‍රහස හෙළිකර… ඒ කදු තමන්ගෙ කාරිය කළා…

Share post:

සිනමාකරුවෙක්ගෙ අභ්‍යන්තරයේ තෙරෙපෙන යම් සහකම්පනයක්වේ ද….

ඒක එයා කොහොම එළියට දමාවිදැයි කාටවත්ම හිතාගන්න බෑ…

සිනමාකරුවන් දුර්ලබ වෙන්නේත්.. වටින්නේත්.. ඔවුන් මහ පුදුම මිනිසුන් කොට්ඨාසයක් වන්නේත් ඒ නිසාමයැයි සිතේ….
සිනමා කරුවෙක්ගේ සමාජ කියවා ගැනීමක්, සහකම්පනයන්, සමාජය විනිවිද දැකිම්, ඒ අවබෝධයන් , ඒ ප්‍රශ්න කිරීම් සියල්ල ඔහු අපට ප්‍රක්ෂේපණය කරන්නේ ඔහුගේම වූ ක්‍රමයකට….එතනදි ඒවා ඒ ලෙසම අපටත් දනවන්න එයා කරනවා හරිම වෙනස්ම ගෙත්තමක්… .
අහකින් ඉන්න අපේ හදවතට මනසකට අර සියල්ල දනවන්න නම් කම්පනයක් ඇතිකරන්න නම් නිර්මාණකරුවාට සිද්ධවෙනවා මුලින් අපේ මනසට සියුම්ව ඇතුළුවෙන්න…, ඒක නතුකරගන්නත්…..

නිර්මාණයට ඔහු යොදන්න තීරණය කරන නමේ සිටම, පූර්ව ප්‍රචාරක පටයේ සිටම…සිනමාපටය අපේ ඇස් ඉදිරියේ මුලින්ම දිගහැරෙන ඒ පළමු රූපරාමුවේ සිටම…. බොහොම සීරුවට ඔහු කරන දෙයක් ඒක….

එතැන් සිට හෙමින් දිගරෙන හැම රූපරාමුවක්ම සහ ඒ එක් රුපරාමුවක් තුළ කොනක හෝ පෙන්වන පවතින හැම නිශ්චල චංචල දෙයකම , සියුම් හඩකම උචිත අනුචිතකම ගැන සාවධානව ඒකාග්‍ර වූ චිත්තයක මේ නිර්මාණකරුවා එතැන් සිට යන්නේම භාවනාවක….
හෙමි හෙමින් පාද තබමින් අතුරේ යන්නාසේම කිසිම අනවශ්‍ය යමක් නිර්මාණයට මුසු නොවන්නටත් වගබලා ගනිමින්..පත අට එකට සිදවා ගත් හොදම සාරයෙන් කරන ගෙත්තමක් සේම…ඔහුගේ මනස තුළ ඒක ස්පිරිට් එකක හදලා අපට තිළිණකරනවා…. වටිනා සිනමා නිර්මාණයක තියෙන සුවිශේෂත්වයත්, අපූර්වත්වයත් ඒකමයි.

මනුවරණයන්ගේ සිනමාපටය මේ සියල්ලම එසේ සිතවන්නට සමත් වූ අතර කිසිවක් ලියන්න බැරි තත්ත්වෙට ද පත්කළා.
හේතුව..එකේ අර කිව්ව අපූර්ව සිනමාත්මක බවට අමතරව තියෙන අනෙක් සුවිශේෂී දේ…එනම් ඒ කතා ප්‍රස්තූථය සහ එය ඔහු ඒ කිව්ව අපූර්වම ආකාරය…..

අපේ හිත්වල කිදා බැහැලා තෙරපෙන රිදුම්දෙන ඒත් කියාගන්න බැරිව ඉන්න වේදනා ඇරියස් එකක් ඔහු පාදක කරගන්නේ….
මනුවරණ සියුම් සිනමා උපක්‍රමවලින් අපේ හදවතේ අර ගැඹුරු රිදුම නිර්මාණාත්මකව කෙනිත්තුවාම බලන කෙනාට ඉතින් මොකද වෙන්නේ හිතන්නකො…එතකොට අර දෙකම බලන්නා තුළ එකට මිශ්‍රවෙලා ඒ නැගෙන සිතුවිලි මහගොඩක් දේ කතාකරන්න ගන්නවා…
ඔහු මෙතෙක් රටේ සිද්ධියක්ව තිබූ එය… මානුෂීය නිර්මාණශීලී පුළුල් කියවාගැනීමකට පත්කළා…
ඉතින් ආන් ඒ සියල්ල අපිව අන්තිමට ගොලු කරවනවා… ඒ සියල්ලට සාධාරණයක් කරන්න තරම් මම තරම් නොවන අතර මට මගෙම හිතෙන් නිදහස්වෙන්න නිසා පෑන අතට ගත්තත්
සමාවෙන්න හැකිතාක් කෙටියෙන් ලියන්නම්……

මීදුමෙන් වැසුණු සුන්දර පරිසරයක තේජසින් සොදුරු සුවයක් විදිමින් පාඩුවේ ඉන්න කන්දකට එසේ ඉන්න නොදෙනවානම් ඒ කවුරුන් ද…?
ඒ සොදුරු නිහඩ කදු යටත් හාරා රටක වටිනා තාරුණ්‍යයක් වද දී වළ දාද්දි…කන්දත් පවා නිකම් ඉන්නෑ…රහසින් හරි ඒ අසාධාරණය කියන්න තමන්ගෙ හඩ අවදි කරනවා….
එය සොබාදහමත් කම්පිත කළ දෙයක් බව ඒ නම තුළින්ම අපට කියනවා…..

ගම්වල හෝ නගරයක දෙමාපියෝ දරුවෙක්ව උස් මහත් කරන්නේත් උගන්වන්නේත් කැම්පස් එකකට එවන්නෙත් දාහක් දුක් විදලා…වරදක් කළොත් දඩුවම් දෙන්න නීතියක් ද රටක තියෙනවා..අම්මෙක්, තාත්තෙක් ඉන්නවා.. හිතු මතේ මරාදාන්න බෑ…ඒත් එසේ වුණා…
අනෙක් පැත්තෙන් දුක්වින්ද පවුලකින් කැම්පස් එකකට ආව ඒ හිත්වලට තරම් අර දුක් කන්දරාවත් ඒවාට හේතුවන දේශපාලන සම්බන්ධයත් දකින්න හැක්කේ වෙන කාට ද..?

අනෙක් පැත්තෙන් ඒ අයට විතරක් නෙවේ පාසලකට හෝ නොගිය ගැමියෙක්ටත් තේරෙන දැනෙන අසාධාරණකම් පීඩන රැසක් පාලකයින්ගෙන් දිගින් දිගටම වෙද්දි රටේ හැම තැනින් ඒවාට විරුද්ධ කසුකුසු හෝ ඇති නොවෙයි ද…? ඇති වුණා.

රහසේ කතාකරන ඒ අසාධාරණයන් කැම්පස්වල ඉගෙනගත් තාරුණ්‍යයට වඩාත් හොදින්ම දැනුණා…ඔවුන් එයට විරෝධතාවක ම පෙරමුණට ආවා.
ඒත් ඒ සියල්ල අභිබවා පාලනයේ පීඩන මර්ධන ඒකාධිපතිකම් වෙද්දි විරෝධතා පිකට් උද්ඝෝෂණවලට එහා යන තැනට අත්දැකීම් අඩු තාරුණ්‍යයක් ස්වභාවිකවම පත්වෙන අතර හේතුව අර දැඩි පීඩන මර්ධනමයි. ඒවා දැනෙන උන් එයට තව තව එක් වෙනවා සහ කවුරුම හෝ නායකත්වය ද දෙනවා…
ඒකාධිපති පාලනයකට තම කටයුතු විවේචනය කරන එම කණ්ඩායම බාධාවක් වෙද්දි…එනපොට හොද නැති වෙද්දි…. අර කණ්ඩායම ,එහි නම,ඒ නායකත්වය ,ඒ දර්ශනය, ඒ සාමාජිකත්වය ගැන ජනතාව අතර අප්‍රසාදයක් ,බියක් මැවිය හැකිනම් එයයි හොදම විසදුම කියලා දකිනවා.. බලය වෙනුවෙන් ජනතාව අන්දා තමන් ගැළවුම්කරුවන් ලෙසත් පෙනී ඉන්නට සහ ඉන්ද නොනැවතී ජනතාව අතරින් යළිත් කිසිවෙක් සත්‍ය සාධාරණය යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් නොවන්නට, හඩක් නොනගන්නටම බියවද්දා සමූල ඝාතනය කර ජනතාව නිහඩ කරන්නට හැකිනම් එවන් පාලකයින් එය කරනවා…. (ලෝක ඉතිහාසයෙත් එයට සාක්ෂි තියෙනවා)
එවන් වූ සංකීර්ණ අවනඩුවක් සිනමාවට ගෙන ඒම ලෙහෙසි පහසු කාරියක් නම් නෙවේ.

