Home Blog Page 220

අග නගරයක් කියන්නෙ අහස උසට ඉගිලෙන මහා ගොඩනැගිලිම නෙවෙයි

0

පහුගිය දවස් කීපයේම හවස් වරුවෙ අහස රතුම රතුපාට වුනේ කඳුකරයේ පුදුමාකාර දර්ශණ නිර්මාණය කරමින්.
බර්න් නගරයේ අහසත්.. ඇල්ප්ස් කඳුත් රෝස පාට එලියක් මවද්දි මේ මධ්‍යතන යුගයේ නගරය දිස්වුනේ සුරංගනා කතාවක දර්ශණ විදිහටයි.

බර්න් ( Bern) කියන්නෙ ස්විට්සර්ලන්තයේ අගනගරය.. එහෙමත් නැත්තං පරිපාලන නගරය.
ක්‍රිස්තු වර්ශ නමසීය එක්දාස් එකසීය අතර ගොඩ නැගුනු මේ නගරය මෙඩියවල් ( Médiéval) නගරයක් ලෙස හැඳින්වීමේ වරදක් නෑ.

ඒ කාලයේ ගොඩ නැගුනු පවුරු ..ආරක්ශක කුළුණු තවමත් සුරක්ශිතයි. බොහොමයක් ගොඩනැගිලි වසර හාර පන්සීයක් පරණයි.

පිටතින් බොහොම පැරනි පෙනුමක් තිබුනට ඇතුලතින් මේ නිවාස නවීනයි.. පහසුකම් වලින් යුක්තයි.
ඇල්ප්ස් කඳු පසුබිමෙන් තියාගෙන නගරයේ ඉහලටම එසවෙන මේ ගොඩනැගිල්ල බර්න් මිනිස්ටර් ( Bern Minister) විදිහටයි හැඳින්වෙන්නෙ.
තවත් විදිහකට කීවොත් මිනිස්ටර් පන්සල හෝ දේවස්ථානය. (ඉදිකිරීම් ආරම්භ වෙන්නෙ 1390- 1400 වගේ කාලයේදි.)
ඇයි මේ ගොඩනැගිල්ල කුළුණ මුදුනේ කුරුසයක ලකුණක් නැත්තෙ කියල කෙනෙකුට හිතන්න පුළුවන්.
ඒකට හේතුව වර්ශ 1520 පමණ කාලයේදී ආගමික ප්‍රථිසංස්කරණ එක්ක කතෝලික ආගම ඇදහූ බර්න් වැසියන් කතෝලික ආගම ප්‍රථික්ශේප කරල ප්‍රොතෙස්තන්ත ආගම අනුගමනය කිරීමට පටන් ගැනීමයි.
කුරුසය හැඳින්වෙන්නෙ රෝමානු කතෝලික සංඛේතය විදිහට. ( ආබ්‍රහමික් ආගම් බිහිවීමේ ලිපි යටතේ අපි මේ ගැන කතා කලා).
අධික බදු අයකිරීම…. මුදල් වංචා හා දූශණ.. වස්තුව හා දේපළ රැස්කිරීම… මහා ගොඩනැගිලි පල්ලි ඉදිකිරීම… පරිපාලන හෝ දේශපාලන මූලයක් ලෙස ආගම යොදා ගැනීම වගේ හේතු ගණනාවක් නිසා යුරෝපීයයන් නැගිටිනව රෝමය මුල්කරගත් කතෝලික පල්ලියට විරුද්ධව.

දෙවියන් අදහන්න මේ තරම් නීති.. දේශපාලනය… මාලිගා .. පිලිම මොකටද යන ප්‍රශ්ණ ඉදිරිපත් කරමින් ප්‍රොටෙස්ට් කිරීම මතයි ප්‍රොතෙස්තන්ත ආගම බිහිවෙන්නෙ. (Latin word protestari)
( පිලිම මාලිගා හදමින්.. වස්තු රැස්කරමින්.. අදටත් ආගමක් විකුණන තවත් කන්ඩායමක් මතක් වෙනව මෙතනදි)
පොතෙස්තන්ත ප්‍රථිසංස්කරණ වලින් පසුවයි කුරුස.. පිලිම… සැරසිලි… රන් රිදී කැටයම් නැති ප්‍රොතෙස්තන්ත පන්සල් බිහිවෙන්නෙ.

මොනව වුනත් අද මේ බර්න් මිනිස්ටර් ගොඩනැගිල්ල නගරයේ ඉතිහාසය කියාදෙන අපූරු සංඛේතයක්. ආගම් වලින් බැහැර වුනු නගර වැසියෝ ජීවිතය විඳින්නෙ අධ්‍යාපනයටත්.. නීතියටත්… සංවාද වලටත් ..කලාවටත් මුල්තැන දෙමින්.
ආරෙ ගඟ නගරයට ජලයත් ආරක්‍ෂාවත් සපයද්දි … මධ්‍යතන යුගයේ පවුරු… කුළුණු ගොඩනැගිලි හා ගල් ඇතිරූ පාරවල් නගරයට එක් කරන්නෙ අමුතු ලස්සනක්.

අහස උසට ඉගිලෙන මහා ගොඩනැගිලිම නෙවෙයි අග නගරයක් කියන්නෙ.
නමුත් තාක්ශණයත්… නවීකරනයත් එක්ක ඉදිරියට යන ගමන් තමන්ගෙ පැරණි ගොඩනැගිලි… සංඛේත.. අනන්‍යතාව ඉතිරිකරගන්න පුළුවන් වීම ලොකු ජයග්‍රහණයක් කියල මට හිතෙනව.

Malcolm Sang (fb)

පුළුවන් බස්සෙකුට වුණත්, අපි ඔක්කොම නින්දෙන් ඇහැරන්න !

