ජනතාව ගන්න තීරණවලින් ජනමාධ්‍යවේදියාගේ තරම නිරූපණය වෙනවා – ‘ප්‍රවෘත්ති’ කර්තෘ වජිර කැළුම් පෙරේරා

Share post:

මාධ්‍යවේදියෙකු, සන්නිවේදන වෘත්තිකයෙකු සහ මාධ්‍ය විෂය පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන වජිර කැළුම් පෙරේරාගේ ‘ප්‍රවෘත්ති’ ග්‍රන්ථය එළිදැක්වීම අද (09) පස්වරු 2ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ජනමාධ්‍යකරණය සහ තොරතුරු අවකාශය පුළුල් වීම නිසා ජනමාධ්‍යයට සිදු වූයේ කුමක්ද යන කරුණ සම්බන්ධයෙන් වන thetime.lk මේ සංවාදය, ඒ නිමිත්තෙනි.

සමාජ මාධ්‍ය ප්‍රමුඛ ව තොරතුරු අවකාශය පුළුල් වීමත් එක්ක ප්‍රවෘත්තිවල න්‍යායාත්මක කතිකාවට තවදුරටත් පොළොවේ වටිනාකමක් තියෙනවද?

මං හිතන්නෙ ලෝකයේ ඕනෑම ප්‍රයෝගික තත්ත්වයක් නිර්මාණය වන්නේ ඊට අදාළ න්‍යායයක් එක්ක. එතකොට තොරතුරු අවකාශය පුළුල්වීමත් එක්ක තවදුරටත් මෙය න්‍යායාත්මක වීමේ අවශ්‍යතාවක් ගොඩනැගෙනවා මිසක් න්‍යායයකින් තොරව පවතින්නට නොහැකි වෙනවා. උදාහරණයක් විදිහට ප්‍රවෘත්ති කියන කාරණය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රමුඛ නිර්වචනයක් බවට පත්වුණා, බල්ලෙකු මිනිසෙකු සපාකෑවොත් එය ප්‍රවෘත්තියක් නොවේ, නමුත් මිනිසෙකු විසින් බල්ලෙකු සපාකනු ලැබුවේද එය ප්‍රවෘත්තියක් කියලා.

හැබැයි අද වෙනකොට මේ නිර්වචනය, මේ න්‍යාය වෙනස්වෙමින් පවතිනවා. වෙනස් වෙලා තියෙනවා. ප්‍රමුඛ පුද්ගලයෙක්, ජනප්‍රිය පුද්ගලයෙක් බල්ලෙක් කෑවොත් ප්‍රවෘත්තියක් බවට පත්වෙනවා.

මෙවැනි තත්ත්වයක් යටතේ තොරතුරු අවකාශය පුළුල් වුණත්, න්‍යායාත්මක කතාබහකට න්‍යායාත්මක විවරණයකට ඉඩකඩ තියෙනවා. එතකොට මේ න්‍යායයන් සමාජ ක්‍රමය සහ අවකාශය අනුව වෙනස් වීම සාමාන්‍ය ස්වභාවයක්. උදාහරණයක් හැටියට ගත්තොත් ප්‍රවෘත්තියක් සමබර කිරීම පිළිබඳව කතා කරද්දි, මීට කලින් අවධානය යොමු කළේ දෙපාර්ශ්වය ගැන. අද වෙනකොට අපි දන්නවා, ප්‍රවෘත්තියකට අදාළ සියලු කාරණා – සියලු පැතිකඩ ඔස්සේ විවරණය කිරීමෙන් ප්‍රවෘත්තිය පිළිබඳ සැබෑ මතයක් ජනතාවට ලබාදෙන්න පුළුවන් වෙලා තියෙනවා වගේම ඒ ප්‍රවෘත්තිවල වටිනාකම ඉහළයි.

