මේ කවි පොත ගිය අවුරුද්දේ නිකුත් වුන පොතක් වුණත් කතුවරිය බොහෝ දෙනා දන්නා බොහෝ පොත් ගැන ලියා කියා ඇති, ඒ වගේම සාහිත්‍ය අවකාශයේ නිතර දෙවේලේ දකින්න ලැබෙන කෙනෙක් වුණත්, මේ පොතේ කවරෙ ෆොටෝ එකක් අරගෙන බෙදාගැනීමකින් එහාට ගියපු ලිවීමක්, එහෙම නැත්තං පොත ගැන යම් විදියක විඳීම් සටහනක් හෝ දකින්න ලැබුණෙ අඩුවෙන්. ඒකට බොහෝ හේතු තියෙන්න පුළුවන්.
මේ පමාවුණ සටහනත් පමාවෙලා කියවපු පොතක් ගැන ලියවෙන අසම්පූර්ණ විසිරි සටහනක් මිස පොත ගැන පොතේ කවි ගැන කරන ගැඹුරු ලියවිල්ලක් නෙවෙයි.
මේ පොත ගැන අඩුවෙන් සටහන් වෙන්න එක හේතුවක් මේ පොතේ තියෙන බොහොමයක් කවි අපි එදිනෙදා කියවන කවි වගේ නොවෙන නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ්කෙන් මං අදහස් කරන්නේ නෑ මේ පොතේ කවි එදිනෙදා කියවන කවි වලට වඩා හොඳයි හෝ නරකයි කියන එක. ඒවා බොහොමයක් වෙනස්. ඒ නිසා මේ කවි කියවන්න අර කවි කියවලා හුරුවෙච්ච පාඨන මනස් ස්වභාවය වෙනස් කරගන්න වෙනවා කියලයි මට හිතෙන්නේ. කොටින්ම මේ පොත කියවන්න වෙන පොත්වලට වඩා මහන්සියක් දරන්න වෙනවා. ඉතින් කවුරුහරි පොතේ පළවෙනි කවිය කෝ දෙවෙනි කවිය ඉක්මනින් කියෙව්වනම් බොහෝවිට එයා පොත පැත්තකින් තියන්න තියෙන ඉඩ වැඩියි. ඒකට හේතුව තමයි සාපේක්ෂව ඉතා කුඩා අනුභූතියක් ආශ්‍රය කරගෙන තිබුණත්ත ඩිල්ෂානි
මන්ගෙ කවිය ඇතුලෙදි ඒක පතුරුවන භාෂාමය සහ අත්දැකීම්මය වපසරිය විශාල එකක් වීම.
උදාහරණයක් විදිහට පළවෙනි කවියෙ මේ කොටස කියවමු.
” අ යනු ආ යනු තබා ඉ යනු ඊ යනු මඳක් කියවා
පටාචාරාව ගෙන අනෝමා ගංතෙරේ හිඳුවා
අතින් තුඩ ගගා ගොස් කුමරි පැටිකිරිය ගෙන ගලවා
මහාප්‍රාණෙට ගසා අල්පප්‍රාණය ගතිමි මුදවා “
මොනම ආකාරයේ කවි න්‍යායකින්වත් මේක කවි නෙවෙයි කියන්න පුළුවන් ද?
හැබැයි මේ කොටස ඇතුළෙ සැඟවිලා තියෙන දේවල් හොයාගන්න මං වගේ කියවන්නෙකුට කවිය කිහිප වරක් කියවන්න වෙනවා.
මේ කොටස ඇතුලත් පලවෙනි කවිය ගත්තම වෙන කෙනෙක් අතේ සිද්ධි මාලාවක පෙළගැස්මක් විදිහට නාටකීයව ලියවෙන්න තිබුණු කවියක් දිල්ශානි බොහෝ රූපකයන් පද පෙරලි හා කාව්‍යෝක්තීන් යොදාගෙන වෙනම සාහිත්‍යයමය ගොඩනැංවීමක් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ කවියෙ කියවෙන කොටස්ත හතර බැලූ බැල්මට එකිනෙකට සම්බන්ධ කරගන්න බැරි තරම් වපසරියක විසිරුණ සිද්ධීන් හතරක් වෙනුවෙන් වෙන් කරනවා. දැන් පාඨකයා ට සිද්ධ වෙනවා එක සැරේම මාතෘකාව මාතෘකාවට යටින් තියෙන හඳුන්වාදීම, භාෂාමය පෙළහර පෑම් ඇතුලු සියල්ල හරහා අර සිද්ධීන් අතර තියන ගැලපීමත් හදාගෙන ආඛ්‍යානය ගොඩ නංවා ගන්න. මේක ටිකක් වෙහෙසකර වැඩක්. අපි හුඟ දෙනෙක් කරන්න කම්මැලි වැඩක්.
