Home Blog Page 201

පොලු ගත් පිරිස හමුදාවේ ද – වෙනත් කණ්ඩායමක් ද ? : අපිටත් අඳුනගන්න බෑ, විමර්ශනයක් කරනවා – යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පසුගිය 07දා ශිෂ්‍ය විරෝධතාව මර්දනය සඳහා පැමිණි බවට ඡායාරූපවල සඳහන් පොලු රැගත් පිරිස යුද හමුදාවේ පිරිසක් ද යන්න පිළිබඳව හඳුනාගැනීමට විමර්ශනයක් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් thetime.lk වෙත පැවසීය.

යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන විරෝධතා මර්දනය සඳහා යෙදවීම මෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිටියදී හමුදාව ඉදිරියට යැවීමේ නියෝගය පැමිණියේ කාගෙන්ද යන්න පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

‘පිටුපසින් ගත් ඡායාරූප’

එම ඡායාරූප පිටුපසින් ගත් ඒවා නිසා අදාළ පුද්ගලයන් හඳුනාගැනීමට නොහැකිව සිටින බව සඳහන් කළ යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා, එම නිල ඇඳුම යුද හමුදා නිල ඇඳුම බව පෙනීයන්නේ යැයි ද පැවසීය.

‘බැටන් පොල්ල හොයන්නත් බෑ’

අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් භාවිත කිරීම සඳහා පොලිසිය භාවිත කරන ආකාරයේ බැටන් පොල්ලක් හමුදා සෙබළුන්ට ද ලබාදී ඇතැයි ඔහු කීවේය. අදාළ ඡායාරූපවල ඇත්තේ එම බැටන් පොල්ල බව තහවුරු කළ හැකි දැයි විමසීමේදී බ්‍රිගේඩියර්වරයා පැවසුවේ පිටුපසින් ගත් ඡායාරූප නිසා එය ද නිශ්චිත ව තහවුරු කළ නොහැකි බවයි.

‘ඉස්සරහ හිටියෙ නෑ’

සාමකාමී විරෝධතා පාලනය සඳහා පොලිසිය සහ කැරලි මර්දන අංශ තිබියදී මෙසේ යුද හමුදා භට කණ්ඩායමක් ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේ එය ද විමර්ශනයට අදාළ බවයි. පොලිසිය, කැරලි මර්දන අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙවැනි අවස්ථාවල ඉදිරියෙන් සිටින බවත්, යුද හමුදාව මේ අවස්ථාව වන විට ඉදිරි රාජකාරි සඳහා යොදවා නොසිටි බවත් අප කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් පැවසීය.

‘එතැන ම ද ?’

කෙසේ වෙතත් මෙම ඡායාරූප සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, මෙම ඡායාරූප අදාළ සිදුවීම අවස්ථාවේදී ගත් ඒවා ද, එසේත් නැත්නම් වෙනත් ස්ථානයක ගත් ඒවා ද යන්න සහ සංස්කරණය කළ ඒවා ද වැනි සියලු කරුණු විමර්ශනයට ඇතුළත් බවත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

තැන මෙන්න !!!

යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන අදාළ විරෝධතාව මර්දනය කරන අවස්ථාවේ ඉදිරියෙන්ම සිටියහ. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ සීග්‍රයෙන් සංසරණය විය. එම පිරිස ස්ථානගත කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයත් – කලා පීඨයත් අතර ය.

පොලු සඟවාගැනීමේ උත්සාහයක්

මුලදී ඉදිරියෙන් සහ පසුව පිටුපසින් සිටි මෙම පිරිස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර අතරතුරදී පොලු සඟවාගැනීමේ උත්සාහයක යෙදෙනු ද නිරීක්ෂණය කළ හැකි විය.

මෙම පිරිස යුද හමුදා භට කණ්ඩායමක් ද, වෙනත් කණ්ඩායමක් ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතු වී තිබේ.

වෙනත් කණ්ඩායම්

2022 මාර්තු 31දා සිට මෙවැනි සාමකාමී විරෝධතා පැවැත්වූ අවස්ථාවලට වෙනත් කණ්ඩායම් පැමිණ පහර දුන් අවස්ථා ද තිබිණි.

බරපතළ කරුණක්

කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මෙම කණ්ඩායම හමුදා සෙබළුන් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පැවසීම බරපතළ කරුණකි. මෙවැනි පොලු ගත් හමුදා කණ්ඩායම් විවිධ විරෝධතා මර්දනය සඳහා යොදාගත් අවස්ථා පිළිබඳ ඡායාරූප තිබේ.     

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පෙරේදා (07) පැවැත්වූ මෙම විරෝධතා පාගමන ලිප්ටන් වට රවුම ආසන්නයෙන් ආරම්භ කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාලය අසල දී එය දරුණු ලෙස මර්දනය කෙරුණු අතර, එහිදී ආරක්ෂක අංශ විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී එහි අධ්‍යයන කටයුතුවල නිරත ව සිටි ශිෂ්‍යයන්ට ද පහර දී තිබිණි. එසේ ම විශ්වවිද්‍යාලය තුළට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කර තිබිණි.

ඊයේත් ප්‍රහාර

මීට විරෝධය පළකරමින් ඊයේ (08) එම ස්ථානයේ දී විරෝධතාවක් පැවැත්වූ අතර, ඉන්පසු පැවති සාමකාමී පාගමනට ද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙරිණි. එම ප්‍රහාරවලින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් සිසුහු ද බලවත් පීඩාවට පත්වුහ.

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර, පළමු ටෙස්ට් තරගය අද (9) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30ට ක්‍රයිස්චර්ච් නුවරදී ආරම්භ විය.

දෙපිල අතර තරග 2කින් සමන්විත මෙම ටෙස්ට් තරගමාලාව ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත්වීමට අතිශය වැදගත් වනු ඇත.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටීම් සවුදි, පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

පළමුව පන්දුවට පහරදෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 239ක් ලබා සිටියි.

නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 14ක් පමණක් රැස් කළ අතර ඕෂද ප්‍රනාන්දු නායක සවුදි ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

දිමුත් සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 137ක ශක්තිමත් සම්බන්ධතාවයක ගොඩනැගූ අතර දෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේය.

දැවී යනවිට කුසල් පන්දු 83කට මුහුණ දෙමින් ලකුණු 87ක් රැස් කරගෙන සිටි අර ඊට හතරේ පහර හතරේ පහර 16ක් ඇතුලත්ව තිබිණි.