ඇත්තටම ඇයි ප්‍රවෘත්ති නිර්මාණය වෙන්නෙ. මෙන්න මෙතැනදි අපිට තේරුම්ගන්න පුළුවන් කාරණය තමයි, ජනතාවට එකවර අතිවිශාල බලපෑමක් කළ හැකි තොරතුරු ප්‍රවෘත්ති කියලා ගන්න පුළුවන්. මේ බලපෑමේ ස්වභාවය එකිනෙකට වෙනස්වෙන්න පුළුවන්. ඒ නිසා සමාජ මාධ්‍ය කොයිතරම් පුළුල් වුණත්, ඒ කතිකාව කොයිතරම් පුළුල් වුණත්, මේ න්‍යායාත්මක කතිකාව බිඳහෙලන්නට බෑ කියලා මම විශ්වාස කරනවා.

ඕනෑම ප්‍රයෝගික දෙයක් නිර්මාණය වන්නේ න්‍යායාත්මක පසුබිමක. හැබැයි මේ අවකාශය පුළුල් වීම න්‍යායයන්වලට අභියෝගාත්මක කාරණයක් විදිහටත් අපිට හඳුනාගන්න පුළුවන්.

ප්‍රවෘත්ති මූලාශ්‍ර කොයිතරම් වැදගත් ද සහ විශ්වාසවන්ත විය යුතුද කියන කාරණය ඔබ කෘතියෙදිත් විස්තර කරනවා. ඇත්තටම මේ විශ්වාසය කැඩෙන්නෙ කොතැනින්ද?

ඇත්තටම ගත්තොත් විශ්වාසය කියන එක සාපේක්ෂයි. තොරතුරක් පිළිබඳ විශ්වසනීයත්වය සාපේක්ෂ කාරණයක්. මෙතැනදි වර්තමානය වන විට තියෙන තත්ත්වයයි බලන්න ඕනෙ. උදාහරණයක් විදිහට යම් රටක තියෙන්නෙ එක මාධ්‍ය ආයතනයක් නම්, තොරතුරු ඉදිරිපත් කිරීමේ එක ව්‍යුහයක් පමණක් නම්, එහෙමත් නැත්නම් තොරතුරු ගලායන්නෙ එක තැනකින් නම් ඔවුන් කියන ඕනෑම දෙයක් ජනතාවට විශ්වාස කරන්න සිද්ධ වෙනවා.

හැබැයි මාධ්‍ය ආයතන ප්‍රමාණය වැඩිවෙනකොට, මීට කලින් කතා කළා වගේ තොරතුරු අවකාශය පුළුල් වෙනකොට, සමාජ මාධ්‍ය වැනි නව ව්‍යුහයන් ඉදිරියට එනකොට තොරතුරුවල විශ්වසනීයත්වය කියන සාධකය අතිශය වැදගත් කාරණයක් බවට පත්වෙනවා. තොරතුරු කොහොමද මිනිස්සු විශ්වාස කරන්නෙ.

මිනිස්සුන්ට තීරණ ගැනීම සඳහා නිවැරදි තොරතුරු අවශ්‍යයි. අපේ ක්‍රියාවලියක් තමයි තීරණ ගැනීම. නිවැරදි තොරතුරු නොලැබුණොත් තීරණ වරදින්න පුළුවන්. ඒ නිසා ග්‍රාහකයාට, පාඨකයාට අතිශය වැදගත්, විශ්වසනීය මූලාශ්‍රවලින් තොරතුරු ලබාගැනීම.

වර්තමානය වෙනකොට මේ විශ්වසනීයත්වය යම් ආකාරයකට අභියෝගයකට ලක්වෙලා තියෙනවා. එතකොට ප්‍රශ්නය තමයි, විශ්වාසය කැඩෙන්නෙ කොතැනින්ද කියන එක.

