ඡන්ද පෙත්සම් : ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් මතය ප්‍රකාශ කර අවසන්? : ඒක වැරදි ප්‍රකාශයක් – විනිසුරු තුරෙයිරාජා

Share post:

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදානොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ පෙත්සම විනිසුරු එස්. තුරෙයිරාජා සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කළ ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (27) විරෝධය පළ කර සිටියේය.

අදාළ පෙත්සම එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

‘මැයි 11 කැඳවන්න’

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ හා සමාන තවත් පෙත්සමක් මැයි මස 11දා කැඳවීමට අධිකරණය දින නියම කර ඇති බවත්, මෙම පෙත්සම ද එදිනම සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.

‘මතය ප්‍රකාශ කර අවසන්’

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ සම්බන්ධයෙන් විනිසුරු තුරෙයිරාජා දැනටමත් සිය මතය ප්‍රකාශ කර තිබෙන හෙයින් මෙම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන ලෙස ඉල්ලීමක් කළේය.

‘ඒක වැරදි ප්‍රකාශයක්’

ඊට ප්‍රතිචාර දැක්වූ විනිසුරු තුරෙයිරාජා මෙම නඩු සම්බන්ධයෙන් තමන් කිසිදු මතයක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළේය
‘ඔබගේ ප්‍රකාශය වැරදියි. මේ නඩු සම්බන්ධයෙන් මම කිසිදු මතයක් ප්‍රකාශ කර නැහැ. එදා නඩුව මැයි මස 11 වැනිදා දක්වා කල් ගියේ අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු අනුවයි. මුදල් නැති නිසා මැතිවරණය පවත්වන්න හැකියාවක් නැහැ කියලා එදා මැතිවරණ කොමිසම කිව්වා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන දීම අපහසු බව. ඉතිං අධිකරණය හමුවේ ගොනුකර තිබෙන කරුණු අධ්‍යයනය කර තීරණයක් ගැනීම සඳහායි එදා පෙත්සම මැයි 11 දක්වා කල් තැබුවේ. ඔබගේ ප්‍රකාශය අසාධාරණයි. කිසිම නඩුවක් කෙරෙහි මං විශේෂත්වයක් දක්වන්නේ නැහැ.’

විනිසුරු තුරෙයිරාජා විවෘත අධිකරණයේදී එසේ පැවසීය.

නීතිපති විරෝධය

පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළකර සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම යුක්ති සහගත නොවන බව කියා සිටියේය.

පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.

වගඋත්තරකරුවන්ට නොතීසි

කෙසේ වෙතත් මෙහි වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනීනොසිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම මාර්තු මස 03දා දක්වා කල් තැබීමට තීරණය කළ විනිසුරු මඩුල්ල, එදිනට කරුණු දක්වන ලෙස දන්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

රට තුළ දැඩි ආර්ථීක අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ පෙත්සම ද ඉකුත් 23 වනදා සලකා බැලීම සඳහා කැඳවනු ලැබූවේ විනිසුරු එස්.තුරෙයිරාජාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේය.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...