වියැලුණ මතක ඉපනැලි අතපත ගාන
සුළඟක කිතිය සුලියකි ඉඟිබිඟි ගේන
ඉගිලෙන කලට තටු ලැබ සිතුවිලි රෑන
කඩදාසියකි සිත යට නවදැලි හේන
කවියක අකුරු උනනා සිහිලැල් දියක
දියවෙනු දැනෙයි ඉකිලන යටගිය මතක
කුරුමිණි නටන විට වට වැසි දිය විතක
ඔබ සැඟවෙමින් හිනැහෙයි නොලියූ පොතක
කඳුවැටි උඩින් දිදුලන වෙහෙරක කොතක
ඉඳුදුනු වෙලෙන විට මේකුළු සරදමක
අපමණ හැඟුම් ඉහිරුණ වන මංපෙතක
කටුමැටි සිහින මා හඬවයි මැදියමක
ලෙන්දොර ළඟම බිම්මල් නිදියන රැයක
ගල්ලෙන බිඳින හඬ ඇහුණා අලුයමක
ගින්දර රැගෙන දිය යට යන මින් රැළක
මින්දද සිහින අඩදැනි වෙයි රොන්මඩක
නුබ ගැබ නැඟී නියවන අටවක සඳක
හසරැලි නටන විට සීතල වෑදියක
අබමල් රොනක දැවටෙන තනි බිඟු තුඩක
හිරිමල් අකුරු අසුලා පළඳමි කවක
ආගිය මතක අළු යට ගිනි ළඟ දකිමී
පෑරුණ හිතක කඩතොළු කවියක විඳිමී
මා සිත පතුල නවදැලි හේනෙහි සරමී
දා ගිය වැඳිරි රුව සෙනෙහෙන් වැළඳගමී
කොටහළු සිහින අඩපණ බොල් පොළොව පිට
කටරොළු පුසුඹ කැලතෙයි වන වදුලු යට
හොටබරි පහුරු ගා කුහුලින් එබෙන විට
එලිවැට බඳිමි දඬුවැට ලෙස හේන වට