අපෝ අර්ජුණලා ඒ කාලෙ ගහපු ඇසෝසියේට් ක්‍රිකට්

Share post:

අර්ජුණ රණතුංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වර්ණමය යුගයේ ගහපු ඇසෝසියේට් ක්‍රිකට් ගැන පොඩි කතාබහක් ඇතිවුණ නිසාමයි මේ ඉනිම ගැන ලියන්නේ.
සිම්බාබ්වේ කියන්නේ ඇසෝසියේට් රටක් නෙමෙයි. (සමහරුන්ට එහෙම නෙමෙයි) හැබැයි සිම්බාබ්වේ වගේ රටවල් අර්ජුණ ගේ කාලෙ වගේ නෙමෙයි දැන් ඒවා හරිම අමාරුයි කියන අය නොදන්න මගේ ක්‍රිකට් කියවීමට අනුව ඉහළින්ම රේට් වෙන ඉනිම් වලින් එකක් තමයි මේ.

2000 වර්ෂයේ ඉන්දියාවේ සංචාරය කරපු සිම්බාබ්වේ කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ නාග්පූර් වලදී. මේ තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරපු ඉන්දියාව කඩුලු 6 කට ලකුණු 609 ක් ලබාගෙන ඉනිම අත්හිටුවනවා. සිම්බාබ්වේ පළමු ඉනිමට ලකුණු 382 යි.

පළවෙනි ඉනිමට වඩා ලකුණු 227 ක් පිටුපසින් හිටපු නිසා ඉන්දියාව නැවත වතාවක් සිම්බාබ්වේ ට පන්දුවට පහර දෙන්නට ආරාධනා කරනවා. සිම්බාබ්වේ පළමු පිතිකරුවන් තුන් දෙනාම ලකුණු 61 ක් වෙද්දි නැවත ක්‍රීඩාගාරයට හරවලා යවන්න ඉන්දීය පන්දු යවන්නන් ට හැකියාව ලැබුණා.
එතන ඉඳලා සැර අව්වක් වැටිලා ගිනියම් වුණ නාග්පූර් ක්‍රීඩාංගනයේ සිව්වන දිනයේ මැද භාගයේ ඉඳන් දවස් එකහාමාරක් විකට් එක බේරගන්න වගකීම පැවරෙන්නේ ඇලෙස්ටයාර් කැම්බෙල් ට සහ කඩුලු රකින ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් ට.

ටෙස්ට් තරගයක සිව්වන සහ පස්වන දිනයේ තණතීරුව හැසිරෙන්නේ කොහොමද කියලා ඕනිම ක්‍රිකට් ෆෑන් කෙනෙක් දන්නවා. හැබැයි සිව්වන දිනයට තවදුරටත් ඉන්දියාවට ජය ඝෝෂා නංවන්න ෆ්ලවර් සහ කැම්බෙල් ඉඩ දෙන්නේ නෑ. දිනය නිමා වෙද්දී සිම්බාබ්වේ කඩුලු 3 කට ලකුණු 238 යි. කැම්බෙල් 83 යි. ෆ්ලවර් 88 යි.

පස්වන දිනය ආරම්භ වුණ විගසම වගේ තමන්ගේ ශතකය සම්පූර්ණ කරපු ඇලෙස්ටයාර් කැම්බෙල් ලකුණු 102 කට සහීර් කාන් ගේ පන්දුවක් හමුවේ දැවී යනවා. ඔහුගේ සහෝදරයා ග්‍රාන්ට් ෆ්ලවර් වැඩි වෙලාවක් විකට් එකේ ඉන්නෙත් නෑ. සිම්බාබ්වේ දිනය ආරම්භයේදීම කඩුලු 5 ක් බිඳ වැටිලා අවසන්. දැන් සියලු වගකීම සහ සියලු පීඩනය ඇන්ඩි ෆ්ලවර් ගේ කරමතට වැටෙනවා.

මේ වෙලාවෙදි ඔලුව බිමට නමාගෙන හතර වටේ ස්පින් වෙන බෝල හැම එකක්ම බොහොම පරිස්සමට කියවලා තමන්ගේ එහා පැත්තෙ සඟයවත් ආරක්ෂා කරගෙන එතෙක් මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ හොඳම ඉනිමක් ක්‍රීඩා කරන්න ඇන්ඩි සමත් වුණා.

ඔහුගේ කඩුල්ල දවා ගන්න ඉන්දීය ක්‍රීඩකයන් නොකරපු උපක්‍රමයක් නැති තරම්. කඩුලු රකින ක්‍රීඩක විජේ දහියා හැරෙන්නට අනිත් ඉන්දීය ක්‍රීඩකයන් 10 දෙනාම ඉනිමේ පන්දු යවනවා. කොටින්ම රාහුල් ඩ්‍රාවිඩ් සහ සව්රව් ගංගුලි දෙන්නත් බෝල් කරනවා.

ඒත් විකට් එක දෙන්නේ ඇන්ඩි ෆ්ලවර් නම් නෙමෙයි. ඔහුගෙ ඉවසීම සහ පන්දු කියැවීම එදා මුළු ඉන්දියාවම ගෙනාවත් නතර කරන්න බැරි තරම් ප්‍රභල වුණා.

පන්දුවාර 161 කදී කඩුලු 6 කට සිම්බාබ්වේ ලකුණු 503 ක් ලබාගෙන ඉන්න වෙලාවෙදි දෙපිළම එකඟ වෙනවා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරන්නට.