0

විලිසංගෙ නැති අහස
තාමත් හොයනවා නොවැ
අමාවක ඇතුලෙත් පුරා හඳ

අහුමුළු වල පවා නටන
ඉලංදාරී තාරකා
හිනැහෙන්ට ඇයි මේ තරම් බය
කළු පාට අහසක

ඇයි සුළඟට බැරි
ඉරා දමන්ට කළු අඳුරු වළාකුලු
පෙති කැඩුණු මලක වුණත්
සුවඳ විසුරන්ට කෙළවරට අනන්තය

බට්ටිච්චන්ට පුළුවන් වෙයිද
රාජාලියකුගෙ ඔළුව කඩන්ට
හොට වකුටුවෙච්ච නියපොතු උල්වෙච්ච

රැහැයියෙකුට පුලුවනිනම්
බියකරු රාත්‍රියම හොල්ලන්න
පුලුවන් බස්සෙකුට වුණත්
අපි ඔක්කොම නින්දෙන් ඇහැරන්න

ඒක දූපතක් උන්මාද වෙච්ච
ගිනිමැලයක් නිවෙන දවසක් නැතුව
තැනින් තැන බත්කූරෝ රංචු
ආදරේ හීතල වැහි ඉහින

සෝමලතා හේරත් මැණිකේ

ආණ්ඩුව ඉස්සරහා දණගහන්න අපි ලෑස්ති නෑ : ඝාතනය කරන්න සැලසුම් හදපු හැටි නම් ගම් එක්ක හෙට හෙළිකරනවා – වසන්ත මුදලිගේ

0

මර්දනයට එරෙහිව සටන් කළ සියලු ජනතාවට හිස නමා ආචාර කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 160කට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරගතව සිට, ඇප ලබා අධිකරණ භූමියෙන් එළියට පැමිණීමෙන් පසු පැවසීය.

මේ, ඔහු එහිදී කළ සම්පූර්ණ අදහස් දැක්වීමයි.

ආණ්ඩුවේ පරාජය !

‘අපි දන්නවා මාස හයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ආණ්ඩුවේ මර්දනය තුළ සිරගත කරලා තිබිලා, දැන් ආණ්ඩුවට අඩියක් පස්සට තියන්න වෙලා තියෙනවා. මේ සමාජය පුරා ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට වගේ ම මේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව සිදු වුණු අරගලය නිසා දැන් නිදහස් කරන්න සිදුවෙලා තියෙනවා.

තක්කඩි ආණ්ඩුවක්

අපි පහුගිය කාලෙ අඛණ්ඩ අරගලයක් අරගෙන ගියා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න, දැවෙන ප්‍රශ්න, ආර්ථික ප්‍රශන අවම වශෙයන් ජීවත් වීමේ කොන්දේසිවත් සපුරන්න ඕනෙ කියන එකත් එක්ක. ගෝඨාභය රාජපක්ෂ පළවාහරින්න අපි අඛණ්ඩ අරගලයක් අරගෙන ගියා. ශිෂ්‍ය ව්‍යාපාරය වගේ ම මේ රටේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සියල්ල එකතු වෙලා කරපු මහජන අරගලයක් ඉස්සරහා තක්කඩි ආණ්ඩුවකට දණගහන්න වෙලා ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුණා.

තක්කඩි ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට අකුලගෙන ගෙදර යන්න වුණාට පස්සෙ ඒ මහජන බලය ඉස්සරහ දණගහනවා වෙනුවට ආණ්ඩුව මොකද කළේ, තක්කඩියෙක් ජනාධිපති කළා. මෙහෙමයි රට කරන්න ඕනෙ කියලා, වහසි බස් දොඩවමින් දැන් රට කරගෙන යනවා. ඒකට එරෙහි අරගලයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිව අත්අඩංගුවට ගත්තෙ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට වගේ ම මේ රටේ සටන් කරන ජනතාවටත් මර්දනය අරගෙන ආවෙ මේ තක්කඩි ක්‍රමය අරගෙන යන්න.

එකමුතුවේ ශක්තිය

ඒ මර්දනය පරාජය කරන්න සමත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මූලිකත්වයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු නීතිඥවරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සිය-දහස් ගණනකගේ අඛණ්ඩ මැදිහත්වීමක් මේ තුළ තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළ එක පෝස්ට් එකක් හරි මේ මර්දනයට එරෙහිව ෂෙයා කරලා සටන් කරපු ජනතාව ඉස්සරහ මේ රටේ ආණ්ඩුවට දණගහන්න සිද්ධ වෙලා තියෙනවා.

ඇලඩින්ගේ පුදුම පහන

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, අපේ ප්‍රශ්න එකක්වත් තවම විසඳිලා නෑ. දැන් ඔය ඉස්සරහට ඡන්දෙ තියාගෙන, මොනව හරි ප්‍රතිඵලයක් ආවා කියල ආණ්ඩුවට ඇලඩින්ගේ පුදුම පහනවත්, රටේ ජනතාවට ඇලඩින්ගේ පුදුම පහනවත් හම්බෙන්නෙ නෑ මේ ප්‍රශ්න විසඳන්න.

ජනතාව වළපල්ලට

අපි දන්නවා, උසස් පෙළ ශිෂ්‍යයන්ට විභාග ටික හරියට කරගන්න විදුලි පහසුකම් අඛණ්ඩව නෑ. රටේ ජනතාවට තුන් වේල කන්න විදිහක් නෑ.

අපි සිරගත වෙලා ඉද්දි දහස් සංඛ්‍යාත සිරකරුවන් අපිට හම්බුණා. අපි ඔවුන් එක්ක අත්දැකීම් බෙදාගත්තා. බන්ධනාගාර නිලධාරීන් සිය ගණනක් අපිට හම්බුණා. රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් ප්‍රශ්න තවම විසඳිලා නෑ. හැබැයි බදු පිට බදු ගහගෙන ආණ්ඩුව මේ රටේ ජනතාව වළපල්ලට දක්කගෙන යනවා.

තවත් ආරම්භයක් !

ඒ නිසා අපි ලෑස්ති නෑ මේ ආණ්ඩුව ඉස්සරහ දණගහන්න. අපි කියනවා ආණ්ඩුවට, මේක අරගලයේ තවත් ආරම්භයක්. ඒ නිසා මහජන බලය කියන්නෙ මොකක්ද කියන එක අපි ඉස්සරහට පෙන්නන්නම්.

