හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා විදිහටයි. ඔහු 1947 ඉඳන්, ඒ කියන්නේ දැන් අවුරුදු 78ක් තිස්සේ වෛද්‍ය වෘත්තියේ නිරත වෙනවා.
වෛද්‍ය ටකර් තමන්ගේ 103 වැනි උපන් දිනය ආසන්නයේ තියෙද්දි මේ තරම් කාලයක් ඔහු සෞඛ්‍ය සම්පන්නව වගේම සතුටින් ජීවත්වුණේ කොහොමද කියන එක National Geographic සඟරාවේ මාධ්‍යවේදියෙක් එක්ක බෙදාගෙන තිබුණා.
ඔහු දෙවැනි ලෝක යුද්ධය කාලේ එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රධාන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයා විදිහටත් කටයුතු කරලා තියනවා. ඒ වගේම 1989 දි ඔහියෝ හීදී නීතිවේදය හදාරලා නීතීඥයෙක් වශයෙන් දිවුරුම් දීලත් තියනවා. අදටත් ඔහු ඔහියෝ-ක්ලේව්ලන්ඩ් වෙස්ටර්න් රිසව් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට වෛද්‍ය විද්‍යාව උගන්වන්නත් ඉඳහිට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ වෛද්‍ය ටකර් අදටත් සෑහෙන්න කාර්යබහුල කෙනෙක්.
ඒ විතරක් නෙවෙයි මෑතකදි ඔහුගේ මුණුපුරා තමන්ගේ යාළුවෙක් එක්ක එකතුවෙලා තමන්ගේ සීයාට ටික්ටොක් ගිණුමක් හදලා දුන්නා. ඒකේ What’s next? යනුවෙන් නම්කරපු වැඩසටහනක් හරහා ටකර්ගේ දිගුකාලීන තෘප්තිමත් ජීවිතය ගැන කතා කරන්න පටන්ගත්තා, මේ වෙද්දි ඔහුට ලක්ෂයකට වැඩි followers ලා ඉන්නවා.
‘මම අවුරුද්දක් ගාණේ කරන්න තියන වැඩ සැලසුම් කරනවා, ඒවා කරලා ලියලා විස්තර තියාගන්නවා. මේක නිසා ඩිමෙන්ෂියා හැදිලා මේ සේරම දේවල් අමතක වෙන අවදානමෙන් ගැලවෙන්න මට පුළුවන් වුණා. ඒ වගේම මට කොච්චර වයස වුනත් මම මගේ දේවල් සම්බන්ධයෙන් වගේම පවුලේ දේවල් ගැන තීරණ ගන්න සම්බන්ධවෙනවා, ඒකත් එක්ක මම පවුලේ සමාජිකයන් එක්ක වගේම සමාජයේ අනිත් අය එක්කත් හොඳ සබඳතාවයක් පවත්වාගෙන යනවා. මේක නිසා මට හුදෙකලාවක් හෝ හීනමානයක් ඇතිවෙන්නේත් නෑ.’
වෛද්‍ය ටකර් එදිනෙදා ජීවිතය ගෙවද්දි තමන් තෘප්තිමත්ව ඉන්න කරපු දේවල් බෙදාහදාගන්න පටන්ගත්තේ එහෙමයි.
ජීවිතේ කළකිරීමෙන් ගතකරන වගේම තමන්ගේ යහපැවැත්ම ගැන හිතන්නේ නැති උදවියට ටකර් දෙන උපදේශය තමයි, ඉක්මණින්ම අළුත් රැකියාවක් හොයාගන්න කියලා. එතනින් ජීවිතය අලුත් වෙනවා, අලුත් විදිහට හිතන්න වෙනවා. හැමදේම වගේ වෙනස් කරගන්න වෙනවා. එතකොට නොදැනීම ඔබත් අභ්‍යන්තරයෙන් වගේම බාහිරවත් වෙනස් වෙන්න පටන්ගන්නවා.
‘කාටහරි සෞඛ්‍ය සම්පන්නව ඉන්න අවශ්‍ය නම් මම යෝජනා කරන්නේ දේවල් කිහිපයක් විතරයි. එකක් තමයි අනවශ්‍ය විදිහට මානසික පීඩනයට ගොදුරු වෙන්න එපා. තරහ ගැනීම වගේම අධික විදිහට කය-මනස වෙහෙස කරවලා වැඩ කරද්දි ඉක්මණින්ම අසනීප ඔබව ගොදුරු කරගන්නවා. ඒ නිසා හැමතිස්සෙම කායිකව වගේම මානසිකව ක්‍රියාකාරීව ඉන්න, හැබැයි හොඳ අවබෝධයෙන් සහ තෘප්තියෙන්. හැබැයි සිගරට් නම් බොන්න එපා!’
වයස අවුරුදු 102ක් වෙලත් තවමත් සක්‍රීයව රාජාකාරී කරන සහ සතුටින් ජීවත්වෙන වෛද්‍ය ටකර් කියන්නේ එහෙමයි. ඒත් නිදහසේ ඉන්න වෙලාවකට වයින් පොඩ්ඩක් බිව්වට ඒක ශරීරයට හානියක් වෙන්නේ නෑ කියලා ටකර් කියනවා. අතීතයේ ඉඳන්ම වයින් කියන්නේ බොහොම ප්‍රබෝධමත්ව ඉන්න දිනපතා භාවිතා කරපු පානයක් නිසා වයින් කියන්නේ මිනිස්සු ක්‍රියාකාරීව තබන පානයක් කියලා තමයි කියන්නේ.
‘සකසන ලද ආහාර, සීනි අධීක ආහාර වගේම fried food වැඩි වැඩියෙන් ආහාරයට ගන්න එක දිගු සහ සුවදායී ජීවිතයකට හොඳ පුරුද්දක් නෙවෙයි. ඒ වෙනුවට එළවළු සහ පළතුරු වැඩියෙන් ආහාරයට ගන්න එක තමයි මගේ පුරුද්ද’ දවස පුරාම ක්‍රියාකාරීව හිටියා, මහන්සිවෙලා වැඩකලා කියලා අපිට ව්‍යායාම මග හැරලා ඉන්න බෑ. පුළුවන් නම් දවසට අඩුම පැයක්වත් අඩු වේගයකින් දුවන්න, නැත්නම් ව්‍යායාම ටිකක් කරන්න. ඒක ශරීරයට වගේම මනසට සෑහෙන්න ධනාත්මක බලපෑමක් කරන දෙයක්. ඒක හරියට භාවනාවක් වගේ. මොකද අපි හැම දෙයින්ම මනස ඈත් කරගෙන, ව්යායාමවලටම අවධානය යොමුකරලා ඉන්න පැයක් කියන්නේ මනසට ඉතාම හොඳ ඔසුවක් කියලා වෛද්‍ය ටකර් සඳහන් කරනවා.
‘වයසට යන්න යන්න මිනිස්සු බොහෝ දෙනෙක් ශාරීරිකව දුර්වල වෙනවට වඩා මනසින් දුර්වල වෙනවා. මම මගේ වයස අමතක කරනවා. සමහර වෙලාවට මම හිතනවා මම තාම ඉන්නේ වයස 40 කියලා. එහෙම වයස අමතක කරලා ඉන්න කොට මරණයට බයක් නෑ. ජීවත්වෙන එක වදයකුත් නෙවෙයි. ඒක ජීවිතය දිහා ධනාත්මක බලන්න උදව්වෙනවා.’
වෛද්‍ය ටකර් තමන්ගේ දිගු සහ සතුටුදායී ජීවිතයේ රහස් බෙදාගන්නේ එහෙමයි.
ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර


