මාර්තු 8 දවස ‘ලෝක කාන්තා’ දිනය ලෝකය පුරා එක් එක් ආකාරයෙන් සමරනු ලබයි.
කාන්තා දිනය යනු කාන්තාවන් විශේෂ කොට ‘විශේෂ වට්ටම්’ ලබාදෙන උත්සව සමයක් හෝ කාන්තාවන් රූපවාහිනී මැදිරියකට කැඳවා කරන ‘බාල් නැටීමක්’ නොව ඊට එහා ගිය බරපතල දේශපාලනික සංසිද්ධියක් යන්න අප පැහැදිලි කරගත යුතුව ඇත.
නිව්යොර්ක් සටන
ඉතිහාසය පිරික්සා බලද්දි, කාන්තා දිනයක් හෝ ඒ හා සමාන සංකල්පයක් සැමරීම පිළීබඳ මුල්ම සාක්ෂිය ලැබෙන්නේ 1909 පෙබරවාරි 28 වැනිදා ය. ඒ ඇමරිකානු සමාජවාදී පක්ෂයයේ ක්‍රියාකාරීණියක් වූ තෙරේසා මැල්කේල්ගේ නායකත්වයෙන් නිව්යෝර්ක් නුවරදී සංවිධානය කරනු ලැබූ ‘ජාතික කාන්තා දින’ සැමරීම ය.
එහෙත් ඊටත් පෙර 1857 වර්ෂයේ මාර්තු 8 වැනිදා නිව්යෝර්ක් නුවර ඇඟළුම් ක්ෂේත්‍රයේ කටයුතු කළ කාන්තාවන් විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවක් සහ කාන්තා දින සැමරීමක් පිළිබඳ තොරතුරු ඇතැම් ලේඛනවල සඳහන්වූවද, පර්යේෂකයන් තර්ක කරන්නේ කාන්තා දින සැමරීමක් ඇරඹීම සම්බන්ධයෙන් ඇති සමාජවාදී වටපිටාවට එරෙහිව එවැනි මතයක් නිර්මාණය කර ඇති බවය. ඒ නිසා ලොව කාන්තා දින සැමරිම සමාජවාදී දේශපාලනික වටපිටාවක් තුළ කාන්තාවන්ගේ අයිතීන් දිනාගැනීම උදෙසාම නිර්මාණය වූවක් බවට පිළිගත හැකිය.
සමාජවාදයේ කාන්තා හැඩය
1910 දී කෝපන්හේගන් නුවර පැවති වැඩ කරන කාන්තාවගේ දෙවැනි ජාත්‍යන්තර සමුළුවේදී ජර්මානු කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරිනියක වූ ක්ලාරා සෙට්කින් මුල්වරට කාන්තාව සඳහා දිනයක් යෝජනා කරනු ලැබුුුුවාය.
මේ සමුළුවට රටවල් 17 කාන්තා ක්‍රියාකාරීන් සිය දෙනෙක් සහභාගි විය. ඒ අනුව කාන්තා දිනය 1911 මාර්තු 19 වැනි දින ලෙස යෝජනා විය. 1913 සිට මාර්තු 8 කාන්තාවගේ දිනය වෙනුවෙන් වෙන් විය. 1975 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස පිළිගෙන ප්‍රසිද්ධියට පත් කරනු ලැබිණි.
අදටත් අරගලයක?
කාන්තාවන් සඳහා තුන්සිය හැටපස් දිනකින් එක දවසක් වෙන් කිරීම ගැන අද විවිධ අර්ථකථන ගොඩ නැගුණ ද ඒ ඉතිහාස කතන්දරය ඒ ඉතිහාසයට සාපේක්ෂව නිවැරදි මෙන්ම අත්‍යවශ්‍ය දේශපාලන අරගලයක ප්‍රතිඵලයකි.
අදටත් එම අරගලය ගැන ආස්වාදයෙන් කතා කරන්නට සිදුව ඇත. එදා කාන්තාව කළ අරගලය එහි දේශපාලන අරුතෙන්ම අද දවසේද ක්‍රියාත්මකව කළ යුතුව ඇත. මන්ද යත් කාන්තාව කෙරෙහි වන පීඩනය අද මේ මොහොත දක්වාම පැවතීමයි.
මෙවර කාන්තා දින තේමාව වී ඇත්තේ ස්ත්‍රීපූරුෂ සමාජභාවීය සමානාත්මතාව උදෙසා නවෝත්පාදනය සහ තාක්ෂණය යන්නයි.
