ලාංකීය යොවුන් සාහිත්‍ය ඔසවා තැබීමේ ප්‍රයත්නයේදී ‘පොත් හෙර’ මගහැර යා නොහැකි කෘතියකි

Share post:

යෞවනයාගේ මානසික සහ චර්යාමය තත්ත්වය සදාකාලිකව එකම ආකාරයකින් නොපවතී. එය කාලයේ තාලයට අනුව වෙනස් වේ. එම වෙනස්වීම සමාජ , ආර්ථික , දේශපාලනික , සංස්කෘතික සහ තාක්ෂණික වෙනස්කම්වලට සාපේක්ෂව සිදු වන්නකි. එහෙයින් අද ජීවත් වන යෞවනයාගේ මානසික සහ චර්යාමය තත්ත්වය විසි වන සියවසේ යෞවනයාට වඩා බෙහෙවින් ම වෙනස්ය. මෙම වෙනස්කම් හරහා යෞවනයා තාරුණ්‍යයට සූදානම් කිරීම යොවුන් සාහිත්‍යයේ කාර්යභාරය වේ. එහෙත් ලාංකීය යොවුන් සාහිත්‍ය දෙස බලන විට මෙම වෙනස්කම් වෙත ප්‍රමාණවත් අවධානයක් යොමු කර ඇත්ද යන සැකය මතු වේ. අතරින් පතර නැවුම් ප්‍රයත්න පැවතිය ද අපට තවමත් පොදුවේ දක්නට ඇත්තේ මඩොල් දූව සහ තුන් යහළු වික්‍රමය ඉක්මවා යාමට නොහැකි ව දඟලන යොවුන් සාහිත්‍යයකි. මෙම තත්ත්වය පිළිබඳ නැවත සිතා බැලීමකට මග සලසන කෘතියක් මෑතකදි ප්‍රකාශයට පත් කෙරිණි. එය ඔස්ට්‍රේලියානු ලේඛක මාකස් සුසැක් විසින් රචිත The Book Thief නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි.මෙම කෘතිය පොත් හෙර නමින් සත්‍යපාල ගල්කැටිය විසින් පරිවර්තනය කර සුභාවි ප්‍රකාශනයක් ලෙස එලිදක්වා තිබේ.

මෙය 2006 වර්ෂයේදී මුල්වරට පළ කරන ලද අතර ජාත්‍යන්තර වශයෙන් අලෙවි වාර්තා පිහිටුවා ඇති කෘතියකි. සිංහල පරිවර්තනයේ පිටු ගණන 590කි.මෙය ප්‍රවර්ගගත කර ඇත්තේ යොවුන් සාහිත්‍ය යටතේය. මෙම නවකතාවට පසුබිම් වන්නේ දෙවන ලෝක යුද සමයයි. එහෙත් මෙම කතුවරයා එම යුද සමයේ ජීවත් වූවකු හෝ ඒ පිළිබඳ අත්දැකීම් ඇත්තෙකු නොවේ. ඔහු මෙම පසුබිමට ගමන් කරන්නේ තම දෙමාපියන්ගේ අත්දැකීම් සහ කතාබහ හරහාය.

මෙම කතාවේ කථකයා වන්නේ මරණයයි. අනෙකුත් චරිත සහ සිදුවීම් සිතන මතන සහ ක්‍රියා කරන ආකාරය විස්තර කරන්නේ කතුවරයා විසින් පුද්ගල චරිතයක් බවට පත් කරන ලද මරණයේ බැල්මට අනුවය. අහිමිවීම, ක්ෂිතිය, ත්‍රාසය, භීතිය , මරණය යනාදිය යුද්ධයේ කෙතරම් සමීපතමයන්දැයි යන්න මෙම නවකතාව නිරුවත් ලෙස පෙන්වා දෙයි. එමෙන්ම මෙම නවකතාවේ පිටු වැඩි ප්‍රමාණයකදී මරණය හුස්ම ගන්නා ආකාරය අපට දැනේ. මෙහිදී මරණය කායිකව මියගිය මිනිසුන්ගේ ආත්ම එකතු කිරීමේ නියැලෙයි. එහෙත් මරණයට එක්තරා මොහොතකදී මේ ආත්මවල බර දරාගත නොහැකි වේ. මරණයට හති වැටේ. කෙසේවෙතත් , මරණයට ඉබේ හති වැටෙන්නේ නැත. මරණය හති වැට්ටවිය හැක්කේ ක්ෂිතියේ වේදනාව සහ පීඩාව දැනුමක් සහ අවබෝධයක් බවට පරිවර්තනය කර ගත හැකි මිනිසුන්ටය. මන්ද , ක්ෂිතිය හැමවිටම නිශේධනාත්මක නොවන බැවිනි; එය අත්දැකීම් සඳහා වන අලුත් වියහැකියාවන්ට දොරටු විවර කරන බැවිනි .එවන් චරිත අපට මෙම කෘතියේ දී මුණ ගැසේ. එමෙන්ම සමුගැනීමකින් තොරව තම සමීපතමයන් හැරදමා යාමට සිදුවන්නන් ද තමන් සමීපව ඇසුරු කළවුන් සැවොම එක් නිමේෂයකදී විනාශ වී යන අයුරු දකින්නන්ද සමාජීය මරණයේ දරාගත නොහැකි බරින් පීඩා විඳින්නන්ද පොත් හෙර අපට අභිමුඛ කරයි.

මෙය ලෝක ඉතිහාසයේ කෲරතම මනුෂ්‍ය ඝාතනය යොවුන් සාහිත්‍ය ආකෘතියක බහා කරනු ලබන ඉදිරිපත් කිරීමකි. එහි ප්‍රචණ්ඩත්වය ද ලිංගිකත්වය ද ප්‍රේමය ද අන්තර්ගත වේ. එමෙන්ම මෙහි උපදෙස් දීම්, ආදර්ශ පරමාදර්ශ , පණිවුඩ යනාදිය නොමැත. මන්ද , ඒවා තවදුරටත් යෞවනයාට අනුප්‍රාණය නොසපයන බැවිනි; ඒවා යෞවනයාගේ හාස්‍යයට ලක් වන බැවිනි .අද අපටත් අවශ්‍යව ඇත්තේ වැඩිහිටියන්ගේ යොවුන් සමය අතීතකාමී ලෙස පුනරුච්චාරණය කරන යොවුන් සාහිත්‍යයක් නොව සයිබර් අවධියේ යෞවන හැඟීම්වලට ආමන්ත්‍රණය කරන යොවුන් සාහිත්‍යයකි. එවන් තත්ත්වයක් වෙතට ලාංකීය යොවුන් සාහිත්‍ය ඔසවා තැබීමේ ප්‍රයත්නයේදී පොත් හෙර නිසැක ලෙසම ලේඛක පාඨක දෙපාර්ශවයටම මගහැර යා නොහැකි කෘතියකි.-

උදිත අලහකෝන්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...