නායක කරුණාරත්න ලකුණු 50ක් රැස් කළ අතර දි නේෂ් චන්දිමාල් ලකුණු 39 කට දැවී ගියේය. යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 37 ක් ලබා සිටින අතර චන්දිමාල්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි දනංජය ද සිල්වා නොදැවී ලකුණු 02 ක් රැස් කරගෙන සිටියි.

ජනතාව ගන්න තීරණවලින් ජනමාධ්‍යවේදියාගේ තරම නිරූපණය වෙනවා – ‘ප්‍රවෘත්ති’ කර්තෘ වජිර කැළුම් පෙරේරා

මාධ්‍යවේදියෙකු, සන්නිවේදන වෘත්තිකයෙකු සහ මාධ්‍ය විෂය පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන වජිර කැළුම් පෙරේරාගේ ‘ප්‍රවෘත්ති’ ග්‍රන්ථය එළිදැක්වීම අද (09) පස්වරු 2ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ජනමාධ්‍යකරණය සහ තොරතුරු අවකාශය පුළුල් වීම නිසා ජනමාධ්‍යයට සිදු වූයේ කුමක්ද යන කරුණ සම්බන්ධයෙන් වන thetime.lk මේ සංවාදය, ඒ නිමිත්තෙනි.

සමාජ මාධ්‍ය ප්‍රමුඛ ව තොරතුරු අවකාශය පුළුල් වීමත් එක්ක ප්‍රවෘත්තිවල න්‍යායාත්මක කතිකාවට තවදුරටත් පොළොවේ වටිනාකමක් තියෙනවද?

මං හිතන්නෙ ලෝකයේ ඕනෑම ප්‍රයෝගික තත්ත්වයක් නිර්මාණය වන්නේ ඊට අදාළ න්‍යායයක් එක්ක. එතකොට තොරතුරු අවකාශය පුළුල්වීමත් එක්ක තවදුරටත් මෙය න්‍යායාත්මක වීමේ අවශ්‍යතාවක් ගොඩනැගෙනවා මිසක් න්‍යායයකින් තොරව පවතින්නට නොහැකි වෙනවා. උදාහරණයක් විදිහට ප්‍රවෘත්ති කියන කාරණය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රමුඛ නිර්වචනයක් බවට පත්වුණා, බල්ලෙකු මිනිසෙකු සපාකෑවොත් එය ප්‍රවෘත්තියක් නොවේ, නමුත් මිනිසෙකු විසින් බල්ලෙකු සපාකනු ලැබුවේද එය ප්‍රවෘත්තියක් කියලා.

හැබැයි අද වෙනකොට මේ නිර්වචනය, මේ න්‍යාය වෙනස්වෙමින් පවතිනවා. වෙනස් වෙලා තියෙනවා. ප්‍රමුඛ පුද්ගලයෙක්, ජනප්‍රිය පුද්ගලයෙක් බල්ලෙක් කෑවොත් ප්‍රවෘත්තියක් බවට පත්වෙනවා.

මෙවැනි තත්ත්වයක් යටතේ තොරතුරු අවකාශය පුළුල් වුණත්, න්‍යායාත්මක කතාබහකට න්‍යායාත්මක විවරණයකට ඉඩකඩ තියෙනවා. එතකොට මේ න්‍යායයන් සමාජ ක්‍රමය සහ අවකාශය අනුව වෙනස් වීම සාමාන්‍ය ස්වභාවයක්. උදාහරණයක් හැටියට ගත්තොත් ප්‍රවෘත්තියක් සමබර කිරීම පිළිබඳව කතා කරද්දි, මීට කලින් අවධානය යොමු කළේ දෙපාර්ශ්වය ගැන. අද වෙනකොට අපි දන්නවා, ප්‍රවෘත්තියකට අදාළ සියලු කාරණා – සියලු පැතිකඩ ඔස්සේ විවරණය කිරීමෙන් ප්‍රවෘත්තිය පිළිබඳ සැබෑ මතයක් ජනතාවට ලබාදෙන්න පුළුවන් වෙලා තියෙනවා වගේම ඒ ප්‍රවෘත්තිවල වටිනාකම ඉහළයි.

ඇත්තටම ඇයි ප්‍රවෘත්ති නිර්මාණය වෙන්නෙ. මෙන්න මෙතැනදි අපිට තේරුම්ගන්න පුළුවන් කාරණය තමයි, ජනතාවට එකවර අතිවිශාල බලපෑමක් කළ හැකි තොරතුරු ප්‍රවෘත්ති කියලා ගන්න පුළුවන්. මේ බලපෑමේ ස්වභාවය එකිනෙකට වෙනස්වෙන්න පුළුවන්. ඒ නිසා සමාජ මාධ්‍ය කොයිතරම් පුළුල් වුණත්, ඒ කතිකාව කොයිතරම් පුළුල් වුණත්, මේ න්‍යායාත්මක කතිකාව බිඳහෙලන්නට බෑ කියලා මම විශ්වාස කරනවා.

ඕනෑම ප්‍රයෝගික දෙයක් නිර්මාණය වන්නේ න්‍යායාත්මක පසුබිමක. හැබැයි මේ අවකාශය පුළුල් වීම න්‍යායයන්වලට අභියෝගාත්මක කාරණයක් විදිහටත් අපිට හඳුනාගන්න පුළුවන්.

ප්‍රවෘත්ති මූලාශ්‍ර කොයිතරම් වැදගත් ද සහ විශ්වාසවන්ත විය යුතුද කියන කාරණය ඔබ කෘතියෙදිත් විස්තර කරනවා. ඇත්තටම මේ විශ්වාසය කැඩෙන්නෙ කොතැනින්ද?

ඇත්තටම ගත්තොත් විශ්වාසය කියන එක සාපේක්ෂයි. තොරතුරක් පිළිබඳ විශ්වසනීයත්වය සාපේක්ෂ කාරණයක්. මෙතැනදි වර්තමානය වන විට තියෙන තත්ත්වයයි බලන්න ඕනෙ. උදාහරණයක් විදිහට යම් රටක තියෙන්නෙ එක මාධ්‍ය ආයතනයක් නම්, තොරතුරු ඉදිරිපත් කිරීමේ එක ව්‍යුහයක් පමණක් නම්, එහෙමත් නැත්නම් තොරතුරු ගලායන්නෙ එක තැනකින් නම් ඔවුන් කියන ඕනෑම දෙයක් ජනතාවට විශ්වාස කරන්න සිද්ධ වෙනවා.

