Home Blog Page 199

ජපානයේ පශ්චාත් යුධ ලේඛකයන්ගේ අවසන් පුරුක අවසන් ගමනේ !

0

ජපන් සාහිත්‍යය ගැන සඳහන් කරන විට ලංකාව තුළ ප්‍රකට ජපන් කතුවරයන් කිහිප දෙනෙකු සිටිති. ඒ අතරින් හරුකි මුරකමි, යසුනරි කවබත, නට්සුමේ සොසෙකි, රියොනුසුකේ අකුතගාවා යන නාමයන් ඉහළින් සටහන් වෙයි. එහෙත් නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත් ජපන් ලේඛකයන් සිටින්නේ දෙදෙනෙක් පමණි. (ඉෂුගුරෝ ජපානයේ උපත ලැබුවද ඔහු සැලකෙන්නේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස ය.) එනම්, යසුනරි කවබත සහ කෙන්සබුරෝ ඔයී යන දෙදෙනා ය. මේ අතුරින් යසුනරි කවබත ගේ කෘති කිහිපයක්ම සිංහල බසට පෙරළී ඇත. කෙන්සබුරෝ ඔයී මෙලොවින් සමුගෙන තිබේ.

ඔයී ට නොබෙල් සාහිත්‍ය සම්මානය ලබාදෙන විට එම කමිටුව විසින් ඔහුගේ සාහිත්‍ය මෙලෙස,
” ජීවිතය හා මිථ්‍යාව ඝනීභවනය වී වර්ථමානයේ අවාසනාවන්ත මනුෂ්‍ය තත්වය පිළිබඳ විස්මිත චිත්‍රයක් නිර්මාණය කරන පරිකල්පන ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන්” යන එක් වාක්‍යයකට ගොනු කර තිබිණි.

ඔයී උපත ලබන්නේ 1935 ජනවාරි 31 වෙනිදා ඔසේ නම් ඉතා පිටිසර කඳුකර ගම්මානයක වන අතර අද වන විට ඔහු උපත ලැබූ ගම්මානය පවා සිතියමෙන් මැකි ගොස්ය. එයට හේතුව වන්නේ එය උචිකෝ නම් ඊට ආසන්න නගරයකට යාකිරීම හේතුවෙනි. ඔයී ට කලාව සහ කථන අධ්‍යාපනය ලබාදෙන්නේ ඔහුගේ මිත්තණිය විසිනි. ඔහුගේ මිත්තණිය 1944 දී මිය ගියාය. ඔහුගේ පියා පැසිපික් යුද්ධයේදී මිය ගියේය. තම දිවියට බලපෑම් කළ කෘති දෙකක් ලෙස ඔයී සඳහන් කරන්නේ හකල්බරි ෆින්ගේ විස්මිත චාරිකා සහ නිල්ස්ගේ විස්මිත චාරිකා යන කෘති ද්විත්වයයි.

ඒ ගැන සඳහන් කරන ඔහු පවසන්නේ,

“හකල්බරි ෆින් කියවන විට මට, රාත්‍රියේ කන්දේ පිහිටි වනයට ගොස්, නිවසක් ඇතුළත කිසිදාක ලබාගත නොහැකි ආරක්ෂිත හැඟීමක් සහිතව තුරු අතර නිදාගන්නා මගේ ක්‍රියාව සාධාරණීකරණය කරගැනීමට හැකියාව හිමිවෙනවා” කියාය.
සිය පාසල් අධ්‍යාපනයේදී හිරෝහිතෝ අධිරාජ්‍යයා ජීවත්වන දෙවියෙකු ලෙසට තම ගුරුවරුන් සඳහන් කළ බව ඔයී පවසයි. ඔහුගේ ගුරුවරයා නිතරම “අධිරාජ්‍යයා ඔබට සියදිවි නසාගන්නා ලෙස අණ කළොත් ඔබ කරන්නේ කුමක්ද?” යන පැනය විමසූ අතර, එයට “මම මැරෙනවා සර්. මම මගේ බඩ කපාගෙන මැරෙනවා” යැයි ඔයී හැමවිටම පිළිතුරු සපයයි. රාත්‍රී සයනයේදී මෙම පිළිතුර ගැන තමන් ලැජ්ජාවට පත්වූ බවත්, පසුකාලීනව සත්‍යය දැනගත් පසු තමන් තමන්ට ද්‍රෝහී වී ඇති බව ඔහු වටහා ගත්තේය. එම ද්‍රෝහීවීම පසුකාලීනව ඔහුගේ කෘති තුළින් පිටතට ආයේය.

වයස අවුරුදු 18 වන විට තෝකියෝවට පැමිණ ප්‍රංශ සාහිත්‍ය පිළිබඳව හදාරන ඔහුට මහාචාර්ය කසුවෝ වටනාබේ හමුවෙයි. 1957 දී ඔහු තම ප්‍රථම කෘතිය ප්‍රකාශයට පත් කරයි. 1960 දී ඔහු විවාහ දිවියට එළඹෙයි. ඔහුගේ බිරිඳ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ මන්සකු ඉටාමි ගේ දියණියයි. ඒ වසරේදී ඔහු චීනයේදී මාඕ සේතුං ව සහ පැරිසීයේදී ෂෝන් පෝල් සාත්‍රේ ව හමුවෙයි.
1961 දී ඔහු සඟරාවක ප්‍රකාශයට පත් කරන Seventeen and The Death of a Political Youth යන කෘතිය පජානයේ දක්ෂිණාංශ දේශපාලන බලාධිකාරයේ දැඩි කෝපයට ලක් විය. එම කෘතිය පාදක වන්නේ 1960 වසරේදී වයස 17ක් වූ යමගුචි ඔටොයා විසින් ජපාන සමාජවාදී පක්ෂයේ නායකයාව ඝාතනය කර සති තුනකට පසුව ඔහු ද සියදිවි නසාගැනීමේ සිදුවීම පිළිබඳව ය. යමගුචි උත්කර්ෂයට නැංවූ දක්ෂිණාංශික දේශපාලනය දිගින් දිගටම සඟරාවට සහ ඔයී ට තර්ජනය කළ අතර සඟරාව සිය පාඨකයන්ගෙන් සමාව ඉල්ලා සිටිය ද, ඔයී කිසිදිනෙක සමාව ඉල්ලුවේ නැත.

