“කඳවුර හැර දමා උපන් භූමියට පැමිණි පවලම් ආච්චිට අත දුන්නේ ඇය තරම් ම වයසැති කොහොඹ ගසයි”

Share post:

ප්‍රබන්දකරණයේ කෙළ පැමිණියවුන් ‘ත්‍රස්ත පනත’ ළෙලවා වින්දිතයකු කළ සෙල්ලයියා සදීෂ් කුමාර් හෙවත් විවේකානන්දනූර් සදීෂ් ගේ සිරගත දිවිය ඇතුළු සමස්ථ ජීවිතයේ සාහිත්‍යමය පරාවර්ථනයක් බඳු ‘කොහොඹ ගස සහ පවලම් ආච්චි’ කෙටිකතා සමුච්චය ඉතා ඉක්මනින් සහෘද අතපත් වන්නට නියමිතව තිබේ.

කුරුණෑගල මැල්සිරිපුර දෙමළ සම්භවයක් සහිත පවුලක සාමාජිකයකු වූ සදීෂ් කුමාර් 1983 ජූලි මස දෙමළ ජනතාව හමුවේ මුදා හළ ප්‍රචණ්ඩත්වය නිසා කිළිනොච්චියට විතැන් වන විට පස් හැවිරිදි දරුවෙකි. කිළිනොච්චියේ විවේකානන්දනූර් ග්‍රාමය කේන්ද්‍රකරගෙන ජීවිතය ගත කළ සදීෂ් කුමාර් යුද්ධය තීව්‍ර වෙමින් පැවති 2008 අවුරුද්දේ ‘ත්‍රස්ත පනත’ යටතේ සිරගත කරන විට කිළිනොච්චි රෝහලේ ගිලන් රථ රියදුරෙකි.

සයිරන් නාද නගමින් වේගයෙන් ගිලන් රිය ධාවනය කරමින් අසාධ්‍ය රෝගීන් එකෙල මෙකෙල කරනා වෘත්තීමය රියදුරෙකුගේ
දෙමළභාවය අරභයා ත්‍රස්ත පනතෙහි ලා ගැනෙන මොන තරම් කතා ප්‍රබන්ද කළ හැකිද?

ඒ කවර ප්‍රබන්දයක වින්දිතයකුව සිටිමින් වුව සදීෂ් කුමාර්, සාහිත්‍යමය පරිකල්පනය සිය උරගලකොටගෙන තිබීම මනුෂ්‍ය ධෛර්යයයේ නොනවතින අරගලය පිළිබඳ නිදසුනක් නොවන්නේ ද?

‘කොහොඹ ගස සහ පවලම් ආච්චි’ සිංහලට නඟා ඇත්තේ කෘතහස්ථ පරිවර්ථකයකු වන ජී.ජී.සරත් ආනන්ද සහ ජෙගන් ගනේෂන් ය. එහි පිට කම්බය ගගණ වර්ණකුලසූරියගෙනි.

කෘතියේ නාමකරණය ලද කෙටිකතාවේ සදීෂ් මෙසේ ලියයි.

”එක්තරා යුගයක දරු මුණුබුරන් පිරිවරාගෙන ඉතා සතුටින් කාලය ගත කළ පවලම් ආච්චි අද අව්වටත්, වැස්සටත්, පින්නටත් මුහුණ දෙමින් පාර අයිනේ වාඩි වී හිඳ කඩල විකුණන්නී ය. ඇය එම අඩියට ඇද හෙලනු ලැබුවේ බිහිසුණු යුද්ධයෙන් ඇති වූ අති මහත් විනාශයන් විසිනි.

ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට තම සාමාන්‍ය දිවි ගමන අහිමි කරමින්, සොම්නසින් පැවති සිත් කඳුළින් පුරවාලමින් මරණය සහ අහිමිවීම් උරුම කර දී අහිංසකයින් අවතැන් කරනු ලැබුවේ ඒ රුදුරු යුද්ධයයි. පවලම් ආච්චි තම පවුලේ සාමාජිකයින් සමග පුදුමාතලන් රෝහල ආසන්නයෙන් ස්වේච්ඡා සංවිධානයක උපකාර මත කූඩාරමක් ඉදිකර ගත්තා ය. ඒ අසල ම බංකරයක් ද සකස් කරවා ගෙන ආරක්‍ෂිතව සිටින්නට උත්සාහ කළා ය. හමුදාව විසින් මුදාහරින ලද දෑස් නොමැති ෂෙල් වෙඩි උණ්ඩයක් ගොදුරු සොයා පිඹගෙන විත් ඒ බංකරය මත පතිත වී පුපුරා ගිය අතර, බංකරය ලේ සහ විසිරී ගිය මස් වැදලිවලින් පිරී ගියේ ය.

පවලම් ආච්චිට පාදයක් අහිමි විය. ඇයත් සමග ඇගේ පුතෙකුගේ දරුවන් දෙදෙනෙක් පමණක් දිවි රැකගත් හ. ඒ මොහොතේ පටන් ඒ මුණුබුරන් දෙදෙනාට අම්මාත්, අප්පාත් යන දෙදෙනාට ම සිටියේ පවලම් ආච්චි පමණි. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන, ආරක්‍ෂාව සපයන භාරකාරිය බවට පවලම් ආච්චි පත්වූවා ය. මඩින් පිරුණු සරණාගත කඳවුර හැර දමා මුණුබුරන් දෙදෙනා සමග යළි තමන් උපන් භූමියට පැමිණ පදිංචිවීමට පවලම් ආච්චිට හැකි විය. එදා පටන් ඇයට අත දුන්නේ ඇය තරම් ම වයසැති ඒ කොහොඹ ගසයි.”

මංජුල වෙඩිවර්ධන

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...