එවන් තාරුණ්‍යයක එවන් හඩවල් සමූහ වශයෙන්ම වැළලූ විට…ඔවුන්ව නිහඩව දරා ඉන්නට අර කන්දකට පවා කෙතෙක් කල් ඉතින් පුලුවන් වේවි ද….?
එදා ඒ කෘරත්වයෙන් මිදීමට කදු අතර කැළයේ සැගවුණු වුණු ප්‍රසන්නලාගේම එකෙක් වූ අපූරු සිත්තරෙක්… ඒ මහා ඛේදවාචකය ගැන ඇන්ද සිතුවමකට දාලා තිබ්බ නම ඒකයි……
( Pradeep Chandrasiri ගේ සිතුවමක අපූරු නම)

” රහස් කියන කදු “…
මුලින්ම හිත කම්පනයට පත්කළේම චිත්‍රපටයට දමා තිබූ ඒ අපූරුම නමයි..එයින් දෙන අරුත් බොහොමයි…
ඔව්..ඒ මරා දැමුවේ… රටේ කදු වැනි තාරුණ්‍යයක්…
ඒ රහස කියන්න ඔවුන් එළියට ආවේ නිකම්ම නෙවෙයි…
දැන් හෝ සාධාරණයක්…ඒ සදහා ජුරියේ අසුන් ගැනීමක් අපෙන් ඉල්ලලා‍යි….
කෙටි චිත්‍රපට කළ දඩබ්බරයෙක්ගේ සිනමා පටයක මූල් රූපරාමු තිරයට එන්න ඕනේ කොහොමද…?
ඔව් ,ඒකත් වෙන්න ඕනේ දඩබ්බර ලෙසම තමා..ප්‍රස්තූථයමත් එවැන්නක් වෙද්දි..සොදුරු නැලවිලි නෑ….ඒක එකපාරට පටන්ගත්තා… අමුතුම රුපරාමුවලින්…
කෙටි දෙබස්වලින්…..
භාගෙට මළ තාරුණ්‍යයේ දුබල හඩවල්…

යළි යළි ඇසෙන දැඩි කපටි ප්‍රශ්න කිරීම් ළග තමන්ගේම වාසගම පවා අර බලවතාට අවැසි ලෙස වෙනස්වෙද්දී….එවැනි අති පිඩිත පසුබිමක බලෙන් කරවාගන්නා ඒ පාපොච්චාරණ…..
ජගත්ගේ දෙබස් සහිත එකම රූපරාමුව…ඒ මූණ….
තමන් සිය දිවි නසාගන්න තීරණය කළබව පවසන ඒ බිදුණු හඩෙහි කඩා වැටුණු ආත්මය..මුහුණේ භාව ප්‍රකාශනයන්…තවමත් කැණ හාරා එළියට නොගත් රන් ආකරයක රංගනයක් එය..කම්මුල් දිගේ හෙමින් ගළායන කදුළු බිදු කිව්ව දේ, ඉල්ලූ දේ බොහොමයි….

