හිටිගමන් අහඹු තැනකින්, අහඹු වැකියකින් පටන්ගන්නා කතාව, හිටිහැටියේ අවසන් වන, කතාව අප කියවා අවසන් වූ පසුවත් තවදුරටත් පවතිනවා කියා සිතන, ස්ටේෂමෙන් අපි බැස්සාට කෝච්චිය නවතින්නේ නැතිව දිගටම ගමන් කරන, පිරුණු කතාවක් කිරීමට උත්සාහ දරන, සංකේත සංකේත ලෙසින් පවතින මෙන් ම නොපවතින, සිදුවීම් එකිනෙක ක්ලෑෂ් වන නමුත් එකක් අනික් සිදුවීම හා බැඳී ඇති බවක් එක්වරම නොපෙනෙන, තමන් දකින දෙය අපේ ඇහෙන්ද ඒවිදියට දකින්න සලස්වන, හේතුඵල සම්බන්ධයක් වාගේ එක වාක්‍යයක් අනෙක හා හේතුවකින් නොබඳින ස්වභාවයක් ගන්න, පිරිපහදු කළ වාක්‍ය රටාවකින් හෙඹි කෙටි කතා එකතුවක් තරංගා රණසිංහ පළකරනවා. ඒ මීට අවුරුදු 14ට කලින්. පොතේ නම, ‘මෙමා හැර ලියෝ’.
මේ කතාවලදි කතුවරිය කෙසෙල් ලෙල්ලක් උඩින් ලිස්සල යන තරම් ලේසියෙන් වාක්‍ය හසුරුවන්නෙ. කතාව කියන්නෙ. ඒකෙන් අදහස් කළේ, ඇය දරන එෆර්ට් එකේ බර, හතිය අපිට දැනෙන්නෙ නැහැ, ඒතරම් සූක්ෂ්මයි, ලිවීමෙන් අත්දැකීම් ලැබීමෙන් පරිණත වූ අයෙක්ගේ ලකුණු පෙනෙන්නේ. ඒ කතා එකතුවේ එන, ‘සිංහයා’ කතාව ඇතුළු කතා කිහිපයක් ම ප්‍රධාන සිදුවීම මොකක්ද කියල අපිට නොතේරෙන්න ලියන්න ඇය සමත්. හැබැයි කතාව ම කියෙව්වට පස්සෙ සේරම ප්‍රධානයි නේද කියල හිතෙන්න ගන්නව. මේ රචනා රටාව එෆර්ට්ලස් එකක් වගේ අපිට දැනුනට, ලියන්න ඇය වෙහෙස වෙන බව
නොරහසක්.
‘නිදි නැති නිම්නය’, ඇගේ අලුත් කෙටි කතා සංග්‍රහයට එද්දි, ඇගේ රචනා ක්‍රමය අර කියන අපිව හෝන්දු මාන්දු කරවන ප්‍රධාන සහ සෙසු දේවල් වෙන්කරල හොයාගන්න බැරිතරම් සියුම් රචනා රටාවක් පෙන්වනවා. ශිල්පීය ලක්ෂණ හඳුනාගන්න අපි දරන ප්‍රයත්නයට සාධාරණයක් ඉටුවෙනව. වටකුරු, පරිසමාප්ත කෙටිකතාවක් ලියන්න ඇය සමත් වෙනවා. තේමාත්මක විවිධතා, ආකෘතික විවිධතා මතුකරනවා. චරිතවලට කිඳාබහින්නෙ සැත්කම් පිහියක් සමට කිඳාබහිනව වගේ කපාගෙන ඉරාගෙන නෙමෙයි, හම හූරල අරගන්නව තරම් නිශ්චිත, තෝරාගත් තැන්වලින්. තරංගා අපිට ඒ ඒ චරිත ගඩොල්වලින් ගොඩනගන්න යන්නෙ නෑ, සම්පූර්ණ චරිතයක් පෙන්වන්නෙ නෑ, චරිත අපිට තේරුම් කරවන්න යන්නෙ නෑ, ඒ චරිත ඒ ඉන්නා සැටියෙන් ම, ඒ ක්ෂණික කැඩෙන බිඳෙන ස්වභාවයන් එක්ක ම පෙන්නනවා.
