‘මද සිනා නගන විල් දිය’ – රුවන්මලී දීපිකා කොඩිකාර

Share post:

හෙමි හෙමිහිට පිය තබා යන හඬක්. සියුම්ව දැනෙනා විඳුමක්. ඉවසිලිවන්ත, නිරීක්ෂිකාවකගේ වදන් එකතුවක්. රුවන්මලීගේ කවි කියවූ පළමු මොහොතේදීම දැනී ගිය හැඟුම් එපරිදිය. කවිය යනු එක්තරා ආකාරයක රිදුම් සමගින් වන සිහිලකි. දන්නා නොදන්නා කලාපයන්හී අලුතින් ඇවිද යන්නට කරනා ඇරයුමකි. අගේ කවිය යනු සැලකිය යුතු කලෙක අභ්‍යාසයන්හී පලයයි. එය සාරවත් බවට පමුණුවන්නට තරම් ශික්ෂණයක් මේ කාලය තුළ ඇය ලබා ඇති බවට අගේ කවියම සාක්ෂි සපයයි.

ඇය තම කාව්‍ය එකතුව අරඹනුයේ මහහැරුණු සැසි යනුවෙන් නම් කරනු ලබනා කවකිනි. ඒ කවිය සංක්ෂිප්තබවත්, අර්ථපූර්ණත්වයක් එකට කැටි කරගත් කදිම නිර්මාණයකි. ඇගේ කවිය දිගු විපරිවර්තනයකට ලක් වෙමින් ඇදී යන අධ්‍යාපනය පිළිබ‍්සියුම් කියවීමක් ලෙස ගත හැකිය. පාසල, ශික්ෂකයා මෙන්ම ශික්ෂිතයාගේ කතන්දරය සහ තාක්ෂණයේ දියුණුව අස ඇතිවන වෙනස්කම් ඇය මේ කවෙහිදී විමසන්නීය. එය එක් අතකින් ශෝකී තානෙයක් රඳවාගත් කවකි. එසේම දිගු කතාවක් වර්තමාන මොහොතේ ආපසු හැරී බලන්නට කෙරෙනා ආයාචනාවක් වන් කවකි. ඇය තම කවිය අවසන් කරනුයේ ලාංකීය පාඨක සමාජයන්හී අමරණීය චරිත දෙකක වර්තමාන ඉරණම ගැන සිහිපත් කරමිනි.

අල්තිනායිලා දුයිෂේන්ලා හට
සොබා දහමයි මගහැරුණු සැසි

සොබා දහම තම අභිමතය පරිදි වෙනස් කරගන්නා මිනිසා අවසන එහිම සිරකරුවෙකු වෙයි. අතීතකාමයත්, තම වේගී ලුහුබැඳ යාමේ ජීවිතයේ වෙහෙසත් දරාගත නොහෙන තැන හේ ආපසු හැරී තමනට අහිමිවූ ලෝකය සොයා යන්නය අසාර්ථක උත්සාහයක් දරයි. වර්තමානයේ බොහෝ මධ්‍යම පාිංතික ගෙවල උද්‍යාන මේ අතීතකාමී සහ විඩාබර මනසේ පිලිබිඹු ය. කිවිඳිය තුටින්ද මේ පොකුණ නම් කවෙහි ඒ විෂය කරගනියි. ඇය සොබා දහමත් සොබා දහම තම අභිමතය පරිදි පතිනිර්මාණය කරගන්නා මිනිස් ජීවිතත් රෑපක සේ ගෙන පොකුණක් ඇසුරින් ජීවිතය විනිවිදින්නට සමත්වෙයි. ඇගේ කවිය පොකුණක හුදෙකලාව පිලිබඳවය.

ගෙඋයනක සුවිසල්
දරාගෙන නිලුපුල්
බඳුන්ගත තුරු ගොමු අස
පොකුණකි හුදෙකලා වුණ

ඇය මේ පොකුණෙහි හුදෙකලාව විමසන්නී එහි අභිලාෂයන් කවරේදැයි අප වෙත ගෙනහැර පාමිණි.