හැබැයි මාධ්‍ය ආයතන ප්‍රමාණය වැඩිවෙනකොට, මීට කලින් කතා කළා වගේ තොරතුරු අවකාශය පුළුල් වෙනකොට, සමාජ මාධ්‍ය වැනි නව ව්‍යුහයන් ඉදිරියට එනකොට තොරතුරුවල විශ්වසනීයත්වය කියන සාධකය අතිශය වැදගත් කාරණයක් බවට පත්වෙනවා. තොරතුරු කොහොමද මිනිස්සු විශ්වාස කරන්නෙ.

මිනිස්සුන්ට තීරණ ගැනීම සඳහා නිවැරදි තොරතුරු අවශ්‍යයි. අපේ ක්‍රියාවලියක් තමයි තීරණ ගැනීම. නිවැරදි තොරතුරු නොලැබුණොත් තීරණ වරදින්න පුළුවන්. ඒ නිසා ග්‍රාහකයාට, පාඨකයාට අතිශය වැදගත්, විශ්වසනීය මූලාශ්‍රවලින් තොරතුරු ලබාගැනීම.

වර්තමානය වෙනකොට මේ විශ්වසනීයත්වය යම් ආකාරයකට අභියෝගයකට ලක්වෙලා තියෙනවා. එතකොට ප්‍රශ්නය තමයි, විශ්වාසය කැඩෙන්නෙ කොතැනින්ද කියන එක.

විශ්වාසය කැඩෙන්නෙ නිවැරදි මූලාශ්‍රවලින් තොරතුරු නොලැබෙන නිසා. ලංකාව ගත්තොත්, අපේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලත් මේ ලක්ෂණය තියෙනවා. යම්කිසි තොරතුරක් ලබාදිය හැකි නිල පුද්ගලයෙක් ඉන්නවා. එහෙමත් නැත්නම් නිල ව්‍යූහයක් තියෙනවා. මේ ව්‍යූහය අතික්‍රමණය කරලා වෙනත් තැන්වලින් අපි තොරතුරු ලබාගන්නවා. මං කියන්නෙ ඒක වැරදියි කියල නෙමෙයි. නමුත් නිල තොරතුරු සහ නිල නොවන තොරතුරු එකතු කරලා පැහැදිලි සාක්ෂි සහිතව ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමෙන් විශ්වසනීයත්වය වර්ධනය කරන්න පුළුවන්.

මං මුලිනුත් කිව්වා වගේ තොරතුරක නිවැරදිභාවය වැදගත් වන්නේ ග්‍රාහකයන් හෝ පාඨකයන් ඒ තොරතුර මත පදනම් වෙලා තීන්දු ගන්න නිසා. විශ්වසනීයත්වය නැති තොරතුරු ඒ තීන්දුවලට සෘජුව බලපානවා. එහෙම ගන්න තීන්දුවලින් අයහපත් ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඒ තීරණ සමස්තයට බලපාන්න පුළුවන්. මේ නිසා මේ කාරණය අතිශය වැදගත්. ඒක නිසා තොරතුරක් වාර්තා කිරීමේදී විශ්වසනීයත්වය සුරක්ෂිත වන පරිදි ඒ තොරතුර ඉදිරිපත් කිරීම ජනමාධ්‍යයේ වගේම සමාජ මාධ්‍යයේත් වගකීම. හැබැයි මේ තැන් දෙකෙන්ම මේ වගකීම ඉටුවෙනවද කියන කාලීන ප්‍රශ්නය මතුවෙනවා.

ඔබ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත මාධ්‍යවේදියෙක් වගේම මාධ්‍ය විෂය උගන්වන ගුරුවරයෙක්. ප්‍රායෝගිකව මේ න්‍යායයන් වෙනස්වෙන්න ඕනෙ නැද්ද… කාලෙකට කලින් කියපු කරුණු ම ප්‍රවෘත්තියක් කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරද්දි අදටත් කියනවා…?

ඇත්තටම න්‍යායාත්මක ලක්ෂණ පවතින තත්ත්වය යටතේ වෙනස්වෙනවා. නැත්නම් කාලෙන්-කාලෙට ගොඩනැගෙනවා. ප්‍රවෘත්තිවලටත් මේ තත්ත්වයෙන් වියුක්ත වෙන්න බෑ. ලෝකයේ වෙනස්වීම්වලට අනුගත වෙන්න ප්‍රවෘත්තිවලටත් සිද්ධ වෙනවා. මුලින් සඳහන් කළා වගේම ඉස්සර අපි කතා කළේ පැති දෙකක් ගැන. ඒ පැති දෙක සමබර නම් ප්‍රවෘත්තිය සමබරයි. හැබැයි අද වෙනකොට මේක කරත්ත රෝදයක් වගේ සලකන්නෙ. පැති ගණනාවකින් ප්‍රවෘත්තියක් පෝෂණය කළ යුතුයි කියලයි සලකන්නෙ. මේ වගේ ප්‍රවෘත්ති සම්බන්ධ න්‍යායයන්, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ න්‍යායයන් මේ සියල්ල කාලානුරූපීව සහ පුළුල් වන අවකාශයන්ට සමගාමී ව වෙනස් විය යුතුයි.

ලෝකයේ කිසිදු දෙයක් නොවෙනස්ව පැවතිය යුතු නෑ. වෙනස් නොවී පවතිනවා නම් ඒවා ස්වභාවික වරණයට ලක්වෙනවා. එහෙමත් නැත්නම් ඒවා නැතිවෙලා යනවා. ප්‍රවෘත්ති ගැන පුළුල් අධ්‍යයනයන් අවශ්‍යයි. ලෝකයේ එහෙම අධ්‍යයනයන් සිදුවෙනවා. අපි ඒවා ගන්න ඕනෙ. ඒවගෙන් පෝෂණය වෙලා අපෙ අවකාශය සාරවත් කරගන්න ඕනෙ.

ඔබ කියනවා වගේ මූලික න්‍යාය අදටත් තියෙනවා. හැබැයි ඒක සීග්‍රයෙන් වෙනස්වෙමින්, වර්ධනය වෙමින් ඉස්සරහට යනවා. ඒක ප්‍රමාණවත්ද, නැද්ද කියන එක වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.

ප්‍රජා ජනමාධ්‍ය නැත්නම් පුරවැසි ජනමාධ්‍ය සංකල්පය ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. අපේ රටෙත් යම් තරමක සාර්ථක අත්හදාබැලීම් තියෙනවා. මේ වගේ තත්ත්වයකදි තොරතුරු සන්නිවේදනය වන වේගයත් එක්ක ජනමාධ්‍යවේදියා හෝ ජනමාධ්‍ය කියන වෘත්තියට තවදුරටත් පැවැත්මක් තියෙනවද … ?

