පොලු ගත් පිරිස හමුදාවේ ද – වෙනත් කණ්ඩායමක් ද ? : අපිටත් අඳුනගන්න බෑ, විමර්ශනයක් කරනවා – යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ

Share post:

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පසුගිය 07දා ශිෂ්‍ය විරෝධතාව මර්දනය සඳහා පැමිණි බවට ඡායාරූපවල සඳහන් පොලු රැගත් පිරිස යුද හමුදාවේ පිරිසක් ද යන්න පිළිබඳව හඳුනාගැනීමට විමර්ශනයක් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් thetime.lk වෙත පැවසීය.

යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන විරෝධතා මර්දනය සඳහා යෙදවීම මෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිටියදී හමුදාව ඉදිරියට යැවීමේ නියෝගය පැමිණියේ කාගෙන්ද යන්න පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

‘පිටුපසින් ගත් ඡායාරූප’

එම ඡායාරූප පිටුපසින් ගත් ඒවා නිසා අදාළ පුද්ගලයන් හඳුනාගැනීමට නොහැකිව සිටින බව සඳහන් කළ යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා, එම නිල ඇඳුම යුද හමුදා නිල ඇඳුම බව පෙනීයන්නේ යැයි ද පැවසීය.

‘බැටන් පොල්ල හොයන්නත් බෑ’

අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් භාවිත කිරීම සඳහා පොලිසිය භාවිත කරන ආකාරයේ බැටන් පොල්ලක් හමුදා සෙබළුන්ට ද ලබාදී ඇතැයි ඔහු කීවේය. අදාළ ඡායාරූපවල ඇත්තේ එම බැටන් පොල්ල බව තහවුරු කළ හැකි දැයි විමසීමේදී බ්‍රිගේඩියර්වරයා පැවසුවේ පිටුපසින් ගත් ඡායාරූප නිසා එය ද නිශ්චිත ව තහවුරු කළ නොහැකි බවයි.

‘ඉස්සරහ හිටියෙ නෑ’

සාමකාමී විරෝධතා පාලනය සඳහා පොලිසිය සහ කැරලි මර්දන අංශ තිබියදී මෙසේ යුද හමුදා භට කණ්ඩායමක් ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේ එය ද විමර්ශනයට අදාළ බවයි. පොලිසිය, කැරලි මර්දන අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙවැනි අවස්ථාවල ඉදිරියෙන් සිටින බවත්, යුද හමුදාව මේ අවස්ථාව වන විට ඉදිරි රාජකාරි සඳහා යොදවා නොසිටි බවත් අප කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් පැවසීය.

‘එතැන ම ද ?’

කෙසේ වෙතත් මෙම ඡායාරූප සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, මෙම ඡායාරූප අදාළ සිදුවීම අවස්ථාවේදී ගත් ඒවා ද, එසේත් නැත්නම් වෙනත් ස්ථානයක ගත් ඒවා ද යන්න සහ සංස්කරණය කළ ඒවා ද වැනි සියලු කරුණු විමර්ශනයට ඇතුළත් බවත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

තැන මෙන්න !!!

යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන අදාළ විරෝධතාව මර්දනය කරන අවස්ථාවේ ඉදිරියෙන්ම සිටියහ. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ සීග්‍රයෙන් සංසරණය විය. එම පිරිස ස්ථානගත කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයත් – කලා පීඨයත් අතර ය.

පොලු සඟවාගැනීමේ උත්සාහයක්

මුලදී ඉදිරියෙන් සහ පසුව පිටුපසින් සිටි මෙම පිරිස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර අතරතුරදී පොලු සඟවාගැනීමේ උත්සාහයක යෙදෙනු ද නිරීක්ෂණය කළ හැකි විය.

මෙම පිරිස යුද හමුදා භට කණ්ඩායමක් ද, වෙනත් කණ්ඩායමක් ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතු වී තිබේ.

වෙනත් කණ්ඩායම්

2022 මාර්තු 31දා සිට මෙවැනි සාමකාමී විරෝධතා පැවැත්වූ අවස්ථාවලට වෙනත් කණ්ඩායම් පැමිණ පහර දුන් අවස්ථා ද තිබිණි.

බරපතළ කරුණක්

කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මෙම කණ්ඩායම හමුදා සෙබළුන් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පැවසීම බරපතළ කරුණකි. මෙවැනි පොලු ගත් හමුදා කණ්ඩායම් විවිධ විරෝධතා මර්දනය සඳහා යොදාගත් අවස්ථා පිළිබඳ ඡායාරූප තිබේ.     

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පෙරේදා (07) පැවැත්වූ මෙම විරෝධතා පාගමන ලිප්ටන් වට රවුම ආසන්නයෙන් ආරම්භ කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාලය අසල දී එය දරුණු ලෙස මර්දනය කෙරුණු අතර, එහිදී ආරක්ෂක අංශ විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී එහි අධ්‍යයන කටයුතුවල නිරත ව සිටි ශිෂ්‍යයන්ට ද පහර දී තිබිණි. එසේ ම විශ්වවිද්‍යාලය තුළට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කර තිබිණි.

ඊයේත් ප්‍රහාර

මීට විරෝධය පළකරමින් ඊයේ (08) එම ස්ථානයේ දී විරෝධතාවක් පැවැත්වූ අතර, ඉන්පසු පැවති සාමකාමී පාගමනට ද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙරිණි. එම ප්‍රහාරවලින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් සිසුහු ද බලවත් පීඩාවට පත්වුහ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...