නිරෝෂ ප්‍රනාන්දු කවියා දුරු රටක සිටිය ද ළඟපාතක සිටින්නාක් මෙන් දැනෙන්නේ ඔහු කවි ලියන අතරතුර අනෙකුත් කවීන්ගේ කවි සමාජගත කිරීමට ද ඒවායෙහි රසභාව විමසීමට ද අවකාශයක් විවෘත කිරීමට දායක වන්නකු හෙයිනි.
නොපාගා එන්න පරමල් ඔහුගේ පළමු කවි එකතුවයි.
කවිය සම්බන්ධයෙන් අභ්‍යාස සමය පසු කරන නිර්මාණකරුවකු මෙයින් අපට හමුවේ.
මේ කාව්‍යාවලියෙහි මා දකින පළමු විශේෂත්වය ප්‍රසාද ගුණයයි.දෙවැන්න සාර්වික සත්‍යය වැදගත්කොට සලකන කාව්‍ය භාවිතයයි.තෙවැන්න චිත්තරූපික කවි බසක් කෙරෙහි දක්වන සංවේදීකමයි.
ඔහුගේ බස,ජීවන දැක්ම,කවියෙහි අලංකාර කැටපතක් මෙන් සුපැහැදිලිය.ව්‍යාකුලත්වයෙන් තොර ය.අර්ථබාධා පැන නොනගී
දේ දුන්නේ වැඩිපුරම තිබුණේ කහපාට මැයෙන් යුත් කවිය උපුටමි.
අද උදේ ඈත තියාම ඔයා මා එක්ක හිනා උනා
අක්වැස්සක් අග
ඕවිටට දේදුන්නක් පෑව්වා වගේ
ඇහැළ ගහ පුරාම මල් පිපෙන්න ගත්තා
ගහ යට බංකුව මලින් වැහුණා
කහ පාට ඇහැළ මල් ළඟ
කහ පාට සමනල්ලු
කහ පාටින්
කහ පාට හීන ඇතිරුවා
කහපාට ගවුමක් ඇඳගෙන ඔයා හිටියා
කහ උණ
කව්දෝ කිව්වා
මම පොරොවක් ගෙනත්
ඇහැළ ගහ කපලා සමනල්ලු එළෙව්වා
ඔයයි මමයි වාඩිවෙලා
සිරිපාදේ යන සමනල්ලු ගණන් කරපු
ලොවි බංකුව…..
ඒකත් කඩලා දැම්මා
මේ ඇහැළ මාසේ නොවෙයි
අවාරෙට මල් පිපෙන එක අසුබයි
සමනල් කතාවක් අතර මැදදි
දවසක ඔයා කිව්වා
ඇගේ සිනහව අක්වැස්ස අග දේදුන්නකට උපමා කර ඇත.දේදුන්න යනු සැණකින් මැකී යන්නකි. කහපාට බහුල එහි සුන්දරත්වයද මොහොතකින් මතක සටහනක් බවට පත්වෙයි. ඇහැළ මල්ද කහපාටය.ඇහැළ ගහ කපා, ලොවි බංකුවද කඩා දමන්නේ ඔහු විසිනි.හමුවීම් වෙන්වීම් පිළිබඳ මිනිස් හැඟීම් භාෂාවෙන් වර්ණ ගන්වා ඇති අයුරු මනහරය.චිත්තරූප මවන කවි බස, සංකේත භාවිතය,භාෂා සංක්ෂේපනය කෙරෙහි කවියාගේ නැඹුරුව ඉහළය.
මේ කවියා භාෂාව සමග ක්‍රීඩා කරන විලාසය සහ නිරායාස ගුණය අනුව රසිකයාට දැනෙන්නේ කවි ලියන්නකු ලෙස නොව කවි ලියැවෙන්නකු ලෙසය.