මේ කතා අජිත් තිලකසේනගේ වගේ.චිත්‍රපට දර්ශන වගේ, දකින දේ පෙනෙන විදියෙන් කියනවා. ප්‍රභාත් ජයසිංහගේ වගේ කලාත්මකයි. බොරුවට කතාව දික්ගස්සන්නෙ නෑ. වටේ යන්නෙ නෑ. අරපිරිමැස්මෙන් කෙටිකතාවක් රචනා කරන්න ඇය මහන්සි අරන් තියෙනවා. කෙටිකතාකරුවන්ට වැඩිය අල්ලගන්න නොලැබුණු පැති, තේමා ඇය කතාවට අරගන්නවා. කම්මැලි නොවෙන්න කතාව වවනවා. මේ කතාවලින් කෙටිකතා ගැන ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.
මේ අලුත් කෙටිකතා සංග්‍රහයේ මගෙ ප්‍රියතම කතා දෙක, ‘මහ බඹාට මූණු දෙකයි’ සහ ‘රතු කොට්ටම්බා ගස්’ කියන කතා. මහ බඹාගේ කතාවෙදි, පටන්ගන්නෙ ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන් සුදාගේ කොණෙන්. මැදක් හරියට එද්දි කුමාරිගේ කෝණයට පනිනවා. මේ කතාව වවලා තියෙන ලස්සන – කලාත්මකයි!
කොට්ටම්බා ගහේ කතාවෙදි, ගණිතය ඉගෙනගන්න දැරියකට ඉස්කෝලෙ පේන්නෙ කොහොමද, ගුරුවරු හැසිරෙන්නෙ කොහොමද, ඒ දැරිවි විදුහල්පතිනියක් වුණාම අතීතෙ දැනෙන්නෙ කොහොමද කියන දේවල්, ගණිතය විෂය කරුණු අස්සෙන් අරන් කියන විදිය, කතාව ලියල තියෙන විදිය ආකර්ෂණීය යි. ඒ කතාවෙ එන උපුටන දෙකක්, පහතින්.
• “සුනිල් සර් ගණිත පොතේ 8 වෙනි පාඩම පෙරළාගන්න යැයි කියයි. සුනිල් සර් මහා කෝණයක් වී පන්තිය මැද හරියට ම සිටගෙන සිටියි. සර්ගේ සමචතුරස්‍ර ඇස්වලින් අපිට ගැලවීමක් ලැබෙන්නේ නැත…”
• “මම ABCD = 80cm2 ලෙස කළුලෑල්ලේ ලියා සර් දෙස බැලුවෙමි. සර් මගේ තීන්ත පෑන අතට ගෙන ඒ දෙස බලා සිටියි. මට පොළොව පලාගෙන යන්නට සිතුණි. තීන්ත පෑනේ බඳ පුපුරා ගොස් තිබුණි. මම සෙලෝටේප් තොගයක් ඔතා එය පිළිසකර කොට ඇත්තෙමි.
‘මොකක්ද කියපං ප්‍රමේය…’, සර් මගේ තීන්ත පෑන සාක්කුවේ දමාගෙන මගෙන් ඇසුවේ ය.
‘එක ම ආධාරකය මත හා එක ම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි සමාන්තරාස්‍ර වර්ගඵලයෙන් සමානයි.’ “
නිදි නැති නිම්නය පොතේ කවරයට, මුල් කෙටි කතා සංග්‍රහයේ කවරය තරම් ම අවධානයක් යොමුකළා නම් කියන අදහසේ මම ඉන්නවා. ඒ වගේම, පොතේ නමට ‘මහ බඹාට මූණු දෙකයි’ කියන නම වඩාත් සුදුසුයි කියල මට කියවලා ඉවර වුණාම හිතුණා. කතා සංග්‍රහයේ මට දැනෙන Masterpiece එක ඒක.
තරංගා රණසිංහ දිගට ම කෙටිකතා ලිවිය යුතු අයෙක්.