ඇය වෛවාහික පුරුෂයකුගෙන් – ස්වකීය ආදරවන්තයාගෙන් ඍජුවම අසන්නේ මෙපමණකි

Share post:

හැමරෑම | සමිතා එරන්දතී මුදුන්කොටුව

කාන්තා සංහතිය උත්කර්ෂයට නංවන එක්තරා ගීයක් එළිදක්වන දාක ඒ ගීත රචකයා සංගීතඥයා සහ ගායකයා, උලළේ ඉදිරි අසුන් අරා පණ්ඩිතමානී බසින් තෙදවත් සිනාවෙන් උත්සවාකාර ඉංගිත පාමින් විචාරක රසික පර්ශද වසඟ කරද්දී, පසු අසුනක සිටික මාත් මාගේ මිතුරකුත් අප හිතවත් ගීත රචක ප්‍රියම්බිකාව හා සමග පිළිසඳරෙහි නිරත වීමු. ඇය උලළේ පසුබිමේ අධික රාජකාරී වගකීම් මධ්‍යයේ දුක්ඛතා අනුභව කරන්නී අධික වෙහෙස විඩාව දරාගත නුහුණුව වැලැපුණාය.
ස්වකීය පුරුෂයාගේ දියුණ සොම්නස වෙනුවෙන් කරනු ලබන කැප කිරීම් කිසියම් මොහොතක හෝ ඇගැයෙනු ඇතියි බලා සිටි ඇයගේ දෑස සංසිඳවීමට ඒ ගනන්ධකාරය මැද බුබුළන වෛවර්ණ විදුලිය එළිය අපොහොසත් විය.

ඔහුගේ සුවහසක් ප්‍රේම වෘතාන්ත, පසු කලෙක ගීත උදෙසා ප්‍රබල ප්‍රේමෝදීය අනුභූතීන් සපයන නමුත් ඇගේ ශුද්ධ වූ ප්‍රේමයක් අනෙකකු කෙරෙහි තිබුණේ නම් එය අසම්මතය අනියම්ය වේ ස කමය බඩු ව ය ලෙස නිර්වචනය කරන්නටද ඒ ගීත රචක පුරුෂයා පසුබට නොවනු ඇත.

කාන්තා දිනය ඉහළින් සමරන ඇතැම් වේදිකා ප්‍රාප්තයෝ නිමාවේ නිවස්නට යන්නේ, රදළ ඉඩම් හිමියෝ වහල් සේවයේ යෙදන්නවුන් දෙස පාන දෘඪ බැල්ම තම බිරින්දෑට හෙලනු පිණිසය. තමන් දත් කුංෆු ජුඩෝ කරාතේ අංගම්පොර ශිල්ප බිරින්දෑ ඉදිරියේ ප්‍රදර්ශනය පිණිසය. අපහාස උපහාසයෙන් බිරින්දෑ මඬනු පිණිසය. කොටින්ම ඈ සමාජයේ තමන්ට ඉහළ ස්ථරයක බැබැලෙන්නී නම් වහා ඇගේ ෆිලමන්ට් පුපුරවා හැරීමේ ඒකායන පැතුමෙනි.

එබැවින් මාර්තු නව වන දා යනු මාර්තු හත් වන දා හා සමරූපී අතිශය සාමාන්‍ය දවසක්ය. ඇතැම්විට මාර්තු අට වන දා පවා!!!

මිතුරනි;
ඒ ආනුෂංගික කථාවෙන් පළක් නැත. එන්න අපි අහමු සමිතා ගැයූ නවතම ගීය;

https://youtu.be/YH6GB2VMODU

පුරුදු පරිදි සමිතා මෙහි කෙළිලොල් නැත, දඟතාර නැත..

එහෙත් ඇය සුපුරුදු පරිදි අනුරාගිකය. වේදනාත්මකය. හංසගීතාත්මකය. ප්‍රේමයෙන් මුසපත්ය. ගෘංගාරයෙන් ඇළැලෙන්නීය. අචලෝද්යෝගයෙන් ප්‍රභාමත්ය. මනඃකාන්ත රූපරචනාවකින් අලංකාරවත්ය. සුසංගීතයේ ඉසියුම් සරින් වහා නොඇවිලෙන සුළුය.

ඇය වෛවාහික පුරුෂයකුගෙන් – ස්වකීය ආදරවන්තයාගෙන් ඍජුවම අසන්නේ මෙපමණකි;

ඇය රවටා
එන්න බැරිද?

මක්නිසාද ලොව කිසිඳු සීමා ඉරකින් උලකින් හිල් පළුදු කළ නොහැකි තරමේ විසල් ප්‍රේමයේ ඝනත්වයක් ඈ සතු බැවිනි. ඇය එතරම්ම ඔහුට අවංකය!

හිමි නොවනා බව දැන දැන
කරකැවෙනා බමරෙක් නුඹ
මම ආසයි එය දැන දැන
ඔය සුසුමට රැවැටෙන්නට

විදුර ඩයස් අභයගුණවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...