නාට්ටාමි පීතර සහ සුබාවතී

Share post:

මාතර ඉඳන් ආ බව මතකයේ තිබේ
ලෑතර උඩින් පැටි සංදිය ගෙවුනි ඉබේ
මේකුළු නටනකොට සුන්දර අහස් ගැබේ
පීතර ළඟට පුන්සඳ අමුවෙන් ම එබේ

බාලේ හිටිය මල් කැකුළිය සුබාවතී
නාඹර හිනාවට බඹරුන් නටනවැතී
රාළේ කියා සියොළඟ කිතිකවන නිතී
ඒ වගෙ රුවක් හත්මුතු පරපුරේ නැතී

කාටත් හොරෙන් කොළඹට ආ වෙලාවේ
කරගැට වැටුණි ජීවන මං තලාවේ
හීනෙන් කතාකරනා බටනලාවේ
ආදර හැඟුම් ඇවිලෙයි වේදනාවේ

හැට පැන්නාට වඳුරන් බිම නොයන නිසා
පීතර උඩින් යයි ගල් බාගයක් ගසා
හතළිස් ඇඳිරියෙන් ඔබ්බට දෑස වසා
තාමත් සුබා ගේනා මල් සුවඳ තොසා

මිටි කර ගහන විට පිටකොටු ගිනි අව්වේ
පැටි සංදිය ම කර ගහගෙන ම යි දිව්වේ
දාඩිය කඳුළු ගඟ කිරිමූදට නැව්වේ
පායයි සුබා තාමත් සඳගිරිපව්වේ

බීඩිය දැවෙන විට ඩීසල් දුමාරේ
වාඩිය පුරා කෙඳිරිලි උණ විකාරේ
පාළුව හඬන විට වාරේ අවාරේ
කාලය දිගේ ජීවිතය ම අතෑරේ

පෙලවාසියක් කරගෙන ඈ ගිහින් ඇතී
දූ දරු පිරිස මැද සන්තෝසයෙන් ඇතී
පීතර දකින හඳ උන්දෑ දකිනවැතී
කාටත් හොරෙන් ඒකිත් රෑ හඬනවැතී

කුමාර හෙට්ටිආරච්චි

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...