Home Blog Page 205

නවතම බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් Lady Chatterley’s Lover – 2022

0

ප්‍රංශ ජාතික සම්මානනීය සුරූපී සිනමා නිළියක් හා අධ්‍යක්ෂකවරියක් වන Laure de Clermont – Tonnerre විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටිය වනුයේ Lady Chatterley’s Lover – 2022 ය. නාටකීය ෂානරයට අයත් මෙම චිත්‍රපටය විනාඩි 127 ධාවන කාලයකින් යුක්තය .

චිත්‍රපටයට පාදක වූ නවකතාවේ පසුබිම කෙබඳුද ?

බ්‍රිතාන්‍ය ජාතික විශිෂ්ට නවකතාකරුවකු , කෙටිකතාකරුවකු හා කවියකු වූ ඩී .එච් ලෝරන්ස් ( David Herbert Richards Lawrence 1885 – 1930 ) විසින් රචනා කරන ලද මහත් ආන්දෝලනයකට තුඩු දුන් Lady Chatterley’s Lover – 1928 නැමති නවකතාව මෙම චිත්‍රපටය සදහා පාදක වී ඇත්තේ ය.

Lady Chatterley’s Lover නවකතාව තරම් ගෙවීගිය විසිවැනි සියවසේ ලොව ඉමහත් ආන්දෝලනයකට හා නඩුහබවලට භාජනය වූ නවකතාවක් ලෝකයේ තවත් නොමැති තරම්ය. ඒ තරමට මෙහි නවකතාකරුවා වන ලෝරන්ස්ට විවිධ අභියෝග හා කම්කටොලුවලට මෙම නවකතාව රචනා කිරීම නිසා මුහුණදීමට සිදුවිය.

Lady Chatterley’s Lover නවකතාව අරබයා වික්ටෝරියානු සුචරිතවාදය විසින් අසභ්‍ය නවකතාව වශයෙන් හංවඩු ගසන ලදි. මෙම කාරණාවේදී නවකතාකරුවකු. කෙටිකතාකරුවකු , නාට්‍ය රචකයකු වූ ඔස්කාර් වයිල්ඩ් ( Oscar Wilde ) නොබියව මෙම නවකතාව පැත්තේ හිඳිමින් ප්‍රකාශ කරන ලද්දේ “සාහිත්‍යයේ සභ්‍ය අසභ්‍ය කියා දෙයක් නොමැති බවයි”.

මෙම නවකතාව නිසා ලෝරන්ස්ට අධිකරණ ක්‍රියාවලියකට පවා මුහුණු දීමට සිදුවූ බව මවිසින් ඉහත සදහන් කරන ලද බව නැවත සිහිකරගන්න . මෙම නවකතාව අරබයා පවරන ලද නඩුවේදී ලෝරන්ස් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වන ලද නීති – විශාරදයන් ඉදිරිපත් කරන ලද තර්ක විතර්ක හමුවේ දී Lady Chatterley’s Lover නවකතාව කාර්මිකකරණයෙන් පරාරෝපණය වූ නූතන මිනසාගේ විඥාන ධාරාව විවිධ අවස්ථා හා හැඟීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය ඉතා ව්‍යක්ත ආකාරයෙන් යථාර්තවාදී රීතිය අනුගමනය කරමින් රචිත විශිෂ්ට නවකතාව වශයෙන් අධිකරණයට පිළිගැනීමට සිදුවිය .

Lady Chatterley’s Lover නවකතාව තුළින් කාර්මිකරණයෙන් පරාරෝපණය වූ නූතන මීනීසාගේ පැවැත්ම කිසිවිටෙක වෙනස් කළ නොහැක්කක් සේ නවකතාකරුවා දකියි . හෙතෙම “කෝනි” ( චැට්ලි ආර්යාවගේ ) චරිතය තුළින් විවරණය කරන්නේ “අනාගතය දකින්නේ දෙවියන් දෙවියන් පමණක් බවයි.” ( පිටුව 168 ) .

වඩාත්ම ධනාත්මක අනාගතයක් සදහා වැඩදායි ව්‍යාපාර ශක්‍යතාව ද නවකතාකරුවා ධනාත්මකව දකින්නේ ය. මිනිසා මිනිසත්කමින් පිරි හෙළ හුදු යන්ත්‍ර-සූත්‍ර බවට පරිවර්තනය වූ පතල් කම්කරුවන් තුළ මියැදෙන ප්‍රාණථ යලිදු නැගී සිටියහොත් එය සිතීමට පවා අපහසු අති භයානකකාරී තත්වයක මූලාරම්භය බව කෝනි චරිතය තුළින් නවකතාකරුවා වැඩිදුරටත් දකින්නේ ය.
සදාචාරාත්මක වශයෙන් නූතනවාදි ලේඛකයකු වශයෙන් ලෝරනස් වික්ටෝරියානු ආචාර්ය ධර්ම පද්ධතයේ (සුචරිතවාදයේ ) සීමා මායිම් Lady Chatterley’s Lover නවකතාව තුළින් සුණුවිසුණු කර දමන බව පෙනේ.