විසල් අතු ඉති මත
ලැගගෙන නගන කූජන
සකුණ රෑනක අසිරිය
දැකුම රිසියෙන් ලතවෙන

හුදෙකලාව, තනිකම යනු වර්තමාන ජීවිතයේ මගහැරිය නොහෙනා ගමන් සගයා ය. අප කෙතරම් සම්බන්ධතා සහිතයයි පෙන්වා සිටියද ඒ සියල්ල මැද ඉතිරිව ඇත්තේ හුදෙකලාවමය. මිනිස් ගනුදෙනු යනු උදක්ම රංගනයකි. ඒ රංගනයෙන් මිදෙන්නට ලැබෙන පළමු මොහොතේ හුදෙකලා ජීවියා අවදිවෙයි. එහෙත් ඒ ඉතා දුලබ අවස්ථාවලදීය.

කිවිඳිය මේ හුදෙකලාව සියුම් ලෙසින් කවියෙහි බහාලන්නීය. මේ ඇය තම කවිය අවසන් කරන ආකාරයයි.

පවුරුය සිවු දෙසින් බැඳි
දෙමහල් නිවස පසෙක
සිරගත රවුම් හැඩ තලයක
තුටින්ද මේ පොකුණ

ඇගේ හුදෙකලා පොකුණ යනු උදක්ම පොකුණමද? ඒ ජීවිතය දෙසට හෙලනා සියුම් බැල්මක් නොවන්නේද?
කණේරු ගස යනු ලාංකීය ජීවිතයෙහි සහ සාහිත්‍ය යෙහි නොයෙක් වර භාවිතා වන රූපකයකි. එසේම එය රජරට ජීවිතයෙහි බිහිසුනු ඉරණමක් සම්පූර්ණ කරනා නාශක බලය ඇති වස්තුවකි. මනරම් මල් පුදන කනේරු තුරම එක් අවස්ථාවක අපේක්ෂා භංගත්වයේ කෙලවර සනිටුහන් කරනුයේ ඛේදවාචකයක් විර්මාණය කරමිනි. කිවිඳිය මේ සියල්ල තම කවියට කැටි කරන්නීය. ගේ ඉදිරිපිට කනේරු ගස යනු එක් අතකින් නිවසට සිරිය සදන්නකි.

ගෙමිදුල කනේරු ගස
මලින් සැරසෙන යස
නොදත් සේ කිසිවක්
මේ ඉඩෝරෙත්

එහෙත් මේ කනේරු ගස දරනුයේ මල්ම පමනක්ද?

සිහින් ගෙල මුදු කන් පෙති
සැරසූ මාල අරුංගල්
සින්න වූ පසු සේප්පුවකට
අම්මාගෙ අත සිම්බා කනේරු ඇට

මේ අපේ වියලි කලාපයේ පොදු අත්දැකීමකි. එහි අපට අමුත්තක් නැත. අමුත්ත නැතිනම් සිහින් රිදවුම ඇත්තේ කිවිඳිය එය ඉදිරිපත් කරනා ආකාරයෙහිය.
කිවිඳිය තම කවියෙහි සම්ප්‍රදාය මැද සිර කරනු ලබනා කාන්තාව ගැන පොකුරු වෙඩිල්ලක් වන් කවක් රචනා කරයි. එය ඇගේ දැක්ම පිලිබඳවද සාක්ෂි සපයන කවියකි. එය සමාජයේ මුල්බැසගෙන ඇති මත, සම්ප්‍රදායන් පිලිකෙව් කරන අතරම නිදහස පිලිබඳ ප්‍රඉල ඉඟියක්ද සපයයි. ඇය තම තවිය නම් කරනුයේ මං කැමති සැලුන් යන අම්මෙකුට යනුවෙනි. සැලුන් යන අම්මා යනු බොහෝ අයගේ මුවට පරිහාසාත්මක මදහසක් නංවන යෙදුමකි. සැලුන් යන යෙදුම අම්මාට නොගැලපෙන සෙයකි. එය අම්මාගේ භූමිකාව කෙලෙසන සෙයකි. මේ අද පවා බොහෝ අය දරනා ආකල්පයයි. ඇය ඊට එරෙහිව ලියන්නීය. ඇය වත්මන් කතගේ දවස මෙසේ නිරූපණය කරයි.

