මෙය සනත් බාලසූරියගේ අලුත් කවි පොතයි.පොතෙහි පෙරවදනෙහි මෙසේ සඳහන් වෙයි.
“රටින් පිටවූ දවස්වල පටන් මෑතක් දක්වා මා’තින් වරින්වර ලියැවී ,ගල්කාෂ්ටක පරිගණක දෘඩතැටි විසින් සදහට ගිලගන්නේත් නැතිව ,පරණ කඩදාසි ගොඩවල් අස්සේ සැංගී _වහංවී මා අතැර යන්නේත් නැතිව ඉතිරිවූ කවිවලින් කොටසක් මේ “නමක් නැති මිනිසුන්ගේ සුසානයේ” බහාලමි.
විප්‍රවාසී දිවියක පළමු වසර අග යනු ජීවිතයේ එක් කඩඉමක් වැන්න.
හුදෙකලාවේ එක් වසක් කවිය විඳිමු.
හිම තලාවක හිස හොවාගෙන
ඉපල් තුරු වෙත ඇස් අයාගෙන
හුදෙකලාවක තනිව ඉවසමි
පිටුවහල් වසරක විරාමය
දුඹරු ලෙහෙනා ඉපල් මුදුනක
නොදිසි ජීවය ඉව කරයි
සා දෙනක හිම පිඩලි සාරා
මිහි කුසෙහි උණුසුම සිඹියි
ලපල්ලක් නැති ඉපල් අතකින්
ජවය ගිලිහී බිම වැටෙයි
පොළෝ ගැබ වෙත ඇදුණු මුලකින්
ජීවිතය ගිලිහී නොයයි
හිමෙන් ගල්වුණු ඇඟිලි තුඩකට
හිම සිසිල වුව නොම දැනෙයි
එහෙත් සබඳිනි හිමට නොබිඳිනු
හදක තවමත් පණ ගැහෙයි
ඉපල් තුරු දලු දමන දවසක
හිම තලා දියවී ගලයි
හිමෙන් ගල් නො ගැසෙනා හදවත්
අලුත් හිරු දැක පණ ගසයි
දුෂ්කර ම පිටුවහල වුව
පන්නරය වී දිවියට කැවෙයි
අඳුර ඉරනා පළමු අවි තුඩු
පළමු හිරු කිරණින් දෙවෙයි
20 ජනවාරි 2010
ලොව කොතනක කුමන ජන සංස්කෘතියකට අයත් වුව ද පිටුවහල් කරන්නාගේ කම්පිත මනෝභාව බොහෝ සමානය.
මුල් උදුරා දැමීමෙන් පසුව නව පොළොවක මුල් අල්ලාගැනීමේ වේදනාව,දුෂ්කරතාව,මුල් බිමෙහි කිඳී ගිය ජීවන අත්දැකීම්වල උණුහුම යන මේ සියල්ල අනුව ඇතිවන ආත්මීය වේදනාව ගැඹුරුය.
මේකවියෙහි දුඹුරු ලේනකු ජීවය ඉව කරන්නේ ඉපල් මුදුනක ය.ඒ වනාහී අල්ලා ගැනීමට වෙරදරන නවජීවනය පිළිබඳ අපේක්ෂාවයි.
සා දෙනක හිම පිඩලි හාරන්නේ මිහිකුසෙහි උණුසුම සොයාය. විප්‍රවාසියාගේ හදවතෙහි තෙරපෙන හැඟුම් දහර දුඹුරු ලේනා සහ සා දෙන සංකේතවත් කරයි.
හිම මිදුණු පරිසරය ඉපල් තුරු පීඩාකාරී පරිසරයකි.කවිය අවසන් වන්නේ සුබවාදී ප්‍රාර්ථනාවකිනි.
“අඳුර ඉරනා පළමු අවි තුඩු
පළමු හිරු කිරණින් දෙවෙයි”
ජීවිතය අලුතින් පටන්ගනු විනා පළා යෑමක් නොමැත.කථකයාගේ මනෝභාව ගවේශනයට උචිත ම කාව්‍යොචිත බස් වහරක් මෙහි යොදාගෙන ඇත.
පිටුවහල් වු ජීවිතයක් ගත කළ ද තමන් ජීවත් වූ සමාජයෙහි බියකරු අවනතීන් අමතක කරන්නට මේ කවියාට නොහැක.
