පුවත්පත් කලාවේදියා දිගේලි කරන ලද ගවයෙකු වැනි යයි අප රටෙහි සිටී අදීනම පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකුද වූ දයාසේන ගුණසිංහ වරක් පැවසීය. ඔහුගේ කීම බරපතල එකකි. ඉන් පුවත්පත්කලාවේදියාගේ භූමිකාවේ අභියෝගාත්මක ස්වභාවය මෙන්ම වෘත්තියේ තත්වයද කියැවෙයි. ඔහු කියනුයේ පුවත්පත්කලාවේදියා සපුරා නිදහස් නොවන නමුදු ඔහු තමනට ලැබෙන සීමාවේ අන්තයටම උත්සාහ දැරිය යුතු බවයි. ඔහු පවසන්නේ ගවයාට ඇවැසි නම් කඹයේ දිගට තණ බුදින්නට හැකි බවයි. එහෙත් බොහෝ විට ගවයන් කරනුයේ කනුව වටා කැරකී ගෙල කනුවට සරකරගෙන කෑගෑමයි. එය පුවත්පත් කලාවේදියාටද එලෙසින්ම අදාලය. අදවන විට පුවත්පත් යනු අන්කවරදාටත් වඩා මුදලාලිකරණයට ලක්වූ මාධ්‍යයකි. අති බහුතරයක් මුදලාලිගේ අණසකට යටත් සේවකයන් පමණි. මාධ්‍ය හැසිරවෙනුයේ ප්‍රාග්ධනය සපයන්නාගේ අභිමතය පරිදිය. එහෙයින් පුවත්පත් කලාවේදියා අද අන් කවරදාටත් වඩා සූක්ෂම විය යුතුව තිබේ. එහෙත් ඒ වෙනුවට අපට බොහෝ විට දක්නට ලැබෙනුයේ තම බඩ රස්සාව කරනා වෘත්තිකයන් පිරිසක් පමණි. මේ අද දවසේ මාධ්‍යකලාව සම්බන්ධයෙන් අප මුහුණ පා ඉන්නා කටුක යථාර්තයයි. එය ධනවාදයේ ග්‍රහණය තදවෙන සමාජයන්හී පොදු ලක්ෂණයකි. අනෙක් අතින් සමාජවාදය පැවති සමයේ ඒ රටවල මාධ්‍යද පැවතියේ පාලක ග්‍රහණයට නතුවය.
කොත්මලේ සිරිසේන යනු දීර්ඝ කාලයක් ලංකාවේ පුවත්පත් ලෝකය තුළ සිය මැදිහත්වීම සිදුකල මාධ්‍ය වේදියෙකු මෙන්ම නිර්මාණකරුවෙකු ලෙසද ප්‍රකට අයෙකි. ඔහු මෑතකදී සිය මතක සටහන් කැටි කර අතීත මිහිරියාවක සටහන් යනුවෙන් කෘ.ියක් පල කර තිබේ. ඒ සටහන් එකතුව ඔහුගේ පුවත්පත් ජීවිතයේ මෙන්ම ළමා වියෙහිද මතක කැටි කර දැක්වීමකි.
මතක සටහන් යනු පුද්ගලයෙකුගේ මතකාවර්ජනයක් ලෙසත් පුද්ගලික සිතුවිළි දහරාවක් ලෙසත් පොදුවේ පිලිගැනුනද එය ඒ සමගම එක්තරා යුග පරිණාමෙයක් ගැන කියවීමක්ද සපයන ලියවිල්ලක් ලෙසද ගත හැකිය. ඒ අයුරින්ම මේ සටහන් පෙලද ඔහු සිය පුවත්පත් දිවියෙහි හමුවූ, ඇසුරු කළ මිනිසුන් පිලිබඳ ආවර්ජනයන් මෙන්ම විවිධ සිදුවීම්, වෘත්තීය දිවියෙහි රසමුසු මෙන්ම අභියෝගාත්මක සහ අවදානම් සහගත් අවස්ථා පිලිබඳවද මතක එකතුවකි. එසේ එය දශක කිහිපයක මාධ්‍ය ලෝකයේ හැසිරීම් පිලිබඳව වර්තමාන පාඨකයාහට තොරතුරුමය වැදගත්කමක්ද ඇති කරයි. එසේම එය ඒ සමගම තම සමකාලීනයන් මෙන්ම තමන්ගේ ජ්‍යෙෂ්ඨයන් ගැනද එක්තරා ආකාරයක කියවීමකි. ඔහු සිය ලිපි පෙලෙහි අමිත අබේසේකර ගැන ලියන සටහන මතුකර දැක්විය යුතු සටහනකි. අමිත යනු අපේ මාධ්‍ය ලෝකයේ අද නොදන්නා එහෙත් ඉතා වැදගත් මැදිහත්වීමක් කළ ලේඛකයෙකි. සිංහල මෙන්ම ඉංග්‍රීසි බසද මනාව හැසිරවීමේලා සමත් ඔහු වැන්නවුන් ගැන මතක වර්තමානයට ගෙන ඒම වැදගත් වුවද කොත්මලේගේ ඒ සටහන තීරු පිලියක සීමා තුළ සිර කර සංක්ෂිප්ත කිරීම අපරාධයකැයි සිතෙයි. මගේ මතකය නිවැරදි නම් අයිලන්ඩ් පුවත් පතට ඔහු ලියූ ලිපි එකතු කර Best of Amitha නමින් පල කර තිබිණි.