මෙපරිදී ගෙවීගිය විසිවැනි සියවසේ දිවිගෙවූ මූලාරම්භය නවකතාකරුවෝ යථාර්තය, භාෂාව හා කලාවේ පුනර්-නිර්මාණය යෙදුණාහුය . ඔවුන් විසින් තම නවකතා තුළින් ප්‍රබල වූ පරිකල්පනයන් ගෙවීගිය විසිවැනි හසියවසේ මුල්ම දශක තුනෙහි කාර්මිකකරණයෙන් හා වාණිජකරණය වූ ලෝකයාගෙන් මිනිසාට එල්ලවූ පීඩනයට තම නවකතා තුළින් ප්‍රතිචාර දැක්වූ බව පෙනේ. ඊට කදිම උදාහරණයකි , Lady Chatterley’s Lover යන මෙම විශිෂ්ට නවකතාව.

ලෝකයේ එදා මෙදාතුර ඉමහත් ජනප්‍රියත්වයකට හිමිකම් කියන Lady Chatterley’s Lover නවකතාව පිළිබඳව වර්තමානයේ වුවද ලොව නන්දෙස විවිධ විචාර හා විවිධ සෙවුම්-බැලුම් කරන්නේ ය.
~චිත්‍රපටයේ නාමාවලිය~
Directed by
Laure de Clermont-Tonnerre

Screenplay by David Magee
Based on Novel
Lady Chatterley’s Lover

Produced by
Laurence Mark
Pete Czernin
Graham Broadbent
Starring
Emma Corrin
Jack O’Connell
Matthew Duckett
Ella Hunt
Faye Marsay
Joely Richardson

Cinematography Benoît Delhomme

Edited by Géraldine Mangenot

Music by Isabella Summers

Production companies
Laurence Mark Productions
Blueprint Pictures
3000 Pictures
Harper Collins

Distributed by Netflix

Release dates
2 September 2022 (Telluride)
25 November 2022
( United Kingdom/United States )
2 December 2022 ( Netflix )

Running time ~ 127 minute

Language ~ English / Franch

නවකතාවේ ශ්‍රව්‍ය-දෘශ්‍ය ඉතිහාසය කෙබඳුද ?

Lady Chatterley’s Lover නවකතාව පසුබිම කරගෙන එදා මෙදාතුර චිත්‍රපටයක් හා ටෙලිනාට්‍යයක් දෙකක් නිර්මාණය කර ඇත්තේ ය. මෙහි පළමු චිත්‍රපටය ප්‍රංශයේ නිෂ්පාදනයක් ලෙස ප්‍රංශ ජාතික අධ්‍යක්ෂකවරයකු වූ Just Jaeckin විසින් Lady Chatterley’s Lover – 1982 යමින් නිර්මාණය කරන ලදි. මෙහි චැට්ලි ආර්යාවගේ චරිතය නිරූපණය කරන ලද්දේ හොලිවුඩ් නිළි Sylvia Kristel විසිනි.

චිත්‍රපටය න්‍යයාත්මකව කියවීම කෙබඳුද ?

එතෙක් මෙතෙක් Lady Chatterley’s Lover නවකතාව පසුබිම කරගෙන නිර්මාණය කරන ලද ඉතා සිනමාත්මකව අගයකින් ( Cinematic Quality ) යුතු චිත්‍රපටය මෙය බව අවිවාදිතයෙන් යුතුව හදුන්වා දෙන්නේ ය. පළමු චිත්‍රපටය වඩා මෙම ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරිය ඉතා මැනවින් නවතාව හා එහි චරිතවල හැඟීම් හා මනෝභාවයන් අති-සියුම් ආකාරයෙන් මෙම චිත්‍රපටයට නතුකර ගෙන ඇත්තේ ය. මෙහි පළමු චිත්‍රපටය තුළින් අධ්‍යක්ෂකවරයා හුදෙක්ම නවකතාව කොටුකරගෙන ඇත්තේ ඉතා ප්‍රබල ආකාරයෙන් කායික සම්බන්ධතා සිනමාත්මකව උද්දීපනය කර පෙන්වීම සදහාම බව පෙනේ. එනමුත් මෙම චිත්‍රපටයේ දී අධක්ෂකවරිය ඉතා සියුම් ආකාරයෙන් නවකතාවේ එන චරිත ඉතා මැනවින්.ග්‍රහණය කර ගනිමින් සිනමාත්මකව එම චරිතවල විවිධ මනෝභාවයන් උද්දීපනය කර පෙන්වීමටත් මෙහි ප්‍රධාන චරිතය වන චැට්ලි ආර්යාව හා විවාහක කාන්තාවන් වශයෙන් ඇයගේ මනෝභාවය මැනවින් ප්‍රේක්ෂකයාගේ මනස්කාන්තයේ තැම්පත් කොට එතුළින් චැට්ලි ආර්යාව වූ කලී කාමාස්වාදයෙන් තෘප්තිමත් වීමට පමණක් වෙර දරණ ( ප්‍රභූ ) කාන්තාවක් නොවන බව ප්‍රේක්ෂකාගාරයට කියා පෑමට මහත් වීර්යයක් දරා ඇත්තේ ය. මෙම චිත්‍රපටය නරඹා අවසන් වත්ම කුමන තරාතිරමක ගැහැණිය වුවද සංස්කෘතික යදමින් කුමන ආකාරයෙන් බැඳ තිබුණද ඇය කුමන හෝ මොහොතකදී එම යදම් සිඳ බිඳ දමමින් තම සිතැඟි පරිදි ක්‍රියාත්මක වන බව ඉතා සිනමාත්මකව අවබෝධ කර ගත හැක වන්නේ ය.

