නාට්ටාමි පීතර සහ සුබාවතී

Share post:

මාතර ඉඳන් ආ බව මතකයේ තිබේ
ලෑතර උඩින් පැටි සංදිය ගෙවුනි ඉබේ
මේකුළු නටනකොට සුන්දර අහස් ගැබේ
පීතර ළඟට පුන්සඳ අමුවෙන් ම එබේ

බාලේ හිටිය මල් කැකුළිය සුබාවතී
නාඹර හිනාවට බඹරුන් නටනවැතී
රාළේ කියා සියොළඟ කිතිකවන නිතී
ඒ වගෙ රුවක් හත්මුතු පරපුරේ නැතී

කාටත් හොරෙන් කොළඹට ආ වෙලාවේ
කරගැට වැටුණි ජීවන මං තලාවේ
හීනෙන් කතාකරනා බටනලාවේ
ආදර හැඟුම් ඇවිලෙයි වේදනාවේ

හැට පැන්නාට වඳුරන් බිම නොයන නිසා
පීතර උඩින් යයි ගල් බාගයක් ගසා
හතළිස් ඇඳිරියෙන් ඔබ්බට දෑස වසා
තාමත් සුබා ගේනා මල් සුවඳ තොසා

මිටි කර ගහන විට පිටකොටු ගිනි අව්වේ
පැටි සංදිය ම කර ගහගෙන ම යි දිව්වේ
දාඩිය කඳුළු ගඟ කිරිමූදට නැව්වේ
පායයි සුබා තාමත් සඳගිරිපව්වේ

බීඩිය දැවෙන විට ඩීසල් දුමාරේ
වාඩිය පුරා කෙඳිරිලි උණ විකාරේ
පාළුව හඬන විට වාරේ අවාරේ
කාලය දිගේ ජීවිතය ම අතෑරේ

පෙලවාසියක් කරගෙන ඈ ගිහින් ඇතී
දූ දරු පිරිස මැද සන්තෝසයෙන් ඇතී
පීතර දකින හඳ උන්දෑ දකිනවැතී
කාටත් හොරෙන් ඒකිත් රෑ හඬනවැතී

කුමාර හෙට්ටිආරච්චි

Related articles

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...