ඔහුගේ සටහන් අතර සිනමාව මෙන්ම වේදිකාව ගැනද ලියවුන් මතක තිබේ. එයද ඒ කාලය පිලිබඳ කියවන්නෙකුට යම් ආලෝකයක් ලැබිය හැකි තොරතුරු මෙන්ම රසයද සහිත ලියවිලිය. කෙසේ වෙතත් මේ කෘතිය කියවන විට මට හැඟී ගියේ ඔහු තම සටහන් වෙන වෙනම එනම් පත්තර මතක සහ ළමාවියේ මතක වශයෙන් කෘති දෙකකට ඒවා එකතු කළේ නම් වඩා හොඳය කියාය.
කොත්මලේ සිය පුවත්පත් කලාවේදී දිවිය සමගම කවියෙකුද නඩත්තු කරයි. ඔහුගේ කවිය සංක්ෂිප්ත බවින් යුතුවන අතරම විචාරාත්මක එළඹුමකින්ද යුක්තය. එය ඔහු සිය පත්තර දිවියෙන් ලද එළඹුමෙහිම දිගුවක් විය හැකිය. ඔහු සිය කවි අතර මතු කරනා ඇතැම් අදහස් සමාජ නිචාරයක් ලෙසද ගත හැකිය. මේ ඔහු විවාහය නමින් රචනා කරනා කව යි.
සිතුවිළි
බිරිය හරහා
ක්‍රියාවට
නැගෙන
යාන්ත්‍රණය
කුටුම්භය සහ පුරුෂ මූලික සමාජ ආකල්ප ආදිය එකට කැටි කර ලියැවෙන මේ කවිය විවාහ සංස්ථාව දෙස හෙලනා එක්තරා ආකාරයක සරදම මුසු බැල්මකි. ඔහු ඒ අතර මධු සමය දකිනුයේ මෙලෙසිනි.
නව යුවළ
වැඩිහිටියන්
දැනුවත්ව
රැයක් පහන් කිරීමේ
චාරිත්‍රය
එයද කියවන්නාගේ මුවට සිනහවක් නගනා කවකි. එම කවිය මගින් ඔහු තාරුණ්‍යය මෙන්ම එහි සබඳතාවන් හී මතුපිට මෙන්ම නොපෙනෙන පාර්ශවයද සම්ප්‍රදාය සහ එහි පැටලෙන සමකාලීන ජීවිතය විග්‍රහ කරන්නට තැත් දරයි. ඔහු සිය කවියෙන් නූතන දහම සහ දේශපාලනයේ විකෘතිය විචාරයට ලක් කරයි.
සිවුර
බුදුන්ගේය
දර්ශනය
දේශපාලකයන්ගේය
දේශපාලනය හා ගැටගැසුන අරමෙහි පිලිකුල් සහගත තත්වය පසුගිය කාලය පුරාම අපේ දෛනික අත්දැකීම වූ අතරම එය විවේචනය කිරීමද මාරාන්තික වරදක් ලෙස නිර්වචනය කරනු ලැබිණි. චීවරය පැහැපත් සහ දිස්න දුන් තරමටම බුදුන්ගෙන් අරම ඈත් විණි. ඒ වෙනුවට එහි මාර්ගෝපදේශකයා වූවේ දේශපාලකයාය. මේ පාර්ශව දෙකෙහි එකතුව විසින් සමාජය ගෙන ගිය තැන අද හොඳින්ම විද්‍යාමානය. කොත්මලේ කවියා එය ග්‍රහණය කරගනියි.
වියපත්වූ
ගසද
මගබලා සිටී
එනතුරු
වසන්තය
ලංකාවේ බෙහෙවින් බරපතල එහෙත් මතුපිටට නොඑනා ගැටළුවක් වනුයේ වැඩිහිටියන්ගේ ජීවිතය කෙරේ ඇති නොසැලකිල්ලය. බොහෝ ගෙවල වැඩිහිටියා මුනුපුරු මිණිපිරියන් බලාගන්නා ආයා චරිතයට ලඝු කර හමාරය. ඔවුන්ට ඇති එකම භාහිර ඇසුර පෝ දිනට පන්සලේ බණ මඩුවේ සිල් ඇත්තන් සමග ගෙවනා හෝරා කිහිපය පමණි. මේ අපේ අවධානයට ලක් නොවනා බරපතල කලාපයකි. වැඩිහිටි ලෝකයේ බිඳවැටීම සහ ඔවුන් තුළ වන අසහනය සහ කලකිරීම මෙන්ම කෝපයද කියවන්නට සමාජයට ඉසිඹුවක් නැත. විශේෂයෙන්ම මේ වියපත් මිනිසුන්ගේ ලිංගික ජීවිතය කෙරේ වන ගර්හාත්මක ආකල්ප අප සමාජයේ ඉතා ඉහලය. කොත්මලේ ගේ කවිය මේ සියල්ල කෙරේ අපේ අවධානය කැඳවන නිර්මාණයකි. තවත් විටෙක කොත්මලේ තුළ වන සරාගී කවිකාරයා අවදිවෙයි. එවිට ලියැවෙන කවිය අනුරාගී මිනිස් සබඳතාවන් කෙරේ වන පහන් බැල්මකි.
හිතුවක්කාර
ළය මඩළ
දඬුවමින් පසු
දිගු නින්දක
කොත්මලේ සිරිසේන ගේ සටහන් මෙන්ම කවියද කියවන්නා වෙහෙසට පත් නොකරන රචනාවන්ය. එය සැහැල්ලුව කැටි කරගත් රචනා ශෛලියකි. එහෙත් ඒ රචනාවන් තුළ පාඨක පරිකල්පනයටද වැඩි ඉඩක් වෙන්ව ඇත්තේය.