එය ඇරඹෙන්නේ එහෙමයි. කෙටි කෙටි දෙබස් ඛණ්ඩ ඒ බර රූපරාමු කීපය සමග ඔහු ප්‍රේක්ෂකයාව තමන්ගෙ රිද්මයට, ග්‍රහණයට නතුකරන් ඉවරයි…. ඒක උඩට අල්ලාගත් හුස්මක් සේ චිත්‍රපටය අවසන් වෙනකම්ම ඔහු පවත්වාගෙන යන්න සමත් වුණා.

කෙනෙක්ට හිතෙන්න පුලුවන් සත්‍ය සිදුවීම් රැසක් පාදකයිනෙ මෙයට ….ඉතින් වාර්තාමය බවක් තිබිය හැකියි නේද කියලා..නෑ….එහෙම දැනෙන්න ඉඩක් එහි තිබ්බේ නෑ…එය කියන්න ගත්තෙම වෙනම විදිහකට….ඒ කියපු සිනමාත්මක විදියයි අපූරු…..
(එයට අයත් සිනමා භාෂාවක ඒ සියලුම අක්ෂරයන් සහ ඒවායේ උච්චාරණ විදි )
සිනමාකරුට කියන්න අවශ්‍ය සියල්ල කදිම නිර්මාණාත්මක ගොඩනැගීමක කියන අතර ඒ නිසාම එය ප්‍රබල කරවාගත් පුළුල් පරාසයක හොදින්ම කතාකරන්න සමත් වෙලා තිබ්බා…

තාරුණ්‍යයේ හඩට සහ ජීවිතවලට එදා අත තිබ්බත් , තාරුණ්‍යයේ මේ නිර්මාණයට අත තියන්න බෑ ඒනිසාම….
ඒක හරියට…පුලුවන්නම් මේ කටත් වහන්නයි චැලේන්ජ් කිරීමක් වගේ.

සාම්ප්‍රදායික බලි තොවිල් ශාන්තිකර්ම ආකෘතියකට ඔහු අර තමන්ට කියාගන්න අවශ්‍ය ඒ සියල්ලම එසේ ගත්තේ කෙසේදැයි හිතුණා…ඔව් එයයි නිර්මාණාත්මක අපූරු පරිකල්පන හැකියාව. ඒවා බහු අරුත්ම දෙමින් හොදින් කතා කළා අපට..සංඛේතාත්මකව ව්‍යංගව ඒවා තුළින් අවශ්‍ය සියල්ල වඩාත් හොදින් තියුණුව උපහාසාත්මකවම කතාකරන්න වුණා….
Black commady

යකුන් , මළගියවුන් හෝ දෙවිවරුන් ආවේශවෙමින් දුම්මල සුවදින් බෙරහඩින් ජනයාව මෝහනයට පත්කර තමන්ට අවශ්‍ය මෙල්ලකරගැනීම් කරන්න රතු ඇදගෙන කුකුළ් ලේ බිලිදෙන කපුරාළලා ට මෙදා ඒ අණ ලැබී ඇත්තේ තරුණයින් අමුවේ ඝාතනයටයි.
ඒ යක්ෂයාගේ අණින්…
ඒ අණෙහි සදහන් ඒ ඒ ආකාරවලට වද දී විවිධ ආකාරයට අමුවට මැරීම සිදු වෙයි…
අණ ලැබෙන්නේ ඉහළිනි…
යක්ෂයා දෙවියන් ලෙස පෙනී සිටියහොත්…? එවිට එය වඩාත් භයානකය….

පාළු සැගවුණු ගෙයක් තුළ මිනිසුන්ව වදදී මරා ඒ මිනී ගොඩවල් ළග රවුමට වාඩි වී කාඩ් ගසන සිල්වා උදම් අනන්නේ ආන් ඒ යක්ෂයා ගැනයි….
…මරණයට කැපවුණු උන්ට තම සගයින්ගේ මිනී අසළම තම මරණය පෙනි පෙනි කණුවල ගැට ගැහී සිල්වලාගේ මේ කතා අසා ඉන්නට ද වෙයි.එතරම් පහළට ජීවිතවල වටිනාකම් ඇද දමා තිබුණි.

