කම්හලේ මහ මැසිමෙ
ලීවරයෙ අත නොගැටි
යන්තරේ කරකවන
දැති රෝදයකිය නුඹ.
වැඩබිමේ පලංචියෙ
උඩ-පහල යනු නොහැකි
පලංචියෙ මල්ලිළගෙ
අත රැදුනු වැලිතැටිය.
ලිප් බොක්කෙ පැහි පැහී
ගිණි අගුරු මත ඉදෙන
නුඹ මුට්ටියකිය දැලි
සුදු කැකුළු බත් පිසින.
ගොවිබිමේ ලහි ලහියෙ
ඩා බිoදු වැගුරුවට
ඉඩම් හිමියට නුඹව
පිච්චියයි ලංසුවට.
විශ්වයේ සුන්දරම
ඉසව් පින්තාරු කල
උන් සිත්තරුන් මහඟු
පමණි නුඹ කැන්වසය.
නේක තුරු-මල් පිරුනු
උයන්-වතු අස්වදින
උයන්පල්ලන්‍ට නුඹ
ඵලයක්ය රසවිඳින.
ධාතු කරඬුව රැගෙන
නිළමෙලා ඇතුන් පිට
පානගන පෙරහැරේ
පාවාඩයක්ය නුඹ.
දස මසක් කුස දරා
දරු -පැටව් වැදුවාට
උප්පැන්න සහතිකේ
පැටව් හිමි අප්පාට.
නීතියේ දෙවඟනගෙ
ඇස් බැන්දෙ බලවත්තු
තරාදිය බරින් වැඩි
උන්ට බව නොපෙනෙන්ට.
පත්තිරිප්පුවට නැගි
තෙද බළැති රජ-මැතිද
ඔසවයිද ඉතින් නුඹ
පහත මාළෙන් උඩට ?
-ඉ ස කී.
Enokaa Sathyangani Keerthinanda
සිතුවම (Louise Bourgeois, Femme Maison, 1946-1947)