කඩදාසියකි සිත යට නවදැලි හේන…….

Share post:

වියැලුණ මතක ඉපනැලි අතපත ගාන
සුළඟක කිතිය සුලියකි ඉඟිබිඟි ගේන
ඉගිලෙන කලට තටු ලැබ සිතුවිලි රෑන
කඩදාසියකි සිත යට නවදැලි හේන

කවියක අකුරු උනනා සිහිලැල් දියක
දියවෙනු දැනෙයි ඉකිලන යටගිය මතක
කුරුමිණි නටන විට වට වැසි දිය විතක
ඔබ සැඟවෙමින් හිනැහෙයි නොලියූ පොතක

කඳුවැටි උඩින් දිදුලන වෙහෙරක කොතක
ඉඳුදුනු වෙලෙන විට මේකුළු සරදමක
අපමණ හැඟුම් ඉහිරුණ වන මංපෙතක
කටුමැටි සිහින මා හඬවයි මැදියමක

ලෙන්දොර ළඟම බිම්මල් නිදියන රැයක
ගල්ලෙන බිඳින හඬ ඇහුණා අලුයමක
ගින්දර රැගෙන දිය යට යන මින් රැළක
මින්දද සිහින අඩදැනි වෙයි රොන්මඩක

නුබ ගැබ නැඟී නියවන අටවක සඳක
හසරැලි නටන විට සීතල වෑදියක
අබමල් රොනක දැවටෙන තනි බිඟු තුඩක
හිරිමල් අකුරු අසුලා පළඳමි කවක

ආගිය මතක අළු යට ගිනි ළඟ දකිමී
පෑරුණ හිතක කඩතොළු කවියක විඳිමී
මා සිත පතුල නවදැලි හේනෙහි සරමී
දා ගිය වැඳිරි රුව සෙනෙහෙන් වැළඳගමී

කොටහළු සිහින අඩපණ බොල් පොළොව පිට
කටරොළු පුසුඹ කැලතෙයි වන වදුලු යට
හොටබරි පහුරු ගා කුහුලින් එබෙන විට
එලිවැට බඳිමි දඬුවැට ලෙස හේන වට

කුමාර හෙට්ටිආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...