ඔයී ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ ඔහුගේ පුත්‍රයායි. හිස්කබලට යා වුණු මස් වැදැල්ලක් සහිතව උපත ලැබීම නිසා මොළයට හානි සිදුවූ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා සමඟ ඔහුගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගනී.
නිව්යෝකර් සඟරාවට Dream Pictures නමින් ලිපියක් ලියමින් ඔයී සිය වේදනාබරිත අත්දැකීම් වචන බවට හරවයි.
“හිස්කබලට බද්ධ වී තවත් හිසක තරම් ප්‍රමාණයේ ළා රතු මස් වැදැල්ලක් සහිතව මගේ පුත්‍රයා ඉපදුණු මොහොතේ, මගේ මව හෝ බිරිඳ යන දෙදෙනාගෙන් එක් අයෙකුටවත් සැබෑ තත්වය හෙළිකළ නොහැකි බව වටහාගත් විට, විශ්ව විද්‍යාලයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට දරුවා ඇතුළත් කොට මම දොම්නසින් යුතුව රවුම් ගැසුවෙමි. මාස දෙකහමාරකට පසුව, මගේ දරුවා බලාගන්නා – ඔහුගේ උපතෙන් දැඩි ලෙස කම්පනයට පත්ව ප්‍රකෘති තත්වයට පැමිණීමේ දුෂ්කරතාවයෙන් පෙළුණ මාව ද බලාගත් – දොස්තර එම්. ගෙන් සැත්කම සිදුකරන ලෙස මම ඉල්ලා සිටියෙමි. “

ඔහුගේ පසුකාලීන ලේඛන කලාවට බලපෑ ප්‍රධානතම කාරණය බවට එතැන් සිට එය පත් විය. ඔහුගේ නවකතා කිහිපයකම ඔහුගේ පුත්‍රයා වූ හිකාරි ගේ චරිතය දකින්නට ලැබෙයි. 1964 දී ඔහු විසින් ලියන ලද A personal matter නම් කෘතිය පාදක වන්නේ මොළයට හානි වූ පුතෙකුගේ උපත භාරගන්නා පියෙකුගේ මානසිකත්වය විස්තර කිරීම සඳහා ය. මීට අමතරව ඔහුගේ Father, where are you Going?, Teach Us to Outgrow Our Madness, and The Day He Himself Shall Wipe My Tears Away යන කෘති ත්‍රිත්වය සඳහා ද පාදක වන්නේ මෙකී කාරණාවම ය. 1994 දී නොබෙල් සම්මානය ඔහුට ප්‍රධානය කරන විට නොබෙල් කමිටුව මේ කාරණය සඳහා වැඩි අවධානයක් ලබාදුන් බව සඳහන් වෙයි. එම වසරේදීම ජපානයේ Order of Culture සම්මානයට ඔහුගේ නම යෝජනා වුව ද, එය ප්‍රතික්ෂේප කළේ එය පිරිනමන්නේ අධිරාජ්‍යයා විසින් බව පවසමිනි. එහිදී ඔහු,
“ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඉහළින් තියෙන කිසිම අධිකාරියක්, වටිනාකමක් මම අඳුනන්නේ නැහැ” පැවසුවේය. නැවත් වරක් ඔහු ට ජීවිත තර්ජන එල්ල වන්නට පටන් ගත්තේය.

2005 දී විශ්‍රාමික හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඔහුට එරෙහිව නඩු මඟට පිවිසියේ ඔහු විසින් 1970 දී ලියන්නට යෙදුණු ‘ඔකිනාව සටහන්’ නම් ලියවිල්ලේ ව්‍යාජ තොරතුරු අඩංගු වන බව පවසමිනි. මෙම ලියවිල්ලේ අඩංගු වූයේ 1945 දී ජපන් හමුදාව විසින් ඔකිනාවා දූපත යටත් කරගන්නා මොහොතේ ඔකිනාවා ජන සමූහයට සියදිවි නසාගැනීම සඳහා හමුදාව විසින් බලපෑම් කළ බවය. 2008 දී ඔසාකා දිස්ත්‍රික් අධිකරණය එම චෝදනා නිෂ්පභ්‍ර කළ අතර විනිසුරුවරයා පැවසුවේ “මෙම මහා සියදිවිනසාගැනීමට හමුදාව ගැඹුරින් සම්බන්ධයි” කියාය.
\
පරමාණු බෝම්බ වල අත්දැකීමට මුහුණ දුන් ඔයී සිය ලේඛනය පරමාණුක අවි වලට එරෙහිව යොදාගත්තේය. එයින් නොනැවතී ඔහු පරමාණුක බලයට එරෙහි සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස නිරන්තරයෙන් එක් විය. 2013 දී ඔහු පරමාණුක තාක්ෂණය භාවිත කිරීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළේය.

ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් වැය කොට ඇත්තේ ඔහුගේ පුත්‍රයා සමඟ සන්නිවේදනයට මඟක් සාදා ගැනීම සඳහා ය. වයස 31 දීත් ඔහුට වයස තුනක ළමයෙකුගේ ප්‍රමාණයට එහා සන්නිවේදනය කිරීමේ හැකියාවක් නොතිබිණි. ඔහු ඒ සඳහා ගත් උත්සාහයන් ඔහුගේ කෘති ලෙස ලෝකයට දායාද විය. නොබෙල් සම්මානය සැබවින්ම දින්නේ හිකාරි බව ඔයී වරක් පවසා තිබුණේය. නොබෙල් සම්මානය දිනාගැනීමෙන් වසර දෙකකට පසුව 1996 දී ඔහු විසින් පළකළ ප්‍රථම කෘතිය The healing family, ඔවුන්ගේ පවුලේ මේ ජයග්‍රහණය පාදක කරමින් ලියවුණකි.

සිය ජීවිතය තුළ ලද්දා වූ කටුක අත්දැකීම් තුළින් ලබාගත් පන්නරය සාහිත්‍ය ලෝකය වෙත විහිදුවමින් ඔයී විසින් සිදුකරන ලද සාහිත්‍ය සේවය සැබවින්ම විශිෂ්ඨය. ජපානයේ පශ්චාත් යුධ ලේඛකයන්ගේ අවසන් පුරුක කෙන්සබුරෝ ඔයී විය හැකිය. ඔහුට සුබ ගමන්!

රශ්මික මණ්ඩාවල

මලාවි තලා පෙලා දැමූ ‘ෆ්‍රෙඩී’ – ඉතා දුර්ලභ සහ ‘ඇදහිය නොහැකි භයානක තත්වයක්!’

මලාවි රාජ්‍යයට බලපෑ “ෆ්‍රෙඩී” සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 134 තුවාල ලබා තිබේ.

මෙම සුළි කුණාටුව අප්‍රිකාවේ දකුණු කලාපයට බලපෑ ප්‍රබලතම කුණාටුවක් ලෙස සැලකෙන අතර ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව දීර්ඝතම නිවර්තන සුළි කුණාටුව විය හැකිය.

මේ හේතුවන් මලාවි රාජ්‍යයයේ වාණිජ අගනගරය වන බ්ලැන්ටයර් වෙත වැඩි හානි සිදුව ඇති බවත් එරට ආපදා කළමනාකරණ අංශ පවසයි.

ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ කොමසාරිස් චාල්ස් කලම්බා පෙන්වාදෙන්නේ මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

එමෙන්ම කලම්බාට අනුව බොහෝ මරණ සිදුවී ඇත්තේ මලාවි හි වාණිජ අග නගරය වන බ්ලැන්ටයර් හි ය.

මේ හේතුවෙන් මලාවි රාජ්‍යය තුළ හදිසි ආපදා තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.

ෆ්‍රෙඩී සුළි කුණාටුව මේ වනවිට මලාවි හි බොහෝ දිස්ත්‍රික්ක වලට බලපා ඇති බවත් එම සියලුම දිස්ත්‍රික්ක සඳහා හදිසි ආධාර ලබා දෙමින්, මෙම ව්‍යසනයෙන් විපතට පත් සියලුම පවුල් සඳහා දේශීය සහ ජාත්‍යන්තර සහාය ලබා දෙන ලෙස එරට ජනාධිපති ලාසරස් චක්වේරා, (Lazarus Chakwera) ඉල්ලා තිබේ.

සුළි කුණාටුවෙන් දරුණුතම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක 10 ක පාසල් එළඹෙන බදාදා දක්වා වසා තබන බව මලාවි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

එමෙන්ම මලාවි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පීටර් කලායා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ බොහෝ මාර්ග ජලයෙන් යටවී ඇති අතර දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශවල විදුලිය විසන්ධි කර ඇති බවයි.

“ තවම වැස්සේ අඩුවක් නැහැ. නාය යෑම්, හදිසි ගංවතුර සහ ඇතැයි කඳු වලින් පහළට ගල් පෙරළෙනවා. අයහපත් කාළගුණ තත්වය නිසා ගලවා ගැනීමේ කටයුතු පහසු නැහැ. මිනිසුන් බේරා ගැනීමට ඇති සමහර ස්ථාන වලට යෑම පවා අතිශය දුෂ්කරයි. නමුත් අප හැකි උපරිමයෙන් ගලවා ගැනීමේ කටයුතු සිදු කරනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදෙස් මාධය වෙත පවසා තිබිණි.

මෙම ෆ්‍රෙඩී සුළි කුණාටුව අසල්වැසි මොසැම්බික් සහ මැඩගස්කරයට ද බලපා ඇති අතර එම රටවල් වලද පුද්ගලයින් 20 කට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම රටවල් දෙකෙහිම තවත් දහස් ගණනක් අවතැන් කර ඇත.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් ෆ්‍රෙඩී සුළි කුණාටුව “ඉතා දුර්ලභ” කුණාටුවක් ලෙස විස්තර කර ඇති අතර එය හමා ගිය ආකාරය “ඇදහිය නොහැකි සහ භයානක” බව ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බොඳවෙයි : නවසීන්තයට කඩුලු 2 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 2කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත්වීමටනම් එම තරග දෙකකම ජය ගත යුතුව තිබිණි.

කෙසේවෙතත් මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් නොලැබෙනු ඇත.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය පසුගිය 09 වැනිදා ක්‍රයිස්චර්ච්හීදි ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත පිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 355ක් රැස් කළේය.

නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවි ලකුණු සංඛ්‍යාව 373ක් රැස් කළ අතර නවසීලන්ත පිල සිය පළමු ඉනිම අවසන් වෙද්දී ශ්‍රී ලංකා පිලට ලකුණු 18 ක් ඉදිරියෙන් සිටියහ.

දෙවැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 302ක් රැස් කළ අතර ඒ අනුව, නවසීලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 285ක ඉලක්කයක් හිමිවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 11 ක් සමගින් ලකුණු 115 ක් රැස් කිරීමට සමත්විය.

දනංජය ද සිල්වා ලකුණු 47 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 42 රැස් රැස් කළේය.

ලකුණු 285ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය ඊයේ (12) දිනය සඳහා තරගය නතර කරනවිට සිය දෙවන ඉනිමට එක් කඩුල්ලක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 28කි.

ක්‍රයිස්චර්ච් නුවරට ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් අද දිනය සඳහා තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර නවසීලන්ත පිලට ජයග්‍රහණය සඳහා පන්දුවාර 53කදී කඩුලු 9ක් අතැතිව ලකුණු 257ක් රැස් කරගත යුතුව තිබිණි.

ලකුණු 33ක් රැස් කරගෙන සිටියදී කේන් විලියම්සන් ලබාදුන් උඩපන්දුවක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යාම තරගයේ තීරණාත්මක සිදුවීමක් විය.

කේන් විලියම්සන් එංගලන්ත ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 121 රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය.

ඩැරල් මිචෙල් ලකුණු 81 ක් ලබා ගත් අතර ඩැරල් මිචෙල් සහ කේන් විලියම්සන් සිව්වන කඩුල්ල සඳහා පන්දු 157කින් ලකුණු 142ක සබඳතාවක් ගොඩනැගුවේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් ප්‍රභාත් ජයසූරිය කඩුලු 02 ක්, සහ ලහිරු කුමාර සහ කසුන් රාජිත අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

පළමු ඉනිම සඳහා ලකුණු 102 ක් සහ දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 81 රැස් කළ ඩැරල් මිචෙල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ජාතික ජන බලවේග වේදිකාවේ අදහස් පළකළ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බ්ලැක් ලිස්ට් කරයි : ඔහුට කිසිදු කඳවුරකට ඇතුළු වීම සහ පහසුකම් ලබාගැනීම තහනම් – මාධ්‍ය ප්‍රකාශක

දේශපාලනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් අදහස් පළකිරීම නිසා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුට ගුවන් හමුදා කඳවුරු තුළට ඇතුළු වීම සහ විශ්‍රාමික නිලධාරියෙකුට ගුවන් හමුදාවෙන් ලැබිය හැකි සියලු පහසුකම් ලබාගැනීම තහනම් කර තිබේ.

පසුගිය 10දා සිට මෙසේ අසාදුලේඛනගත (Blacklisted) කර ඇති නිලධාරියා වන්නේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ය. (Air Vice Marshal Sampath Thuyacontha) ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ ම නිලධාරියෙකු ලෙස සහ කීර්තිමත් නිලධාරියෙකු ලෙස සම්මාන ලබා ඔහු සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ මීට වසර එක හමාරකට පෙර ය.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ අදාළ ප්‍රවෘත්තිය තහවුරු කළේය.

මෙම විශ්‍රාමික නිලධාරියා විසින් දේශපාලන පක්ෂ වේදිකාවකදී කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙසේ අසාදු ලේඛනගත කර ඇති බවත්, ඒ අනුව ඔහුට ගුවන් හමුදාවට අයත් කිසිදු කඳවුරකට ඇතුළු වීම හෝ ගුවන් හමුදාවෙන් කිසිදු පහසුකමක් ලබාගැනීම තහනම් කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙත  පැවසීය.

මෙම විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා මේ වන විට ජාතික ජන බලවේගය සමග දේශපාලන කටයුතු කරමින් සිටී. ඔහු පසුගියදා ගම්පහදී පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධාන රැස්වීමකදී ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරිත්වය විවේචනය කරමින් අදහස් දක්වා තිබිණි.

මෙවැනි තීරණයක් ගැනීම සඳහා බලපෑ සම්පත් තුයියකොන්තා විසින් පළකළ නිශ්චිත අදහස කුමක්දැයි විමසීමේදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ දැනට විශ්‍රාම ගිය සහ සේවයේ නිරත හමුදා සාමාජිකයන් තමන් නියෝජනය කරන දේශපාලන පාර්ශ්වය සමග කටයුතු කිරීමට සූදානම් බවට ඔහු කළ ප්‍රකාශයක් මීට පදනම් වී ඇති බවයි. එම නිසා කඳවුරු තුළට ගොස් දැනට සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයන්ට බලපෑමක් කළ හැකි නිසා මෙවැනි තීරණයක් ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

මීට පෙර විශ්‍රාමික නිලධාරීන් විසින් කරන ලද ප්‍රකාශවලට අදාළ ව මෙවැනි තීරණ ගෙන ඇත්දැයි විමසීමේදී ඔහු පැවසුවේ එවැනි තීරණ ගෙන ඇතැයි තමන්ට පැවසිය හැකි බවයි.

ගම්පහ පැවති රැස්වීමේදී අදාළ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා පවසා තිබුණේ මෙවැන්නකි.