විශ්වාසය කැඩෙන්නෙ නිවැරදි මූලාශ්‍රවලින් තොරතුරු නොලැබෙන නිසා. ලංකාව ගත්තොත්, අපේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලත් මේ ලක්ෂණය තියෙනවා. යම්කිසි තොරතුරක් ලබාදිය හැකි නිල පුද්ගලයෙක් ඉන්නවා. එහෙමත් නැත්නම් නිල ව්‍යූහයක් තියෙනවා. මේ ව්‍යූහය අතික්‍රමණය කරලා වෙනත් තැන්වලින් අපි තොරතුරු ලබාගන්නවා. මං කියන්නෙ ඒක වැරදියි කියල නෙමෙයි. නමුත් නිල තොරතුරු සහ නිල නොවන තොරතුරු එකතු කරලා පැහැදිලි සාක්ෂි සහිතව ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමෙන් විශ්වසනීයත්වය වර්ධනය කරන්න පුළුවන්.

මං මුලිනුත් කිව්වා වගේ තොරතුරක නිවැරදිභාවය වැදගත් වන්නේ ග්‍රාහකයන් හෝ පාඨකයන් ඒ තොරතුර මත පදනම් වෙලා තීන්දු ගන්න නිසා. විශ්වසනීයත්වය නැති තොරතුරු ඒ තීන්දුවලට සෘජුව බලපානවා. එහෙම ගන්න තීන්දුවලින් අයහපත් ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඒ තීරණ සමස්තයට බලපාන්න පුළුවන්. මේ නිසා මේ කාරණය අතිශය වැදගත්. ඒක නිසා තොරතුරක් වාර්තා කිරීමේදී විශ්වසනීයත්වය සුරක්ෂිත වන පරිදි ඒ තොරතුර ඉදිරිපත් කිරීම ජනමාධ්‍යයේ වගේම සමාජ මාධ්‍යයේත් වගකීම. හැබැයි මේ තැන් දෙකෙන්ම මේ වගකීම ඉටුවෙනවද කියන කාලීන ප්‍රශ්නය මතුවෙනවා.

ඔබ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත මාධ්‍යවේදියෙක් වගේම මාධ්‍ය විෂය උගන්වන ගුරුවරයෙක්. ප්‍රායෝගිකව මේ න්‍යායයන් වෙනස්වෙන්න ඕනෙ නැද්ද… කාලෙකට කලින් කියපු කරුණු ම ප්‍රවෘත්තියක් කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරද්දි අදටත් කියනවා…?

ඇත්තටම න්‍යායාත්මක ලක්ෂණ පවතින තත්ත්වය යටතේ වෙනස්වෙනවා. නැත්නම් කාලෙන්-කාලෙට ගොඩනැගෙනවා. ප්‍රවෘත්තිවලටත් මේ තත්ත්වයෙන් වියුක්ත වෙන්න බෑ. ලෝකයේ වෙනස්වීම්වලට අනුගත වෙන්න ප්‍රවෘත්තිවලටත් සිද්ධ වෙනවා. මුලින් සඳහන් කළා වගේම ඉස්සර අපි කතා කළේ පැති දෙකක් ගැන. ඒ පැති දෙක සමබර නම් ප්‍රවෘත්තිය සමබරයි. හැබැයි අද වෙනකොට මේක කරත්ත රෝදයක් වගේ සලකන්නෙ. පැති ගණනාවකින් ප්‍රවෘත්තියක් පෝෂණය කළ යුතුයි කියලයි සලකන්නෙ. මේ වගේ ප්‍රවෘත්ති සම්බන්ධ න්‍යායයන්, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ න්‍යායයන් මේ සියල්ල කාලානුරූපීව සහ පුළුල් වන අවකාශයන්ට සමගාමී ව වෙනස් විය යුතුයි.

ලෝකයේ කිසිදු දෙයක් නොවෙනස්ව පැවතිය යුතු නෑ. වෙනස් නොවී පවතිනවා නම් ඒවා ස්වභාවික වරණයට ලක්වෙනවා. එහෙමත් නැත්නම් ඒවා නැතිවෙලා යනවා. ප්‍රවෘත්ති ගැන පුළුල් අධ්‍යයනයන් අවශ්‍යයි. ලෝකයේ එහෙම අධ්‍යයනයන් සිදුවෙනවා. අපි ඒවා ගන්න ඕනෙ. ඒවගෙන් පෝෂණය වෙලා අපෙ අවකාශය සාරවත් කරගන්න ඕනෙ.

