‘නොපාගා එන්න පරමල්’- නිරෝෂ ප්‍රනාන්දු
කවි පොතක අඩංගු සියළු නිර්මාණ එකසේ දියුණු මට්ටමක පවතින කවි පොත් සුලභ නැත. එසේම කවර කවි පොතක වුව දියුණු කවියක් සොයා ගැනීමද බොහෝ විට අපහසු නොවෙයි. නමුදු වර්තමානය වන විට බොහෝ කවි පොත් හුදු වදන් ප්‍රකාශයන් ඉක්මවන මට්ටමකට නොපැමිණීමත් කවීන්ගේ නොඉවසිල්ලත් හේතුවෙන් කවිය සහ හුදු ප්‍රකාශන අතර සීමා ඉර ඇත්තේ මැකෙමිනි. නිරෝෂගේ කවි එකතුව මට කියව්නට ලැබෙනුයේ එලෙස කවි කම වදන් ප්‍රකාශයන් අතර දෝලනය වන පොත් ගණනාවක් කියවන අතරතුරය. නිරෝෂගේ කවි එකතුව එවන් කවි එකතු අතර සැලකිය යුතු මට්ටමේ කාව්‍ය නිර්මාණ රැසක් අඩංගු නිර්මාණ කෘතියක් ලෙස හැඳින්විය හැක්කක් බව කිව යුතුය.
නිරෝෂ සිය කවිය මැනවින් පාලිත බසකින් ඉදිරිපත් කරන්නට තැත් කරන්නෙකි. ඔහුගේ කවි තුළ වන වදන් එහෙයින් පරකින් යුක්තය. පාඨකයා හට ලෙහෙසියෙන් මගහැර යා නොහැකි විචිත්‍රත්වයක් සිය කවි තුළ රඳවා ගන්නට ඔහු සමත්ය. ජීවිතය සහ බැඳුණු විවිධ ඉසවු සිය කවියට විෂය කරගන්නා නිරෝෂ සංයමයෙන් යුත් නිරීක්ෂකයකු වෙමින් ජීවිතයෙහි ගැඹුර සොයන්නට උත්සුක වෙයි. එහිලා ඔහු ඉවසිලිවන්තය, මනුෂ්‍යත්වයේ පවත්නා සීමාවන් මෙන්ම විපුලබවද එකවර ග්‍රහණයට ගන්නා ඔහු වේගයෙන් පරිහාණියට ඇදෙන සමාජයකට මදක් තාවරව අවලෝකනයක යෙදෙනු පිණිස කවි ඉදිරිපත් කරයි.
කවර කලාපයක වුව කවියට විෂය වන කරුණු අතර අම්මා යනු අතිශය සුලබ නිමිත්තකි. එය කවියට මෙන්ම ගීතයටද බෙහෙවින් ආශක්තය. කවර කවියෙකු වුව තම කාව්‍ය සංග්‍රහයට අම්මා පිලිබඳ කවියක් ඇත=ළු කරන්නට උත්සුක වෙයි. එය එක් අතකින් මවු පිදුමක් වන්නා සේම යුතුකමක් ඉටු කිරීමක්ද වෙයි. මේ නිසාම බොහෝ විට අපම කවියෙහි හමුවන අම්මා සුලබ වදන් හරඹයක් බවට පත්වීම ස්වාභාවිකය. ඉදින් ඒ සුලභ බව ඉක්මවා යාමට නම් කවියා පොහොසත් පරිකල්පනයෙන් යුක්ත වූවකු විය යුතුමය.
නිරෝෂගේ සඳ තරු සැදූ අම්මා යනු එවන් කැපී පෙනෙන ලක්ෂණ ඇති කවියකි. ඔහු අම්මා අපට ඉදිරිපත් කරන්නේ විසල් අවකාශයක රඳවමිනි. ඒ විසල් අවකාශය තුළ ඔහු ගන්නා සංකේත අපට අම්මා යන සංකල්පයම කෙතරම් අසිරිමත් දැයි සිහිපත් කරවයි.
මල් පල සුවඳ දෙන තුරු හෙවණක් බලා
සමනල තටු මැද මුදු පහසක් සදා
විසල් ලොවට පුතු හපනකු කියා
කවි පදයක මහ ආදරයක් තියා
රන් තැටියක බත් දෙකටක් අනා
කුස ගින්දර නිවාදැමූ
අම්මා
මේ ඔහු අම්මාගේ විසල් ආදරය සිත්තම් කරන අයුරයි. ඒ ආදරය යනු පුතකුගේ ජීවිතය බොහෝ දුර කැන්දාගෙන යන ආදරයකි. ඉදින් අම්මා නික්ම ගිය පසුව කවියා අම්මා දකිනුයේ සිය පරිකල්පන ලෝකය තුළ වෙනත් රූපක ඇසුරිනි. අම්මා නික්ම ගිය පසුව නිරෝෂ ඇය පැටි වියෙහි බත් හනා කවන්නට ගෙනා රන් තැටිය දකිනුයේ මෙලෙසිනි.
