ජීවිතේ චාරිකාවක් ය. අපි එහි මගියෝ ය. නේක මං මාවත් පුරා සැරිසරා බොහෝ දෑ සිත් පුරා විඳ අපි එහි චාරිකා කරන්නෝ ය. ඇතැම් කලෙක එසේ ඇවිද ගිය මගක නැවතී ඉසිඹුලූ තැනක හමුවූ හදක සොඳුරු සේ ම අඳුරු මතක සිතුවම් හද බිතෙහි තැනක සිත්තම් කර ගත්තෝ ය. ජීවිතේ කප්පරක් වැඩ අතර සිරව දින සති මාස හැල්මේ පසු කර යද්දී ඇතැම් වෙහෙසකර තත්ත්පර වල මොහොතකට ඒ ඉපැරණි මතක සිලිලේ දැවටී විඳ ගැනීමේ නොස්ටැල්ජික ආශාව මොනතරම් නම් සුන්දර දැයි දන්නෝ මතක මිහිර වින්දෝ ය. සුජීව සිරිමෙවන් නම් අපූර්ව නිර්මාණකරුවාගේ ඉසිඹුව ද එවන් මතක සිලිලක මිහිර අකුරු කළ ගෙත්තමකි.
මතක ලිවීම පහසු නැත. බොහෝ මතක මං මාවත් හි අපි තනියෙන් නොගියෝ ය. බොහෝ විට සහචර මිතුරු නඩ සේ ම පෙම්වත් හදැත්තෝ ද අපගේ සමීප ගමන් සගයෝ ය. එබැවින් මතක හිමි අපට පමණක් නොවේ. ඒවා වරෙක අපගේ ජීවිතවලට සේ ම මිතුරු සතුරු බොහෝ පාර්ශවයන් ට ද හිමි ය. එබැවින් මතකයක් අච්චු අකුරක් කරන සෑම මොහොතකම පපුවට දැනෙන බර අධික බැව් එසේ මතක ලියා තැබුවන් දන්නා වග අපි දනිමු. ඉසිඹුව පුරා ඇත්තේ එවන් පාර්ශව රැසකගේ ජීවිත වල සුගන්ධය ය. කතුවරයා එහි කොටස් කරුවෙකු වූ නමුදු ඒ මතක බොහෝ හදවත්හි මතකයන් වනු ඇත. අනෙකාගේ හදක සියුම් රිද්ම පවා ඒ මතක අකුරු කරන කළ කතුවරයා සිය අකුරු තුළ ජීව ගත කර ඇතැයි සිතෙන්නේ ඉසිඹුවක ඉසිඹුව කියවන සඳෙක, වරෙක එවන් මතකයක හමුවන නන්නාදුනන ආගන්තුකයෙකු දන්නා හදුනන මිත්‍රයෙක් තරමට සිතෙන බැවින් ය. ඇතැම් තැනක අපගේ ජීවිත චාරිකාවල අප සමග පෙළට උන් අපට මතක තුරුල් කර නික්ම ගිය ගමන් සඟයන් හෝ සාහිත්‍ය කලා නිර්මාණ ඇසුරේ අප විඳි චරිත ද එසේ ඉසිඹුවේ හමුවන චරිතවලට සමීප ය.
ආයෙමත් කොලු කෙල්ලක් කියවන කලෙක රිදී පාට මතක වැල් මැදින් අප හමුවට පැමිණෙන සුදූ ද චාමිකා ද අපට මුණගැසෙන එවන් චරිත ද්විත්වයකි. එකී චරිත ඇසුරේ ඉසිඹුලන ඇසිල්ලේ පසුගිය කලෙක අප නැරඹූ Vishnu Sivaprasad විසින් අධ්‍යක්ෂණය කළ Mike සිනමා නිර්මාණයේ සාරා සිහිවෙයි. කෙල්ලෙක්ව ඉපිදි ඇයට කොල්ලෙක් වීමට ඇති ලාලසාව අපි එහි දැක ඇත්තෙමු. සුදූගේ මතකය තුළ අපට මුණගැහෙන්නේ එකී ආත්මීය ආශාව තුළ ම දැවටෙන යුවතියකි. මතකය තීව්‍ර කරනු උදෙසා කතුවරයා භාවිත කරන විවිධ උපාඛ්‍යාන අපූර්ව ය. එය ඇතැම් තැනක කවියකින් හෝ ගීයකින් පූර්ණිතය. නැතොත් සාහිත්‍ය කෘතියක උපුටනයකින් පෝෂිත ය. මතක විඳින්නෝ සියුම් සංවේදි හදැත්තෝ ය. ඔවුන්ට එකී මතකයේ මිහිරි ආස්වාදය තව තවත් විඳිනු රිසින් එසේ කවියක් ගීයක් අමුණා තිබීම මොන තරම් ප්‍රහර්ශානන්දයක් ද?