මෙතැන පැහැදිලිව අර්ථකතනමය ප්‍රශ්නයක් තියෙනවා. වර්තමාන පිළිගැනීම් සහිත අර්ථකතන ගත්තොත් පුරවැසි මාධ්‍යකරුවෙක් කියන්නෙ කවුද? පුරවැසි මාධ්‍යකරුවෙක් කියන්නෙ ජනතාව අතර ඉන්න මනුෂ්‍යයෙක්. අපි කතා කරන ජනමාධ්‍ය ග්‍රාහක හෝ පාඨක සමාජය අතර ඉන්න කෙනෙක්. ඔහු විසින් ඔහුගේ ගැටළු හෝ ඔහු නිරීක්ෂණය කරන දේ වාර්තා කිරීමක් කරනවා. ඔහුට කියනවා පුරවැසි මාධ්‍යකරුවා කියලා.

ජනමාධ්‍යවේදියා කියන අර්ථකතනය ගත්තොත් ලෝකයේ ජනමාධ්‍යවේදියා කියන හැඳින්වීම භාවිත වෙන්නෙ ප්‍රවෘත්තිකරණයට සම්බන්ධ පුද්ගලයන්ට පමණයි. ලංකාවෙදි නම් ජනමාධ්‍යයට සම්බන්ධ ඕනෑම කෙනෙකුට අපි කියනවා, ජනමාධ්‍යවේදියෙක් කියලා. ලෝකයේ ප්‍රමිතිය තමයි, ප්‍රවෘත්තිකරණයට සම්බන්ධ ශිල්පීන්.

දැන් අපේ රටෙත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ට අදාළ හැඳුනුම්පත නිකුත් කිරීමේදී මෙන්න මේ වර්ගීකරණයට ඇවිල්ලා තියෙනවා. රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකුට දැන් මාධ්‍යවේදී කියන හැඳුනුම්පත ලැබෙන්නෙ නෑ, ඔහුට ලැබෙන්නෙ ප්‍රසන්ටර් කියලා.

පැහැදිලිව මට අනුව නම් ජනමාධ්‍යවේදියෙක් කියන්නෙ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති වාර්තා කරන පුද්ගලයා. ජනමාධ්‍ය කියන්නෙ රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් සහ විධිමත් අන්තර්ජාල ප්‍රවෘත්ති අවකාශ. මේ ස්ථානවල ඊට අදාළ ජනමාධ්‍යකරණයේ නිරත වන පුද්ගලයා ජනමාධ්‍යවේදියෙක්.

පුරවැසි මාධ්‍යකරණය ගත්තොත්, ඔහු වාර්තා කරන්නෙ ඔහුගේ පැත්තෙන්. මේක තමයි එහි තියෙන විශේෂත්වය. ඔහුට අදාළ නෑ වෙනත් පාර්ශ්වවල කතා. ඔහුට අදාළ වන්නෙ ඔහුගේ පැත්තේ තොරතුර වාර්තා කිරීම. මම මේක දකින්නෙ කොහොමද කියන එකයි ඔහු වාර්තා කරන්නෙ. එතකොට අපි කතාකරන ප්‍රවෘත්තියක සියලු පැති ආවරණය වෙනවද කියන ප්‍රශ්නය සහ එහි සැබෑ තත්ත්වය එළියට එනවද කියන ප්‍රශ්නය තියෙනවා.

හැබැයි ලෝකය පිළිගත් සම්ප්‍රදායක් තමයි, පුරවැසි මාධ්‍යකරණය. ලෝකය පිළිගන්නවා, පුරවැසි මාධ්‍යකරුවන් නිසා සැබෑ ප්‍රශ්න එළියට එනවා කියල. ඒ නිසා පුරවැසි මාධ්‍යකරණය අත්‍යවශ්‍යයි. එහෙත් එතැනදිත් ජනමාධ්‍යවේදියා කියන වර්ගීකරණය තවදුරටත් වලංගුයි කියලා මම විශ්වාස කරනවා. පුරවැසියා අනාවරණය කරන තොරතුරක් ගවේෂණය කොට, ඒක පුළුල් ප්‍රවෘත්තියක් කිරීමේ වගකීම තියෙන්න ජනමාධ්‍යවේදියට. ඒ නිසා තවදුරටත් ජනමාධ්‍යවේදියා කියන භූමිකාවට වටිනාකමක් සහ ඊට අනන්‍ය වෘත්තියමය වටපිටාවක් තියෙනවා. ඒ නිසා ජනමධ්‍යවේදියා කියන්නෙ කවුද, ඔහුගේ වගකීම මොකක්ද කියලා හරියට තේරුම්ගන්න ඕනෙ.

ප්‍රවෘත්ති විකාශනය සම්බන්ධයෙන් ගත්තොත්, තව අවුරුදු දෙකක් යනකොට මේ කෘතිය සහ එහි අඩංගු න්‍යායයන් වලංගු ද?

ඇත්තටම ප්‍රවෘත්ති සීග්‍රයෙන් විකාශනය වෙනවා. ඒ නිසා මම මේකට දෙන්නෙ පැනලා යන්න පුළුවන් උත්තරයක්. මොකද අද තියෙන තත්ත්වය නෙමෙයි, තව අවුරුදු දෙකකින් තියෙන්නෙ. අපි දන්නෙ නෑ, ලෝකයේ තොරතුරු අවකාශය පුළුල් වීම හෝ හැකිලීම කොයිවිදිහට වෙයිද කියලා. පවතින තත්ත්ව යටතේ අපි විශ්වාස කරනවා, මේ අවකාශය පුළුල් වෙයි කියලා. එතකොට මේ න්‍යායයන් වෙනස් කරන්න වෙයි.

හැබැයි මේ අවකාශය හැකිලීමේ ඉඩකුත් තියෙනවා. ලෝකය අවුරුද්දක් දෙකක් අක්‍රීය තත්ත්වයක තියෙයි කියලා අපි හිතුවෙ නෑ කවදාවත්. හැබැයි කොවිඩ් නිසා එහෙම වුණා.

කොයි තත්ත්වය යටතේ වුණත් ප්‍රවෘත්ති ජනතාව වෙත ගලායෑමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවතිනවා. එය වෙනස්වන්නෙ නෑ. දියුණු වීම, අවසංවර්ධිත වීම වෙන්න පුළුවන්. මේවා එක්ක විවිධ ප්‍රවණතා නිර්මාණය වෙන්න පුළුවන්. ඒත් එක්කම න්‍යායයන් වෙනස්වෙන්න පුළුවන්.