යක්ෂ අණින් පොලිතින්වල ගැට ගැසෙන්නේ ගෙදර බුදුන් මව් වරු ආදරයෙන් හැදූ වැඩූ ඉගැන් වූ දූවරුය,පුතුන්‍ ය.සැමට සාධාරණ යහපත් රටක් ඉල්ලූ වරදට වද දී මරා දැමීමට ලක් වූ ජීවිත………

පාලනයේ මේ මරා දැමීම් ලොවට වසන් කරන්නේ එය තාරුණ්‍යයේම සියදිවිනසා ගැනීම් ලෙසයි. නමුත් එහි ඇත්තේ බොරුවක් බව වටහාගන්නට සමත් හාමුදුරුවන් වැනි අයද මේ භයානක වාතාවරණය ළග නිහඩය. නමුත් කැම්පස් යන පන්සලේ පොඩි උන්නාන්සේලාව බේරාගන්නට ඕනෑ බව සිල්වාට කියයි. රටක් නිහඩ කරවා , ඔවුන්ට අවශ්‍ය මතය වපුරා රටක්ම බියගන්වා තබා ඇත්තේ මාධ්‍යය විසින් සැලසුම් සහගතව පතුරන දේ තුළිනි.
පාරවල්වල දෑත් බැද පිළිස්සෙන මිනී ඇති මුත් මැරූ බවට සාක්ෂි නැත. රහස් පාලු තැන්වල හෝ රාත්‍රියේ මරා සියදිවි නසා ගත් බව දන්වා පුළුස්සයි…පාලකයා තමන් ඒ කියන දේ පිළිගන්නට මාධ්‍ය හරහා තරයේ පවසයි.

මරාදැමූ සිරුරුවල ලේ හා සාක්ෂි හේදී යන්නට හෝස් අල්ලන්නේ මසට මැරූ සතුන්ට මෙනි…මළමිනී අතර පණ අදින එකෙන් දගලනු දැනුණොත් පොලු පහර දෙන්නේ කෙසේ දැයි හිතා ගන්නට වෙහෙසෙන්නට පවා හිතකට නුපුලුවන …

මිනිසත්කම බිංදුවෙනුත් පහළට දමා සියල්ල ඊටත් වඩා අන්ත තත්ත්වයක සිදුවුවත් ජනතාව නොදනී. රටේ කිසිවෙක්ට ඒවා බලන්නට ඉඩ නැත.රහසේය..
විශේෂ රූප සලකුණක් ඇලවූ තැන්වලට සාමාන්‍ය ජනයාට එන්නට තහනම් බව මාධ්‍යවලින් ප්‍රසිද්ධ කරන්නේ මෙරට සැබෑවටම පැවති වදකාගාර සිහිගන්වමිනි.

මාධ්‍ය රට පුරා පතුරන්නේ තරුණයින් අතර වැළදී පැතිරෙන මහා භයානක ලෙඩක් නිසා එය අනෙක් අයටත් බෝ නොවීම සදහා ඔවුන්ව වෙනම තැන්වල සිරකර තබන බවත් ලෙඩේ වෑඩි වූවිට ඔවුන්ම සියදිවි නසාගන්නා බවත් මේ පුළුස්සා දමන්නේ ඔවුන්ව බවත් ය.
ඔව්…නිවැරදිය… සත්‍ය දැකීම සහ අසාධාරණයට එරෙහිව හඩගෑම අදත් ඇතමුන් දකින්නේ ලෙඩක් , වෛරයක් ලෙසය. එවැන්නෝ වෛරය සහිත ලෙඩුන් ලෙසය.

ඉතින් සාධාරණය වෙනුවෙන් නගන ඒ අදහස් බෝවීම වැළකීමට වද දී මරා දමා බියවද්දා මහමග පිච්චුවේම මානසිකවත් මර්ධනයක මුළු රටක් බිය ගැන්වීමටය…ලෙඩ බෝකර නොගැනීම එයයි.