ප්‍රගීත් එනකං
උනන උනන උල්පත නැණ පැන් පුරන
දිලෙන දිලෙන ගිනි සිළ ගණඳුර ඉරන
සිඳින මඬින තැන පන්හිඳ අත රැඳුණ
මිතුර කියව පණ නළ නැති බව සැඟව
වසක් විසක් බඳු වූවා මිස උන්ට
වසක් විසක් කැවුණේ නම් නැහැ උඹට
කරපු විනේ කවුරුත් නැත දැනගන්ට
තාම කරුවලයි පාරක බැහැ යන්ට
තියුණු පන්හිඳත් අවදිව තබා තියා
ඇන්ද පින්සලත් සායම් පොවා තියා
හැංගිමුත්තමේ හැංගී ගියා කියා
රජවාසල උඩිං හෙලුවැලි කොක්කු ගියා
ඉරක් වුණත් හවසක් වෙයි පරවෙන්ට
තැනක් තියේවිද මිනිහෙක් නැතිවෙන්ට
මලත් බාඳුරාවත් දන්නා උන්ට
පෙතිත් කඩාපානුය බැරි ඉවසන්ට
අවිත් නැතිව කවි උනනා මිනිසුන්ට
දිනක් ඒවි පන්හිඳ යළි ලෙළවන්ට
එතෙක් රකිමි ගිනි පුපුක් නුඹ දන්න
උඹත් ආපු දවසක ගිනි මොළවන්ට
ජනවාරි 2011
එක්නැළිගොඩ අතුරුදන් වී වසරක් ගතවීම නිමිත්තෙන් මේ කව්පෙළ ලියැවිණ.දශක එකහමාරකට ආසන්න කාලයක් ගත වී ඇතත් ප්‍රදීප්ගේ මිනීමරුවෝ තවම යහතින් ඉඳිති.නඩු විභාගය අතරතුර අධිකරණයට පැන විනිසුරන්ට තර්ජනය කළ කහවස්ත්‍ර ඇඳගත් ගලි බවුසරය මුළු රටටම අදාළ නීති සම්පාදනය කිරීමට උපදෙස් දෙන කොමිසමක මුල් පුටුවට පත් කරන මට්ටමට රට තවදුරටත් අරාජික විය.
සනත් බාලසූරියට පසු පරම්පරාවේ කිවිඳියක වන අනුරාධා සංකල්පනී ප්‍රගීත්ගේ බිරිය කාව්‍ය නිර්මාණයකට විෂය කර ගත්තාය.
ඒ මොහොත වන විට ප්‍රගීත් අතුරුදන් කර වසර 12කි.ප්‍රගීත්ගේ බිරිය හිස මුඩු කර කාලි මෑණියගෙන් යුක්තිය අයැද සිටියා ය.
එම කව් පෙළෙහි පළමු කවිය සහ අවසන් කවිය පමණක් උපුටමි.
මුදු මඳ සුළඟ සැඩසුළි සදිසිව සැදුණි
සිඹ සිඹ කොපුල් කඳුළැලි ඉපනැලි ඇඳුණි
වදනද අනඳ නිදි බිඳ බිඳ නද දෙවුණි
මගෙ සඳ අහස අතහැර ගිය බව දැනුණි
ගෙන ගිය හැටි අහසකින් පුන් සඳ පැහැර
මැකු හැටි ඒ එලිය ලකුණක්වත් නොහැර
හෙළිකර කඩතුරා කළකී දෑ කවර
පැලියන් හිස ඔවුන් හත්කඩකට විසිර
මේ කවි ලියවුණේ සන්ධ්‍යාගේ දෘෂ්ටිකෝණයෙනි.
මේ දෙදෙනාම සම්භාව්‍ය සාහිත්‍ය,පුරාණෝක්තිය සහ සමකාලීන අත්දැකීම් ආශ්‍රිත වදන් වහර ඇසුරෙන් කාව්‍යොචිත බසක් උපදවා ගැනීම කෙරෙහි නම්‍යශීලී වෙති.
තමන් උපන් බිමෙහි ජීවන තතු එන්න එන්නම අමිහිරි වන යුගයක ජීවත්වන්නන් හැටියට සනත් බාලසූරියගේ පරම්පරාවෙන් පසු පරම්පරාවෙහි ද ඒකායන පැතුම නරකාදිය අතහැර එතෙර රටකට යෑම ය.