මේ වෙලාව වෙනකොට ඇන්ඩි ෆ්ලවර් පන්දු 444 කට මුහුණ දීලා අවසන්. ඔහු ඒ කාලයේ දී නාග්පූර් පිටිය වටේටම හතරේ පහර 30 ක් සහ දැවැන්ත හයේ පහර දෙකකින් ඉන්දීය පන්දු යවන්නන් ට සංග්‍රහ කරලා තිබුණා.

නාග්පූර් දැවැන්ත ලකුණු පුවරුවේ සිම්බාබ්වේ ලකුණු සංඛ්‍යාව 500 ඉක්මවලා සටහන් වෙද්දී ඇන්ඩි ෆ්ලවර් ගේ නම ඉස්සරහින් නොදැවී ලකුණු 232 ක් සටහන් වෙලා තිබුණා.

තාමත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විකට් කීපින් බැට්ස්මන් කෙනෙක්ගේ වැඩිම ලකුණු ලැබූ ඉනිම මේක. දෙවන තරගය ජය පැරදුමෙන් තොරව නිමා කරගන්නත් සිම්බාබ්වේ සමත් වුණා.

පළමු තරගය පරාජයට පත් වුණත් ඒ තරගයේ ඉනිම දෙකේ පිළිවෙලින් නොදැවී ලකුණු 183 ක් සහ ලකුණු 70 ක් ඇන්ඩි ෆ්ලවර් ගේ නම ඉදිරියේ සටහන් වෙලා තිබුණා.

සමස්ථයක් විදිහට ඔහු තරගාවලියේ ඉනිම 4 කදී ලකුණු 540 ක් ලබාගන්නේ ඉනිමක සාමාන්‍ය 270 ක අගයක තබාගෙන. ඉන්දියාව ඇතුළෙදි සිම්බාබ්වේ පිතිකරුවෙක් ක්‍රීඩා කරපු මේ තරගාවලිය අමරණීයයි. ඇන්ඩි තරගාවලියේ වීරයා විදිහටත් නම් වුණා.

මගේ පෞද්ගලික මතයට අනුව ලොව බිහිවෙච්ච හොඳම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නිර්මාණය කරනකොට කඩුලු රකින පිතිකරු ස්ථානයට ලොකුම සටන තියෙන්නේ ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ ඇන්ඩි ෆ්ලවර් අතරේ.

ෆ්ලවර් ගේ ස්ටැට්ස් ඒකට ගොඩක් සාක්ෂි දරනවා. ටෙස්ට් තරග 63 කදී ලකුණු 4794 ක් ලබාගන්න ඇන්ඩි ඉනිමක සාමාන්‍ය 51.55 ක අගයක පවත්වාගෙන තියෙනවා. එතනට ශතක 12 ක් සහ අර්ධ ශතක 27 ක් ඇතුළත්.

අර්ජුණ ලා ගහපු කාලේ සිම්බාබ්වේ ගැහුවේ මේ විදිහට. ඉතින් ඒ කාලේ වගේ නෙමෙයි මේ කාලේ පොඩ් රටවල් ලොකු ෆයිට් එකක් දෙනවා කියලා කාටහරි ඒ ජෙනරේෂන් එක නිකං ඔහේ ගියා කියලා හිතෙනවා නම් ඒක පුස්සක් විතරයි.
අතිරේක කතාවක් කියන්නද?

කෙන්යාව 2003 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට එනවා. ඒක තමයි ඇසෝසියේට් රටක් ක්‍රිකට් පිටියේ ඕනෑම ආකාරයක ලෝක කුසලානයක දක්වපු ඉහළතම දක්ෂතාවය.

(කෙන්යාව නම් සිරාවටම ඇසෝසියේට් රටක්)

ෆ්ලවර් බ්‍රදර්ස්, ඇලෙස්ටයාර් කැම්බෙල්, හීත් ස්ට්‍රීක්, 2003 කෙන්යාව වගේ අන්ඩර්රේටඩ් ස්ටෝරීස් තව කතාබහ වෙන්නෝනි.

නැත්තන් මිනිස්සු හිතන්නේ ඉස්සර පොඩි රටවල් කියන්නේ නිකං ෆ්‍රී ටිකට් කියලා!

පොටෝ එක ඇන්ඩි ෆ්ලවර් ගේ විශිෂ්ට ඉනිමේ අවස්ථාවක්.

ශමින්ඳ ජයරත්න (fb)

Related articles

LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි !

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම්...

නව ජනාධිපති වෙත : අත්නොහැරිය යුතු මාතෘකාවක් ගැන මතක් කිරීමයි !

දේශගුණික විපර්යාස, ගෝලීය උෂ්ණත්වය වැනි මාතෘකා පිළිබඳ ලෝක මට්ටමේ පුළුල් සංවාද සහ අධ්‍යයන සිදුවුවද, ලංකාවේදී එය තවමත් අවශේෂ...

2020 මහ මැතිවරණය මතකද? : රවී – ශානි මේ වෙලාවෙ ගන්න ඕනෙ නෑ : නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ...

‘මිනිස්සු උපතින්ම ප්‍රචණ්ඩ නෑ. ප්‍රචණ්ඩත්වය කියන්නේ සංස්කෘතික දෙයක්’ – Horizon: An American Saga – Chapter 1

ඇමරිකානු භූමිය කියන්නේ රතු ඉන්දියානුවන් සහ ඇපාචි වගේ ස්වදේශිකයන්ට අයිතිව තිබුණු ඔවුන් ඉතා සාමයෙන් වාසය කළ භූමියක්. හැබැයි...