දෙවැනි කවිය ගත්තත් කියවන කෙනා මාතෘකාව, පලවෙනි කොටස හා දෙවෙනි කොටස අතර බෙදාගන්නා අත්දැකීම්වල සාම්‍යය හොයන්න වෙනම වෙලාවක් වෙන්කරගන්න වෙනවා. ඒ මදිවට ඒ කවියෙ කොටස් දෙකේ ලය ඉතාම රළු විදිහට නොගැලපෙනම දෙකක්. හැබැයි කිවිඳිය ඒ විදිහට ඉතා මෘදු ලයකින් කියන මේ මුල් කොටස :
” නෙලුම් කුළුණක් අරන් හීනෙන්
බෙර නදට කුඹුතලය ලෙළවන්
රට වටේ වට හතක් පියඹපු
රැළ ම කිරි දුන් ළමා පැටියෙක්
ඉසුරුමුණියේ ගල ළපැත්තේ
වැවේ නියැඟිලි සොඬින් අල්ලා
ඊට ඉහළින් බලා හිටිනා
කන්ථකට විහිළුවක් කෙරුවා “
සාපේක්ෂව ගොරබිරම් තානයකින් ලියවෙන මේ දෙවෙනි කොටසත් එක්ක හප්පපුවාම එන සමුදයාර්ථය සහ භාව කම්පනය තමයි කිවිඳියගෙ අපේක්ෂාව වුණේ කියන්නත් පුළුවන්.
” දෙමළ දන මන රුහිරු බිම හළ තාත්තාවරු සිටිනු දැක්කම
මහාවංසේ වඩම්මවලා කඩොල් ආතට කොන්දෙ කැක්කුම
මාලිගාවේ දෑලෙ ඇත්තුත් ඉන්දිරාජට දීපු සත්තම
තිත්ත පලවැළ බිමට හැරලා විදුලි වැටට ම දුවමු ඔක්කොම “
හැබැයි තුන්වෙනි කවිය පොදුවේ අපි කියවන්න පුරුදු වෙලා ඉන්න කවිය ජාතියෙ කවියක්. එතන අර වගේ සිද්ධිමය පොළා පැනීම්වල හිස්තැන් පුරුද්දන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට කවිකාරිය සිය අත්දැකීම වචන කඩදාසිය දිගේ ඔහේ ගලා යන්න ඉඩ අරිනවා. එතනදී කියවන කෙනාට ඇයත් සමගින් අඩිය තියමින් කවිය දිගේ ඇවිද යන්න, ඒ අත්දැකීම විඳගන්න පුළුවන්. ඒ නිසාම ඇගේ භාෂාමය ශිල්පයන් පවා පාඨකයාට දරාගත හැකි යමක් බවට පත්වෙනවා.
පොතේ තියෙන කවි තිස්දෙකම ගැන මෙහෙම ලියන්න බලාපොරුත්තු නොවෙන නිසා මගේ අවධානය ඩැහැගත්තු කවි කීපයක් ගැන සටහන් කරන්නම්.
‘සියල් රූබල් ඔබට ය’ කියන පස්වෙනි කවිය අපි දන්න රුසියන් සාහිත්‍යය එක්ක නොස්ටැලිජියානු අන්තර්පඨිතත්වයක් එක්ක සරල බාසාවෙන්ණ ලියවුණ බොහෝ දෙනෙක් කැමති වෙන්න පුළුවන් කවියක්.
නවවෙනි කවිය ගජමන් නෝනා සහ රංචාගොඩ ළමයා සිහිගන්වන ඒ කවි ආර නූතන අනුභූතියකට යොදාගත්ත අවස්ථාවක්.
‘ බිරියෝසා හිම හඬයි’ කියන එකොළොස්වෙනි කවිය අපූරු අත්දැකීමක්. දිග පද තුලින් ගොතන කවිය ගෙනෙන්නෙ වෙනම විඳීමක්. ඒ සමහරවිට මං ගැදිකවි ගැන උනන්දු නිසා වෙන්නත් පුලුවන්.
මේ පොත පුරා තියෙන කවිවලින් අපිට ප්‍රත්‍යක්ෂවෙන තව දෙයක් තමයි ඩිල්ෂානිගෙ පැතිරුණ වාග් කෝෂයේ විශාලත්වය සහ සුදුසු තැනදි සුදුසු වචන ආකාරයන් යොදාගැනීමට ඇය දක්වන සමත්කම. මේ පාළොස්වෙනි කවියෙ අග.
” ඒ නිවුස් මැද මේ නිවුස් මැද ඈන්ගල් කර සරසවී
සූම් කරලා ගන්න මහතුනි සිසුන් මුහුණු ද තව නැවී
රටක් වසඟෙට ගන්න මායම කැමර බොලඳියෙ පටලැවී
රෑ අටේ සටනෙදි ඇසේවා පොලිස් වෙඩි සැර ඔය මදී “
මේ දේවල් හැරුණාම ඇතැම් කවි පේළි අතරෙ තියෙන සමහර සිද්ධි සහ රූපක ඩිල්ෂානිටම කතාකරලා අහගන්න වෙන තරම් පුද්ගලික මට්ටටමේ ඒවා බවට සංශයන් ඇතිකෙරුණු තැන් තිබුණා. හතරවෙනි, දාසයවෙනි සහ විසිවෙනි කවි ඊට උදාහරණ.
අවසානයට. ” පෙමාතුර චෙරි කුසුම” කියන්නෙ නිවී සැනසිල්ලෙ කවි කියවන්න කැමති කෙනෙකුට පැරණි සම්භාව්‍යය කවිබසේ සිට වත්මන් සරල නිදහස් කවි ආර දක්වා බොහෝ කවි විදීන්ගේ විඳීම් ලබන්නට ඉඩහසර පාදන පොතක් බව කිව යුතුයි.