මෙහි කැමරාකරණය පිළිබඳව ද යමක් නොකිවහොත් එය විචාරයට කරන බලවත් අසාධාරණයක් බව සිතේ. මෙහි බහුතර රූපරාමුවක්ම ලා -නිල් පැහැය ඉස්මතු වන ආකාරයේ රෑපගත කර ඇත්තේ ය . සැබවින්ම එය චිත්‍රපටයට මහත් ආභරණයකි. එපමණක්ද නොව ඉතා සංයමයකින් යුතුව යොදාගන්නා ලද රූපරාමු හා එම රූප රාමු අවස්ථා සම්බන්ධයෙන් ගොඩනගන ලද රිද්මය අතිශයින්ම කලාත්මක වන්නේ ය. එමගින් පරිසරයේ වූ චමත්කාරය හා රිද්මය ප්‍රේක්ෂක මනසේ විචිත්‍රණය කිරීමට වෙසෙසින්ම ඉවහල් වී ඇත්තේ ය.

මෙම නවකතාව හා චිත්‍රපටය ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයට අනුව ඉතා සියුම් හා ඉතා ගැඹුරින් විශ්ලේෂණය කළ හැකිය,එනමුත් එසේ කළහොත් මෙම සටහන දිගුවන්නේ ය. එය ඉතා කෙටියෙන් මෙසේ දක්වමි.

“උපාදානය”.එනම් මනසින් ඉතා දැඩිව ග්‍රහණය කර ගැනීමයි. එය සිව්වැදෑරුම් ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ ය. කාමුපාදානය , දිට්ඨුපාදානය . ශීලබ්බතුඋපාදානය , අන්තවාදුඋපාදානය යනුවෙනි. මේ සිව්වැදෑරුම් කොටසක් තුළින්ම මෙම නවකතාව හා චිත්‍රපටය ඉතා ගැඹුරින් විශ්ලේෂණය කළ හැකිය .

සමස්තයක් වශයෙන් ගත් කල්හි නවතම Lady Chatterley’s Lover චිත්‍රපටිය නවකතාවට ඉතා ඉහළ සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන ලද ඉහළ කලාත්මක අගයකින් යුතු චිත්‍රපටයකු බව විශේෂයෙන් අවධාරණය කැමැත්තෙමි.

විශේෂ කාරණාව

Platform හා Theater යන නූතන සිනමා ප්‍රදර්ශන ධාරා දෙකෙහිම මෙම Lady Chatterley’s Love චිත්‍රපටය ඉතා සාර්ථක ආකාරයෙන් ප්‍රදර්ශනයවීම තවත් විශේෂත්වයක් වශයෙන් ද පෙන්වා දිය හැකිය.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

 චිත්‍රපටයේ දර්ශන 

Lady Chatterley’s Lover by D.H Lawrence– චිත්‍රපටයේ ජාත්‍යන්තර පෝස්ටර්
[ චිත්‍රපටය සදහා පාදක වූ නවකතාව ]

Laure De Clermont-Tonnerre arriving at the Palais des Festivals for the screening of the film Sils Maria as part of the 67th Cannes Film Festival in Cannes, France on May 23, 2014. Photo by Nicolas Briquet/ABACAPRESS.COM (Newscom TagID: abaphotostwo092541.jpg) [Photo via Newscom]

ප්‍රංශ ජාතික සිනමා නිළි හා අධ්‍යක්ෂක Laure de Clermont – Tonnerre

ඡන්ද පෙත්සම් : ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් මතය ප්‍රකාශ කර අවසන්? : ඒක වැරදි ප්‍රකාශයක් – විනිසුරු තුරෙයිරාජා

0

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදානොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ පෙත්සම විනිසුරු එස්. තුරෙයිරාජා සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කළ ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (27) විරෝධය පළ කර සිටියේය.

