේ දුක මුදා හැරලූ
ගංපතුලෙ සඟවලා මුකුළූ
නුඹ ගියේ නිර්වාණෙකටලූ
බර වෙලා බොර දියට නැවුණූ
පාලමේ ඇන්දෙ ඇති මුහුණු
හුස්ම හිරවුණු මලේ රේණු
දෙස බලා හිත මහයි ඉරුණු
වෙච්ච ණය ගෙවා ඉවරයි
වින්ද වද වේදනා බෝමැයි
අදින් ඒ සැමම අවසානයි
ගඟට නුඹ පරඬැලක් ගාණයි
නිසි කල විවාපත්වීමේ වරම අහිමි යුවතියකගේ ශෝකි සිත ,රුවන්ගේ කවි සිතට එන සැටියි මේ – ‘ අගුළු සිර වූ පැතුම ‘
දිනෙන් දින සිදුරු වැඩි වන
හදවතේ ගැඹුරුම වූ තැන
පිරිමදින සුවපත් කරන
පැතුම පැතුමකි අගුළු සිර වුණ
කොඳමල් කැකුළු විලිලයි
වන විල්තලා ඉවසයි
පැත්තක ලොවම එළියයි
අනෙක් පැත්තේ එකම අඳුරයි
සෞන්දර්‍ය හා ජීවිතය බද්ධ කරන රුවන්ගේ දැක්ම පෙන්වන ‘නොලැබීම’ නම් කවියෙනි මේ.
රාත්‍රිය ගනකම තමයි
ඇස්වලට තරු අනිනවා
සඳවතිය නෑ ඇවිත්
හිතේ දුක් දලු වැඩෙනවා
කෙඳිරියක් අහලකද නැති මුත්
හීනියට හිත රිදෙනවා
මලට විකසිත වෙන්න ඉඩ නෑ
පොහොට්ටුව බිම වැටෙනවා
අන්තර් ජනවාර්ගික සංහිඳියාව පිළිබඳ රුවන් කවියාගේ මානවවාදී යහපත් ආකල්පය ‘ නොවෙනස ‘ කවියට එන සැටි බලන්න.
ලැයින් පේළියේ එහා කොනේ පාලම උඩදී
හෝරා දෙකතුනක් ගෙවී ගිහිල්ලා හැන්දෑවේ
අපි කතා කරද්දී නිමක් නැතිව දේ කතා කළා
වතුකරයේ තේ කඳුරැලි සිනාසුණා
ෆැක්ටරියේ, තේවත්තේ එකට ගැටී
වෙනසක් නැතිවයි කවදත් ගමන් කළේ
එකම ඉර හඳයි හැමටම පායන්නේ
වතුකරයේ තේ කඳුරැලි මෙය දන්නේ
මදුවිතට, සූදුවට,විනෝදයට ලොල් පුරුෂයකුගේ විවාහයේ ඉරණම කියන ‘ සිරියහන හොරු අරන් ‘ සාර්ථක නිමැවුමකි.
බැස තව්තිසාවෙන්
සුරලිය රඟන රැඟුමෙන්
කුමන නම් වැනුමෙන්
වනම්දෝදැයි සිතමින්
දාදුකැටයේ පෙරැළෙන
වාසනාවේ ඉම පැන
නෝක්කාඩුද අරැගෙන
සුසුම් සුවඳද උරමින
මැදියමේ එන විට
සිහින අඳිමින් හිත යට
උතුම් සිරියහනට
හොරු පැන තිබුණි නපුරට
මගේ ලිවීම කෙටි කරගැනුමට මෙහි ඉදිරිපත් නොකළද, ‘ කියව් සබඳිනි ‘ , ‘ කලාවැව මත ගොම්මනේ ‘ , ‘ සාදුකාර ‘ , ‘ වරාමල හා පිච්චමල ‘ , මල් පිපුණු හීනයක’ ,’ දේවතාවි ‘ , ‘උමතුව ‘ යන සිරස්වලින් එන නිර්මාණද පාඨක වින්දනයට ගරු කරනසුලු බව කිය හැකිය. ඒ එවායේද කාව්‍ය නිර්මාණාත්මක ගුණය ඉහළ බැවිනි.
අවසානයේ කිය යුත්තේ, මා මෙහිදී අත් හැරි, කෘතියේ එක් ඉසව්වක් ගැනය. එනම් , මතු කෘතිවලදී රුවන් බසේ නිරවද්‍යතාව, ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය ආදි දේ නොසලකා නොසිටිය යුතු බවය.