භාෂාවකට වචන එකතුවෙනවා වගේ මේවා වෙනස්වෙන්න පුළුවන්. හැබැයි දැනට පවතින තත්ත්වය අනුව නම්, මේ න්‍යායයන්වල පදනම වෙනස්වෙන්නෙ නෑ කියලා පේන්න තියෙනවා.

ඇය වෛවාහික පුරුෂයකුගෙන් – ස්වකීය ආදරවන්තයාගෙන් ඍජුවම අසන්නේ මෙපමණකි

0

හැමරෑම | සමිතා එරන්දතී මුදුන්කොටුව

කාන්තා සංහතිය උත්කර්ෂයට නංවන එක්තරා ගීයක් එළිදක්වන දාක ඒ ගීත රචකයා සංගීතඥයා සහ ගායකයා, උලළේ ඉදිරි අසුන් අරා පණ්ඩිතමානී බසින් තෙදවත් සිනාවෙන් උත්සවාකාර ඉංගිත පාමින් විචාරක රසික පර්ශද වසඟ කරද්දී, පසු අසුනක සිටික මාත් මාගේ මිතුරකුත් අප හිතවත් ගීත රචක ප්‍රියම්බිකාව හා සමග පිළිසඳරෙහි නිරත වීමු. ඇය උලළේ පසුබිමේ අධික රාජකාරී වගකීම් මධ්‍යයේ දුක්ඛතා අනුභව කරන්නී අධික වෙහෙස විඩාව දරාගත නුහුණුව වැලැපුණාය.
ස්වකීය පුරුෂයාගේ දියුණ සොම්නස වෙනුවෙන් කරනු ලබන කැප කිරීම් කිසියම් මොහොතක හෝ ඇගැයෙනු ඇතියි බලා සිටි ඇයගේ දෑස සංසිඳවීමට ඒ ගනන්ධකාරය මැද බුබුළන වෛවර්ණ විදුලිය එළිය අපොහොසත් විය.

ඔහුගේ සුවහසක් ප්‍රේම වෘතාන්ත, පසු කලෙක ගීත උදෙසා ප්‍රබල ප්‍රේමෝදීය අනුභූතීන් සපයන නමුත් ඇගේ ශුද්ධ වූ ප්‍රේමයක් අනෙකකු කෙරෙහි තිබුණේ නම් එය අසම්මතය අනියම්ය වේ ස කමය බඩු ව ය ලෙස නිර්වචනය කරන්නටද ඒ ගීත රචක පුරුෂයා පසුබට නොවනු ඇත.

කාන්තා දිනය ඉහළින් සමරන ඇතැම් වේදිකා ප්‍රාප්තයෝ නිමාවේ නිවස්නට යන්නේ, රදළ ඉඩම් හිමියෝ වහල් සේවයේ යෙදන්නවුන් දෙස පාන දෘඪ බැල්ම තම බිරින්දෑට හෙලනු පිණිසය. තමන් දත් කුංෆු ජුඩෝ කරාතේ අංගම්පොර ශිල්ප බිරින්දෑ ඉදිරියේ ප්‍රදර්ශනය පිණිසය. අපහාස උපහාසයෙන් බිරින්දෑ මඬනු පිණිසය. කොටින්ම ඈ සමාජයේ තමන්ට ඉහළ ස්ථරයක බැබැලෙන්නී නම් වහා ඇගේ ෆිලමන්ට් පුපුරවා හැරීමේ ඒකායන පැතුමෙනි.

එබැවින් මාර්තු නව වන දා යනු මාර්තු හත් වන දා හා සමරූපී අතිශය සාමාන්‍ය දවසක්ය. ඇතැම්විට මාර්තු අට වන දා පවා!!!

මිතුරනි;
ඒ ආනුෂංගික කථාවෙන් පළක් නැත. එන්න අපි අහමු සමිතා ගැයූ නවතම ගීය;

https://youtu.be/YH6GB2VMODU

පුරුදු පරිදි සමිතා මෙහි කෙළිලොල් නැත, දඟතාර නැත..

එහෙත් ඇය සුපුරුදු පරිදි අනුරාගිකය. වේදනාත්මකය. හංසගීතාත්මකය. ප්‍රේමයෙන් මුසපත්ය. ගෘංගාරයෙන් ඇළැලෙන්නීය. අචලෝද්යෝගයෙන් ප්‍රභාමත්ය. මනඃකාන්ත රූපරචනාවකින් අලංකාරවත්ය. සුසංගීතයේ ඉසියුම් සරින් වහා නොඇවිලෙන සුළුය.

ඇය වෛවාහික පුරුෂයකුගෙන් – ස්වකීය ආදරවන්තයාගෙන් ඍජුවම අසන්නේ මෙපමණකි;

ඇය රවටා
එන්න බැරිද?

මක්නිසාද ලොව කිසිඳු සීමා ඉරකින් උලකින් හිල් පළුදු කළ නොහැකි තරමේ විසල් ප්‍රේමයේ ඝනත්වයක් ඈ සතු බැවිනි. ඇය එතරම්ම ඔහුට අවංකය!

හිමි නොවනා බව දැන දැන
කරකැවෙනා බමරෙක් නුඹ
මම ආසයි එය දැන දැන
ඔය සුසුමට රැවැටෙන්නට

විදුර ඩයස් අභයගුණවර්ධන

“කිළි වැදුනු පඬුරක් “

0

කම්හලේ මහ මැසිමෙ
ලීවරයෙ අත නොගැටි
යන්තරේ කරකවන
දැති රෝදයකිය නුඹ.

වැඩබිමේ පලංචියෙ
උඩ-පහල යනු නොහැකි
පලංචියෙ මල්ලිළගෙ
අත රැදුනු වැලිතැටිය.

ලිප් බොක්කෙ පැහි පැහී
ගිණි අගුරු මත ඉදෙන
නුඹ මුට්ටියකිය දැලි
සුදු කැකුළු බත් පිසින.

ගොවිබිමේ ලහි ලහියෙ
ඩා බිoදු වැගුරුවට
ඉඩම් හිමියට නුඹව
පිච්චියයි ලංසුවට.

විශ්වයේ සුන්දරම
ඉසව් පින්තාරු කල
උන් සිත්තරුන් මහඟු
පමණි නුඹ කැන්වසය.

නේක තුරු-මල් පිරුනු
උයන්-වතු අස්වදින
උයන්පල්ලන්‍ට නුඹ
ඵලයක්ය රසවිඳින.

