තුර්කියෙන් පසු ඉන්දියාවේ භූ කම්පන අවදානමක් : කොළඹට බලපෑම්? : වසර 02කට පෙරත් අත්දැකීමක් !  

Share post:

ඉන්දීය භූ විද්‍යාඥයන් අනාවැකි පළකරන ආකාරයට රිච්ටර් මාපකයේ ඒකක 8ක අගයක් සහිත භූමිකම්පාවක් එරට සිදුවුවහොත්, එහි බලපෑම අනිවාර්යෙන්ම කොළඹ නගරයට දැනෙනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

වසර 02කට පෙර ඉන්දියාවේ හිමාලය ආශ්‍රිත කලාපයේ සිදු වූ රිච්ටර් මාපකයේ ඒකක 5ක අගයකින් යුත් භූකම්පනය ද කොළඹ නගරයට දැනුණු බව මහාචාර්යවරයා සඳහන් කර සිටී. කෙසේ වෙතත් මෙසේ අනාවැකි පළකළ ආකාරයට ම ලෝකය පුරා භූ කම්පන සිදු වී නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

හින්දුස්තාන් ටයිම්ස් වාර්තාව

හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ 35,000කට අධික පිරිසක් මරණයට පත්වූ තුර්කියෙන් සහ සිරියාවෙන් පසු බරපතළ භූ කම්පන අවදානමක් ඉන්දියානු සාගරය වෙත පැමිණෙමින් තිබෙන බවයි.

ප්‍රකට භූ විද්‍යා පර්යේෂකයෙකු වන ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් (Frank Hoogerbeets) උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ තුර්කියේ සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනය සම්බන්ධයෙන් ඊට දින 03කට පෙර ඔහු අනාවැකි පළකර තිබූ බවයි.

ඉන්දියානු උප මහාද්වීපය ආශ්‍රිත කලාපයේ මීළඟ බරපතළ භූ කම්පනය ඇති විය හැකි බවත්, පාකිස්තානු – ඇෆ්ගනිස්තානු සහ ඉන්දීය කලාපය මීළඟ අවදානමට මුහුණ දිය හැකි බවත් ඔහු පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ෆ්‍රෑන්ක්ගේ මතය පිළිබඳව අදහස් දක්වන තවත් භූ විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ භූ කම්පන සම්බන්ධයෙන් මෙසේ නිශ්චිත තොරතුරු සඳහන් කිරීම ප්‍රයෝගික නොවන බවයි.

ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය

ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ මේ ආකාරයට භූ කම්පන පිළිබඳව අනාවැකි පළකිරීම එතරම් සාර්ථක නොවන බවයි. එහෙත් දීර්ඝ කාලීන අධ්‍යයන මගින් සහ ස්වභාවික වෙනස්කම් මගින් ඉදිරිපත් කරන තොරතුරු සාපේක්ෂව සාර්ථක වූ අවස්ථා සම්බන්ධයෙන් ද එම ආයතනය කරුණු ඉදිරිපත් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ චීනය භූ කම්පන සම්බන්ධයෙන් ස්වභාවික වෙනස්කම් සහ සතුන්ගේ හැසිරීම් මත අනාවැකි පළකිරීම මීට උදාහරණ ලෙස දැක්විය හැකි බවයි. පසුගිය ජනවාරි 29දා චීනයේ සිදු වූ භූ කම්පනය පිළිබඳ එරට පළකළ අනාවැකි තරමක් සාර්ථක වී තිබිණි. එම අනාවැකිවල නිශ්චිත දිනයක් නැතත්, භූ කම්පනයක් සිදු විය හැකි බව සඳහන් විය.

ලංකාවේ තත්ත්වය

පසුගිය දිනවල බුත්තල ආශ්‍රිත ප්‍රදේශයේ රිච්ටර් පරිමාණයේ ඒකක 3ට ආසන්න භූ කම්පන කිහිපයක් මෙරට ද සිදු විය. ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් සඳහන් කර නැතත්, විද්‍යාඥයන් විසින් ඒ පිළිබඳ ගවේෂණය කරමින් සිටින බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය මාධ්‍ය වෙත සඳහන් කළේය. ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටියේ වෙනස්කම් මීට හේතු විය හැකි බවත්, එය දීර්ඝ කාලයක සිට සිදුවෙමින් පවතින්නක් බවත් විද්‍යාඥයෝ  මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබිණි.

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...