ප්‍රංශ සාහිත්‍යයේ මඟ නොහැරිය යුතු එමිල් සෝලා

Share post:

ප්‍රංශ සාහිත්‍යයේ Classic නවකතා ගැන කියද්දි ගුස්ටාව් ප්ලෝබෙයාර්ට් මතක් වෙන්නේ යම් සේද, එයා ගාවට මට ඊළඟට මතක්වෙන කෙනා එමිල් සෝලා. මදම් බෝවාරි 1856 ලියවෙද්දි, එමිල් සෝලාගේ මැඩලින් ෆෙරාට් ලියවන්නෙ ගන්නෙ 1868, [ ප්‍රංශ නම ‘මැඩලින් ෆෙරාට්’, ඉංග්‍රීසියට නැගෙන්නෙ ‘Shame’ නමින්, සිංහල පරිවර්තනය එන්නෙ ‘විලි බිය’ නමින්] ප්ලෝබෙයාර්ට්, සෝලාගේ කෙටිකතා පළකරන්න උදව්වුණු වගක් වරක් කොහෙන් හෝ කියෙව්වා මතකයි. ඔහු ඇතුළු ප්‍රංශ සාහිත්‍යයේ එවකට විසූ ලේඛකයන් ඇසුරුකරමින් වුණත්, තමන්ගේ ම ලේඛන ක්‍රමයක් ගොඩනගන්න සෝලා සමත් වෙනවා. Naturalism වෙනුවෙන් සෝලාගෙ පොත්වලින් ලොකු දායකත්වයක් ලැබුණු බවට සාහිත්‍යයේ පොදු පිළිගැනීමක් තියෙනවා. එමිල් සෝලාගේ නවකතාවල ඇතුළත් සිදුවීම්වල කිළිපොළන ස්වභාවය ලෝක සාහිත්‍යයේ වෙනත් කතුවරයෙක්ගෙන් ආසන්නයට හරි මතක්වෙනව නම් මට මතක්වෙන්නෙ ජපන් ලේඛකයෙකු වූ යුකියෝ මිෂිමාව.

කොහොමහරි ඇනා කැරනිනා (1878) ලියවෙද්දි මේ පොත් දෙක ම ලියවිලා. මදම් බෝවාරි, මැඩලින් ෆෙරාට් සහ ඇනා කැරනිනා කියන පොත් තුනේ ම ඇතැම් දේවල් තරමක් සමානයි. ප්‍රධාන චරිතය කාන්තාවක් වීම, කථා නායිකා නාමයෙන් කෘතිය නම්කර තිබීම, සෙසු පෙම් සබඳතා, ඉරණම් පෙරළිය සහ කාන්තා චරිතය දිවිනසා ගැනීම ආදිය මෙම කෘති තුනට ම පොදු කාරණා. දිවිනහගන්නවා හැර දෙයක් වෙනුවෙන් ජීවත්වෙන්න ඇයි මේ අයට බැරිවුණේ කියල දවසක් යාලුවෙක් එක්ක කතාවෙවී ඉද්දි, උත්තර වශයෙන් ලැබුණා, ‘එයාල ජීවත්වුණු කාලෙ හැටියට, එයාල නඩත්තු කළ Aristocracy ජීවිතවල හැටියට, එයාලගේ පවුල් පසුබිම්වල හැටියට, ඒ ලේඛකයන්ට ඒ චරිත මරාදමනවා හැර එතනින් එහාට දෙයක් ඉතුරුවෙලා නොතිබෙන්න ඇති’ කියල. මේ කතා කාන්තාවො ලිව්වා නම්, මේ චරිත මියයාවිද කියල හිතුණා. පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් ඇඳපු චිත්‍ර ඒ එක්ක ම මතක් වෙන්නගත්තා.

මැඩලින් ෆෙරාට් පොතේ අවසානය ගැන විශේෂයෙන් කියන්න වුවමනා නිසා මං දැන් එතෙන්ට එන්නම්.
එමා බෝවාරි පොතේ, එමා වස පානය කරල මැරෙනවා. ඇනා කැරනිනා පොතේ ඇනා මැරෙන්නෙ කෝච්චියට පැනල (ඒක තෝල්ස්තෝයි කියන්නෙ ගෙඩි පිටින් ම නෙමේ, හරි පරිස්සමින්). මැඩලින් ෆෙරාට් පොතේ දි වෙන්නෙ මේකයි. මැඩලින්ගෙ මිතුරෙකු වුණු ජැක් එක්ක පෙම් සබඳතාවක් තිබුණු බව ඇගේ සැමියා විලියම් දැනගන්නවා. ඔවුන් අතර ඝට්ටනයක් ඇතිවුණායින් පස්සෙ, මැඩලින් වහ කුප්පිය අතේ තියන් සැමියා දිහා බලන් ඉන්නවා. විලියම් ඇයව නවත්තන්නෙ නෑ, ඇය වහ බොන දිහා සීරුවට බලන් ඉන්නවා. ඇය මියයනවා. දැන් විලියම් මොකද කරන්නෙ, ඇගේ සිරුර උඩ සන්තෝසෙන් අමුතු විහිලු සහගත නැටුමක් නටන්න ගන්නවා!

මැඩලින් වහ බොනකම් ප්‍රතිචාරයක් නොදැක්වුව විලියම්, තමන්ගෙ හිතේ එතෙක් තිබුණු පීඩනය, ඉරිසියාව, කේන්තිය සේරම පිටකරන්නෙ ඒ විදියට.

ඇනා කැරනිනා, මදම් බෝවාරි පොත් දෙකේ ම අපිට පේන්න ඉන්නෙ බිරිඳ දිවිනහගත්තාම එක්කො කම්පිත වෙන, ඉන්පස්සෙ ආයෙ ජීවිතේට සාමාන්‍ය විදියට මුහුණ දෙන මහත්තුරු. මැඩලින් ෆෙරාට් පොතේ එන්නෙ ඒ විනීත, හොඳබවට යටින් ඉන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වහාවය. පාලනය නොකළ, විනීත නොවන හැඟීම් දැනීම් ඒ ආකාරයෙන් ම පෙන්වන චරිත. මේ ඉරියව්, හැසිරීම් මිනිස්සුන්ගෙන් සාමාන්‍ය‍යෙන් දකින්න අපහසු නැති දේවල් වුණත්, Classic අතර මේ තැන් ලියවෙද්දි ලියවෙන්නෙ එක්තරා ක්‍රමයකට අනුගතව නිසා, මෙහෙම අවස්ථා මතක හිටින තැන් බවට පත්වෙනවා. පොත ඉවරවෙද්දි, වහ බීලා මැරුණු මැඩලින්ට නෙමෙයි අපේ අවධානෙ යන්නෙ අර රංගනේ කරන මනුස්සයා දිහාටයි. විලියම්ට උන්මන්තකයෙක් විදියට ජීවිතේ ඉතිරිය ගතකරන්න වේවිද කියන හැඟීමෙන් අපිට පොත වහන්න සිද්ධ වෙනවා.

ඩිල්ශානි චතුරිකා දාබරේ

[ පින්තූර අන්තර්ජාලයෙන් ]

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...