නවකතා ලියන ලියවෙන විදි ගැන ලේඛකයන්ගේ හඬින් ‘නවකතාවේ ආඛානික රටා’

Share post:

ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණ තරම් ම ඔවුන් සම්බන්ධයෙන් පාඨක අවධානයට ලක්වූ තවත් ආඛ්‍යාන ප්‍රවර්ග පවතිනවා. එකක් නම් ඔවුන්ගේ ජීවිත කතා‍යි. අනෙක නම්, ඔවුන් නිර්මාණාවේෂය ලබාගත් සැටි, නිර්මාණයට බලපෑ සිදුවීම්, ලියන කියන විදි, සංස්කරණය කරන හැටි, සෙසු මිත්‍ර ලේඛකයන් ගැන දරන අදහස් ඇතුළු ලේඛන දිවිය ගැන ඔවුන්ගේ අත්දැකීම් සමූහය ඉදිරිපත් කරන අවස්ථායි, සංවාදයි. නිර්මාණ වෙනුවෙන් වගේ ම මේ කී ප්‍රවර්ග වෙනුවෙනුත් වෙන ම සාහිත්‍යයක් ගොඩනැගී තිබෙනවා.

ලේඛකයාගෙ නිර්මාණය සහ ලේඛන දිවිය කියන දෙක වෙන ම බේරාගන්න බැරිව පාඨකයන් අවංක කුතුහලයෙන් නිර්මාණයේ ඉන්නා චරිත රචකයාගේ සැබෑ ජීවිතයේ චරිත යැයි සිතන අවස්ථා බහුලයි. එහෙම වෙන්නෙ ලේඛකයව අමතක කරලා, නිර්මාණය ගැන විතරක් අවධානය දෙන්න පාඨකයන් සූදානම් නොවන නිසා. මේ ගැන එදිරිවීර සරච්චන්ද්‍ර, ලියෝ තෝල්ස්තෝයි අදහස් පළකර තිබෙනවා. ලේඛන දිවිය කියන්නෙ රචකයගේ ජීවිත කතාව විතරක් ම නෙමෙයි. ලිවීමේ තැනට ඔහුගේ හිත මෙහෙයවූ තැන සිට ගොඩනැගුණු වෙන ම තතු එකතුවක්. ඕනැම ලේඛකයෙක්ගෙ ජීවිතයත් නිර්මාණයත් කියන ස්වභාවයන් දෙක කියවන පාඨකයෙකුට ඒ දෙක අතර රික්තකය පුරවා, ඒ අතරමග වුණු දේ කියමින්, ඒ ආකාර දෙක එකිනෙක සම්බන්ධ කර ගළපලා මුහුකරන්නෙ මේ ‘ලේඛන දිවියේ විස්තර අත්දැකීම්’ ආදියයි. නිර්මාණයෙදි සෘජුවම පාඨකයට කියන්න නොහැකි වෙන දේ, මෙතැනදි ආත්ම කථනයක් ලෙසින් ලේඛකයට කියන්න ලැබෙනවා. අනෙක් අතින් පාඨකයට නිර්මාණය ගැන, පොතෙන් බැහැර අමතර දැනුම් පදාසයක් එකතුවෙනවා. සම්මුඛ සාකච්ඡාවක් නම්, රචකයා ගැන පමණක් නොවී, ප්‍රශ්න ඇසූ තැනැත්තා ගැනත් හොයලා, ඔවුන්ගේ අමතර තතු හොයන්න ඇතැම් පාඨකයන් පෙළඹෙනවා. මේ නිසා නිර්මාණය තරම් ම, තිරයෙන් පිටුපස වුණු දේ දැනගන්නත්, ප්‍රශ්න කරන්නත්, කියවන්නත්, ඒ සංවාද මුද්‍රණය කර පුවත්පත්වලත් ග්‍රන්ථ විදියටත් පළකරන්නත් මීට අදාළ පිරිස උනන්දුව දක්වනවා.

