ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ‘බෝනස්’ – තරඟ මුදලත් වැඩිකරයි!

Share post:

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන තරග මුදල තුන් ගුණයකින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව වාර්තා වේ. ලෝක කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ, මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටින වාතාවරණයකදී මෙම තීරණය ගැනීමද විශේෂ සිදුවීමකි.

මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට එක්දින හෝ පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්ත තරගයක් සඳහා ගෙවනු ලද මුදල වූයේ ඇමරිකානු ඩොලර් 250කි (රු. 92,000), ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තීරණයත් සමග එම තරග මුදල ඇමරිකානු ඩොලර් 750ක් දක්වා (රු.276,000) වැඩිවනු ඇත.

එසේම තරග ජයග්‍රහණ වෙනුවෙන් ‘ජයග්‍රහණ ප්‍රසාද දීමනාවක්’ ද ගෙවීමට තීරණය කර ඇත. එම මුදල ඇමරිකානු ඩොලර් 250ක් වේ. එපමණක් නොව තරගයට සහභාගී නොවන එහෙත් සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවන්ට තරග මුදලෙන් 25% ක පමණ ගෙවීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා බව එම ආයතනය සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවටම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට කුඩම්මාගේ සැලකිලි දක්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි චෝදනා එල්ලවිය. එයට හේතුව කෝවිඩ් වසංගත සමය ඇතුළුව 2020 වසරේ සිට 2022 ජනවාරි වන තෙක් කිසිඳු කාන්තා ක්‍රිකට් තරගයක් පැවැත්වීමට අපොහොසත්වීම හේතුවෙන් ය.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලොවපුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින යුගයක මෙකී තීරණය නිසා යම්කිසි වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හිමිවූවද, ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට සාපේක්ෂව ක්‍රීඩිකාවන්ට හිමිවන්නේ ඉතා අඩු තරග මුදලකි.

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් සඳහා ඇ.ඩො 3,000ක් (රු 1,095,000) සහ එක්දින තරගයක් සඳහා ඇ.ඩො 4,000 (රු. 1,460,000) මේ වනවිට ගෙවනු ලබන බව ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙකී මුදලට අමතරව තරඟ ජයග්‍රහණ, ශතක වාර්තා කිරීම් සහ විශේෂ කඩුලු ලබාගැනීම් සඳහා වෙනත් ප්‍රසාද දීමනාද ක්‍රීඩකයන්ට හිමි වේ.

පසුගිය සමයේ දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අතර, මේ වනවිට පසුගිය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය අවස්ථාවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද සිදුකරමින් තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...