ධාතු කරඬුව රැගෙන
නිළමෙලා ඇතුන් පිට
පානගන පෙරහැරේ
පාවාඩයක්ය නුඹ.

දස මසක් කුස දරා
දරු -පැටව් වැදුවාට
උප්පැන්න සහතිකේ
පැටව් හිමි අප්පාට.

නීතියේ දෙවඟනගෙ
ඇස් බැන්දෙ බලවත්තු
තරාදිය බරින් වැඩි
උන්ට බව නොපෙනෙන්ට.

පත්තිරිප්පුවට නැගි
තෙද බළැති රජ-මැතිද
ඔසවයිද ඉතින් නුඹ
පහත මාළෙන් උඩට ?

-ඉ ස කී.

Enokaa Sathyangani Keerthinanda

සිතුවම (Louise Bourgeois, Femme Maison, 1946-1947)

වජිර කැලුම් පෙරේරාගේ “ප්‍රවෘත්ති” ග්‍රන්ථය එළි දැක්වීම හෙට (මාර්තු 09)

ප්‍රවීණ මාධ්‍යවේදී වජිර කැලුම් පෙරේරා විසින් රචිත “ප්‍රවෘත්ති” ග්‍රන්ථය එළි දැක්වීම මාර්තු 09 එනම් හෙට දින සවස 2: 00 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

එහෙන් මෙහෙන් කපන කොටන ප්‍රවෘත්ති ගැන නොකැපෙන කතාබහක් ඇසීමට ඔබත් එන්න.

සමගි ජන බලවේගය – හර්ෂණ රාජකරුණා
43 වන සේනාංකය – කරූ පරණවිතාන
පොදුජන පෙරමුණ – සංජීව එදිරිමාන්න
ජාතික ජන බලවේගය – වෛද්‍ය නලින්ද ජයතිස්ස
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය – පුබුදු ජයගොඩ
එක්සත් ජාතික පක්‍ෂය – සිසිර සී විතානගේ

සමඟ

අධ්‍යාපනඥ බන්දුල පී. දයාරත්න
අචාර්ය ටියුඩර් වීරසිංහ

මෙම “ප්‍රවෘත්ති” ග්‍රන්ථය එළි දැක්වීමේ කතාබහට එක් වෙයි.

ක්‍රීඩා අමාත්‍යංශයට දුන් අභියාචනා 14ක් අතුරුදහන් – කමිටුවත් හිරවෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය නිලවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධව විරෝධතාව දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයට භාරදුන් අභියාචනා 14ක් අස්ථානගත වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග පෙන්වාදෙන අන්දමට වසර 2021 -2023 කාලසීමාව සඳහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තෝරා ගැනීමට අදාලව පැවැති නිලවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිපදෙනකුට එරෙහිව ගොනු කළ විරෝධතා නිලවරණ කමිටුවෙන් ප්‍රතික්ෂේපවීමෙන් පසුව මේ අභියාචනා ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක ගේ සභාපතිත්වයෙන් යුතු සත් පුද්ගල අභියාචනා කමිටුව පත් කිරීමෙන් පසු එතෙක් විභාගයට ගැනීමට නොහැකිවූ සියලු අභියාචනා සොයා බැලීමට පියවර ගෙන තිබේ.

එහිදි ක්‍රිකට් ආයතනයේ පසුගිය නිලවරණය සම්බන්ධව ඉදිරිපත් වූ අභියාචනා 14ක් මෙලෙස අස්ථාන ගත වී ඇති බව අනාවරණය වී ඇත.

මේ අතර 2023 – 2025 කාලසීමාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව පසුගිය (27) නාමයෝජනා භාරගත් බවය.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුනිල් සිරිසේන මෙම ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවට ඇතුළත්ය.

සබැඳි පුවත්

මාර්තු 08 : ක්ලාරා, තෙරේසා හරහා පැමිණි කාන්තා විමුක්තිය කොතැනටද ?

මාර්තු 8 දවස ‘ලෝක කාන්තා’ දිනය ලෝකය පුරා එක් එක් ආකාරයෙන් සමරනු ලබයි.

කාන්තා දිනය යනු කාන්තාවන් විශේෂ කොට ‘විශේෂ වට්ටම්’ ලබාදෙන උත්සව සමයක් හෝ කාන්තාවන් රූපවාහිනී මැදිරියකට කැඳවා කරන ‘බාල් නැටීමක්’ නොව ඊට එහා ගිය බරපතල දේශපාලනික සංසිද්ධියක් යන්න අප පැහැදිලි කරගත යුතුව ඇත.

නිව්යොර්ක් සටන

ඉතිහාසය පිරික්සා බලද්දි, කාන්තා දිනයක් හෝ ඒ හා සමාන සංකල්පයක් සැමරීම පිළීබඳ මුල්ම සාක්ෂිය ලැබෙන්නේ 1909 පෙබරවාරි 28 වැනිදා ය. ඒ ඇමරිකානු සමාජවාදී පක්ෂයයේ ක්‍රියාකාරීණියක් වූ තෙරේසා මැල්කේල්ගේ නායකත්වයෙන් නිව්යෝර්ක් නුවරදී සංවිධානය කරනු ලැබූ ‘ජාතික කාන්තා දින’ සැමරීම ය.

එහෙත් ඊටත් පෙර 1857 වර්ෂයේ මාර්තු 8 වැනිදා නිව්යෝර්ක් නුවර ඇඟළුම් ක්ෂේත්‍රයේ කටයුතු කළ කාන්තාවන් විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවක් සහ කාන්තා දින සැමරීමක් පිළිබඳ තොරතුරු ඇතැම් ලේඛනවල සඳහන්වූවද, පර්යේෂකයන් තර්ක කරන්නේ කාන්තා දින සැමරීමක් ඇරඹීම සම්බන්ධයෙන් ඇති සමාජවාදී වටපිටාවට එරෙහිව එවැනි මතයක් නිර්මාණය කර ඇති බවය. ඒ නිසා ලොව කාන්තා දින සැමරිම සමාජවාදී දේශපාලනික වටපිටාවක් තුළ කාන්තාවන්ගේ අයිතීන් දිනාගැනීම උදෙසාම නිර්මාණය වූවක් බවට පිළිගත හැකිය.

සමාජවාදයේ කාන්තා හැඩය

1910 දී කෝපන්හේගන් නුවර පැවති වැඩ කරන කාන්තාවගේ දෙවැනි ජාත්‍යන්තර සමුළුවේදී ජර්මානු කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරිනියක වූ ක්ලාරා සෙට්කින් මුල්වරට කාන්තාව සඳහා දිනයක් යෝජනා කරනු ලැබුුුුවාය.

