ලංකාව මෙහෙයවන මෝදිගේ නියෝජිතයා : අදානිගේ වත්කම් ඩොලර් බිලියන 34කින් පහතට !

Share post:

පුද්ගල ශ්‍රේණිගත කිරීම්වල ලොව ධනවත්ම පුද්ගලයන් අතර 3 වැනි ස්ථානයේ සිටි ඉන්දියාවේ ගෞතම් අදානි ස්ථාන 7කින් පහතට බැස තිබේ.
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔහුට හිමිව ඇත්තේ 11 වැනි ස්ථානයයි.
අදානි සමූහ ව්‍යාපාරයේ කොටස්වල අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 34කින් අඩු වී ඇති අතර, අදානිගේ වත්කම්වල අගය දැන් සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 84.4 ක් ලෙසයි. ඒ අනුව අදානි, හිටපු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් බෝල්මර්, ගූගල් සම-නිර්මාතෘ සර්ජි බ්‍රින් සහ මෙක්සිකානු ව්‍යාපාරික කාලෝස් ස්ලිම් යන ලෝක ධනවතුන්ට වඩා පසුපසින් සිටී.

අම්බානිට වඩා එකක් ඉදිරියෙන්

පසුගිය සතියේ අදානි ඩොලර් බිලියන 119ක ධනයක් සමග ලොව ප්‍රකෝටිපති ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත්විය.
මේ වන විට LVMHහි සභාපති බර්නාඩ් ආර්නෝල්ට්, ටෙස්ලා හිමිකරු එලෝන් මස්ක් සහ ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ලොව ප්‍රකෝටිපති ලැයිස්තුවේ පළමු ස්ථාන තුනෙහි පසුවෙති.
මේ වනවිට රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි සභාපති මුකේෂ් අම්බානිට වඩා අදානි ඉදිරියෙන් සිටින්නේ ඩොලර් බිලියන 2.2කින් පමණි.
අම්බානිගේ සමස්ත වත්කම් ඩොලර් බිලියන 82.2ක් ලෙස දැක්වෙන අතර, ඔහු ලොව ධනවත්ම පිරිමි ලැයිස්තුවේ 12 වැනි ස්ථානයට පත්ව ඇත.

ආන්දෝලනාත්මක වාර්තාවක්

ඇමෙරිකා එක්සත් ජනපද පර්යේෂණ ආයතනයක් වන Hindenburg විසින් ජනවාරි 24 දින නිකුත් කරන ලද වාර්තාවක ප්‍රතිඵලයක් ලෙස අදානි සමූහයේ ආදායම් පහත වැටෙන්නට ඇති බවට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.
අදානි සමූහයේ මූල්‍ය වංචා සහ එම සමූහයේ ණයබරතාව පිළිබඳ අනාවරණයත් සමගින් ම සිදු වූ වෙළෙඳපොළ කොටස් වටිනාකම් කඩාවැටීම මේ සඳහා හේතුව වී තිබේ.
Bloomberg Billionaires Indexහි දත්තවලට අනුව, ගෞතම් අදානි පිළිබඳ අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහුගේ ධනය ඩොලර් බිලියන 34.6කින් පහත වැටී ඇත.

‘නීති ක්‍රියාමාර්ග ගන්නවා’

කෙසේ වෙතත් Hindenburg ආයතනය සිදු කළ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කරන බව අදානි සමූහය පවසා තිබේ. එසේම එම ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අදානි සමූහය සඳහන් කරයි.
මේ අතර ඉන්දියාවේ ප්‍රධානතම විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය අදානිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පාලක භාරතීය ජනතා පක්ෂය වෙත දැනුම් දී ඇත.
ගෞතම් අදානි ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතම හිතවතෙකු සහ එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට අරමුදල් සපයන ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස ද ප්‍රකට ය.

මෝදිගේ අදානි !

රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන්ට අනුව භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ භූදේශපාලනික අවශ්‍යතා සඳහා මැදිහත් වන ප්‍රධානතම ව්‍යාපාරිකයා වන්නේ අදානි ය. ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානිට ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් ඊට එල්ල වූ බරපතළ විරෝධය නිසා එය අත්හැර දැමිණි. ඉන්පසු කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් අදානි මැදිහත් කර ගැනීමට තීරණය කෙරිණි.

අදානි සහ ගෝඨාභය

මේ අතර අදානි සමූහ ව්‍යාපාරයට උතුරු පළාතේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සිදුකිරීම සඳහා අවස්ථාව ලබාදීමට ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී තිබිණි. 2021 ඔක්තෝබර් 25දා එම සමූහ ව්‍යාපාරයේ අධිපති ගෞතම් අදානි සහ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර, මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී තිබිණි. මෙම ව්‍යාපෘතිය ජපන් සමාගමක් සමග සිදුකිරීමට මීට පෙර සාකච්ඡා පවත්වා තිබිණි.
එහෙත් එය ජපානයට ලබාදීම සම්බන්ධයෙන් ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පාර්ශ්වයෙන් විරෝධය පළකර තිබූ බව මාධ්‍ය වාර්තා කළේය.

චීනයට එරෙහිව අදානි

එසේ ම උතුරු පළාතේ දූපත් 03ක ඒකාබද්ධ බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එම දූපත් චීනයට ලබාදීමට 2021 පෙබරවාරි මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සාකච්ඡා ආරම්භ කළේය.
යාපනයට ආසන්නයේ පෝක් සමුද්‍රසන්ධියේ පිහිටි ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් දූපත් මෙසේ අදාළ ව්‍යාපෘතිය සඳහා ලබාදීමට 2021 ජනවාරි 18දා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබිණි. දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම යනුවෙන් මේ ව්‍යාපෘතිය හඳුන්වා තිබිණි.


ආණ්ඩුවේ මේ තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන බව එරට ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේය. ඉන්දියානු සමාගමක් ද මේ ව්‍යාපෘතිය සඳහා මුල් වටයේදී ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණත්, ප්‍රසම්පාදන කමිටුව මගින් එය ප්‍රතික්ෂේප කර තිබිණි. ඉන්පසු මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළකර තිබිණි.
ඉන්පසු ඉන්දීය රජය පාර්ශ්වයෙන් දැනුම් දී තිබුණේ මෙම ව්‍යාපෘතිය සඳහා මැදිහත් වීමට අදානි සමූහයට ද අවස්ථාව ලබාදෙන ලෙසයි.
එසේ ම මෙම චීන ව්‍යාපෘතිය සඳහා උතුරේ දේශපාලන පක්ෂ 14ක් ද එක්ව විරෝධය දැක්වූ අතර, එම විරෝධතා නිසා එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම නැවතිණි. ඒ, යළිත් ටෙන්ඩර් කැඳවීමේ තීරණයකට අනුව ය.

අදානිට ඩොලර් මිලියන 400ක්

මේ අතර අදානි සමූහය විසින් මැද පෙරදිග රටවල සහ ඕස්ට්‍රේලියාවේ පවත්වාගෙන යන ව්‍යාපාර සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ චෝදනා එල්ල විය. එසේ තිබියදී අබුඩාබි හි IHC – International Holding Company නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනයක් අදානි සමූහය සමග සිදුකිරීමට තමන් සූදානම් බවයි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...