ආණ්ඩුවට ඕනෙකම තිබුණේ අපිව හිරකරලා, ඝාතනය කරන්න පුළුවන් නම් ඝාතනය කරලා දාන්න. ඒවට සැලසුම් කොහොමද වුණේ, කොහොමද-කොහෙදිද සැලසුම් කළේ කියන කාරණා අපි හෙට දවසේදී මාධ්‍ය හමුවක් අරගෙන නම් – ගම් එක්ක හෙළිකරනවා. බොරු සාක්ෂි දීලා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් මාස ගණන් අපිව හිරකරපු නිලධාරීන්ට විරුද්ධවත් අපි ගන්න ඕනෙ සියලු ක්‍රියාමාර්ග ගන්නවා.

සටන් කරපු ජනතාවට !

ඒ වගේම මර්දනයට එරෙහිව සටන් කරපු සමස්ත ජනතාවට අපි හිස නමා ආචාර කරනවා. හෙට දවසේදී හම්බෙමු.’

සබැඳි පුවත්

ලංකාව මෙහෙයවන මෝදිගේ නියෝජිතයා : අදානිගේ වත්කම් ඩොලර් බිලියන 34කින් පහතට !

0

පුද්ගල ශ්‍රේණිගත කිරීම්වල ලොව ධනවත්ම පුද්ගලයන් අතර 3 වැනි ස්ථානයේ සිටි ඉන්දියාවේ ගෞතම් අදානි ස්ථාන 7කින් පහතට බැස තිබේ.
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔහුට හිමිව ඇත්තේ 11 වැනි ස්ථානයයි.
අදානි සමූහ ව්‍යාපාරයේ කොටස්වල අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 34කින් අඩු වී ඇති අතර, අදානිගේ වත්කම්වල අගය දැන් සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 84.4 ක් ලෙසයි. ඒ අනුව අදානි, හිටපු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් බෝල්මර්, ගූගල් සම-නිර්මාතෘ සර්ජි බ්‍රින් සහ මෙක්සිකානු ව්‍යාපාරික කාලෝස් ස්ලිම් යන ලෝක ධනවතුන්ට වඩා පසුපසින් සිටී.

අම්බානිට වඩා එකක් ඉදිරියෙන්

පසුගිය සතියේ අදානි ඩොලර් බිලියන 119ක ධනයක් සමග ලොව ප්‍රකෝටිපති ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත්විය.
මේ වන විට LVMHහි සභාපති බර්නාඩ් ආර්නෝල්ට්, ටෙස්ලා හිමිකරු එලෝන් මස්ක් සහ ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ලොව ප්‍රකෝටිපති ලැයිස්තුවේ පළමු ස්ථාන තුනෙහි පසුවෙති.
මේ වනවිට රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි සභාපති මුකේෂ් අම්බානිට වඩා අදානි ඉදිරියෙන් සිටින්නේ ඩොලර් බිලියන 2.2කින් පමණි.
අම්බානිගේ සමස්ත වත්කම් ඩොලර් බිලියන 82.2ක් ලෙස දැක්වෙන අතර, ඔහු ලොව ධනවත්ම පිරිමි ලැයිස්තුවේ 12 වැනි ස්ථානයට පත්ව ඇත.

ආන්දෝලනාත්මක වාර්තාවක්

ඇමෙරිකා එක්සත් ජනපද පර්යේෂණ ආයතනයක් වන Hindenburg විසින් ජනවාරි 24 දින නිකුත් කරන ලද වාර්තාවක ප්‍රතිඵලයක් ලෙස අදානි සමූහයේ ආදායම් පහත වැටෙන්නට ඇති බවට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.
අදානි සමූහයේ මූල්‍ය වංචා සහ එම සමූහයේ ණයබරතාව පිළිබඳ අනාවරණයත් සමගින් ම සිදු වූ වෙළෙඳපොළ කොටස් වටිනාකම් කඩාවැටීම මේ සඳහා හේතුව වී තිබේ.
Bloomberg Billionaires Indexහි දත්තවලට අනුව, ගෞතම් අදානි පිළිබඳ අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහුගේ ධනය ඩොලර් බිලියන 34.6කින් පහත වැටී ඇත.

‘නීති ක්‍රියාමාර්ග ගන්නවා’

කෙසේ වෙතත් Hindenburg ආයතනය සිදු කළ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කරන බව අදානි සමූහය පවසා තිබේ. එසේම එම ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අදානි සමූහය සඳහන් කරයි.
මේ අතර ඉන්දියාවේ ප්‍රධානතම විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය අදානිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පාලක භාරතීය ජනතා පක්ෂය වෙත දැනුම් දී ඇත.
ගෞතම් අදානි ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතම හිතවතෙකු සහ එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට අරමුදල් සපයන ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස ද ප්‍රකට ය.

මෝදිගේ අදානි !

රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන්ට අනුව භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ භූදේශපාලනික අවශ්‍යතා සඳහා මැදිහත් වන ප්‍රධානතම ව්‍යාපාරිකයා වන්නේ අදානි ය. ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානිට ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් ඊට එල්ල වූ බරපතළ විරෝධය නිසා එය අත්හැර දැමිණි. ඉන්පසු කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් අදානි මැදිහත් කර ගැනීමට තීරණය කෙරිණි.

අදානි සහ ගෝඨාභය

මේ අතර අදානි සමූහ ව්‍යාපාරයට උතුරු පළාතේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සිදුකිරීම සඳහා අවස්ථාව ලබාදීමට ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී තිබිණි. 2021 ඔක්තෝබර් 25දා එම සමූහ ව්‍යාපාරයේ අධිපති ගෞතම් අදානි සහ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර, මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී තිබිණි. මෙම ව්‍යාපෘතිය ජපන් සමාගමක් සමග සිදුකිරීමට මීට පෙර සාකච්ඡා පවත්වා තිබිණි.
එහෙත් එය ජපානයට ලබාදීම සම්බන්ධයෙන් ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පාර්ශ්වයෙන් විරෝධය පළකර තිබූ බව මාධ්‍ය වාර්තා කළේය.