අම්මා
මට
නොකියා
ස්වර්ගයට ගිය දා
අත ඇරී
අහසේ තනිවූ රන් තැටියයි
අර පුන් සඳ
එපමණක්ද නොවේ ඇය රස කර කැවූ බත් අද අහසෙහි විසිර ගොසිනි. ඒ සමස්ත ලෝකයටම ආදරයෙහි සළකුණක් ලෙසිනි.
ඒ තැටියෙන් හැලී
හුළඟට ඉහිරී ගිය
බත් පිඩ තමයි
අර
රන් තරු කැට
නිරෝෂ කාව්‍යාත්මක යෙදුම් නිපදවීමේ ලාදක්වන දස්කම නිසාවෙන් පාඨකයා හට නැවුම් වින්දනයකට මග පෑදෙයි. ඔහු සමාජ විපරිණාමය, සංවර්ධනය?, මනුෂ්‍ය සංවේදනයන්හී ගිලිහී යාම වැනි විවිධ කරුණු සාකච්ඡාවට ගනුයේ මහා මාර්ගයක් නිර්මාණයට විෂය කරගනිමිනි. ඔහු ගේ විහේෂත්වය ඇත්තේද ඒ මහා මාර්ගය සිය කවියෙහි නිරූපණය කරන ආකාරයෙහිමය.
තාර කළු සාරි ඇඳගෙන
හැඩපළු බෙදා මැදින් සුදු ඉර තියාන
හරස් ඉරෙන් නෙරිය හැඩ කර
නියොන් කනකර පැළඳි
ආඩම්බර නෝනකුද
පාරක් කියන්නේ අතීතය අමතක
මේ තියුණු උත්ප්‍රාසයක් දනවන කවියකි. මෙහි සැබැවින්ම අතීතය අමතකව ඇත්තේ අජීවී මහ මගට නොව මනුෂ්‍ය වර්ගයාට බව වහා වැටහෙන කවියකි. ඔහු ව්‍යංගාර්ථවත් බසකින් කවිය හරහා අපට සිහිපත් කරනුයේ සංවර්ධනය පසුපස දුවනා අප කෙතරම් වේගයෙන් යහපත් මිනිස් ලක්ෂණ හලා දමමින් ඉන්නේද යන්න ගැනය.
මේ මෙතන බස් හරවන තැන
පුංචි පටු දෙවටක් තිබුණ බව
ඇත්තටම ඔබට කවුරුවත් කියා නැතිද
ඉන්පසු ඔහු අපට විස්තර කරනුයේ යහපත් ලොවක් වෙනුවෙන් නිහඬව සිය මෙහෙවර කර නික්ම ගිය මිනිසකු ගැනය. ඔහු පාර විවෘත කරන දා උත්වාකාරයෙන් එන දේශපාලකයා මෙන් පරසිදු නැත. හේ සැඟව ගිය අයෙකි. අමතකව යන අමතක කර දමන අයෙකි. සිය උර මතින් මාවත තනන්නට ගල් ඇදි අයෙකි. නිරෝෂ ඔහු ගැන කියන්නෙමෛලෙසිනි.
හදවතක් නැති කළු ගල්
උර මතින් වැඩමවූ
ඒ මිනිසා ගැන
අසා නැද්ද,
තිබුණ ලොකු හදවතක්
ඔහුගේ අපිට තිබුණෙ නතර වෙන්න නමින් එන කවියද මතකයේ රැඳෙනා කවකි. නූතන කුටුම්භය යනු තවදුරටත් දෙදෙනකු එක්ව සිය දරුවන්ද සමගින් ගොඩ නගන්නකට වඩා කේවල උත්සාහයන්හී පලයකි. එහි වෙන වෙනම දූපත් ඇති අතර මේ දූපත් හා වෙනුයේ විටින් විටය. වැඩියෙන්ම ඉඩ ඇත්තේද එක් වීමටත් වටා දුරස් වීමටය.