එදා ඒ තරුණයින් අසහනයෙන් පෙළෙන්නවුන් බවට ප්‍රචාරය කරමින් වංචනික ලෙස වරදට ද පොළඹා ඔවුන් පිළිබද ජනතාව තුළ බියක්, හෙලාදැකීමක් ද ඇති කළ බව දනිමු…ඒ බ්‍රේන් වොෂ්වලට ලක්වූවෝ අදත් එම තාරුණ්‍යය හෙලාදකින අතර නමුත් ඒ සියල්ල කළ පාලකයින් යටතේ පාඩුවේ ජීවත් වීමේ අවුලක් ඔවුනට නැත.ඔවුන් විශේෂයෙන්ම මේ සිනමා පටය නැරඹිය යුතුම විය.

ඉහළින් හිදින යක්ෂයාගේ මේ අණදීම් ක්‍රියාත්මක කරන්නෝ යක් දාසයන් ය…ඔවුන් තමන් මේ කුදලාගෙන එන්නේත්, වද දී මරාදමන්නේත් තමන්ගේම හඩ බව, ඒ හඩ නගන තමන්ගේම උන්ව බව පවා නොසිතෙන්නට ඒවා රස්සාව පිට දමයි. සොච්වම් පඩියට,තනතුරට දුක්විදිමින් තමන්ගේම උන්ගේ හඩ මරා දමමින් දේව කාරිය ඉටුකොට මුදල් හා තනතුරු පතති.

ඉතින්….
කොටස් වශයෙන් ගෙවීමට ගත් ශීතකර‍ණයේ වාරික පවා ගෙවාගන්නට නොහැකි සිල්වා කැපවී මිනී මරන්නේ ජීවන අරගලය තුළ තමන් ද විදින ඒ පීඩන තිබිය දීමය.එය කදිම උපහාසයකි….පාලකයා ද ඒ පීඩනයන් විදින සිල්වලාවම රැකියාවේ නාමයෙන් අමානුෂික ලෙස අර හඩ නසන්නට අත කොලු කරගත්තේ සිල්වලාගේ එම පීඩනයන් අවිඥානිකව පිටකිරීමට මගක් දී එහි වාසියත් ලැබීමට මෙනි.

අවසන තමන්ගේම උන්ගෙන් වෙඩි පහර කෑ සිල්වාගේ මළ මිනිය නිලධාරීන් විසින් මහ මග දමා යන අතර එය බැර වෙන්නේ කාගේ ගිණුමට ද…?
ලොවටම ධර්මද්වීපයයැයි බෝඩ් ගසාගෙන සිටින රටක මෙවන් දේ සිදුවෙද්දී ඇතැම් හිමිවරු සිමෙන්ති මහළ් නංවති, තම වාහනයේ ලීසින්වලට මුදල් සොයති, සිනමාකරු සමාජයේ මේ අවුල් තැන් උපහාසයක මතුකර අපටම හැදිනගන්නට පසුබිම් සකසා අපේ සිත තුළම ප්‍රශ්න කරයි.
සිනමා පටය මතුපිටින් බලන්නෙකුට ද සිනහව තුළින්ම සිතන්නට යමක් දීමට සිනමාකරු වගබලා ගෙන ඇත්තේ ඒ සිනහව ම ගැඹුරින් ද තවත් රේඛාවක මනාව භාවිත කරමිනි.

