චිරන්ත අමරසිංහ අත්අඩංගුවට – චෝදනා අපහැදිලියි

Share post:

ප්‍රකට සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම් ක්‍රියාකාරියෙක් වන චිරන්ත ඒ.අමරසිංහ අද (23) කොළඹ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධාන කාර්යාලය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් රාජ්‍ය බුද්ධි සේවයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමන් සම්බන්ධව නිකුත් කරන ලද වාර්තාවක තොරතුරු ඉල්ලා සිටීමක් සිදුකිරීමට උත්සහ දරණ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

2020 නොවැම්බර් මාසයේදීත් පොලීසිය චිරන්ත අමරසිංහ අත්අඩංගුවට ගන්නා ලදි. ඒ ‘ගෝඨා ෆේල්’ යනුවෙන් සමාජ ජාලවල පලකරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ය. ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව කාලයක් තිස්සේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින්නේ ඔහුගේ පුද්ගලික ජංගම දුරකතනයේ දත්තවල පුද්ගලිකභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ය. එයට හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ පුද්ගලික දුරකතන දත්ත විශ්ලේෂණය සඳහා ඉල්ලා සිටීම ය.

කිසිඳු අපරාධ චෝදනාවක් නොමැතිව තමන්ගේ ජංගම දුරකතන ඉල්ලා සිටීමට විරෝධය පළකරමින් චිරන්ත විසින් ගොනුකල නඩුව එළඹෙන මාර්තු 1 දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත ය.

එසේම චිරන්ත අමරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත්තේ තමන්ව මීට පෙර අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම ව්‍යාවස්ථාවට පටහැනි බව පවසමින් ය. එම පෙත්සමද එළඹෙන මාර්තු 22 දින සලකා බැලීමට නියමිත ය.

අද දින අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර චිරන්ත අමරසිංහ විසින් රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානය අසල සිට සජීවී වීඩියෝ පටයක් ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැර තිබෙන අතර එහිදී ඔහු තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයට චෝදනා කරනු ලබයි.

අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලීසිය වෙත රැගෙනගොස් රඳවාගෙන සිටින චිරන්ත අමරසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා කුමක්ද යන්න මෙතෙක් වාර්තා නොවේ.

මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දිගටම දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...