අපිට තිබුනෙ යන්තං හරි අටවං
පදිංචි වෙන්න
ඉන්න ගමන් හදා ගන්න
දෙන්නම එකතු වෙලා ලෝන් එකක් ගන්න
වියදම් පාලනය කරන්න
ප්ලෑක් එකට වැඩේ වෙනවද හොයන්න
හැමදාම රෑට ඒ ගැන කතා කරන්න
එහෙත් සැබෑවටම ජීවිතය ගලා යනුයේ වෙන් වෙන්වය. ඒ ශ්‍රම විභජනය මත පදනම් වූ යාන්ත්‍රික දිවියකි. එහි ඇත්තේ සාමූහිකත්වය නොව වෙන් වෙන් ඒකක පමණි.
මට තිබුණෙ ගල් වැලි වෙන් කරලා
දෙපැත්තක ගොඩ ගහන්න
ලී දඬු යකඩ කූරු වෙන් කරන්න
පරාලවල දැවාරක්ෂක ගාන්න
ඔයාටත් තිබුණා
නිවාඩු දවස්වල
වල් පැල ගගවන්න
මල් ගස්වලට පෝර දාන්න
මේ නිරෝෂ සිය කවිය අවසන් කරනාකාරයයි.
කුඹලෙකුට වුනත් පුළුවන්ද
එකතු වෙලා
ඇඳපු ප්ලෑන් එකක්
තනියෙං
හදං
පදිංචි වෙන්න
කුටුම්භගත දිවියෙහි සංකීර්ණත්වයන් කවියට මුහු කිරීමේලා නිරෝෂන් දක්වන සමත්කම අපූරුය. එහිදී ඔහුගේ කවිය විශේෂ වන්නෙ ඔහු භාවිතා කරනා යෙදුම් හී පොහොසත් බව හේතුවෙනි. මේ සමත්කම වෙසෙසින්ම කැපී පෙනෙනා එක් කවක් වනුයේ හෙට උනත් ගමට එන්න නම් කවියයි.
ඕනැම දෙයක් වෙන්න පුළුවන් වෙසක් මාසෙක
ඔයා ඇවිත් තිබුණා
මහ ගෙදරට
මේ පැමිණීමත් සමග වන අලකලංචි ඔහු විස්තර කරනුයේ මෙලෙසිනි.
ඔයා මහ ගෙදර ආ දවසෙ
අකුණක් පුපුරලා
අහස හිල් වුණා
ඊට පස්සෙ වැස්සා , වැස්සා
වැස්සට ගඟත් බය වෙලා
ගම පුරා දිවුවා
මේ එහි පලයයි.
දෑල ඉවුරු පීරාගෙන ආ වතුර
ඔයා දුන්න මල් ගස් යට කරගෙන
බොර පාටින් ගලා ගිහින්
මඩ කළා
මුළු මිදුලම
ගම පුරාත් පැතිරුණා
මඩ තට්ටු
ඉදින් කථකයා මේ මඩ තට්ටු වලට කරනුයේ අපූරු දෙයකි.
ඉස්සර වෙසක් දවසට ඔයයි මමයි
ගම පුරා මල් එකතු කළා වගේ ආසාවෙන්
එකතු කරගත්තා මම ගමේම මඩ
ගෙනත් අතහැරියා
මා ඉන්න ගොහොරටමඒ මඩ එකතු කිරීමේ අරමුනය අපට වඩාත්ම වටින්නේ. කවියා සිය කවියෙහි පිම්ම පනිනුයේ මෙතැනිනි.
රෝස පාට යටි පතුලේ
මඩ ඩිංගිත්තක්වත් ගෑවුනෝතින්
හොඳ නෑ
හිනාවෙයි ලෝකයා
ඕනෑම දෙයක් වෙන්න පුළුවන් වෙසක් මාසෙක
මේ කවියෙහි ඇති ව්‍යංගාර්ථවත් බව බෙහෙවින් තියුණුය. ඒ කවිය යනු යළි යළි කියවමින් විඳින්නට හැකි නිර්මානයකි.
නිරෝෂන් ලංකාවෙහි තවමත් යටව ඇති ගිනි පුපුරක් වන බොහෝ අයට දැන් අමතකව ඇති වර්ගවාදී ගැටළුව අසූතුනේ කලු ජූලිය හරහා අල්ලන්නේ කවියකු සතු පරිකල්පන හැකියාව මනාව විදහමිනි. බෙහෙවින් භාවිතයට ගන්නා ලද මාතෘකාවක් වුවද නිරෝෂන් අත එය නවමු අත්දැකීමකි.
තබා ලියුමක් මා අත
තාත්තා නමට
යයි ඉගිල
පියුං හිතවත
ඔහු ඒ ලිපිය දමිල හස්තයකින් ලියවුනක් බව කියන්නේ සංකේතාත්මක බසකිනි. ලිපිනය ඇත්තේ ඉංග්‍රීසියෙනි.
