පොලිස් නීති කොට්ඨාසයේ ප්‍රමාදය නිසා කුරුණෑගල ජනතාවගේ පැමිණිලි විභාග කළේ නැතිලු : පොලිස් අධිකාරි ඇත්ත සඟවයි : අපිට හංගන්න දෙයක් නෑ – නීති අධ්‍යක්ෂ

Share post:

පරිසර තක්සේරු වාර්තා මගින් නිර්දේශ කළ කොන්දේසි උල්ලංඝනය කරමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීම නිසා හානිවූ නිවාසවලට වන්දි ලබානොදීම සම්බන්ධ පැමිණිලි විභාග නොකළේ ඊට අදාළ උපදෙස් පොලිස් නීති කොට්ඨාසයෙන් ලබානොදීම නිසා බව අද (30) පොලිසිය පාර්ශ්වයෙන් එම ජනතාවට දැනුම් දෙනු ලැබිණි.

කුරුණෑගල කොට්ඨාස බාර පොලිස් අධිකාරි පී.බී. කස්තුරිආරච්චි විසින් පසුගිය 26දා එම වින්දිත ජනතාවට පොරොන්දු වූයේ දින 03ක් තුළ මෙම ගැටළුව පිළිබඳව සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලබාදෙන බවයි. මෙම පොරොන්දුව ලබාදුන්නේ අදාළ වින්දිත ජනතාව තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව මධ්‍යම අධිවේගී මාර්ගයේ මුත්තෙට්ටුගල පිවිසුම අවහිර කරමින් සිදු කළ විරෝධතාවකින් පසු ය.

එම දින 03ක කාලය ඊයෙන් (29) අවසන් විය. ලිඛිත ව පොරොන්දු වූ පරිදි පොලිස් අධිකාරිවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු පිළිතුරක් අදාළ කාලය තුළ නොලැබීම නිසා අද (30) වින්දිත ජනතාව කුරුණෑගල, වැහැර පිහිටි පොලිස් අධිකාරි කාර්‍යාලය ඉදිරිපිටට රැස්වී විරෝධය පළකළහ.

එහිදී වින්දිත ජනතාව අතරින් තිදෙනෙකුට පොලිස් අධිකාරිවරයා හමුවීමට අවස්ථාව ලබාදුන් අතර, එම හමුවේදී පොලිස් අධිකාරිවරයා පවසා ඇත්තේ විසඳුමක් ලබාදීමට දින 03ක් ප්‍රමාණවත් නොවන බවයි. එසේ නම් පසුගිය 26දා ලිඛිත ව පොරොන්දුවක් ලබාදුන්නේ ඇයි යනුවෙන් විමසීමේදී පොලිස් අධිකාරිවරයා කිසිදු පිළිතුරක් ලබාදී නැත.

ලබන 15දා වන විට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලබාදෙන බවට පොලිස් අධිකාරිවරයා අද වින්දිත ජනතාවට යළිත් පොරොන්දු වී ඇත. එම පොරොන්දුව ලිඛිත ව ඉල්ලා සිටියද, පොලිස් අධිකාරිවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්පසු වින්දිත ජනතාව පොලිස් අධිකාරිවරයාගෙන් විමසා ඇත්තේ තමන් වසර කීපයක් තිස්සේ මෙම අසාධාරණයට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි විභාග නොකිරීමට හේතුව කුමක්ද යනුවෙනි.

ඊට පිළිතුරු වශයෙන් පොලිස් අධිකාරිවරයා පවසා ඇත්තේ ඒවායේ ඉදිරි කටයුතු සඳහා පොලිස් නීති කොට්ඨාසය වෙත යොමු කර ඇති බවත්, එම කොට්ඨාසයෙන් මෙතෙක් උපදෙස් ලැබී නැති බවත් ය.

එම කටයුතු සඳහා පොලිස් නීති කොට්ඨාසයට අදාළ පැමිණිලි සහ විස්තර යොමු කළ දිනය හෝ ඊට අදාළ ලේඛනයක් වින්දිත ජනතාව විසින් ඉල්ලා සිටියද, ඊට පිළිගත හැකි පිළිතුරක් ලබාදීමට පොලිස් අධිකාරිවරයා අසමත් වී ඇත.

මේ සම්බන්ධයෙන් අප පොලිස් නීති කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජේ. රත්නායකගෙන් විමසීමේදී ඔහු පැවසුවේ රට පුරා පොලිස් ස්ථානවලින් යොමුකර ඇති ලිපිගොනු සිය ගණනක් අතරින් මෙම කරුණ පිළිබඳ ලිපිගොනුව සොයාගත යුතු ව ඇති නිසා, එහි වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍යයට එක්වර පිළිතුරක් ලබාදීමට තමන්ට හැකියාවක් නැති බවයි. කෙසේ වෙතත් කිසිදු තොරතුරක් සැඟවීමට තමන්ට අවශ්‍යතාවක් නැති නිසා අදාළ කරුණ තමන්ට ලිඛිත ව ලබාදෙන්නේ නම්, හැකි ඉක්මනින් පිළිතුරක් ලබාදීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේය

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...