මේ සමුළුවට රටවල් 17 කාන්තා ක්‍රියාකාරීන් සිය දෙනෙක් සහභාගි විය. ඒ අනුව කාන්තා දිනය 1911 මාර්තු 19 වැනි දින ලෙස යෝජනා විය. 1913 සිට මාර්තු 8 කාන්තාවගේ දිනය වෙනුවෙන් වෙන් විය. 1975 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස පිළිගෙන ප්‍රසිද්ධියට පත් කරනු ලැබිණි.

අදටත් අරගලයක?

කාන්තාවන් සඳහා තුන්සිය හැටපස් දිනකින් එක දවසක් වෙන් කිරීම ගැන අද විවිධ අර්ථකථන ගොඩ නැගුණ ද ඒ ඉතිහාස කතන්දරය ඒ ඉතිහාසයට සාපේක්ෂව නිවැරදි මෙන්ම අත්‍යවශ්‍ය දේශපාලන අරගලයක ප්‍රතිඵලයකි.

අදටත් එම අරගලය ගැන ආස්වාදයෙන් කතා කරන්නට සිදුව ඇත. එදා කාන්තාව කළ අරගලය ‌එහි දේශපාලන අරුතෙන්ම අද දවසේද ක්‍රියාත්මකව කළ යුතුව ඇත. මන්ද යත් කාන්තාව කෙරෙහි වන පීඩනය අද මේ මොහොත දක්වාම පැවතීමයි.

මෙවර කාන්තා දින තේමාව වී ඇත්තේ ස්ත්‍රීපූරුෂ සමාජභාවීය සමානාත්මතාව උදෙසා නවෝත්පාදනය සහ තාක්ෂණය යන්නයි.

සමාජයීය, දේශපාලනික, සංස්කෘතික, ආර්ථික වශයෙන් ලිංග භේදය පදනම් කරගෙන කාන්තාවට එරෙහිව වන වෙනස්කම් බරපතලය. කාන්තාවට එරෙහිව වන හිංසා පීඩා එල්ල වූ සෑම අවස්ථාවකදීම පාහේ ප්‍රකට වූ සත්‍ය නම් ඇය කාන්තාවක වීම ඊට බලපා ඇති බවයි

එමෙන්ම කාන්තාව පීඩාවට පත් වීම සාමාන්‍ය දෙයක් ලෙස සලකනු ලබයි. විශේෂයෙන්ම පවුල නම් ඒකකය පවත්වා ගැනීමේදී එය අතිශය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකනු ලබයි. ‌මෙය පෞද්ගලික ආරවුල් හෝ සංස්කෘතික ලක්ෂණයක් කියා කිසිසේත් බැහැර කළ හැකි දෙයක් නොවේ. නියත වශයෙන්ම එය දේශපාලන ගැටලුවකි. එහෙත් කාන්තාව පීඩාවට පත්වීම රාජ්‍යය ප්‍රශ්නයක් ලෙස නැතිනම් දේශපාලන ප්‍රශ්නයක් ලෙස පාලකයෝ නොසලකති.

සමාජයේ කාන්තාවෝ

කාන්තාව යනු වෙනමම විෂයක් නොවේ. ඇය මේ සමාජය කොටස් කාරියකි. ආර්ථිකමය, සමාජ සංස්කෘතික දේශපාලන ව්‍යුහය තුළ ඇය විසින් කරනු ලබන මෙන්ම ඇය කෙරෙහි වන බලපෑම සුළුපටු නොවේ.

පොදුවේ සමාජයක් ලෙස අත් වෙනුවෙන් තිබෙන සියළු ජයග්‍රහනයන් මෙන්ම සියලු පරාජයන් ද ඇයද අත්විඳිමින් සිටී. මිනිසා විසින් මිනිසා සූරා කෑම සහ, කාන්තාව කෙරෙහි වන පිරිමි ආධිපත්‍ය පැතිර වීම ඓතිහාසික ඛේදවාචකයක් ලෙස ඉතිහාසයේ සිට අද දක්වාම පවතී.

ඊට එරෙහි අරගලයද, කාන්තාවට වෙනස්ව සැලකීමට එරෙහිව කාන්තා විමුක්තිය නම් සංකල්පය බිහි විය. කාන්තා විමුක්තිය ජයග්‍රහණය කළ හැක්කේ කාන්තාවන් සඳහා රැකියා අවස්ථා බහුල කරවීම, දේශපාලන කෝටාවක් නිර්මාණය කරදීම‌ හෝ ස්ත්‍රීවාදී සටන් පාඨවලින් නොවේ.

කාන්තා විමුක්තිය කොතැනටද?

කාන්තාව යන්න අරුත් ගැන්වීමේ සිට කාන්තා විමුක්තිය අද වනවිට දේශපාලනික වශයෙන් මංමුලා වී ඇත. ඇතැම්විට කාන්තාව වෙළඳපොල මාෆියාවේ ගොදුරක් බවට පත්ව ඇත. විටෙක එය අද විලාසිතාවක් ලෙස අනුගමනය කරනු පෙනේ. තවත් විටක එය මුදල් සොයන ව්‍යාපෘතියකි.

කාන්තා දිනය වෙනුවෙන් සුප ශාස්ත්‍ර වැඩමුළු, අත්කම් නිර්මාණ වැඩමුළු, රූපලාවන්‍ය වැඩමුළු පවත්වා කාන්තා දිනයෙහි ඇති දේශපාලනික වැදගත්කම දියකර හරින, පීඩක පන්තියේ සමාජ මතවාදයන් පෝෂණය කරන, මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ විසූකදස්සන වලින් ඔලු කුරුවල් කර ගැනීම අද දවසේ අප ලබන පරාජයකි.

කාන්තා අයිතිවාසිකම් – ආර්ථික, සාමාජයීය, දේශපාලනික, හෝ කුමන ක්ෂේත්‍රයක් හෝ වේවා එය සාක්ෂාත් කර ගත හැකි වනුවේ ලිංගික වෙනස්කම් පරයා සමාජීයමය සමානාත්මතාවය ලැබීමෙන් පමණි.

අද දවසේ කාන්තාවන් වන අපට පැවරී ඇති කාර්යභාරය විය යුත්තේ ඒ උදෙසා වන, සමස්ත සමාජයේ ම විමුක්තිය උදෙසා වන අරගලයට කාන්තාවක ලෙස ඊට අවශ්‍ය දායකත්වය ලබාදීමයි. එය හුදු කාන්තා විමුක්තියෙන් ඔබ්බට යා යුතුය. මන්ද කාන්තා විමුක්තිය ජයග්‍රහනය කළ හැක්කේද පොදු සමාජ අරගලයේම ජයග්‍රහන තුළින් පමණකි.