‘පෙබරවාරි එකොළොස්වැනිදා සමුළුවෙන් පස්සෙ ඒක ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. විශ්‍රාමික සාමාජිකයන් විතරක් නෙමෙයි, දැනට සක්‍රීය සේවයේ ඉන්න සාමාජිකයන් පවා මට පුද්ගලිකව කතාකරල ඒ කියපු දේ අනුමත කළා. ඒ කියන්නෙ අපේ වැඩේ ගොඩක් සාර්ථක වෙලා තියෙනවා.’

(ඔහු මෙහිදී සඳහන් කර තිබුණේ එම සාමූහිකය පැවැත්වූ සමුළුව පිළිබඳව ය. එහිදී ඔහු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ වැදගත්කම සහ සියලු පුරවැසියන් ඊට එක්වීම අවශ්‍ය බව සඳහන් කර තිබිණි.)

ඔහු ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස වසර 34ක් සේවය කළ නිලධාරියෙකි. 2021 නොවැම්බර් මාසයේදී ඔහු විශ්‍රාම ලැබීය.

ඉතිහාසය අලුතින් ලියූ ඔස්කාර් – 2023

0

95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වීය.

එහිදී ඔස්කාර් – 2023 හොඳම නළුවා සම්මානය the whale චිත්‍රපටයේ Brendan Fraser ට හිමිවූ අතර හොඳම නිළිය සම්මානය Everything Everywhere All at Once චිත්‍රපටයේ Michelle Yeoh ට හිමිවූවාය.

එම සම්මානයත් සමග ඇකඩම් සම්මාන උළෙලකදී හොඳම නිළිය සම්මානය දිනාගත් පළමු ආසියාතික කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇත.

එමෙන්ම ඔස්කාර් 2023 – සහාය නළුවා සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් (Ke Huy Quan) හිමිකර ගත්තේය.

ක්වාන් 1971 අගෝස්තු 20 දකුණු වියට්නාමයේ, සායිගොන් හීදී උපන් අතර ඔහුගේ දෙමව්පියන් චීන සම්භවයක් ඇති වියට්නාම් පුරවැසියන් වන අතර ඔහුගේ පවුල සහෝදර සහෝදරියන් 8 දෙනෙකුගෙන් යුක්ත විය.

1978 දී ඔහුගේ දෙමව්පියන් වියට්නාමයෙන් පලායන්නේ එවකට පැවති දේශපාලන වාතාවරණය නිසාවෙන්‍ ය. ක්වාන් ඔහුගේ පියා සහ සොහොයුරු සොහොයුරියන් පස් දෙනෙක් හොංකොං සරණාගත කඳවුරකට පැමිණි අතර එක්සත් ජනපදයට බොට්ටුවකින් පැමිණ ඇත.

“මගේ ගමන ආරම්භ වූයේ බොට්ටුවක, අවසානයේ මම නතර වුනේ හොලිවුඩයේ ලොකුම වේදිකාවේ.” ඔහු පැවසීය.

ඔස්කාර් 2023- සහාය නිළිය සම්මානය ද “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් ජේමි ලී කර්ටිස් (Jamie Lee Curtis) විසින් හිමිකර ගත්තාය.

එමෙන්ම අතිශය ජනාදරයට පාත්‍ර වූ RRR ඉන්දීය තෙළිඟු සිනමාපටයේ එන ,නාටු නාටු ගීතය ද මෙවර ඔස්කාර් සම්මානයට පාත්‍ර විය.

ඉන්දියාවේම නිෂ්පාදිත ඉන්දීය චිත්‍රපටියකට ඇකඩමි හෙවත්, ඔස්කාර් සම්මානයක් ලැබුණු පළමු වතාව මෙය වේ.

මින් පෙර ඉන්දියාවේ සම්මානයට පාත්‍ර වුණු ස්ලම්ඩෝග් මිලියනයර් සහ 1982 වසරේ හොඳම රංග වස්ත්‍ර නිර්මාණය සඳහා වූ ඇකඩමි සම්මානය ගාන්ධි චිත්‍රපටය වෙනුවෙන් පිරිනැමුණු අතර එයද හොලිවුඩ් නිෂ්පාදනයක් වේ.

සම්මානය පාත්‍ර වුණු අනෙකුත් නිර්මාණ

අප්‍රේල් 25 ? – ඡන්දෙට තවත් දවසක් : නීතියෙන් බාධාවක් නෑ – මැතිවරණ කොමිසමේ සභාපති

මුදල් අමාත්‍යංශය යොදාගනිමින් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබාදීම දිගින්-දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් ලබන අප්‍රේල් 25දා මැතිවරණය පැවැත්වීම ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසන්නේ බදාදා (15) වන විට රුපියල් මිලියන 500ක මුදලක් ලැබිය යුතු ව ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව මුදල් මුදානොහැරීම සම්බන්ධයෙන් මැතිවරණය පැවැත්වීමේ ව්‍යවස්ථානුකූල වගකීම ඇති ආයතනය ලෙස මැතිවරණ කොමිසම අධිකරණයට කරුණු දැක්වීමට සූදානම් බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (13) හෝ හෙට (14) මැතිවරණ කොමිසම රැස්වන බව ද සභාපතිවරයා පැවසීය.

‘සාකච්ඡා කරනවා’

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අදාළ පෙත්සම ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ ඒ පිළිබඳව නීතිඥයන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. නීතිඥවරුන්ගේ උපදෙස් මත අවශ්‍ය කටයුතු සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.

