සෙරෙප්පු

502

මේ සෙරෙප්පු දමාගෙන
ගැබ්බර බිරිය බලන්නට
ඉස්පිරිතාලෙ යන්නැති
පොඩි දුවක් හිතින් වඩාගෙන
ආපහු ගෙදර එන්නැති

මේ සෙරෙප්පු දාගෙන
එළවළු ගේන්න
ඉරිද පොළට යන්නැති
පොඩි උන් උස් මහත් වන හීනයක්
මේ සෙරෙප්පු උඩ තියෙන්නැති

මේ සෙරෙප්පු දමාගෙන
ෆුට්බෝඩ්වල එල්ලිල යන්නැති
බේත් පෝලිම්වල ඉන්නැති
අත්වලින් ගලපු ඩාදියත්
ඇස්වලින් ගලපු කඳුළුත්
මේ සෙරෙප්පු සිප ගන්නැති

මේ සෙරෙප්පු දාගෙන
අලුත් හීනයක් දැක දැක
ඊයෙ ගෙදරින් එන්නැති
අලුත් ලෝකයක්
මේ සෙරෙප්පු උඩ තියාගෙන
ආපහු යන්න හිතාගෙන එන්නැති

ඒ එක හීනයක්
තාම ගෙදර ගිහින් නැතුවැති
මේ සෙරෙප්පු දාගෙන
ඒ හීනෙ ආපහු එනකන්
ගොඩක් උන් බලන් ඇති

ලහිරු කරුණාරත්න