අදාළ පෙත්සම එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

‘මැයි 11 කැඳවන්න’

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ හා සමාන තවත් පෙත්සමක් මැයි මස 11දා කැඳවීමට අධිකරණය දින නියම කර ඇති බවත්, මෙම පෙත්සම ද එදිනම සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.

‘මතය ප්‍රකාශ කර අවසන්’

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ සම්බන්ධයෙන් විනිසුරු තුරෙයිරාජා දැනටමත් සිය මතය ප්‍රකාශ කර තිබෙන හෙයින් මෙම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන ලෙස ඉල්ලීමක් කළේය.

‘ඒක වැරදි ප්‍රකාශයක්’

ඊට ප්‍රතිචාර දැක්වූ විනිසුරු තුරෙයිරාජා මෙම නඩු සම්බන්ධයෙන් තමන් කිසිදු මතයක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළේය
‘ඔබගේ ප්‍රකාශය වැරදියි. මේ නඩු සම්බන්ධයෙන් මම කිසිදු මතයක් ප්‍රකාශ කර නැහැ. එදා නඩුව මැයි මස 11 වැනිදා දක්වා කල් ගියේ අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු අනුවයි. මුදල් නැති නිසා මැතිවරණය පවත්වන්න හැකියාවක් නැහැ කියලා එදා මැතිවරණ කොමිසම කිව්වා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන දීම අපහසු බව. ඉතිං අධිකරණය හමුවේ ගොනුකර තිබෙන කරුණු අධ්‍යයනය කර තීරණයක් ගැනීම සඳහායි එදා පෙත්සම මැයි 11 දක්වා කල් තැබුවේ. ඔබගේ ප්‍රකාශය අසාධාරණයි. කිසිම නඩුවක් කෙරෙහි මං විශේෂත්වයක් දක්වන්නේ නැහැ.’

විනිසුරු තුරෙයිරාජා විවෘත අධිකරණයේදී එසේ පැවසීය.

නීතිපති විරෝධය

පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළකර සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම යුක්ති සහගත නොවන බව කියා සිටියේය.

පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.

වගඋත්තරකරුවන්ට නොතීසි

කෙසේ වෙතත් මෙහි වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනීනොසිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම මාර්තු මස 03දා දක්වා කල් තැබීමට තීරණය කළ විනිසුරු මඩුල්ල, එදිනට කරුණු දක්වන ලෙස දන්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

රට තුළ දැඩි ආර්ථීක අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ පෙත්සම ද ඉකුත් 23 වනදා සලකා බැලීම සඳහා කැඳවනු ලැබූවේ විනිසුරු එස්.තුරෙයිරාජාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේය.

ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවට අතුරු තහනම් නියෝගයක්

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ඇතුළු අනිකුත් ක්‍රීඩා සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (27) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු පිරිසක් ගොනුකර ඇති රිට් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති අතර අදාල අනතුරු තහනම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

දෙසැම්බර් 14 වන දින ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රීඩා නීතියට පටහැනි බව සඳහන් කරමින් එම ගැසට් නිවේදනය අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇත.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.එස්.ආර්. මරික්කාර් යන සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අදාල පෙත්සම සලකා බලා ඇත.

පෙත්සම ලබන ජූනි 22 වැනිදා යළි විමසා බැලීමට නියමිතව ඇති අතර පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන චන්දන අබේසුන්දර සහ රොමේෂ් ද සිල්වා පෙනී සිටියහ.

අපි ස්ටේෂමෙන් බැස්සාට කෝච්චිය දුවවන තරංගා

0

හිටිගමන් අහඹු තැනකින්, අහඹු වැකියකින් පටන්ගන්නා කතාව, හිටිහැටියේ අවසන් වන, කතාව අප කියවා අවසන් වූ පසුවත් තවදුරටත් පවතිනවා කියා සිතන, ස්ටේෂමෙන් අපි බැස්සාට කෝච්චිය නවතින්නේ නැතිව දිගටම ගමන් කරන, පිරුණු කතාවක් කිරීමට උත්සාහ දරන, සංකේත සංකේත ලෙසින් පවතින මෙන් ම නොපවතින, සිදුවීම් එකිනෙක ක්ලෑෂ් වන නමුත් එකක් අනික් සිදුවීම හා බැඳී ඇති බවක් එක්වරම නොපෙනෙන, තමන් දකින දෙය අපේ ඇහෙන්ද ඒවිදියට දකින්න සලස්වන, හේතුඵල සම්බන්ධයක් වාගේ එක වාක්‍යයක් අනෙක හා හේතුවකින් නොබඳින ස්වභාවයක් ගන්න, පිරිපහදු කළ වාක්‍ය රටාවකින් හෙඹි කෙටි කතා එකතුවක් තරංගා රණසිංහ පළකරනවා. ඒ මීට අවුරුදු 14ට කලින්. පොතේ නම, ‘මෙමා හැර ලියෝ’.