වැලෙහි දමා ඇති අතුරුදන් පුතාගේ ඇදුම් අව්වට වේලී වැස්සට ද තෙමෙයි…ඒත් ඒවා ගෙන අදින්නට පුතා නැත…ඒවා ගෙට ගන්නට මවට කල්පනාවක් ද නැත..මවට අනුව පුතාට මේ අපලය..ජනතාව සත්‍යයෙන් පළායන්නේ යම්තාක්ද ඒකාධිපතියන්ට ඒතරමට හොදය..ඉතින් මව.පුතාගේ අපල ගෙවෙන්නට බෝධි පූජා කරයි…ඇය වියළීගිය මුහුණින් , හැගීම් විරහිත ගැඹුරු දෑසින් හිස් අවකාශයක් බලා හිදියි. දෑස්වලින් කදුළු වේලී යන්නේ නිකම්ම නොවේ.
මළ මිනී වූ දෙමව්පියන් ගෙවන ඒ දිවිය ද හුස්මක් පාසා මියයාමට වැඩිදෙයක් නොවේ. පියාට සිහියෙන් දවසේ පැය ගෙවාගන්නට නොහැක. ඔහු ගමේ සැබෑ ගුරුන්නාන්සේය. ඒත් බෙරයට නිකම් ගසමින් අගහිගකමෙන් ද තෙරපෙද්දී ගමේ කපුවාගේ කාර්‍යය ද වෙනත් කණ්ඩායමක් අවභාවිත කරයි.
මිනී මත තබා පණපිටින් ගෙළ සිදින්නට තමන්ගේ පුතුව මහ පාන්දර රැගෙන යන වාහනයේ එළිය පියාට පේන්නේ දේවතා එළියක් ලෙසය..සමාජයේ එවන් පසුබිමක කාරණාව අනුමාන කරන්නට හෝ දන්නා සිතක් එසේ සිතන්නේ ඇයි…ඒ එයට හය්ය නැති නිසාමය..ඉතින් සිත සනසාගන්නට ඒවා දේවතා එළියැයි සිතා ගැනීම හොදයි…පිහිටකුත් අවැසිය…වෙන ඔවුන්ට කරන්නට දෙයක් නැත. අවලංගු කාසිය.
වද හිංසා විද තවත් දුබල වූ කෙසග සිරුරෙන් ප්‍රසන්න වෙඩිත් කාගෙන අපහසුවෙන් දිව යයි….
මියගිය තම සගයාවත් කරතබාන ඒ දුබල සිරුර ගෑටුවත් පසුව අර සගයාගේ අතක් මාංචුවේ එල්ලෙයි…..
ප්‍රසන්නව සොයන්නට එන එක් නිලධාරීයෙක්ට ඔහුව හසු වුවත්…
වෙඩි තබන්නට ඔහු ප්‍රසන්නට තුවක්කුව මානාගෙන සිටියත්….

අවසානයේ ඔහු ප්‍රසන්නට යන්නට දෙන්නේ යටපත්ව තෙරපී තිබූ හෘද සාක්ෂිය මතුවීමෙන් බව වටහා ගන්නට පවා ඔහු නොදනී. මානුෂීය බවක කටයුතු කළ නිලධාරීන් ද අර අතර වූ බව සත්‍යයකි.

සම්මතයේ කළු ලෙස පවසන අරක්කු සිගරට් ද බොන… ඒ නොදත් ගණිකාවගේ සෘජු මානුෂීය හිත අඩු ඇදුම් සහිතව පවා ප්‍රසන්නව බේරාගන්නට දගලන ආකාරයෙන් අප සොයන මනුෂ්‍යත්වයේ තවත් සමාජ පැතිකඩක් අපට සංඥා කරයි…
එසේම එදා මෙරට තාරුණ්‍යයක් විදින්නට ඇති වද හිංසා වේදනා ගොන්න කෙතරම් වන්නට ඇත්දැයි ඒ සියල්ල යටින් පවසයි.

අර නිලධාරීන් නිරන්තරයෙන් කුණු හරුප පවසමින් පීඩන පිටකරමින් රැකියාවේ නාමයෙන් නිර්වින්දිත මනස්වලින් ඒසා අමානුෂිකව මිනී මැරීමට පෙළඹීම් තුළින් අයහපත් පාලනයකට මිනිසුන් නොමිනිසුන් කිරීමට ඇති ඒ හැකියාව පෙන්වයි.

තමන්ගේම ඉහළ නිලධාරීන්ගෙන් පොලු පහර කන පහළ නිලධාරීන් ප්‍රේක්ෂකයා දෙසට හැරී මුත්‍ර කිරීමෙන් ප්‍රේක්ෂකාගාරය හිතාමතාම අපහසුතාවට පත්කරන අධ්‍යක්ෂවරයා අර අමානුෂික සියල්ල නිහඩව ඉවසා සිටීම ගැන ප්‍රේක්ෂකාගාරයට තමන් ගැන ලජ්ජාවීමටත් අවදිවීමටත් සැලැස්සුවා දෝයි සිතේ.
ලස්සන Cinematography එකක්….අපූරු Camara movementams,දක්ශයින්ගේ දක්ෂ රංගන spirit එක,අපූරු diliver එකක්….etc
සියල්ල ගැන ලියන්නට නොසිතමි.