චීනයට එරෙහිව අදානි

එසේ ම උතුරු පළාතේ දූපත් 03ක ඒකාබද්ධ බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එම දූපත් චීනයට ලබාදීමට 2021 පෙබරවාරි මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සාකච්ඡා ආරම්භ කළේය.
යාපනයට ආසන්නයේ පෝක් සමුද්‍රසන්ධියේ පිහිටි ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් දූපත් මෙසේ අදාළ ව්‍යාපෘතිය සඳහා ලබාදීමට 2021 ජනවාරි 18දා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබිණි. දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම යනුවෙන් මේ ව්‍යාපෘතිය හඳුන්වා තිබිණි.


ආණ්ඩුවේ මේ තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන බව එරට ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේය. ඉන්දියානු සමාගමක් ද මේ ව්‍යාපෘතිය සඳහා මුල් වටයේදී ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණත්, ප්‍රසම්පාදන කමිටුව මගින් එය ප්‍රතික්ෂේප කර තිබිණි. ඉන්පසු මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළකර තිබිණි.
ඉන්පසු ඉන්දීය රජය පාර්ශ්වයෙන් දැනුම් දී තිබුණේ මෙම ව්‍යාපෘතිය සඳහා මැදිහත් වීමට අදානි සමූහයට ද අවස්ථාව ලබාදෙන ලෙසයි.
එසේ ම මෙම චීන ව්‍යාපෘතිය සඳහා උතුරේ දේශපාලන පක්ෂ 14ක් ද එක්ව විරෝධය දැක්වූ අතර, එම විරෝධතා නිසා එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම නැවතිණි. ඒ, යළිත් ටෙන්ඩර් කැඳවීමේ තීරණයකට අනුව ය.

අදානිට ඩොලර් මිලියන 400ක්

මේ අතර අදානි සමූහය විසින් මැද පෙරදිග රටවල සහ ඕස්ට්‍රේලියාවේ පවත්වාගෙන යන ව්‍යාපාර සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ චෝදනා එල්ල විය. එසේ තිබියදී අබුඩාබි හි IHC – International Holding Company නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනයක් අදානි සමූහය සමග සිදුකිරීමට තමන් සූදානම් බවයි.

හතුරු බංගලාදේශය සමග යළි මිතුරු වෙයි

බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩාමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහ යළිත් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ් බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ටෙස්ට් හා එක්දින පුහුණුකරු වූ දකුණු අප්‍රිකානු ජාතික රසල් ඩොමින්ගෝ පසුගිය මාසයේදී සිය තනතුරින් ඉල්ලා අස්වීමත් සමගයි.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඊයේ අඟහරුවාදා (31) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහු වසර දෙකක කාලයක් සඳහා නව ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර ඇති බවයි.

ඒ් අනුව හතුරුසිංහ මෙම පෙබරවාරි මාසයේ සිට බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග එක්වනු ඇත.

මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි20 පුහුණුකරු ලෙස එස්. ශ්‍රීරාම් කටයුතු කරන අතර ඔහු විස්සයි20 පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කළ හොත් හතුරුසිංහ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

එහෙත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙතෙක් චන්දික හතුරුසිංහ කටයුතු කරන්නේ කුමන ආකෘතින් භාරවද යන්න පැහැදිලිව දැනුම් දීමක් සිදු කර නැත.

“අපි වසර දෙකකට හතුරුසිංහව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා,” BCB ප්‍රධාන විධායක නිසාමුදීන් චවුද්‍රි උපුටා දක්වමින් Cricbuzz වාර්තා කළේය.

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන හතුරුසිංහ මීට පෙර 2014 සිට 2017 දක්වා බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ඔහුගේ පෙර පුහුණු කාලය තුළ, බංග්ලාදේශය ඉන්දියාව, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට එක්දින තරගාවලි ජයග්‍රහණය කළේය.

මේ අතර ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණ ලබා ඇති අතර ඔහුගේ පුහුණු කාලය තුළ බංග්ලාදේශය 2017 චැම්පියන්ස් කුසලානයේ අවසන් පූර්ව වටයට ද පැමිණියේය.

චන්දික හතුරුසිංහ යටතේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පැහැදිලි වෙනසකට ලක්වූ අතර ඒ හේතුවෙන් හතුරුසිංහගේ පුහුණුකාරීත්වය පිළිබඳව ක්‍රිකට් ලෝකයේ අවධානය යොමු විය.

අනතුරුව 2017 වර්ෂයේදී එම තනතුරින් ඉවත්ව ශ්‍රී ලංකා හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් එක්වුවද අපේක්ෂිත අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් පිටියේ දක්ෂතා අතරට නොපැමිණියේය.

නිවේදනයක් නිකුත් කරමින් හතුරුසිංහ කියා සිටියේ “නැවත වරක් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමට ලැබීම ගෞරවයක්. මම බංග්ලාදේශයේ මිනිසුන්ට ඔවුන්ගේ සංස්කෘතියට සැබවින්ම ආදරය කළෙමි. එමෙන්ම මට නැවත වරක් ක්‍රීඩකයන් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ සාර්ථකත්වයන් භුක්ති විඳීමටත් බලාපොරොත්තු වන බවයි.