ඔබ කියනවා වගේ මූලික න්‍යාය අදටත් තියෙනවා. හැබැයි ඒක සීග්‍රයෙන් වෙනස්වෙමින්, වර්ධනය වෙමින් ඉස්සරහට යනවා. ඒක ප්‍රමාණවත්ද, නැද්ද කියන එක වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.

ප්‍රජා ජනමාධ්‍ය නැත්නම් පුරවැසි ජනමාධ්‍ය සංකල්පය ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. අපේ රටෙත් යම් තරමක සාර්ථක අත්හදාබැලීම් තියෙනවා. මේ වගේ තත්ත්වයකදි තොරතුරු සන්නිවේදනය වන වේගයත් එක්ක ජනමාධ්‍යවේදියා හෝ ජනමාධ්‍ය කියන වෘත්තියට තවදුරටත් පැවැත්මක් තියෙනවද … ?

මෙතැන පැහැදිලිව අර්ථකතනමය ප්‍රශ්නයක් තියෙනවා. වර්තමාන පිළිගැනීම් සහිත අර්ථකතන ගත්තොත් පුරවැසි මාධ්‍යකරුවෙක් කියන්නෙ කවුද? පුරවැසි මාධ්‍යකරුවෙක් කියන්නෙ ජනතාව අතර ඉන්න මනුෂ්‍යයෙක්. අපි කතා කරන ජනමාධ්‍ය ග්‍රාහක හෝ පාඨක සමාජය අතර ඉන්න කෙනෙක්. ඔහු විසින් ඔහුගේ ගැටළු හෝ ඔහු නිරීක්ෂණය කරන දේ වාර්තා කිරීමක් කරනවා. ඔහුට කියනවා පුරවැසි මාධ්‍යකරුවා කියලා.

ජනමාධ්‍යවේදියා කියන අර්ථකතනය ගත්තොත් ලෝකයේ ජනමාධ්‍යවේදියා කියන හැඳින්වීම භාවිත වෙන්නෙ ප්‍රවෘත්තිකරණයට සම්බන්ධ පුද්ගලයන්ට පමණයි. ලංකාවෙදි නම් ජනමාධ්‍යයට සම්බන්ධ ඕනෑම කෙනෙකුට අපි කියනවා, ජනමාධ්‍යවේදියෙක් කියලා. ලෝකයේ ප්‍රමිතිය තමයි, ප්‍රවෘත්තිකරණයට සම්බන්ධ ශිල්පීන්.

දැන් අපේ රටෙත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ට අදාළ හැඳුනුම්පත නිකුත් කිරීමේදී මෙන්න මේ වර්ගීකරණයට ඇවිල්ලා තියෙනවා. රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකුට දැන් මාධ්‍යවේදී කියන හැඳුනුම්පත ලැබෙන්නෙ නෑ, ඔහුට ලැබෙන්නෙ ප්‍රසන්ටර් කියලා.

පැහැදිලිව මට අනුව නම් ජනමාධ්‍යවේදියෙක් කියන්නෙ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති වාර්තා කරන පුද්ගලයා. ජනමාධ්‍ය කියන්නෙ රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් සහ විධිමත් අන්තර්ජාල ප්‍රවෘත්ති අවකාශ. මේ ස්ථානවල ඊට අදාළ ජනමාධ්‍යකරණයේ නිරත වන පුද්ගලයා ජනමාධ්‍යවේදියෙක්.

පුරවැසි මාධ්‍යකරණය ගත්තොත්, ඔහු වාර්තා කරන්නෙ ඔහුගේ පැත්තෙන්. මේක තමයි එහි තියෙන විශේෂත්වය. ඔහුට අදාළ නෑ වෙනත් පාර්ශ්වවල කතා. ඔහුට අදාළ වන්නෙ ඔහුගේ පැත්තේ තොරතුර වාර්තා කිරීම. මම මේක දකින්නෙ කොහොමද කියන එකයි ඔහු වාර්තා කරන්නෙ. එතකොට අපි කතාකරන ප්‍රවෘත්තියක සියලු පැති ආවරණය වෙනවද කියන ප්‍රශ්නය සහ එහි සැබෑ තත්ත්වය එළියට එනවද කියන ප්‍රශ්නය තියෙනවා.