එක පිට එක වෙඩි සද්ද ඇහෙද්දී හිටිවනම හිදගෙන ජීවයෙන් තොර මුහුණුවලින් බලාසිටින ඒ දුක් විදින කම්කරු මිනිසුන් අතර….අර මවගේ මුහුණ විශේෂකොට පෙන්වයි..ඇය දිය බිදකුදු නැතිව වියළිගිය දර ලීයක් මෙන් බලාහිදින ඒ බැල්ම තමන්ගේ දරුවා ගැන එවන් දුක් උහුලා ගොලු වූ…මව් වරුන්ගේ පපු ගැඹුරේ නැගෙන වේදනා කන්දරාවම අපට කියයි. මරා දැමුවේ එවන් අම්මලාගේ දූවරුය, පුතුන්‍ ය.

ඒත් බේරෙන්නට ගල්කටස් ගැනීමක් , අසාධාරණයන් හමුවේ අවසන ප්‍රතිප්‍රහාර දීමට යොමුවීමක් මතුකරමින් අර අමානුෂික කම් විදිමින් ගොදුර වූ තාරුණ්‍යයට වරද පටවන්නට අමානුෂික වූ හිත් තාමත් අපි අතරම හිදිති. ඒ හේතු ඵල සබදතා නිසි ලෙස දැකීමට අපොහොසත්වීම පුදුම සහගතය.
උන්ව අපට බේරාගන්නට බැරිවුණා..එහි සමාජ දේශපාලන වගකීමක් ඔබට,මට,අපට තියෙනවා…එය අධ්‍යක්ෂවරයා අපටම හැදින ගන්න දෙනවා…
නමුත් අර තරුණයින් ඒ මිනී මරන්නන්ගෙන් පණ බේරාගෙන පළා ආවත් උන්ව අහිතකර ලෙඩුන්සේ දකින බ්‍රේන් වොෂ් වූ සමාජයක් විසින් ඉතිරි හරිය උන්ට කරනු ඇත.. ඒ තාරුණ්‍යයට අදටත් බනිමින් හෙලාදකින අපේ සමාජයේ ඇතමුන් කරන්නේ එයයි.

අවසානයේ ද අර රෙදි වැල පෙන්වයි….නමුත් කමිසය එහි නැත…මර බියෙන් කමිසයක් හෝ නොමැතිව දෙවන වරටත් පලා ගිය කෙසග දුබල ප්‍රසන්න…වෙඩි කෑ තුවාල සහිත , වද දීම් විද භාගෙට මළ පුතෙක් ගෙදර ඇවිත්…කමිසය ඇදන් අර ඈත පෙනෙන ඒ රහස් දරන සොදුරු කන්ද දෙස ඒ දෑස් බලා ඉන්නේ මේ කුමන වූ හිතකින් විය හැකිද… තමාව පණ පිටින් ගෙල කපා මරන්නට ගෙන ගිය ඒ කන්ද දෙස වික්ෂිප්ත ගැඹුරු දෑසින් බලාගෙන හිදින ඔහුට
අර මිනීමරන්නන්ගේ වාහනයේ එළි යළි කන්දට ඇදෙනු පෙනෙයි…

සත්‍යය වෙනුවෙන් හඩ නැගීමේත් අසාධාරණයට එරෙහිව ඉදිරිපත් වීමේත් වරදට හසු ව… අමානුෂික වද විද , සමාජයට වැරදි කාරයින් ද වී මරණයෙන් බේරී පලා ආ ඔහුගේ ජීවිතය අර මිනී මරන්නන්ගෙන් සහ මේ සමාජයෙන් හරියටම බේරුණා දැයි නොදනිමි….ඔහුගේ දෑස්වල වූයේ ද ඒ අවිනිශ්චිත බවයි…..

සමන්තිකා රණවීර

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...