මේ කතාවලදි කතුවරිය කෙසෙල් ලෙල්ලක් උඩින් ලිස්සල යන තරම් ලේසියෙන් වාක්‍ය හසුරුවන්නෙ. කතාව කියන්නෙ. ඒකෙන් අදහස් කළේ, ඇය දරන එෆර්ට් එකේ බර, හතිය අපිට දැනෙන්නෙ නැහැ, ඒතරම් සූක්ෂ්මයි, ලිවීමෙන් අත්දැකීම් ලැබීමෙන් පරිණත වූ අයෙක්ගේ ලකුණු පෙනෙන්නේ. ඒ කතා එකතුවේ එන, ‘සිංහයා’ කතාව ඇතුළු කතා කිහිපයක් ම ප්‍රධාන සිදුවීම මොකක්ද කියල අපිට නොතේරෙන්න ලියන්න ඇය සමත්. හැබැයි කතාව ම කියෙව්වට පස්සෙ සේරම ප්‍රධානයි නේද කියල හිතෙන්න ගන්නව. මේ රචනා රටාව එෆර්ට්ලස් එකක් වගේ අපිට දැනුනට, ලියන්න ඇය වෙහෙස වෙන බව
නොරහසක්.

‘නිදි නැති නිම්නය’, ඇගේ අලුත් කෙටි කතා සංග්‍රහයට එද්දි, ඇගේ රචනා ක්‍රමය අර කියන අපිව හෝන්දු මාන්දු කරවන ප්‍රධාන සහ සෙසු දේවල් වෙන්කරල හොයාගන්න බැරිතරම් සියුම් රචනා රටාවක් පෙන්වනවා. ශිල්පීය ලක්ෂණ හඳුනාගන්න අපි දරන ප්‍රයත්නයට සාධාරණයක් ඉටුවෙනව. වටකුරු, පරිසමාප්ත කෙටිකතාවක් ලියන්න ඇය සමත් වෙනවා. තේමාත්මක විවිධතා, ආකෘතික විවිධතා මතුකරනවා. චරිතවලට කිඳාබහින්නෙ සැත්කම් පිහියක් සමට කිඳාබහිනව වගේ කපාගෙන ඉරාගෙන නෙමෙයි, හම හූරල අරගන්නව තරම් නිශ්චිත, තෝරාගත් තැන්වලින්. තරංගා අපිට ඒ ඒ චරිත ගඩොල්වලින් ගොඩනගන්න යන්නෙ නෑ, සම්පූර්ණ චරිතයක් පෙන්වන්නෙ නෑ, චරිත අපිට තේරුම් කරවන්න යන්නෙ නෑ, ඒ චරිත ඒ ඉන්නා සැටියෙන් ම, ඒ ක්ෂණික කැඩෙන බිඳෙන ස්වභාවයන් එක්ක ම පෙන්නනවා.

මේ කතා අජිත් තිලකසේනගේ වගේ.චිත්‍රපට දර්ශන වගේ, දකින දේ පෙනෙන විදියෙන් කියනවා. ප්‍රභාත් ජයසිංහගේ වගේ කලාත්මකයි. බොරුවට කතාව දික්ගස්සන්නෙ නෑ. වටේ යන්නෙ නෑ. අරපිරිමැස්මෙන් කෙටිකතාවක් රචනා කරන්න ඇය මහන්සි අරන් තියෙනවා. කෙටිකතාකරුවන්ට වැඩිය අල්ලගන්න නොලැබුණු පැති, තේමා ඇය කතාවට අරගන්නවා. කම්මැලි නොවෙන්න කතාව වවනවා. මේ කතාවලින් කෙටිකතා ගැන ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.

මේ අලුත් කෙටිකතා සංග්‍රහයේ මගෙ ප්‍රියතම කතා දෙක, ‘මහ බඹාට මූණු දෙකයි’ සහ ‘රතු කොට්ටම්බා ගස්’ කියන කතා. මහ බඹාගේ කතාවෙදි, පටන්ගන්නෙ ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන් සුදාගේ කොණෙන්. මැදක් හරියට එද්දි කුමාරිගේ කෝණයට පනිනවා. මේ කතාව වවලා තියෙන ලස්සන – කලාත්මකයි!

කොට්ටම්බා ගහේ කතාවෙදි, ගණිතය ඉගෙනගන්න දැරියකට ඉස්කෝලෙ පේන්නෙ කොහොමද, ගුරුවරු හැසිරෙන්නෙ කොහොමද, ඒ දැරිවි විදුහල්පතිනියක් වුණාම අතීතෙ දැනෙන්නෙ කොහොමද කියන දේවල්, ගණිතය විෂය කරුණු අස්සෙන් අරන් කියන විදිය, කතාව ලියල තියෙන විදිය ආකර්ෂණීය යි. ඒ කතාවෙ එන උපුටන දෙකක්, පහතින්.