අපි සතුටින් ම හිටි දවස් ගැන
තනියම ගෙවනා සැඳෑ කාලයක
සුසර කළ පැරණි රේඩියෝවෙන්
සවන පාරමින් ගලා එයි ගීත සුමියුරු
ගී හඬට
අඳුර ගලනවා හදවතට
සාලෙට
කාමරේට
මිදුලට
මුළු ලෝකෙට
රේඩියෝවටත් පිස්සු වගේ
දිගටම සිංදු කියනවා
මේක දැක්කාම අහසටත් බය හිතෙනවා
අකුණු පුපුරවමින් අඬන්න ගන්නවා
විදුලි එළි විසි කරමින් හැම තැන ම
ඔයාගෙ කන්නාඩියෙන් මට මාව පෙන්නනවා
‘විදුලිත් කොටනවා ඕක වහන්න’
කාමරයෙන් ඇහෙන්නෙත් නෑ ඒ හඬ
හැන්දෑ කාලයේ ඉතිරි පැය දෙකටවත්
ඇවිත් යන්න එන්න පුළුවන්ද
රේඩියෝව වහලා
ටිකක් කතා කර කර ඉන්න
මේ කවිය දුරස්වීමෙන් ගතවෙන හුදෙකලා දිවියෙහි අඩුව පුරවන නාද සහ වස්තූන් පිළිබඳ වාග් චිත්‍රයක් වැන්න.කථකයාගේ හැඟීම් දහරාවෙහි ස්වභාවය අකුණු පිපිරීම,විදුලි එළිය විසි කිරීම ස්වභාව සිද්ධීන්ගෙන් දැනෙයි.
මේ කවියාගේ එක් විශේෂත්වයක් වන්නේ භාවමය කම්පනයකට තුඩු දිය හැකි සංසිද්ධීන් වුව ද එම කම්පිත ස්වරයෙන් මුදවා භාවික ගුණය ද නොමරා දුරස්ථකරණයට ලක්කිරීමයි.එනිසා කවියට බුද්ධිගෝචර බවක් ද එක් වෙයි.
කිසියම් සමාජ සංස්කෘතික බැඳීම් අතර අවහිර කරනු ලබන නිදහස් ජීවිතය කොටුදැලකින් සංකේතවත් කරන කවියකි “අප අතර”.
මලින් බර වසන්තයේ
මල් පොකුරු අරගෙන
සරසගන්න නොදී අල්තාරය
එළා තිබුණා
වැඩිහිටි කොටුදැල් ඒ මත
තිබුණත් අපිට
ඒ කොටු දැල් ගෙන පියඹා යන්න
සමුගත්තා
අපි
අප අතර
අප ම ඇඳගත්
කොටු හා ඉරි පිටුපස
බොහෝ වසත් කල් ද ගිමත් කල් ද
හිම සීත ද දුරුවී යන තුරු
කෙතරම් දේ සිදුවන්න ඇද්ද
කොටු හා ඉරි පිටුපස
අප ම ඇඳගත්
වැඩිහිටි කොටුදැල් යනු පරම්පරාවෙන් පැවත එන ආචීර්ණ කල්පික සම්මතයන්ය.එහෙත් නිදහස්කාමී දිවියට,ප්‍රේමයට හරස්වන අප ම ඇඳගත් කොටු හා ඉරි ද පවතී. කොටු දැල් ගෙන පියාඹෑමේ අවස්ථාව අහිමි කරගෙන සමුගැන්ම තමන්ම ඇඳගත් ඉරි හා කොටුවල ප්‍රතිපලයකි.සමාජ සංස්කෘතික බැඳීම්,තහංචි බිඳගෙන යෑමේ ධෛර්යය අහිමි වීමේ ප්‍රතිපලය පරාජය සහ වේදනාව බාරගැනීමයි.
කවියාගේ සම්ප්‍රජානනය කාව්‍යාත්මක ප්‍රකාශනයක් බවට පත්වන්නේ කලාත්මක සංයමයට හානි නොපමුනුවමිනි.
කාව්‍යොචිත බව රැකගන්නා අතරම ප්‍රබල කාව්‍යමය අත්දැකීමක් රසිකයාට ලබා දීම සඳහා සූක්ෂ්ම විය යුතු ආකාරය වැටහෙන කවියකු හැටියට ඔහුගේ අනාගත කවිය වඩාත් සාරසම්පත් බවට පත්වනු ඇතැයි හැඟේ.