ප්‍රංශ සාහිත්‍යයේ මඟ නොහැරිය යුතු එමිල් සෝලා

0

ප්‍රංශ සාහිත්‍යයේ Classic නවකතා ගැන කියද්දි ගුස්ටාව් ප්ලෝබෙයාර්ට් මතක් වෙන්නේ යම් සේද, එයා ගාවට මට ඊළඟට මතක්වෙන කෙනා එමිල් සෝලා. මදම් බෝවාරි 1856 ලියවෙද්දි, එමිල් සෝලාගේ මැඩලින් ෆෙරාට් ලියවන්නෙ ගන්නෙ 1868, [ ප්‍රංශ නම ‘මැඩලින් ෆෙරාට්’, ඉංග්‍රීසියට නැගෙන්නෙ ‘Shame’ නමින්, සිංහල පරිවර්තනය එන්නෙ ‘විලි බිය’ නමින්] ප්ලෝබෙයාර්ට්, සෝලාගේ කෙටිකතා පළකරන්න උදව්වුණු වගක් වරක් කොහෙන් හෝ කියෙව්වා මතකයි. ඔහු ඇතුළු ප්‍රංශ සාහිත්‍යයේ එවකට විසූ ලේඛකයන් ඇසුරුකරමින් වුණත්, තමන්ගේ ම ලේඛන ක්‍රමයක් ගොඩනගන්න සෝලා සමත් වෙනවා. Naturalism වෙනුවෙන් සෝලාගෙ පොත්වලින් ලොකු දායකත්වයක් ලැබුණු බවට සාහිත්‍යයේ පොදු පිළිගැනීමක් තියෙනවා. එමිල් සෝලාගේ නවකතාවල ඇතුළත් සිදුවීම්වල කිළිපොළන ස්වභාවය ලෝක සාහිත්‍යයේ වෙනත් කතුවරයෙක්ගෙන් ආසන්නයට හරි මතක්වෙනව නම් මට මතක්වෙන්නෙ ජපන් ලේඛකයෙකු වූ යුකියෝ මිෂිමාව.

කොහොමහරි ඇනා කැරනිනා (1878) ලියවෙද්දි මේ පොත් දෙක ම ලියවිලා. මදම් බෝවාරි, මැඩලින් ෆෙරාට් සහ ඇනා කැරනිනා කියන පොත් තුනේ ම ඇතැම් දේවල් තරමක් සමානයි. ප්‍රධාන චරිතය කාන්තාවක් වීම, කථා නායිකා නාමයෙන් කෘතිය නම්කර තිබීම, සෙසු පෙම් සබඳතා, ඉරණම් පෙරළිය සහ කාන්තා චරිතය දිවිනසා ගැනීම ආදිය මෙම කෘති තුනට ම පොදු කාරණා. දිවිනහගන්නවා හැර දෙයක් වෙනුවෙන් ජීවත්වෙන්න ඇයි මේ අයට බැරිවුණේ කියල දවසක් යාලුවෙක් එක්ක කතාවෙවී ඉද්දි, උත්තර වශයෙන් ලැබුණා, ‘එයාල ජීවත්වුණු කාලෙ හැටියට, එයාල නඩත්තු කළ Aristocracy ජීවිතවල හැටියට, එයාලගේ පවුල් පසුබිම්වල හැටියට, ඒ ලේඛකයන්ට ඒ චරිත මරාදමනවා හැර එතනින් එහාට දෙයක් ඉතුරුවෙලා නොතිබෙන්න ඇති’ කියල. මේ කතා කාන්තාවො ලිව්වා නම්, මේ චරිත මියයාවිද කියල හිතුණා. පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් ඇඳපු චිත්‍ර ඒ එක්ක ම මතක් වෙන්නගත්තා.

මැඩලින් ෆෙරාට් පොතේ අවසානය ගැන විශේෂයෙන් කියන්න වුවමනා නිසා මං දැන් එතෙන්ට එන්නම්.
එමා බෝවාරි පොතේ, එමා වස පානය කරල මැරෙනවා. ඇනා කැරනිනා පොතේ ඇනා මැරෙන්නෙ කෝච්චියට පැනල (ඒක තෝල්ස්තෝයි කියන්නෙ ගෙඩි පිටින් ම නෙමේ, හරි පරිස්සමින්). මැඩලින් ෆෙරාට් පොතේ දි වෙන්නෙ මේකයි. මැඩලින්ගෙ මිතුරෙකු වුණු ජැක් එක්ක පෙම් සබඳතාවක් තිබුණු බව ඇගේ සැමියා විලියම් දැනගන්නවා. ඔවුන් අතර ඝට්ටනයක් ඇතිවුණායින් පස්සෙ, මැඩලින් වහ කුප්පිය අතේ තියන් සැමියා දිහා බලන් ඉන්නවා. විලියම් ඇයව නවත්තන්නෙ නෑ, ඇය වහ බොන දිහා සීරුවට බලන් ඉන්නවා. ඇය මියයනවා. දැන් විලියම් මොකද කරන්නෙ, ඇගේ සිරුර උඩ සන්තෝසෙන් අමුතු විහිලු සහගත නැටුමක් නටන්න ගන්නවා!

මැඩලින් වහ බොනකම් ප්‍රතිචාරයක් නොදැක්වුව විලියම්, තමන්ගෙ හිතේ එතෙක් තිබුණු පීඩනය, ඉරිසියාව, කේන්තිය සේරම පිටකරන්නෙ ඒ විදියට.

ඇනා කැරනිනා, මදම් බෝවාරි පොත් දෙකේ ම අපිට පේන්න ඉන්නෙ බිරිඳ දිවිනහගත්තාම එක්කො කම්පිත වෙන, ඉන්පස්සෙ ආයෙ ජීවිතේට සාමාන්‍ය විදියට මුහුණ දෙන මහත්තුරු. මැඩලින් ෆෙරාට් පොතේ එන්නෙ ඒ විනීත, හොඳබවට යටින් ඉන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වහාවය. පාලනය නොකළ, විනීත නොවන හැඟීම් දැනීම් ඒ ආකාරයෙන් ම පෙන්වන චරිත. මේ ඉරියව්, හැසිරීම් මිනිස්සුන්ගෙන් සාමාන්‍ය‍යෙන් දකින්න අපහසු නැති දේවල් වුණත්, Classic අතර මේ තැන් ලියවෙද්දි ලියවෙන්නෙ එක්තරා ක්‍රමයකට අනුගතව නිසා, මෙහෙම අවස්ථා මතක හිටින තැන් බවට පත්වෙනවා. පොත ඉවරවෙද්දි, වහ බීලා මැරුණු මැඩලින්ට නෙමෙයි අපේ අවධානෙ යන්නෙ අර රංගනේ කරන මනුස්සයා දිහාටයි. විලියම්ට උන්මන්තකයෙක් විදියට ජීවිතේ ඉතිරිය ගතකරන්න වේවිද කියන හැඟීමෙන් අපිට පොත වහන්න සිද්ධ වෙනවා.