• “සුනිල් සර් ගණිත පොතේ 8 වෙනි පාඩම පෙරළාගන්න යැයි කියයි. සුනිල් සර් මහා කෝණයක් වී පන්තිය මැද හරියට ම සිටගෙන සිටියි. සර්ගේ සමචතුරස්‍ර ඇස්වලින් අපිට ගැලවීමක් ලැබෙන්නේ නැත…”

• “මම ABCD = 80cm2 ලෙස කළුලෑල්ලේ ලියා සර් දෙස බැලුවෙමි. සර් මගේ තීන්ත පෑන අතට ගෙන ඒ දෙස බලා සිටියි. මට පොළොව පලාගෙන යන්නට සිතුණි. තීන්ත පෑනේ බඳ පුපුරා ගොස් තිබුණි. මම සෙලෝටේප් තොගයක් ඔතා එය පිළිසකර කොට ඇත්තෙමි.

‘මොකක්ද කියපං ප්‍රමේය…’, සර් මගේ තීන්ත පෑන සාක්කුවේ දමාගෙන මගෙන් ඇසුවේ ය.
‘එක ම ආධාරකය මත හා එක ම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි සමාන්තරාස්‍ර වර්ගඵලයෙන් සමානයි.’ “

නිදි නැති නිම්නය පොතේ කවරයට, මුල් කෙටි කතා සංග්‍රහයේ කවරය තරම් ම අවධානයක් යොමුකළා නම් කියන අදහසේ මම ඉන්නවා. ඒ වගේම, පොතේ නමට ‘මහ බඹාට මූණු දෙකයි’ කියන නම වඩාත් සුදුසුයි කියල මට කියවලා ඉවර වුණාම හිතුණා. කතා සංග්‍රහයේ මට දැනෙන Masterpiece එක ඒක.
තරංගා රණසිංහ දිගට ම කෙටිකතා ලිවිය යුතු අයෙක්.

ඩිල්ශානි චතුරිකා දාබරේ

චිරන්ත අමරසිංහ අත්අඩංගුවට – චෝදනා අපහැදිලියි

0

ප්‍රකට සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම් ක්‍රියාකාරියෙක් වන චිරන්ත ඒ.අමරසිංහ අද (23) කොළඹ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධාන කාර්යාලය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් රාජ්‍ය බුද්ධි සේවයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමන් සම්බන්ධව නිකුත් කරන ලද වාර්තාවක තොරතුරු ඉල්ලා සිටීමක් සිදුකිරීමට උත්සහ දරණ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

2020 නොවැම්බර් මාසයේදීත් පොලීසිය චිරන්ත අමරසිංහ අත්අඩංගුවට ගන්නා ලදි. ඒ ‘ගෝඨා ෆේල්’ යනුවෙන් සමාජ ජාලවල පලකරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ය. ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව කාලයක් තිස්සේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින්නේ ඔහුගේ පුද්ගලික ජංගම දුරකතනයේ දත්තවල පුද්ගලිකභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ය. එයට හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ පුද්ගලික දුරකතන දත්ත විශ්ලේෂණය සඳහා ඉල්ලා සිටීම ය.

කිසිඳු අපරාධ චෝදනාවක් නොමැතිව තමන්ගේ ජංගම දුරකතන ඉල්ලා සිටීමට විරෝධය පළකරමින් චිරන්ත විසින් ගොනුකල නඩුව එළඹෙන මාර්තු 1 දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත ය.

එසේම චිරන්ත අමරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත්තේ තමන්ව මීට පෙර අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම ව්‍යාවස්ථාවට පටහැනි බව පවසමින් ය. එම පෙත්සමද එළඹෙන මාර්තු 22 දින සලකා බැලීමට නියමිත ය.

අද දින අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර චිරන්ත අමරසිංහ විසින් රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානය අසල සිට සජීවී වීඩියෝ පටයක් ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැර තිබෙන අතර එහිදී ඔහු තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයට චෝදනා කරනු ලබයි.

අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලීසිය වෙත රැගෙනගොස් රඳවාගෙන සිටින චිරන්ත අමරසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා කුමක්ද යන්න මෙතෙක් වාර්තා නොවේ.

මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දිගටම දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය.

