නීති පීඨයේ ආචාර්යවරු 34ක් පොලිස් ප්‍රහාරය හෙළාදකිති : ඉදිරියට මෙහෙම වෙන්නෙ නෑ – කොළඹ උප කුලපති !

Share post:

කොළඹ විශ්වවිද්‍යාලය තුළ ඊයේ (07) ඇති වූ තත්ත්වය වැනි තත්ත්වයන් නැවත ඇතිනොවන බවට  පොලිසිය පාර්ශ්වයෙන් තමන්ට පැවසූ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. කරුණාරත්න thetime.lk ­­වෙත පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ බවත්, මින් ඉදිරියට එවැනි සිදුවීම් ඇති නොවීමට සියලු පාර්ශ්ව වගබලාගත යුතු බවත් සඳහන් කළ උප කුලපතිවරයා, මෙම සිදුවීම මත දිගටම නොසිට ඉදිරියට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලට බාධා ඇති නොවීමට පියවර ගත යුතු ව ඇතැයි ද අවධාරණය කළේය.

ඊයේ සිදුවීමේදී විශ්වවිද්‍යාලය තුළ සිටි එක සිසුවෙකු රෝහල්ගත කළ බවත්, තමන් අද (08) උදෑසන ම එම ශිෂ්‍යයා බැලීමට රෝහලට ගිය බවත් පැවසූ උප කුලපතිවරයා, ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව ද අප වෙත දහස දක්වමින් වැඩිදුරටත් පැවසීය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් නතර කිරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ය. එහිදී විශ්විද්‍යාලය තුළට ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු මාධ්‍ය ඔස්සේ විකාශය වූ වීඩියෝ දර්ශන මගින් පැහැදිලි ව පෙනෙන්නට තිබිණි. මේ සම්බන්ධයෙන් සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල විය. එයින් දැඩි පීඩාවට පත්වූයේ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ සිසු-සිසුවියන් ය.

‘හොයන්න ඕනෙ’

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව thetime.lk  වෙත පැවසුවේ තමන්ට තවදුරටත් ඒ පිළිබඳ සොයාබැලීමට අවශ්‍ය බවයි.

ආචාර්යවරු 34ක් එක්වෙති !

අද උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ආචාර්ය මණ්ඩලය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකළේය. මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, මහාචාර්ය රෝස් විජේසේකර, මහාචාර්ය නාසිමා කමර්දීන්, මහාචාර්ය කෝකිලා කෝනසිංහ, මහාචාර්ය දිනේෂා සමරරත්න ප්‍රමුඛ ආචාර්යවරුන් 34 දෙනෙකු එක්ව මෙම නිවේදනය නිකුත් කර තිබිණි.

එම නිවේදනය පහත දැක්වේ.

‘2023 මාර්තු 07 වැනි දින කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සහ ඒ අවට සිදු වූ අමානුෂික, අවමන් සහගත සහ ප්‍රචන්ඩකාරී ප්‍රහාරයන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ආචාර්යවරුන් ලෙස අපි තරයේ හෙළා දකින්නෙමු. පොලිසිය සහ කැරලි මර්දන ඒකකය විසින් කඳුළු ගෑස් භාවිත කරමින් සිදු කළ මෙම ප්‍රහාරය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව දැඩි අපහසුතාවට පත්වූ අතර, සිසුන් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදු විය.

සමාජයේ සියලුම තැනැත්තන් වෙත සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සහ නිදහස සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින අප, සාමකාමී විරෝධතාවයන්හි යෙදීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. නීත්‍යනුකුල ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ වටපිටාවක් වන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පාරිශුද්ධත්වය කෙළෙසීම අපි දැඩි ව හෙළා දකින්නෙමු.’

‘විරෝධය අයිතියක්’

නීති පිඨයේ ආචාර්ය මණ්ඩලය විසින් නිකුත් කළ මෙම නිවේදනය සම්බන්ධයෙන් විමසීමේදී කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පැවසුවේ සිදු වූ අසාධාරණයකට එරෙහිව විරෝධය දැක්වීමට සියල්ලන්ට හැකියාව ඇති බවයි.  

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...