ඩිල්ශානි චතුරිකා දාබරේ

[ පින්තූර අන්තර්ජාලයෙන් ]

නවකතා ලියන ලියවෙන විදි ගැන ලේඛකයන්ගේ හඬින් ‘නවකතාවේ ආඛානික රටා’

0

ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණ තරම් ම ඔවුන් සම්බන්ධයෙන් පාඨක අවධානයට ලක්වූ තවත් ආඛ්‍යාන ප්‍රවර්ග පවතිනවා. එකක් නම් ඔවුන්ගේ ජීවිත කතා‍යි. අනෙක නම්, ඔවුන් නිර්මාණාවේෂය ලබාගත් සැටි, නිර්මාණයට බලපෑ සිදුවීම්, ලියන කියන විදි, සංස්කරණය කරන හැටි, සෙසු මිත්‍ර ලේඛකයන් ගැන දරන අදහස් ඇතුළු ලේඛන දිවිය ගැන ඔවුන්ගේ අත්දැකීම් සමූහය ඉදිරිපත් කරන අවස්ථායි, සංවාදයි. නිර්මාණ වෙනුවෙන් වගේ ම මේ කී ප්‍රවර්ග වෙනුවෙනුත් වෙන ම සාහිත්‍යයක් ගොඩනැගී තිබෙනවා.

ලේඛකයාගෙ නිර්මාණය සහ ලේඛන දිවිය කියන දෙක වෙන ම බේරාගන්න බැරිව පාඨකයන් අවංක කුතුහලයෙන් නිර්මාණයේ ඉන්නා චරිත රචකයාගේ සැබෑ ජීවිතයේ චරිත යැයි සිතන අවස්ථා බහුලයි. එහෙම වෙන්නෙ ලේඛකයව අමතක කරලා, නිර්මාණය ගැන විතරක් අවධානය දෙන්න පාඨකයන් සූදානම් නොවන නිසා. මේ ගැන එදිරිවීර සරච්චන්ද්‍ර, ලියෝ තෝල්ස්තෝයි අදහස් පළකර තිබෙනවා. ලේඛන දිවිය කියන්නෙ රචකයගේ ජීවිත කතාව විතරක් ම නෙමෙයි. ලිවීමේ තැනට ඔහුගේ හිත මෙහෙයවූ තැන සිට ගොඩනැගුණු වෙන ම තතු එකතුවක්. ඕනැම ලේඛකයෙක්ගෙ ජීවිතයත් නිර්මාණයත් කියන ස්වභාවයන් දෙක කියවන පාඨකයෙකුට ඒ දෙක අතර රික්තකය පුරවා, ඒ අතරමග වුණු දේ කියමින්, ඒ ආකාර දෙක එකිනෙක සම්බන්ධ කර ගළපලා මුහුකරන්නෙ මේ ‘ලේඛන දිවියේ විස්තර අත්දැකීම්’ ආදියයි. නිර්මාණයෙදි සෘජුවම පාඨකයට කියන්න නොහැකි වෙන දේ, මෙතැනදි ආත්ම කථනයක් ලෙසින් ලේඛකයට කියන්න ලැබෙනවා. අනෙක් අතින් පාඨකයට නිර්මාණය ගැන, පොතෙන් බැහැර අමතර දැනුම් පදාසයක් එකතුවෙනවා. සම්මුඛ සාකච්ඡාවක් නම්, රචකයා ගැන පමණක් නොවී, ප්‍රශ්න ඇසූ තැනැත්තා ගැනත් හොයලා, ඔවුන්ගේ අමතර තතු හොයන්න ඇතැම් පාඨකයන් පෙළඹෙනවා. මේ නිසා නිර්මාණය තරම් ම, තිරයෙන් පිටුපස වුණු දේ දැනගන්නත්, ප්‍රශ්න කරන්නත්, කියවන්නත්, ඒ සංවාද මුද්‍රණය කර පුවත්පත්වලත් ග්‍රන්ථ විදියටත් පළකරන්නත් මීට අදාළ පිරිස උනන්දුව දක්වනවා.

මෑතකදි පළකෙරුණු ‘නවකතාවේ ආඛානික රටා’ පොතේ තියෙන්නෙ ලෝක මට්ටමේ අවධානයට ලක්වුණු ලේඛක ලේඛිකාවන් 17දෙනෙකුගේ අත්දැකීම් සමූහය ඇතුළත් සම්මුඛ සාකච්ඡා කිහිපයක්. මේ 17දෙනා අතර හිතුවක්කාර ලියන්නො, මැදහත්ව සිතන්නො, තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන්නො, ප්‍රීතිමත් ලියන්නො, අත්දැකීම් වෙනුවෙන් රස්තියාදු ගහන්නො, ඔෆිස් ටයිම් විලසින් වැඩකරන්නො, අහම්බෙන් ලියන්න ඇවිත් කප් ගසන්නො, පාරම්බාන්නො ආදි විවිධ ආකාරවල අය අපට හමුවෙනවා. සාමාන්‍යෙන් නිර්මාණකරුවන්ගෙ සම්මුඛ සාකච්ඡා කියවන පාඨකයෙක්ට සිදුවෙන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා. එක් එක් ලේඛකයන් දෙන පිළිතුරුවලින් ඔවුන්ගේ නිර්මාණවල අනන්‍යතාවය වගේ ම රචකයෙක් විදියට ඔවුන් අත්පත් කරගත් යමක් වෙත්නම් එය මතුවීම එකක්. ඒ ඒ රචකයා පිළිතුරු දෙන විදියෙන් රචකයාව පැත්තකින් තිබ්බොත් මනුස්සයෙක් විදියට ඔහු/ ඇය කොහොම කෙනෙක්ද කියන එකත් කියවගන්න පුලුවන්වීම තව එකක්. එක්කෝ රචකයා ගැන තිබුණු අදහස වඩාත් සාධනීය වෙන්න පුලුවන්. නැත්නම් ෆැන්ටසි කුඩුවෙන්න පුලුවන්.