‘නීතියෙන් බාධාවක් නෑ’

මෙවැනි තත්ත්වයක් යටතේ වෙනත් මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත්කිරීමට සිදුවුවහොත්, ඊට නීතිමය බාධාවක් නැතැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි. මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට අවශ්‍ය කටයුතු සඳහා මේ මාසය අවසන් වන විට රුපියල් මිලියන 1,100ක මුදලක් ලැබිය යුතු ව ඇතැයි ද ඔහු පැවසීය.

‘තවම නෑ’

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පවසන්නේ මැතිවරණ පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා ඉල්ලා ඇති රුපියල් මිලියන 533න්, රුපියල් මිලියන 339ක් මෙතෙක් ලැබී නැති බවයි. එම නිසා නියමිත පරිදි එම කටයුතු සිදු කිරීමේ හැකියාවක් නොමැතිව ඇතැයි ද ඇය සඳහන් කළේය.

‘තනියෙන් බෑ’

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් පසුගිය 10දා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණේ අදාළ මුදල් නිදහස් කිරීමට අනුමැතිය මෙතෙක් මුදල් ඇමති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් මෙතෙක් නොලැබුණු බවයි. මෙවැනි තත්ත්වයක් යටතේ තමන්ට තනි තීරණයක් ගත නොහැකි බව රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබිණි.

අධිකරණ තීන්දුව

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව මගින් අයවැය හරහා සම්මත කොට, වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා හෙවත් මුදල් ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාට පසුගිය 03දා තහනම් නියෝගයක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම නියෝගයට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම ද වලක්වමින් රජයේ මුද්‍රණාලයාධිපතිවරිය වෙත ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මගින් ගොනුකළ මෙම පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ දෙවැනි වගඋත්තරකරු ලෙස මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ නම් කර තිබේ. අනෙකුත් වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා, එහි කොමසාරිස්වරුන් වන එස්.බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ සහ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නම් කර ඇත.

අට වැනි වගඋත්තරකරු ලෙස රජයේ මුද්‍රණාලයාධිපති ජී. කේ. ඩි. ලියනගේ සහ නව වැනි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සමේ අරමුණ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 3, 4, 5, 6, සහ 7 වගඋත්තරකරුවන්ට මුදල් ලබාදීම ප්‍රමාද කිරීම මගින් පළමු වගඋත්තරකරු වන භාණ්ඩාගාර ලේකම්වරයා සහ දෙවැනි වගඋත්තරකරු වන මුදල් ඇමතිවරයා විසින් පෙත්සම්කරු ඇතුළු සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත. වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකාරිත්වය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා මගින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම වලක්වා ඇති බවත්, එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති 12(1) සහ 14(1)(අ) ව්‍යවස්ථාවල ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් ය.

12(1) ව්‍යවස්ථාව :

නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.

14(1)(අ) ව්‍යවස්ථාව :

සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම ඇත්තේය.

2022 දෙසැම්බර් 21 සහ 29 !

1946 අංක 53 දරන සංශෝධිත පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 4(1) අනුව නිකුත් කරන ලද  2022 දෙසැම්බර් 21 දිනැති අංක 2311/26 දරන ගැසට් නිවේදනය මගින් වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් පත්කිරීමට අදාළ කටයුතු ආරම්භ කළ බවත්, පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 27, 28 සහ 29 වගන්ති අනුව නිකුත් කරන ලද 2022 දෙසැම්බර් 29 දිනැති අංක 2312/44 දරන ගැසට් නිවේදනය මගින් වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් මැතිවරණය සඳහා ඇප මුදල් ලබාගැනීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ කළ බවත් පෙත්සමේ සඳහන් ය.

2023 ජනවාරි 04 !

එසේ ම වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් 2023 ජනවාරි 04 දිනැති නිවේදනය මගින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් මගින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 340ක් සඳහා තරග කරන අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා කැඳවීම ආරම්භ කළ බවත්, ඉන්පසු 2023 මාර්තු 09 මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කළ බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

2023 පෙබරවාරි 17 !

මේ අතර 2023 පෙබරවාරි 17දා පෙත්සමේ පළමු වගඋත්තරකරු වන භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදිය නොහැකි බව වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දීමේ අනපේක්ෂිත පුවත ඇසීමෙන් පෙත්සම්කරු දැඩි කම්පනයට පත්වූ බවත්, ඊට හේතුව ලෙස දෙවැනි වගඋත්තරකරු හෙවත් ජනාධිපතිවරයා නිකුත් කළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් ලබාදීමේ චක්‍රලේඛයක් උපුටා දක්වා ඇති බව වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසූ බවත් පෙත්සම මගින් අවධාරණය කර සිටී.

රුපියල් බිලියන 10ක්

භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් ඇමතිවරයා මෙසේ කටයුතු කර ඇත්තේ 2023 අයවැය මගින් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර තිබියදී බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

පාලනය කළ නොහැකි හේතු

එසේ ම පාලනය කළ නොහැකි හේතු නිසා බව සඳහන් කරමින් පෙත්සමේ වගඋත්තරකාර මැතිවරණ කොමිසම මගින් තැපැල් ඡන්ද කල්දැමූ බවත්, ඊට පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස සඳහන් රජයේ මුද්‍රණාලයාධිපති විසින් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් නොමැති බව දැනුම් දීම හේතු වූ බවත් එහි සඳහන් ය.

පෙත්සම්කරුගේ ඉල්ලීම්

මේ ක්‍රියාවලිය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම ගැටළුවක් වී ඇති ආකාරයත්, එමගින් පෙත්සම්කරු ඇතුළු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයත් පෙත්සම මගින් පැහැදිලි කර ඇත.