මෑතකදි පළකෙරුණු ‘නවකතාවේ ආඛානික රටා’ පොතේ තියෙන්නෙ ලෝක මට්ටමේ අවධානයට ලක්වුණු ලේඛක ලේඛිකාවන් 17දෙනෙකුගේ අත්දැකීම් සමූහය ඇතුළත් සම්මුඛ සාකච්ඡා කිහිපයක්. මේ 17දෙනා අතර හිතුවක්කාර ලියන්නො, මැදහත්ව සිතන්නො, තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන්නො, ප්‍රීතිමත් ලියන්නො, අත්දැකීම් වෙනුවෙන් රස්තියාදු ගහන්නො, ඔෆිස් ටයිම් විලසින් වැඩකරන්නො, අහම්බෙන් ලියන්න ඇවිත් කප් ගසන්නො, පාරම්බාන්නො ආදි විවිධ ආකාරවල අය අපට හමුවෙනවා. සාමාන්‍යෙන් නිර්මාණකරුවන්ගෙ සම්මුඛ සාකච්ඡා කියවන පාඨකයෙක්ට සිදුවෙන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා. එක් එක් ලේඛකයන් දෙන පිළිතුරුවලින් ඔවුන්ගේ නිර්මාණවල අනන්‍යතාවය වගේ ම රචකයෙක් විදියට ඔවුන් අත්පත් කරගත් යමක් වෙත්නම් එය මතුවීම එකක්. ඒ ඒ රචකයා පිළිතුරු දෙන විදියෙන් රචකයාව පැත්තකින් තිබ්බොත් මනුස්සයෙක් විදියට ඔහු/ ඇය කොහොම කෙනෙක්ද කියන එකත් කියවගන්න පුලුවන්වීම තව එකක්. එක්කෝ රචකයා ගැන තිබුණු අදහස වඩාත් සාධනීය වෙන්න පුලුවන්. නැත්නම් ෆැන්ටසි කුඩුවෙන්න පුලුවන්.

මේ සංවාද මං කියෙව්වේ පළවෙනි සාකච්ඡාවෙ ඉඳන් අන්තිම සාකච්ඡාව වෙනකම් මුල සිට අගට නෙමෙයි. තෝරගත්ත රචකයන් කිහිපදෙනෙක්ගෙ ඉඳන් ඉන්පස්සෙ පිටු පෙරලුණු තැනක, අහුවුණු අහුවුණු රචකයා දක්ව. මේ පොතේ එන සංවාද අතරින්, මගේ හිත් ගත්තම සංවාදය තුර්කි ජාතික ලේඛකයෙකු වුණු ඔර්හාන් පමුක්ගෙ සංවාදයයි. අනෙක් ලේඛකයන් උත්තර දෙන ආකාරයට නෙමෙයි ඔහු උත්තර දෙන්නේ. ඔහුගේ සාකච්ඡාව ම කතාන්දරයක් වගේ රසවත්. වාස්තු විද්‍යාව, ඉංජිනේරු විශය ඉගෙනගන්න සලස්වමින් පමුක්ව චිත්‍ර ශිල්පියෙකු කරන්න දෙමව්පියො උනන්දු වුණත්, ඔහු ලේඛනයට එනව. අවධානෙන් හොයා බැලුවොත් සාහිත්‍යයට අදාළම නොවන විශයන් කරමින් ලේඛනයට ආව රචකයන්ට තියෙනවා, ඔපමට්ටම් වුණු, වැනුම් නැති, රචනා රටාවක්. ඉංජිනේරුවෙකු වෙන්න උත්සාහ කළ දොස්තොයොස්කි, වාස්තුවිද්‍යාව කළ අරුන්දතී රෝයි, සුමුදු අතුකෝරල, ගණිත වාණිජ විශයන් කළ අනුරාධ මහසිංහ, ප්‍රභාත් ජයසිංහ… වැනි අය ලෝක‍යෙන් සහ ලංකාවෙන් උදාහරණ වශයෙන් දක්වන්න පුලුවනි. ඉස්තාන්බුල් නගර දිගේ රෑට ඇවිදපු විදිය ගැන පමුක් කියද්දි පාඨකයට ඒවා මැවිලා පේනව. පමුක්ගේ විනෝදබර බවක්, මිත්‍රශීලිබවක්, අව්‍යාජ බවක් ඒ සංවාදෙන් මතුවෙනව. සංවාදෙකින් කෙනෙක් ගැන අවම දළ අදහසක් හෝ ගන්න බැරි නෑ.