සෙරෙප්පු

0

මේ සෙරෙප්පු දමාගෙන
ගැබ්බර බිරිය බලන්නට
ඉස්පිරිතාලෙ යන්නැති
පොඩි දුවක් හිතින් වඩාගෙන
ආපහු ගෙදර එන්නැති

මේ සෙරෙප්පු දාගෙන
එළවළු ගේන්න
ඉරිද පොළට යන්නැති
පොඩි උන් උස් මහත් වන හීනයක්
මේ සෙරෙප්පු උඩ තියෙන්නැති

මේ සෙරෙප්පු දමාගෙන
ෆුට්බෝඩ්වල එල්ලිල යන්නැති
බේත් පෝලිම්වල ඉන්නැති
අත්වලින් ගලපු ඩාදියත්
ඇස්වලින් ගලපු කඳුළුත්
මේ සෙරෙප්පු සිප ගන්නැති

මේ සෙරෙප්පු දාගෙන
අලුත් හීනයක් දැක දැක
ඊයෙ ගෙදරින් එන්නැති
අලුත් ලෝකයක්
මේ සෙරෙප්පු උඩ තියාගෙන
ආපහු යන්න හිතාගෙන එන්නැති

ඒ එක හීනයක්
තාම ගෙදර ගිහින් නැතුවැති
මේ සෙරෙප්පු දාගෙන
ඒ හීනෙ ආපහු එනකන්
ගොඩක් උන් බලන් ඇති

ලහිරු කරුණාරත්න

අප ගැන

0

අප අලුත් නැත. ඒ, නිවැරදි සහ එඩිතර ජනමාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් වූ සටන්වලින් අප පෝෂිත බැවිනි.

අප අපක්ෂපාතී නැත. දේශපාලන සත්ත්වයන් වන අපි, සිදුවීම්වලදී පැත්තක් ගනිමු. එය බහුතර ජනතාව වෙනුවෙන් ජනමාධ්‍ය වගකීම ඉටුකිරීමේ පක්ෂපාතීත්වයකි.

අප ආචාරධාර්මික නැත. උපරිමයෙන් කිසිවකුට අගතියක් නොවන පරිදි වෘත්තීයමය සදාචාරය පවත්වා ගන්නා අපි, කෙලින් සිටිය යුතු තැන්වලදී ඇඹරෙන්නේ නැත. එසේම ඕනෑම ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් වන ප්‍රතිචාර පළකිරීමටත්, අප අතින් වරදක් සිදුවුවහොත්, ඊළඟ මොහොතේ ම සමාව ගැනීමටත් අප සූදානම් ය.

අපි ඔබට ආරාධනා කරමු : අප කියවාගන්න !

Call/Whatsapp: +94763766966
E-mail: [email protected]
Facebook | Twitter | Tiktok | Youtube

ජාජබ විරෝධයේදී තුවාල ලැබූ අයෙක් මියයයි : ආණ්ඩුව වගකීම භාරගත යුතුයි

0

මැතිවරණය කල් දැමීමට විරෝධය පළ පළ කරමින් ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිසිය එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මියගොස් තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිමල් අමරසිරි (60) නැමැති නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකි.

ඊයේ (26) පස්වරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් ඇරඹි සාමකාමී විරෝධතා පා ගමනට ලිප්ටන් වටරවුම ආසන්නයේදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරිණි.

මෙහිදී පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා සිටියේ මෙම අහිමි වුණු ජීවිතයේ වගකීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගත යුතුව ඇති බවයි.

සාමාකාමී උද්ඝෝෂණයකට පහර දෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීම ඉතාම බරපතල තත්වයක් බවත් එලෙස පහර දෙන්නේ රනිල් වික්‍රමසිංහලාගේ ඒකාධිපති පාලනය ආරක්ෂා කර ගැනීමට බවද ප්‍රධාන ලේකම් වරයා එහිදී පවසා සිටියේය.

රිච්ටර් මාපකයේ අංශක 8.5ක ප්‍රබල භූකම්පනයක් ගැන ෆ්‍රෑන්ක් අනාවැකි පළ කරයි

0

ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමේ ඉඩ ඇති බවත් එය රිච්ටර් මාපකයේ අංශක 8.5ක පමණ ප්‍රබලත්වයකින් සිදුවනු ඇතැයි තුර්කි – සිරියා භූ කම්පනය පිළිබඳ අනාවැකි පළ කළ ප්‍රකට භූ විද්‍යා පර්යේෂකයෙකු වන නෙදර්ලන්ත ජාතික ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් (Frank Hoogerbeets) ප්‍රකාශ කර තිබේ.

එලෙස භූ කම්පාවක් ඇතිවීමේ හැකියාව ඇති කලාප රැසක් ලොව පුරා ඇතැයිද, ඉන් එක් කලාපයක් නුදුරු අනාගතයේදී විශාල භුකම්පාවකට ලක් වනු ඇතැයි ද ඔහු ටිව්ටර් ඔස්සේ පවසා ඇත.

ෆ්‍රෑන්ක් පසුගියදා මුදා හළ මේ පුරෝකථනය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්වී තිබේ.

ලෝක සිතියමේ විවිධ කලාප 13ක් රතු පැහැයෙන් සලකුණු කරමින් ෆ්‍රෑන්ක් පෙන්වා දෙන්නේ එම සලකුණුවලට අදාළ රටවල් හෝ කලාප අතුරින් එක් ස්ථානයක් නුදුරු අනාගතයේදී මේ ව්‍යවසනයට මුහුණ පානු ඇති බවයි.