දිවි මං තලාවේ ඇවිද යන බොහෝ තත්ත්පර වල අපට වූ ගමන් සගයන් අතර පෙම්වතුන් පෙම්වතියන් බොහෝ විය හැක. නෑඹුල් තරුණ වියේ හෘදයගත හැඟුම් සමග ප්‍රේමාසක්තව නොමැත්තෝ කොහිද?කිසිවෙකුටත් නොකී ඒක පාර්ශවික ප්‍රේමාන්දරයන් කොතෙක් නම් අපගේ සිත් තුළ ම මියැදී ඇත් ද? කියා ලියා දී ප්‍රේමාරාධනාවෙන් බැඳි පෙම්කතා ද එපරිදිම අවසන් විය හැක. එහෙත් පසු කලෙක කුටුම්භයන් තුළ සිරගත වූ පසු එකී අතීත ප්‍රේමයන් පිළිබඳ ස්මරණයට පවා ඇතැමුන් අකමැති ය. නමුත් ඉසිඹුවේ එවැන්නියෝ බොහෝ ය. කතුවරයා අව්‍යාජ ලෙස ඒ සියල්ල සහෘදාගාරයට කැඳවයි. වරෙක සවීණා ද වරෙක හේවගේ සර් ගේ පොලිටිකල් පන්තියේ උන් රුසියන් පොත් තුළ සිටි යුවතියක වැනි දයාබරිය ද මුලින් ම වැලන්ටයින් සැමරූ සාරා ද ඉසිඹුවේ අපට හමුවෙයි. මොහොතකට ඉසිඹුව වසා දෙනයන පියා අපගේ මතක වැහි රැල්ලකින් තෙමෙන්නට අපට ආශා ගෙනෙන පරිද්දෙන්ම කතුවරයාගේ මතක සනීප සුවදායක ය. එයට අපි සහකම්පනය යැයි කියමු.
මතකයක් ලියා තබා එමගින් සහෘදාස්වාදයේ රසභාව පිරිමැදීමකින් ඔබ්බට අප ගෙන යන්නට කතුවරයා ට අවැසි වූ බව ඉසිඹුව ආරම්භයේ සිටම වැටහෙයි. කතුවරයා කළෙක සරසවි ඇදුරෙකු ලෙසින් ද වරෙක ගුරුවරයෙකු ලෙසින් ද අත්දැකීම් රැසකින් සිය දිවි චාරිකාව පෝෂිත කර ගත් අයෙකි. සුන්දර මාවත් හි මෙන් ම අසුන්දර මාවත් හි ද ඇවිද ගිය අයෙකි. එබැවින් එදා මතකයක දුර්වර්ණ පැල්ලමකින් වුව ද අනාගත පරපුරකට පණිවිඩයක් දෙන්න ට තරම් ඉසිඹුව වරෙක සමත් ය. කවර හෝ සාහිත නිර්මාණයක කාර්‍ය මේ අප ගෙවන දශකය වන විට රස නිපැයීමෙන් පමණක් තරම් නොවෙයි. ලෝකය හැල්මේ දියුණු වූ සේ ම සාහිත්‍ය කාර්ය භාරය ද රසයෙන් ඔබ්බට අතු පතර විහිදී ගිය තුඟු විසල් රුකක් සේ ය. ඉසිඹුව එවන් කර්තව්‍යක අගය තිරව ඔප්පු කරන්නකැයි කිව හැක්කේ එතුළින් වරින වර මතුව දැල්වෙන ප්‍රඥාලෝක කදම්භයන් සහෘද දෙනයනට තරු එළි සේ ම වරෙක මග හසර පෙන්වන වගක් වැටහෙන බැවින් ය.
ඉසිඹුව සමග හෝරා දෙහෝරා ගෙවන්නට සිත් බැඳෙන තවත් සුවිශේෂිතම කරුණක් ද වේ. ඒ වදනින් වදන මනා කොට මනා ව ගලපාලන රස නිපන් ඉසිඹුවේ බසයි. ඒ බස පණ පිහිටුවූවකි. ඒ ඒ අදාළ අනුභුතින් ම මනාව සහෘදයාට සංවේදනය කරන්නකි. එබැවින් අතට ගත් ඉසිඹුව අවසන් නොකර බිම තබන්නට නොසිතන තරමට ම සහෘද මන බැද ගන්නට ඉසිඹුවට හැක.
ඉසිඹුව ගැන දීර්ඝ ලෙස ලිවීමට දෑ සිතෙහි ඇත ද ඒ කිසිත් නොලියා ම මේ ලියැවිල්ල සමාප්ත කරන්නේ ඉසිඹුව විඳීම සහෘදයාට භාර කරමින් ය. අවසන එක් දෙයක් නම් කිව යුතු ය. ඒ ඔබට ඔබ හමුවන තැන් මෙහි බහුල බැවින් මදකට ඔබේ ඉසිඹුලන කාලය වැය කොට ඉසිඹුව කියවිය යුතු ම ය. එසඳ ඔබ ඔබ සමගින් ම ඉසිඹුවේ ඇවිද යනු ඇත.