“මිනිස්සු විශ්වාස කරනවා ලේඛකයෙක්ගෙ මනසෙ පළවෙනි කොලේ ඉඳන් අන්තිම කොලේ වෙනකම් සියල්ල ම තියෙනව කියල. ඒක වැරදියි. ඔබ නවකතාව ලියනවිටයි එය පරිකල්පනය කරන්නේ” – ඔර්හාන් පමුක්ගෙ මේ අදහස උපුටා දැක්වුවේ, පාඨකයන් හිතන් ඉන්න විදියයි ඇත්තටම වැඩේ වෙන හැටියයි ගැන මෙතන පැහැදිලිව කියල තියෙන නිසා. ලේඛකයො කියන්නෙ දෙවිවරු නෙමෙ සාමාන්‍ය මිනිස්සුමයි කියන මට්ටමට පමුක් මේ ගේන කතාව, තමන්ගෙ ඊගෝව එක්ක ගනුදෙනු කරන රචකයන්ට හිතන්න දෙයක් ඉතුරුකරනව.

මෙවැනි ම අදහසක් සල්මන් රුෂ්ඩිත් පළකරනවා. ‘හැමදේම සැලසුම් නොකර ලියන්නයි කැමති’, ‘මුලින් හිතුව කතාව නෙමෙයි ලියල ඉවර වෙද්දි තියෙන්නෙ’, ‘පොත ලියන අතරෙ එකිනෙකාගෙන් අදහස් ගන්න යන්නෙ නෑ’ වැනි පිළිතුරු ඔහුගෙන් ලැබෙනව. දවසේ shedule එක හදාගන්න විදිය, පුහුණුවෙන විදිය, නොනවත්වා ලියන විදිය සැලකුවාම රුෂ්ඩිගෙ ලේඛන ජීවිතය routine එකක් විදියට කරන දෙයක් බව පෙනෙනව. ඔහු මෙතනදි කියන එක වැකියක් තියෙනවා, ඉංග්‍රීසි භාෂාවෙන් මේ වැකිය තියෙන්නෙ කොහොමද කියල දැනගන්න වුවමනාවක් ආවා කියෙව්වම,

“ලේඛකයෙක්ට පුලුවන් වෙන්න ඕනෙ ලියන්න ඕනැකරන’ජරාව’ හොයාගන්න”

ඉතාලියානු ගත්කතුවර උම්බර්තෝ එකෝ පාඨකයන්ව වර්ග දෙකකට බෙදනවා. ප්‍රත්‍යක්ෂමූලක පාඨකයා(දැනටමත් ඉන්න පාඨකයා) සහ නිරූපක පාඨකයා (ලේඛකයා විසින් නිර්මාණය කරගන්නා පාඨකයා)ලෙසිනුයි. එකෝගේ සංවාදය කියවද්දි තේරුණේ ඔහු ආසාවට ලියන කෙනෙක් විතරක් ම නෙමේ ඔහු ලේඛන දිවිය වෙනුවෙන්, තමන් තමන්වම විභාග කරලබලන, ලේසියෙන් දේවල් ලබාගන්න අකමැති විදියෙ කෙනෙක් බව.

කෂුවෝ ඉෂුගුරෝගේ සංවාදයේදි ඔහු සාහිත්‍යයේ මතභේදාත්මක තැන්, ගැටලු තැන් සෘජුවම අමතනව. ‘අවුරුදු 30/40 වුණ හින්දා ඇතැම් රචකයන් ආධුනිකයි ද’ (රචනයේ පරිණත බව මනින්නෙ රචකයගෙ වයසින්ද?) වැනි දේ ගැන ඔහු ප්‍රශ්න කරනවා. පාඨකය මොනව හිතයිද කියකිය හිත හිත ඉන්නැතුව ලියන්න ඕනෙ දේ ලියන්නය කියන තීරණේ ඔහු ඉන්නවා. මේ සඳහන් කළේ මේ පොතේ එන ලේඛකයන් අතලොස්සකගේ අදහස් ටිකක් විතරයි.

‘නවකතාවේ ආඛානික රටා’ පොතේ එන රචකයන්ගෙ කෘති කියවලා නැති පිරිසට ඒ වෙනුවෙන් පොත් හඹායන්න හිතේවි.

[ ප.ලි | සුභාෂිණී චතුරිකා රාවයට සහ අනිද්දා පුවත්පත්වලට පළකළ මෙවැනි ම සංවාද සහිත ලිපි ටිකක්, ඇගේ අලුත් බ්ලොග් එකකට අද අරන් තිබුණා. ඒ වැඩේටත් ජය පතන ගමන්, ඒ ලිපි පොතකට ගන්න ලැබෙන අනාගතයක් වෙනුවෙන් අපි බලන් ඉන්න බව ලියා තියන්නම්! ]

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...