හැබැයි ලෝකය පිළිගත් සම්ප්‍රදායක් තමයි, පුරවැසි මාධ්‍යකරණය. ලෝකය පිළිගන්නවා, පුරවැසි මාධ්‍යකරුවන් නිසා සැබෑ ප්‍රශ්න එළියට එනවා කියල. ඒ නිසා පුරවැසි මාධ්‍යකරණය අත්‍යවශ්‍යයි. එහෙත් එතැනදිත් ජනමාධ්‍යවේදියා කියන වර්ගීකරණය තවදුරටත් වලංගුයි කියලා මම විශ්වාස කරනවා. පුරවැසියා අනාවරණය කරන තොරතුරක් ගවේෂණය කොට, ඒක පුළුල් ප්‍රවෘත්තියක් කිරීමේ වගකීම තියෙන්න ජනමාධ්‍යවේදියට. ඒ නිසා තවදුරටත් ජනමාධ්‍යවේදියා කියන භූමිකාවට වටිනාකමක් සහ ඊට අනන්‍ය වෘත්තියමය වටපිටාවක් තියෙනවා. ඒ නිසා ජනමධ්‍යවේදියා කියන්නෙ කවුද, ඔහුගේ වගකීම මොකක්ද කියලා හරියට තේරුම්ගන්න ඕනෙ.

ප්‍රවෘත්ති විකාශනය සම්බන්ධයෙන් ගත්තොත්, තව අවුරුදු දෙකක් යනකොට මේ කෘතිය සහ එහි අඩංගු න්‍යායයන් වලංගු ද?

ඇත්තටම ප්‍රවෘත්ති සීග්‍රයෙන් විකාශනය වෙනවා. ඒ නිසා මම මේකට දෙන්නෙ පැනලා යන්න පුළුවන් උත්තරයක්. මොකද අද තියෙන තත්ත්වය නෙමෙයි, තව අවුරුදු දෙකකින් තියෙන්නෙ. අපි දන්නෙ නෑ, ලෝකයේ තොරතුරු අවකාශය පුළුල් වීම හෝ හැකිලීම කොයිවිදිහට වෙයිද කියලා. පවතින තත්ත්ව යටතේ අපි විශ්වාස කරනවා, මේ අවකාශය පුළුල් වෙයි කියලා. එතකොට මේ න්‍යායයන් වෙනස් කරන්න වෙයි.

හැබැයි මේ අවකාශය හැකිලීමේ ඉඩකුත් තියෙනවා. ලෝකය අවුරුද්දක් දෙකක් අක්‍රීය තත්ත්වයක තියෙයි කියලා අපි හිතුවෙ නෑ කවදාවත්. හැබැයි කොවිඩ් නිසා එහෙම වුණා.

කොයි තත්ත්වය යටතේ වුණත් ප්‍රවෘත්ති ජනතාව වෙත ගලායෑමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවතිනවා. එය වෙනස්වන්නෙ නෑ. දියුණු වීම, අවසංවර්ධිත වීම වෙන්න පුළුවන්. මේවා එක්ක විවිධ ප්‍රවණතා නිර්මාණය වෙන්න පුළුවන්. ඒත් එක්කම න්‍යායයන් වෙනස්වෙන්න පුළුවන්.

භාෂාවකට වචන එකතුවෙනවා වගේ මේවා වෙනස්වෙන්න පුළුවන්. හැබැයි දැනට පවතින තත්ත්වය අනුව නම්, මේ න්‍යායයන්වල පදනම වෙනස්වෙන්නෙ නෑ කියලා පේන්න තියෙනවා.

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...