ජාතික ජන බලවේග වේදිකාවේ අදහස් පළකළ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බ්ලැක් ලිස්ට් කරයි : ඔහුට කිසිදු කඳවුරකට ඇතුළු වීම සහ පහසුකම් ලබාගැනීම තහනම් – මාධ්‍ය ප්‍රකාශක

Share post:

දේශපාලනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් අදහස් පළකිරීම නිසා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුට ගුවන් හමුදා කඳවුරු තුළට ඇතුළු වීම සහ විශ්‍රාමික නිලධාරියෙකුට ගුවන් හමුදාවෙන් ලැබිය හැකි සියලු පහසුකම් ලබාගැනීම තහනම් කර තිබේ.

පසුගිය 10දා සිට මෙසේ අසාදුලේඛනගත (Blacklisted) කර ඇති නිලධාරියා වන්නේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ය. (Air Vice Marshal Sampath Thuyacontha) ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ ම නිලධාරියෙකු ලෙස සහ කීර්තිමත් නිලධාරියෙකු ලෙස සම්මාන ලබා ඔහු සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ මීට වසර එක හමාරකට පෙර ය.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ අදාළ ප්‍රවෘත්තිය තහවුරු කළේය.

මෙම විශ්‍රාමික නිලධාරියා විසින් දේශපාලන පක්ෂ වේදිකාවකදී කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙසේ අසාදු ලේඛනගත කර ඇති බවත්, ඒ අනුව ඔහුට ගුවන් හමුදාවට අයත් කිසිදු කඳවුරකට ඇතුළු වීම හෝ ගුවන් හමුදාවෙන් කිසිදු පහසුකමක් ලබාගැනීම තහනම් කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙත  පැවසීය.

මෙම විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා මේ වන විට ජාතික ජන බලවේගය සමග දේශපාලන කටයුතු කරමින් සිටී. ඔහු පසුගියදා ගම්පහදී පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධාන රැස්වීමකදී ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරිත්වය විවේචනය කරමින් අදහස් දක්වා තිබිණි.

මෙවැනි තීරණයක් ගැනීම සඳහා බලපෑ සම්පත් තුයියකොන්තා විසින් පළකළ නිශ්චිත අදහස කුමක්දැයි විමසීමේදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ දැනට විශ්‍රාම ගිය සහ සේවයේ නිරත හමුදා සාමාජිකයන් තමන් නියෝජනය කරන දේශපාලන පාර්ශ්වය සමග කටයුතු කිරීමට සූදානම් බවට ඔහු කළ ප්‍රකාශයක් මීට පදනම් වී ඇති බවයි. එම නිසා කඳවුරු තුළට ගොස් දැනට සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයන්ට බලපෑමක් කළ හැකි නිසා මෙවැනි තීරණයක් ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

මීට පෙර විශ්‍රාමික නිලධාරීන් විසින් කරන ලද ප්‍රකාශවලට අදාළ ව මෙවැනි තීරණ ගෙන ඇත්දැයි විමසීමේදී ඔහු පැවසුවේ එවැනි තීරණ ගෙන ඇතැයි තමන්ට පැවසිය හැකි බවයි.

ගම්පහ පැවති රැස්වීමේදී අදාළ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා පවසා තිබුණේ මෙවැන්නකි.

‘පෙබරවාරි එකොළොස්වැනිදා සමුළුවෙන් පස්සෙ ඒක ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. විශ්‍රාමික සාමාජිකයන් විතරක් නෙමෙයි, දැනට සක්‍රීය සේවයේ ඉන්න සාමාජිකයන් පවා මට පුද්ගලිකව කතාකරල ඒ කියපු දේ අනුමත කළා. ඒ කියන්නෙ අපේ වැඩේ ගොඩක් සාර්ථක වෙලා තියෙනවා.’

(ඔහු මෙහිදී සඳහන් කර තිබුණේ එම සාමූහිකය පැවැත්වූ සමුළුව පිළිබඳව ය. එහිදී ඔහු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ වැදගත්කම සහ සියලු පුරවැසියන් ඊට එක්වීම අවශ්‍ය බව සඳහන් කර තිබිණි.)

ඔහු ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස වසර 34ක් සේවය කළ නිලධාරියෙකි. 2021 නොවැම්බර් මාසයේදී ඔහු විශ්‍රාම ලැබීය.

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...