සමාජයීය, දේශපාලනික, සංස්කෘතික, ආර්ථික වශයෙන් ලිංග භේදය පදනම් කරගෙන කාන්තාවට එරෙහිව වන වෙනස්කම් බරපතලය. කාන්තාවට එරෙහිව වන හිංසා පීඩා එල්ල වූ සෑම අවස්ථාවකදීම පාහේ ප්‍රකට වූ සත්‍ය නම් ඇය කාන්තාවක වීම ඊට බලපා ඇති බවයි
එමෙන්ම කාන්තාව පීඩාවට පත් වීම සාමාන්‍ය දෙයක් ලෙස සලකනු ලබයි. විශේෂයෙන්ම පවුල නම් ඒකකය පවත්වා ගැනීමේදී එය අතිශය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකනු ලබයි. මෙය පෞද්ගලික ආරවුල් හෝ සංස්කෘතික ලක්ෂණයක් කියා කිසිසේත් බැහැර කළ හැකි දෙයක් නොවේ. නියත වශයෙන්ම එය දේශපාලන ගැටලුවකි. එහෙත් කාන්තාව පීඩාවට පත්වීම රාජ්‍යය ප්‍රශ්නයක් ලෙස නැතිනම් දේශපාලන ප්‍රශ්නයක් ලෙස පාලකයෝ නොසලකති.
සමාජයේ කාන්තාවෝ
කාන්තාව යනු වෙනමම විෂයක් නොවේ. ඇය මේ සමාජය කොටස් කාරියකි. ආර්ථිකමය, සමාජ සංස්කෘතික දේශපාලන ව්‍යුහය තුළ ඇය විසින් කරනු ලබන මෙන්ම ඇය කෙරෙහි වන බලපෑම සුළුපටු නොවේ.
පොදුවේ සමාජයක් ලෙස අත් වෙනුවෙන් තිබෙන සියළු ජයග්‍රහනයන් මෙන්ම සියලු පරාජයන් ද ඇයද අත්විඳිමින් සිටී. මිනිසා විසින් මිනිසා සූරා කෑම සහ, කාන්තාව කෙරෙහි වන පිරිමි ආධිපත්‍ය පැතිර වීම ඓතිහාසික ඛේදවාචකයක් ලෙස ඉතිහාසයේ සිට අද දක්වාම පවතී.
ඊට එරෙහි අරගලයද, කාන්තාවට වෙනස්ව සැලකීමට එරෙහිව කාන්තා විමුක්තිය නම් සංකල්පය බිහි විය. කාන්තා විමුක්තිය ජයග්‍රහණය කළ හැක්කේ කාන්තාවන් සඳහා රැකියා අවස්ථා බහුල කරවීම, දේශපාලන කෝටාවක් නිර්මාණය කරදීම හෝ ස්ත්‍රීවාදී සටන් පාඨවලින් නොවේ.
කාන්තා විමුක්තිය කොතැනටද?
කාන්තාව යන්න අරුත් ගැන්වීමේ සිට කාන්තා විමුක්තිය අද වනවිට දේශපාලනික වශයෙන් මංමුලා වී ඇත. ඇතැම්විට කාන්තාව වෙළඳපොල මාෆියාවේ ගොදුරක් බවට පත්ව ඇත. විටෙක එය අද විලාසිතාවක් ලෙස අනුගමනය කරනු පෙනේ. තවත් විටක එය මුදල් සොයන ව්‍යාපෘතියකි.
කාන්තා දිනය වෙනුවෙන් සුප ශාස්ත්‍ර වැඩමුළු, අත්කම් නිර්මාණ වැඩමුළු, රූපලාවන්‍ය වැඩමුළු පවත්වා කාන්තා දිනයෙහි ඇති දේශපාලනික වැදගත්කම දියකර හරින, පීඩක පන්තියේ සමාජ මතවාදයන් පෝෂණය කරන, මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ විසූකදස්සන වලින් ඔලු කුරුවල් කර ගැනීම අද දවසේ අප ලබන පරාජයකි.
කාන්තා අයිතිවාසිකම් – ආර්ථික, සාමාජයීය, දේශපාලනික, හෝ කුමන ක්ෂේත්‍රයක් හෝ වේවා එය සාක්ෂාත් කර ගත හැකි වනුවේ ලිංගික වෙනස්කම් පරයා සමාජීයමය සමානාත්මතාවය ලැබීමෙන් පමණි.
අද දවසේ කාන්තාවන් වන අපට පැවරී ඇති කාර්යභාරය විය යුත්තේ ඒ උදෙසා වන, සමස්ත සමාජයේ ම විමුක්තිය උදෙසා වන අරගලයට කාන්තාවක ලෙස ඊට අවශ්‍ය දායකත්වය ලබාදීමයි. එය හුදු කාන්තා විමුක්තියෙන් ඔබ්බට යා යුතුය. මන්ද කාන්තා විමුක්තිය ජයග්‍රහනය කළ හැක්කේද පොදු සමාජ අරගලයේම ජයග්‍රහන තුළින් පමණකි.