“කඳවුර හැර දමා උපන් භූමියට පැමිණි පවලම් ආච්චිට අත දුන්නේ ඇය තරම් ම වයසැති කොහොඹ ගසයි”

0

ප්‍රබන්දකරණයේ කෙළ පැමිණියවුන් ‘ත්‍රස්ත පනත’ ළෙලවා වින්දිතයකු කළ සෙල්ලයියා සදීෂ් කුමාර් හෙවත් විවේකානන්දනූර් සදීෂ් ගේ සිරගත දිවිය ඇතුළු සමස්ථ ජීවිතයේ සාහිත්‍යමය පරාවර්ථනයක් බඳු ‘කොහොඹ ගස සහ පවලම් ආච්චි’ කෙටිකතා සමුච්චය ඉතා ඉක්මනින් සහෘද අතපත් වන්නට නියමිතව තිබේ.

කුරුණෑගල මැල්සිරිපුර දෙමළ සම්භවයක් සහිත පවුලක සාමාජිකයකු වූ සදීෂ් කුමාර් 1983 ජූලි මස දෙමළ ජනතාව හමුවේ මුදා හළ ප්‍රචණ්ඩත්වය නිසා කිළිනොච්චියට විතැන් වන විට පස් හැවිරිදි දරුවෙකි. කිළිනොච්චියේ විවේකානන්දනූර් ග්‍රාමය කේන්ද්‍රකරගෙන ජීවිතය ගත කළ සදීෂ් කුමාර් යුද්ධය තීව්‍ර වෙමින් පැවති 2008 අවුරුද්දේ ‘ත්‍රස්ත පනත’ යටතේ සිරගත කරන විට කිළිනොච්චි රෝහලේ ගිලන් රථ රියදුරෙකි.

සයිරන් නාද නගමින් වේගයෙන් ගිලන් රිය ධාවනය කරමින් අසාධ්‍ය රෝගීන් එකෙල මෙකෙල කරනා වෘත්තීමය රියදුරෙකුගේ
දෙමළභාවය අරභයා ත්‍රස්ත පනතෙහි ලා ගැනෙන මොන තරම් කතා ප්‍රබන්ද කළ හැකිද?

ඒ කවර ප්‍රබන්දයක වින්දිතයකුව සිටිමින් වුව සදීෂ් කුමාර්, සාහිත්‍යමය පරිකල්පනය සිය උරගලකොටගෙන තිබීම මනුෂ්‍ය ධෛර්යයයේ නොනවතින අරගලය පිළිබඳ නිදසුනක් නොවන්නේ ද?

‘කොහොඹ ගස සහ පවලම් ආච්චි’ සිංහලට නඟා ඇත්තේ කෘතහස්ථ පරිවර්ථකයකු වන ජී.ජී.සරත් ආනන්ද සහ ජෙගන් ගනේෂන් ය. එහි පිට කම්බය ගගණ වර්ණකුලසූරියගෙනි.

කෘතියේ නාමකරණය ලද කෙටිකතාවේ සදීෂ් මෙසේ ලියයි.

”එක්තරා යුගයක දරු මුණුබුරන් පිරිවරාගෙන ඉතා සතුටින් කාලය ගත කළ පවලම් ආච්චි අද අව්වටත්, වැස්සටත්, පින්නටත් මුහුණ දෙමින් පාර අයිනේ වාඩි වී හිඳ කඩල විකුණන්නී ය. ඇය එම අඩියට ඇද හෙලනු ලැබුවේ බිහිසුණු යුද්ධයෙන් ඇති වූ අති මහත් විනාශයන් විසිනි.

ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට තම සාමාන්‍ය දිවි ගමන අහිමි කරමින්, සොම්නසින් පැවති සිත් කඳුළින් පුරවාලමින් මරණය සහ අහිමිවීම් උරුම කර දී අහිංසකයින් අවතැන් කරනු ලැබුවේ ඒ රුදුරු යුද්ධයයි. පවලම් ආච්චි තම පවුලේ සාමාජිකයින් සමග පුදුමාතලන් රෝහල ආසන්නයෙන් ස්වේච්ඡා සංවිධානයක උපකාර මත කූඩාරමක් ඉදිකර ගත්තා ය. ඒ අසල ම බංකරයක් ද සකස් කරවා ගෙන ආරක්‍ෂිතව සිටින්නට උත්සාහ කළා ය. හමුදාව විසින් මුදාහරින ලද දෑස් නොමැති ෂෙල් වෙඩි උණ්ඩයක් ගොදුරු සොයා පිඹගෙන විත් ඒ බංකරය මත පතිත වී පුපුරා ගිය අතර, බංකරය ලේ සහ විසිරී ගිය මස් වැදලිවලින් පිරී ගියේ ය.

පවලම් ආච්චිට පාදයක් අහිමි විය. ඇයත් සමග ඇගේ පුතෙකුගේ දරුවන් දෙදෙනෙක් පමණක් දිවි රැකගත් හ. ඒ මොහොතේ පටන් ඒ මුණුබුරන් දෙදෙනාට අම්මාත්, අප්පාත් යන දෙදෙනාට ම සිටියේ පවලම් ආච්චි පමණි. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන, ආරක්‍ෂාව සපයන භාරකාරිය බවට පවලම් ආච්චි පත්වූවා ය. මඩින් පිරුණු සරණාගත කඳවුර හැර දමා මුණුබුරන් දෙදෙනා සමග යළි තමන් උපන් භූමියට පැමිණ පදිංචිවීමට පවලම් ආච්චිට හැකි විය. එදා පටන් ඇයට අත දුන්නේ ඇය තරම් ම වයසැති ඒ කොහොඹ ගසයි.”