එම කලාපවල දිගු කාලයක සිට නිහඬතාවක් පැතිර ඇති බව ඔහු විසින් නිරීක්ෂණය කොට තිබේ. නිරීක්ෂණ අනුව ඔහු එලෙස අනාවැකි පළකර ඇත.

ෆ්‍රෑන්ක්ගේ ට්විටර් සටහන

මේ අතර පසුගිය 25 වැනිදා ජපානයට සහ පැපුවා නිව්ගිනියාවට පෙරේදා භූ කම්පන දෙකක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජපානයේ උතුරුදිගින් පිහිටි හොකායිඩෝ දූපත ආශ්‍රිතව සිදු වූ භූ කම්පනය රිච්ටර් මාපකයේ 6.1ක අගයකින් සටහන් වූ අතර එය සතියක් ඇතුළත එරටින් වාර්තා වූ දෙවැනි භූ කම්පනය ලෙස සැලකේ.

කෙසේ වෙතත් මේ භූ කම්පනය හේතුවෙන් පුද්ගල හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා නොවන අතර, සුනාමි අවදානමක් ද මතු නොවූ බව ජපාන කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කර තිබිණි.

මේ අතර එදිනම රික්ටර් මාපක අංශක 6.2ක ප්‍රබල භූකම්පනයක් පැපුවා නිව්ගිනියා හි කැන්ඩ්‍රියන් ප්‍රදේශයට පසුගිය සෙනසුරාදා බලපා තිබෙන බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ අංශය වාර්තා කර තිබිණි.

මේ අතර තුර්කියේ මධ්‍යම ඇනටෝලියා හි නිග්දා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 5.3 ක් වන භූමිකම්පනයක් අද (25) සිදුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

50,000 කට වැඩි පිරිසකට ජීවිත අහිමි කළ තුර්කි – සිරියා භූ කම්පනයෙන් සතිදෙකකට පසු තුර්කියේ මධ්‍යම ඇනටෝලියා හි නිග්දා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 5.3 ක් වන භූමිකම්පනයක් අද (25) සිදුව ඇත.

මෙම භූ කම්පනය කිලෝ මීටර් 7 ක් එනම් සැතපුම් 4.34ක ගැඹුරින් භූමි අභ්‍යන්තරයේ හටගෙන ඇති බව කන්දිලි භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වාදී ඇත.

කෙසේවෙතත් තුර්කි ආපදා කළමනාකරණ ආයතනය පවසා ඇත්තේ මෙම භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

සබැඳි පුවත්

පිට පිට තෙවැනි වරටත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ලෝක ශූරියන්වෙයි

සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ලකුණු 19කින් පරාජයට පත් කරමින් විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ඊයේ (06) සමත් විය.

ඕස්ට්‍රේලියාව කාන්තා විස්සයි20 ලෝක ශූරතාව 6 වතාවක් දිනාගත් අතර මෙවර ඔවුන් ශූරතාවය දිනාගනු ලැබුවේ අඛණ්ඩව තෙවැනි වරටය.

2018 සහ 2020දී පිළිවෙළින් එංගලන්තය සහ ඉන්දියාව පරාජය කරමින් ඔස්ට්‍රේලියාව එම ශූරතාවයට හිමිකම් කිවේය.

මින් පෙර ඕස්ට්‍රේලියාව 2010, 2012, 2014 යන වසර වලදීද අඛණ්ඩව තෙවතාවක් ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය.

2016 දී බටහිර ඉන්දීය කොදෙව් පිල එම ලෝක කුසලානය තමන් සතු කර ගනිද්දී එහි අනුශූරතාවය දිනා ගනු ලැබුවේද ඔස්ට්‍රේලියාව වීම විශේෂත්වයකි.

කේප් ටවුන්හිදී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කළහ.

එහිදී බෙත් මූනි නොදැවී ලකුණු 74 ක් රැස් කළ අතර ඇෂ්ලි ගාඩ්නර් ලකුණු 29 ක් රැස් කළාය.

එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 137ක් පමණි.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිනි ලෝරා වොල්වාට් හුදෙකලා සටනක නිරත වෙමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළාය.

සිව්වැනි කඩුල්ල ලෙස ඇය දැවී යන විට ලකුණු 61ක් රැස් කර තිබුණු අතර ක්ලෝයි ට්‍රයොන් පන්දු 23 කට මුහුණ දෙමින් ලකුණු 25ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඇෂ්ලි ගාඩ්නර්, ජෙස් ජොනසන්, මේගන් ෂට් සහ ඩාර්සි බ්‍රවුන් කඩුල්ල බැගින් දවා ගත්හ.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බෙත් මූනි නම් කළ අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇෂ්ලි ගාඩ්නර් සම්මාන දිනා ගත්තාය.

සබැඳි පුවත්