මේ සංවාද මං කියෙව්වේ පළවෙනි සාකච්ඡාවෙ ඉඳන් අන්තිම සාකච්ඡාව වෙනකම් මුල සිට අගට නෙමෙයි. තෝරගත්ත රචකයන් කිහිපදෙනෙක්ගෙ ඉඳන් ඉන්පස්සෙ පිටු පෙරලුණු තැනක, අහුවුණු අහුවුණු රචකයා දක්ව. මේ පොතේ එන සංවාද අතරින්, මගේ හිත් ගත්තම සංවාදය තුර්කි ජාතික ලේඛකයෙකු වුණු ඔර්හාන් පමුක්ගෙ සංවාදයයි. අනෙක් ලේඛකයන් උත්තර දෙන ආකාරයට නෙමෙයි ඔහු උත්තර දෙන්නේ. ඔහුගේ සාකච්ඡාව ම කතාන්දරයක් වගේ රසවත්. වාස්තු විද්‍යාව, ඉංජිනේරු විශය ඉගෙනගන්න සලස්වමින් පමුක්ව චිත්‍ර ශිල්පියෙකු කරන්න දෙමව්පියො උනන්දු වුණත්, ඔහු ලේඛනයට එනව. අවධානෙන් හොයා බැලුවොත් සාහිත්‍යයට අදාළම නොවන විශයන් කරමින් ලේඛනයට ආව රචකයන්ට තියෙනවා, ඔපමට්ටම් වුණු, වැනුම් නැති, රචනා රටාවක්. ඉංජිනේරුවෙකු වෙන්න උත්සාහ කළ දොස්තොයොස්කි, වාස්තුවිද්‍යාව කළ අරුන්දතී රෝයි, සුමුදු අතුකෝරල, ගණිත වාණිජ විශයන් කළ අනුරාධ මහසිංහ, ප්‍රභාත් ජයසිංහ… වැනි අය ලෝක‍යෙන් සහ ලංකාවෙන් උදාහරණ වශයෙන් දක්වන්න පුලුවනි. ඉස්තාන්බුල් නගර දිගේ රෑට ඇවිදපු විදිය ගැන පමුක් කියද්දි පාඨකයට ඒවා මැවිලා පේනව. පමුක්ගේ විනෝදබර බවක්, මිත්‍රශීලිබවක්, අව්‍යාජ බවක් ඒ සංවාදෙන් මතුවෙනව. සංවාදෙකින් කෙනෙක් ගැන අවම දළ අදහසක් හෝ ගන්න බැරි නෑ.

“මිනිස්සු විශ්වාස කරනවා ලේඛකයෙක්ගෙ මනසෙ පළවෙනි කොලේ ඉඳන් අන්තිම කොලේ වෙනකම් සියල්ල ම තියෙනව කියල. ඒක වැරදියි. ඔබ නවකතාව ලියනවිටයි එය පරිකල්පනය කරන්නේ” – ඔර්හාන් පමුක්ගෙ මේ අදහස උපුටා දැක්වුවේ, පාඨකයන් හිතන් ඉන්න විදියයි ඇත්තටම වැඩේ වෙන හැටියයි ගැන මෙතන පැහැදිලිව කියල තියෙන නිසා. ලේඛකයො කියන්නෙ දෙවිවරු නෙමෙ සාමාන්‍ය මිනිස්සුමයි කියන මට්ටමට පමුක් මේ ගේන කතාව, තමන්ගෙ ඊගෝව එක්ක ගනුදෙනු කරන රචකයන්ට හිතන්න දෙයක් ඉතුරුකරනව.

මෙවැනි ම අදහසක් සල්මන් රුෂ්ඩිත් පළකරනවා. ‘හැමදේම සැලසුම් නොකර ලියන්නයි කැමති’, ‘මුලින් හිතුව කතාව නෙමෙයි ලියල ඉවර වෙද්දි තියෙන්නෙ’, ‘පොත ලියන අතරෙ එකිනෙකාගෙන් අදහස් ගන්න යන්නෙ නෑ’ වැනි පිළිතුරු ඔහුගෙන් ලැබෙනව. දවසේ shedule එක හදාගන්න විදිය, පුහුණුවෙන විදිය, නොනවත්වා ලියන විදිය සැලකුවාම රුෂ්ඩිගෙ ලේඛන ජීවිතය routine එකක් විදියට කරන දෙයක් බව පෙනෙනව. ඔහු මෙතනදි කියන එක වැකියක් තියෙනවා, ඉංග්‍රීසි භාෂාවෙන් මේ වැකිය තියෙන්නෙ කොහොමද කියල දැනගන්න වුවමනාවක් ආවා කියෙව්වම,

“ලේඛකයෙක්ට පුලුවන් වෙන්න ඕනෙ ලියන්න ඕනැකරන’ජරාව’ හොයාගන්න”

ඉතාලියානු ගත්කතුවර උම්බර්තෝ එකෝ පාඨකයන්ව වර්ග දෙකකට බෙදනවා. ප්‍රත්‍යක්ෂමූලක පාඨකයා(දැනටමත් ඉන්න පාඨකයා) සහ නිරූපක පාඨකයා (ලේඛකයා විසින් නිර්මාණය කරගන්නා පාඨකයා)ලෙසිනුයි. එකෝගේ සංවාදය කියවද්දි තේරුණේ ඔහු ආසාවට ලියන කෙනෙක් විතරක් ම නෙමේ ඔහු ලේඛන දිවිය වෙනුවෙන්, තමන් තමන්වම විභාග කරලබලන, ලේසියෙන් දේවල් ලබාගන්න අකමැති විදියෙ කෙනෙක් බව.