මංජුල වෙඩිවර්ධන

කුරුණෑගල ජනතාව ඇමතිලාට හූ කියති – උත්සවයට ආරාධනා කරලත් නෑ

අද (මාර්තු 11) උදෑසන කුරුණෑගල-බමුණාකොටුව ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට පැමිණි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායකට සහ පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්ට හූ කියා විරෝධය පළකර තිබේ.

මෙම සංස්කෘතික මධ්‍යස්ථානය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන වැයකොට ඉදිකරන ලද්දක් වන අතර මෙම විවෘත කිරීමට අදාල ආරාධනා පත්‍රයට අනුව ප්‍රාදේශිය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් එය සිදු කිරීමට නියමිතව තිබිණි.

එසේ වුවද ඒ සඳහා කිසිඳු කලාකරුවෙකු සහභාගි වී නොසිටි බවටද තොරතුරු වාර්තා වේ.

කෙසේවෙතත් මෙම අවස්ථාවට වාහන කිහිපයකින් ආරක්ෂක නිලධාරීන්ද සමග අනාරාධිතව පැමිණි දේශපාලනඥයින් හට ජනතාව එලෙස සිය විරෝධය දක්වා තිබේ.

පසුගිය කාලවකවානුව පුරාම වත්මන් රජය නියෝජනය කරන දේශපාලනඥයින්ට ජනතාවගෙන් දැඩි විරෝධතා එල්ලවීම හේතුවෙන් බොහොමයක් රජයේ අමාත්‍යවරුන් ඇතුළු පිරිස මේ වනවිට උත්සව සහ රැස්වීම් සඳහා සහභාගිවීමෙන් වැලකී සිටිති.

විරෝධය පෑ ජනතාව
ආරාධනා පත්‍රය

වීඩියෝව පහතින්

https://web.facebook.com/thetimeweb/videos/741040647550875

මාධ්‍ය යන්නේ වෙන පාරක : පොලිස් ඇමති ටිරාන් කැඳෙව්වේ විමර්ශන නිලධාරීන් – කොමසාරිස් අනුමැතිය අවශ්‍ය නෑ !

පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් අතර බෙදීමක් ඇති වී තිබෙන බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.

මෙය සත්‍යයක් ද සහ එවැනි කැඳවීමක් සඳහා කොමසාරිස්වරුන්ගේ අනුමැතිය අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් thetime.lk අපි සොයාබැලීමක් කළෙමු.

කොමිෂන් සභාව මගින් සිදුකරන විමර්ශනයක් සඳහා කැඳවන්නේ කවුද යන්න තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන් ම විමර්ශන නිලධාරීන් සතු වේ. සම්ප්‍රදායක් ලෙස කොමසාරිස්වරුන්ට මෙම කැඳවීම් පිළිබඳව දැනුම් දුන්නද, ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු පැවසුවේ සාමාන්‍යයෙන් එවැනි දැනුම් දීම්වලට ප්‍රතිචාර නොදක්වන බවයි. ඊට හේතුව විමර්ශන ස්වාධීන ව සිදුකිරීම සඳහා ඉඩ ලබාදීම බව ද එම කොමසාරිස්වරයා පැවසීය.

මෙවැනි කැඳවීම් සඳහා කොමසාරිස්වරුන්ගේ අනුමැතිය අත්‍යවශ්‍ය බවට කොන්දේසියක් තිබුණහොත්, කොමසාරිස්වරුන්ගේ කැමැත්ත දෙයාකාර වන අවස්ථාවලදී විමර්ශන අඩපණ වීමේ ඉඩක් පවතින බව ද ඔහු අවධාරණය කළේය.

කොමිෂන් සභාව අභ්‍යන්තරයෙන් අප කළ සොයාබැලීමේදී මීට පෙර ඌව මහ ඇමති චාමර සම්පත් කැඳවීම ද මීට සමාන බව දැනගන්නට ලැබිණි. ගුරුවරියකට බලපෑම් කිරීමට අදාළ ව ඔහු කොමිෂන් සභාව වෙත කැඳවන ලදි. මහ ඇමතිවරයා සහ කැබිනට් ඇමතිවරයා පරිපාලන ව්‍යූහය තුළ සමාන තත්ත්වයේ සිටින්නන් ය.

ඡන්දෙට මුදල් ඉල්ලූ කොමිසමේ ලිපිය රනිල් ළඟට යවයි : මට තනියම උත්තරයක් දෙන්න බෑ – ජනාධිපති

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකරන ලද ලිපිය, අනුමැතිය සඳහා මුදල් ඇමති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර තිබේ.

පසුගිය 07දා මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ මෙම ලිපියට පිළිතුරු ලිපියක් යොමුකරමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මේ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී ඇත.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇත්තේ පවතින තත්ත්වය යටතේ මැතිවරණයකට මුදල් නිදහස් කිරීමට තමන්ගේ අනුමැතිය පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම සඳහා ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ද විවිධ උපක්‍රම යොදමින් සිටී. ඒ අතරින් ආසන්නතම සිදුවීම වූයේ මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොමිසම කැඳවූ අවස්ථාවේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් බව පවසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඊට සහභාගි නොවීමයි.

එහෙත් එදින ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන ආරක්ෂක මණ්ඩල රැස්වීමක සිටින ප්‍රධානීන් දෙදෙනා ම සිටියේ පාර්ලිමේන්තුවේ ය.

සබැඳි පුවත්