සිහිනිඟ නෙරිය තැලී පොඩිවී
සැමන් ටින් බස් රියක ගුලි වී
දහසකුත් ප්‍රශ්ණ මැද තනිවී
රතු ඉරට නිරතුරුව මැදිවී

මෙහි එන සිහිනිඟ, නෙරිය යන යෙදුම් සහ ඒ සමගින් වන වර්ණනා චිරාත් කාලයක් පුරා පුරුෂ ලෝකය තුළ ස්ත්‍රිය අලංකාර වස්තුවක්, තමන්ගේ පරිභෝජනය උදෙසා වන වස්තුවක් බවට හරවා ගැනීමට භාවිතා කරන ලද සාහිත්‍යමය ඇමවල් වේ. ඇය මේ කාන්තාවගේ ලෝකය විවෘත විය යුතු බවත් ඇයට ඒ සඳහා නිදහස ඇති බවත් පවසන්නීය.

දරු සෙනෙහෙ මහ මෙරක් ඇතුවාට
සැලුන් ගොස් වත්සුනුත් ඉලුවාට
කලියුගයෙ අම්මලයි කීවාට
මං කැමති සැලුන් යන අම්මෙකුට

ආරියවංශ රණවීරගේ කවි අතරෙහි ඔයබඩ වවුල්ලු නමින් කවියක් එයි. ඒ කවිය තියුණු ව්‍යංගාර්ථවත් කවකි. වවුලන් ඇසුරින් සමාජය කියවන්නට එය කදිම පිවිසුමකි. අප කිවිඳියද තම කවි එකතුවෙහි සංවාද නමින් කවියක් බහාලන්නීය. ඒ කවියද පාඨක අවධානය යොමුවිය යුතම කවියකැයි කිව යුතුය. එය වවුල් කුලක ඇසුරින් නූතන සමාජය කියවන්නට දරනු ලබනා නිර්මාණාත්මක උත්සාහයකි.

පැණි වරකා ගසෙහි
රෑ මැදියමත් පසුවී
ඇතැම් දිනෙක පාන්දරත්
වවුල් සංගමයකි

එතැන් පටන් ඇය වයංගාර්ථවත් බසකින් වවුල් සමාජය හරහා මිනිස් සමාජය වෙත එළඹෙන්නීය. එහිදී ඇය භාවිතා කරනා යෙදුම් කවියෙහි වි‍ඳුම් කලාපය පුළුල් කරයි.

සංවාද විසංවාද
ඉඳහිටක නිහඬතාව
රැස්ව අහස් ගැලරියට
අවදියෙනි තරු ජනතාව

මේ වවුල් සමාජයේ යතාර්ථය ඇය අපට ගෙනෙන්නේ මෙලෙසිනි.

සියුම්ව හමන නල
ඉගිලෙන වවුල් ජනයා දැක
සදය සිනහා නගයි
හිරු නැගෙන මේ උදෑසන

රුවන්මලී තම පළමු කවි එකතුවෙන් කරනා මැදිහත්වීම පාඨක විචාරක දෙපිරිසේම අවධානය ලැබිය යුතුය. එසේම ඇයද කවිය අත නොහැර දිගටම ලිවිය යුතුය.

චූලානන්ද සමරනායක

Related articles

කොත්මලේ ලිවිසැරිය

පුවත්පත් කලාවේදියා දිගේලි කරන ලද ගවයෙකු වැනි යයි අප රටෙහි සිටී අදීනම පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකුද වූ දයාසේන...

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...