කෂුවෝ ඉෂුගුරෝගේ සංවාදයේදි ඔහු සාහිත්‍යයේ මතභේදාත්මක තැන්, ගැටලු තැන් සෘජුවම අමතනව. ‘අවුරුදු 30/40 වුණ හින්දා ඇතැම් රචකයන් ආධුනිකයි ද’ (රචනයේ පරිණත බව මනින්නෙ රචකයගෙ වයසින්ද?) වැනි දේ ගැන ඔහු ප්‍රශ්න කරනවා. පාඨකය මොනව හිතයිද කියකිය හිත හිත ඉන්නැතුව ලියන්න ඕනෙ දේ ලියන්නය කියන තීරණේ ඔහු ඉන්නවා. මේ සඳහන් කළේ මේ පොතේ එන ලේඛකයන් අතලොස්සකගේ අදහස් ටිකක් විතරයි.

‘නවකතාවේ ආඛානික රටා’ පොතේ එන රචකයන්ගෙ කෘති කියවලා නැති පිරිසට ඒ වෙනුවෙන් පොත් හඹායන්න හිතේවි.

[ ප.ලි | සුභාෂිණී චතුරිකා රාවයට සහ අනිද්දා පුවත්පත්වලට පළකළ මෙවැනි ම සංවාද සහිත ලිපි ටිකක්, ඇගේ අලුත් බ්ලොග් එකකට අද අරන් තිබුණා. ඒ වැඩේටත් ජය පතන ගමන්, ඒ ලිපි පොතකට ගන්න ලැබෙන අනාගතයක් වෙනුවෙන් අපි බලන් ඉන්න බව ලියා තියන්නම්! ]

ඩිල්ශානි චතුරිකා දාබරේ

නාට්ටාමි පීතර සහ සුබාවතී

0

මාතර ඉඳන් ආ බව මතකයේ තිබේ
ලෑතර උඩින් පැටි සංදිය ගෙවුනි ඉබේ
මේකුළු නටනකොට සුන්දර අහස් ගැබේ
පීතර ළඟට පුන්සඳ අමුවෙන් ම එබේ

බාලේ හිටිය මල් කැකුළිය සුබාවතී
නාඹර හිනාවට බඹරුන් නටනවැතී
රාළේ කියා සියොළඟ කිතිකවන නිතී
ඒ වගෙ රුවක් හත්මුතු පරපුරේ නැතී

කාටත් හොරෙන් කොළඹට ආ වෙලාවේ
කරගැට වැටුණි ජීවන මං තලාවේ
හීනෙන් කතාකරනා බටනලාවේ
ආදර හැඟුම් ඇවිලෙයි වේදනාවේ

හැට පැන්නාට වඳුරන් බිම නොයන නිසා
පීතර උඩින් යයි ගල් බාගයක් ගසා
හතළිස් ඇඳිරියෙන් ඔබ්බට දෑස වසා
තාමත් සුබා ගේනා මල් සුවඳ තොසා

මිටි කර ගහන විට පිටකොටු ගිනි අව්වේ
පැටි සංදිය ම කර ගහගෙන ම යි දිව්වේ
දාඩිය කඳුළු ගඟ කිරිමූදට නැව්වේ
පායයි සුබා තාමත් සඳගිරිපව්වේ

බීඩිය දැවෙන විට ඩීසල් දුමාරේ
වාඩිය පුරා කෙඳිරිලි උණ විකාරේ
පාළුව හඬන විට වාරේ අවාරේ
කාලය දිගේ ජීවිතය ම අතෑරේ

පෙලවාසියක් කරගෙන ඈ ගිහින් ඇතී
දූ දරු පිරිස මැද සන්තෝසයෙන් ඇතී
පීතර දකින හඳ උන්දෑ දකිනවැතී
කාටත් හොරෙන් ඒකිත් රෑ හඬනවැතී

කුමාර හෙට්ටිආරච්චි

වසන්ත මුදලිගේ නිදොස් කොට නිදහස් : විරෝධතා වැලැක්වීමේ ඉල්ලීමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එල්ල කර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.

මේ අතර අධිකරණය අසල එම ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් සහ සිවිල් ක්‍රියාකාරීන් සිදු කළ නිහඬ විරෝධතාවක් වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක් ද අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. එම විරෝධතාවේදී ජනතාවට පීඩාවක් සිදුවන්නේ නම්, එය වැලැක්වීමට අවශ්‍ය බලතල පොලිසිය සතු බව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (31) පෙරවරුවේ අවධාරණය කර තිබිණි.

සකස් කරන ලද බවට සැක කළ හැකි සාක්ෂි 2ක් මත වසන්ත මුදලිගේ දින 160කට අධික කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස රඳවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළේය. නීතිපති දෙපාර්තමේන්තුව දිගින් – දිගටම අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශන සිදුකරන නිසා තවදුරටත් ඔහු ව රඳවා ගත යුතු බවයි.

ඉන්පසු කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේ විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එම නියෝගයෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව අත්තනෝමතික ලෙස මහේස්ත්‍රාත්වරියට බලපෑම් කරමින් නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා සිටින ලදි.

(මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් thetime.lk ඔස්සේ බලාපොරොත්තු වන්න.)

සබැඳි පුවත්

ව්‍යවස්ථාදායක සභාවෙන් නව විනිසුරුවරු : ස්වාධීන කොමිෂන් සභාවලට අයදුම්පත් කැඳවයි !

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (30) කතානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ඉහළ අධිකරණවල පුරප්පාඩු වී ඇති විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණ කිහිපයක් ගෙන ඇති අතර, ඉදිරියේදී ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් පත්කිරීම සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ විනිසුරු ධුරයට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එම්.කේ.පී. ප්‍රනාන්දු පත්කිරීමට සභාවේ අනුමැතිය ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවූ බව වාර්තා වේ.

එම පත්කිරීම නිසා පුරප්පාඩු වන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස එන්.බී.පී.ඩී.එස්. කරුණාරත්න පත්කිරීමටත්, මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී ඇත.

මේ අතර ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ පුවත්පත් නිවේදන පෙබරවාරි 01දා පළකිරීමටත්, ඒ සඳහා වන අවසාන දිනය පෙබරවාරි 15 ලෙසත් මෙම රැස්වීමේදී තීරණය කර තිබේ. මීට අදාළ අයදුම්පත් ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ පළකිරීමට නියමිත ය.

මෙම රැස්වීමට අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් වන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න සහභාගි වී තිබේ.