නීති පීඨයේ ආචාර්යවරු 34ක් පොලිස් ප්‍රහාරය හෙළාදකිති : ඉදිරියට මෙහෙම වෙන්නෙ නෑ – කොළඹ උප කුලපති !

කොළඹ විශ්වවිද්‍යාලය තුළ ඊයේ (07) ඇති වූ තත්ත්වය වැනි තත්ත්වයන් නැවත ඇතිනොවන බවට  පොලිසිය පාර්ශ්වයෙන් තමන්ට පැවසූ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. කරුණාරත්න thetime.lk ­­වෙත පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ බවත්, මින් ඉදිරියට එවැනි සිදුවීම් ඇති නොවීමට සියලු පාර්ශ්ව වගබලාගත යුතු බවත් සඳහන් කළ උප කුලපතිවරයා, මෙම සිදුවීම මත දිගටම නොසිට ඉදිරියට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලට බාධා ඇති නොවීමට පියවර ගත යුතු ව ඇතැයි ද අවධාරණය කළේය.

ඊයේ සිදුවීමේදී විශ්වවිද්‍යාලය තුළ සිටි එක සිසුවෙකු රෝහල්ගත කළ බවත්, තමන් අද (08) උදෑසන ම එම ශිෂ්‍යයා බැලීමට රෝහලට ගිය බවත් පැවසූ උප කුලපතිවරයා, ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව ද අප වෙත දහස දක්වමින් වැඩිදුරටත් පැවසීය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් නතර කිරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ය. එහිදී විශ්විද්‍යාලය තුළට ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු මාධ්‍ය ඔස්සේ විකාශය වූ වීඩියෝ දර්ශන මගින් පැහැදිලි ව පෙනෙන්නට තිබිණි. මේ සම්බන්ධයෙන් සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල විය. එයින් දැඩි පීඩාවට පත්වූයේ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ සිසු-සිසුවියන් ය.

‘හොයන්න ඕනෙ’

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව thetime.lk  වෙත පැවසුවේ තමන්ට තවදුරටත් ඒ පිළිබඳ සොයාබැලීමට අවශ්‍ය බවයි.

ආචාර්යවරු 34ක් එක්වෙති !

අද උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ආචාර්ය මණ්ඩලය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකළේය. මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, මහාචාර්ය රෝස් විජේසේකර, මහාචාර්ය නාසිමා කමර්දීන්, මහාචාර්ය කෝකිලා කෝනසිංහ, මහාචාර්ය දිනේෂා සමරරත්න ප්‍රමුඛ ආචාර්යවරුන් 34 දෙනෙකු එක්ව මෙම නිවේදනය නිකුත් කර තිබිණි.

එම නිවේදනය පහත දැක්වේ.

‘2023 මාර්තු 07 වැනි දින කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සහ ඒ අවට සිදු වූ අමානුෂික, අවමන් සහගත සහ ප්‍රචන්ඩකාරී ප්‍රහාරයන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ආචාර්යවරුන් ලෙස අපි තරයේ හෙළා දකින්නෙමු. පොලිසිය සහ කැරලි මර්දන ඒකකය විසින් කඳුළු ගෑස් භාවිත කරමින් සිදු කළ මෙම ප්‍රහාරය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව දැඩි අපහසුතාවට පත්වූ අතර, සිසුන් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදු විය.

සමාජයේ සියලුම තැනැත්තන් වෙත සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සහ නිදහස සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින අප, සාමකාමී විරෝධතාවයන්හි යෙදීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. නීත්‍යනුකුල ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ වටපිටාවක් වන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පාරිශුද්ධත්වය කෙළෙසීම අපි දැඩි ව හෙළා දකින්නෙමු.’

‘විරෝධය අයිතියක්’

නීති පිඨයේ ආචාර්ය මණ්ඩලය විසින් නිකුත් කළ මෙම නිවේදනය සම්බන්ධයෙන් විමසීමේදී කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පැවසුවේ සිදු වූ අසාධාරණයකට එරෙහිව විරෝධය දැක්වීමට සියල්ලන්ට හැකියාව ඇති බවයි.  

IMF : සැප්තැම්බර් 01 සිට මාර්තු 20 දක්වා ණය මෙහෙයුම අවසන් : ඉන්දීය ණය සහන තවත් වසරකින් දීර්ඝ කරගැනීමේ සාකච්ඡාවක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකම් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා 2022 සැප්තැම්බර් 01දා ඇති කර ගත් මූලික කාර්ය මණ්ඩල ගිවිසුම සමාලෝචනය කිරීමට ලබන 20දා එහි විධායක කමිටුව රැස්වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් පවසයි.

ආර්ථික විද්‍යාඥයන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවට අදාළ ණය මුදල ලබාගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇති බවයි. විධායක කමිටුවේ න්‍යාය පත්‍රයට එහි සාමාජිකයන් අයිතම එකතු කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට සුදානම් වූ පසුව පමණක් බව ආර්ථික විද්‍යාඥයෝ සඳහන් කරති.

මේ වන විට ශ්‍රී ලංකාව තම සියලු ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන අවසන්ව ඇත. ඒ හේතුවෙන් කාර්ය මණ්ඩල ගිවිසුම විධායක කමිටුව වෙත සමාලෝචනය කිරීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර මූල්‍ය අරමුදලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය පෙන්වා දෙන්නේ විධායක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙක් ණය හිමියන්ගේ සහාය ද ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි. ලංකාව දැනට ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයෑමට මෙම වැඩසටහන් ශක්තියක් වනු ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.

එසේ ම ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම තවත් මාස කිහිපයකින් දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ලබන මාර්තු 17දා මෙම ණය පහසුකම කල් ඉකුත් වන අතර, ශ්‍රී ලංකාව ඉන් භාවිත කර ඇත්තේ තුනෙන් දෙකක ප්‍රමාණයක් පමණි. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් ආහාර සහ ඖෂධ වෙනුවෙන් භාවිත කර තිබේ.

මෙරට මුදල් අමාත්‍යාංශයට ණය පහසුකම තවත් මාස 6ත් 12ත් අතර කාලයකින් දීර්ඝ කර ගැනීමට අවශ්‍යව ඇතැයි දැනුම් දී තිබේ.