අදිරද අකුරින් ඇත ලිපිනය
දින නැති මුද්‍රාවකි
ධම්ම චක්ක මුද්දරය මත
ඇතුලත හතරට නැවූ ලිපියකි
පලින් පල තෙමී බොඳවූ
උතුරු අකුරින් ලියවුණ
අදිරද අකුරු, ධම්ම චක්ක මුද්දරය, උතුරු අකුරු යන යෙදුම් කවියෙහි අර්ථය තවත් තීව්‍ර කරයි. ඔහු මේ කථකයා සහ දමිල පිරිස් අතර සහෝදරත්වය විස්තර කරනුයේ වෙරළු ගෙඩියත් බෙදාගෙන ගත කළ යුගයක් සිහි කරමිනි. එහෙත් එය අවසන් වනුයේ ජාති මාමක චිත්‍රයක ආනුභාවයෙනි. ඛේදවාචකය ඇත්තේ අප එකිනෙකා වටහා ගැන්මට ඇති යතුර මග හලා ඒම තුළය. කවියා එය විස්තර කරන්නේ මෙලෙසිනි.
කවදාවත් උගන්වා නැත
උතුරු අකුරක්
සුසර කරන මග
කියවා ගත නොහැක
තාත්තාට ආ
මේ ලියමන
අතිශය දරුණු ඛේදයක් වන අනෙකාගේ භාෂාව නොතකා හැරීම ගැන කවියා දක්වන සංවේදීකම මෙන්ම දරැණු දේශපාලන දුර්දාන්තබවද මෙහිලා කදිමට නිරූපිතය.
අප පුරුදුව සිටිනුයේ මානව බැඳීම් බිඳී යන විට ඒ සරල සමීකරණයන්ගෙන් විසඳා ලන්නටය. බැඳුම් කෙලවර අප වඩාත් කැමති වෛරයේ කටු අතු දකින්නට මිස බැඳුම් කෙලවර වූ පසුවද අපට ජීවිතයට පෙම් කළ හැකිය යන්න නොතකා හැරීමටය. නිරෝෂගේ කවි තුළ වන විශේෂත්වය වනුයේ ඔහු සිය කවිය තුළ මනුෂ්‍යත්වය ඔසවා තබන ආකාරයෙහිය. ගාථාව පාඩංද නංගියේ යන කවිය මේ සඳහා මනා උදාහරණයකි.
ඔහු ඒ කවියට විෂය කරගනුයේ දරුවකුද සමග බිරිඳ තනිකර වෙනත් අතක් බලාගත් පියකුගේ නැවත පැමිණීමත් සමගිනි. ඔහු යළි එන්නේ මවක් අහිමි දියණියකද කැටුවය. කවියා තමන්ට හමුවන මේ නව නැගණිය මෙන්ම ඇගේ පැමිණීමත් සමගම අම්මා තුළ වන වෙනස අපූරුවට ඉදිරිපත් කරයි. එය මිනිස් හැසිරීම් හී විවිධත්වය මෙන්ම මවකගේ හදවත කෙතරම් දයාවෙන් පෝෂිතද යන්න අපූර්ව ලෙස කියා පාන්නකි.
මව තනිකර පලා ගිය පියාගේ ආගමනය මෙපරිදිය.
අහසට නො ආ කාලයක අරුන්දතිය
පහන් තරුවටත් හොරෙන්
සුදුමැලිවූ උඹත් එක්ක
ඉඳිකඩ ලඟ තාවරව උන්නා තාත්තා
ඉදින් ඒ පියා දැක සසල වන අම්මාගේ භූමිකාව කවියා දකිනුයේ මෙලෙසිනි. ඒ වනාහී දරු පෙම මෙන්ම ස්ත්‍රී පුරුෂ පෙමෙහිද සිත සසල කරවන නිරූපණයකි.
අම්මත් නැති අසරණීට
කැඳ ඩිංගිත්තක් හදන්න
නංගියේ උඹව දී අතට මගෙ
කුස්සියට දිවුවා
ඒ අපෙ අම්මා
කවියා ඇය තවදුරටත් හඳුන්වන්නෙ මගෙ අම්මා යනුවෙන් නොවේ. අපෙ අම්මා යනුවෙනි. නිරෝෂ යනු පොහොසත් පරිකල්පනයකට මෙන්ම නැවුම් කවියකට මග තනන්නටද සමත්කම් දක්වන නිර්මාණකරුවෙකි. එහෙයින්ම ඔහුගේ කවි අපේ අවධානයට ලක්විය යුතුය.
චූලානන්ද සමරනායක