සනත් බාලසූරියගේ කවියෙහි පරිණතම අවස්ථාව සමකාලීන බව,අතීතකාමය ඉක්මවා යන සනාතනික බවක පැහැය ගනී.
කැලෑ බිම්මල් ඊට නිදසුනකි.
විසිරී හැලී රන්පත්
සරද සළුව ගිලිහෙත
මළ පත් පලස අස්සෙන්
වසත බිම්මල් උදාවී එත
යටිවියන් ගැන නොම දත්
සුවිසල් ඕක් තුරු යට
සියවස් ගණන් ජරපත්
යෝද දෙව්දුරු කඳන් පාමුල
මිලින පත් පාවර පලාගෙන
හිසො’සවයි සොඳ බුබුළු බිම්මල්
නෙක නෙක විලාසය
පැහැය හැඩ ගුණ_ දොස් විකාර ය
දැන ගියොත් රස ගුලාවකට ය
අත්වැරැද්දක අගය මරණය
රැගෙන කුඩයපිහියබුරුසුව
දඩයමට මඟ කියන හතුපොත
නඟෝ නොලසව ගනිමු වන මඟ
නෙළන්නට බිම් මල් වසන්තය
ගොවමල් වන බිම්මල්
දෙව්ලෝ රසය කැඳවත්
සොඳුරු රෑ සරු අමනිටාවන්
නඟෝ විසකුරු රුවැති අඟනුන්
දිව බොජුන් මිහිරත්
හලාහල මරණීය විසයත්
බොහෝ සුළුතර අත්වැරැද්දක
සඟවා දසන් දක්වා
සිනාසෙන්නොය කැලෑ බිම්මල්
කුඩය,පිහිය,බුරුසුව යන මේ සියලු ආම්පන්න රැගෙන සුවිසල් දේවදාර රුක් යටින් යන නුහුරු නුපුරුදු දඩයම් ගමනකි මේ.දේවදාර රුක් පාමුල පිපෙන නෙක පැහැ නෙක හැඩැති බිම්මල් අතරින් විස නැති රස ඇති බිම්මල් සොයා ගැනීම අපූරු අත්දැකීමකි.දිව .බොජුන් රස ඇති කැලෑ බිම්මල් විසකුරු රුවැති අඟනුන් වැන්න.
බහුඅරුත් ජනනය කළ හැකි බස්වහරක් භාවිත කිරීම මෙහි විශේෂත්වයකි.
ඉසෙයිප්‍රියා වගේද බට්ටි මැයෙන් යුතු කවියට නිමිති වන්නේ මුහුණු පොතේ කොමෙන්ටුවකි.
“බට්ටි ගැන කතා කරන බොහෝ දෙනා ඉසෙයිප්‍රියා ගැන කතා කරන්න ප්‍රවේශම් වනවා”
කවියෙහි මුල් කොටස දක්වමි.
බට්ටි හරිම බටු කෙල්ලක් අසාදාරණෙං බැට කන
දකුණු ලකේ කවුරුත් අඳුනන
ඉසෙයිප්‍රියා ඒ වගේද?
කමකට නැති කොටි කෙල්ලක්
අපි හැමෝම බයෙන් සසලවන
මෙබඳු කවි උපුටා දැක්වීමම කාව්‍ය රසිකත්වය දෙදරා බිඳුණු බෙදුණු හදවතින් නැගෙන විරෝධතාවලට තුඩුදීමක් විය හැකිය. මේ ලියන ලියුම්කරුටද වෛරී ප්‍රතිචාර එල්ල විය හැකිය.බාලචන්ද්‍රන් ගැන කවියක් ලියූ උපුල් සේනාධීරගේ කවියාට ලැබුණු ප්‍රතිචාර සිහිපත් වෙයි.
රෝගී සන්තානය පිටතින් බුබුළු ලෑම නම් රෝගය නමින් වූ කවිය බෝවන රෝගයකින් අසාධ්‍ය වූ අයකුගේ මනෝභාව නිරීක්ෂණයකි.
වතුර හැලියක් ලිපේ පැහෙනකොට
ගොජ ගොජ ගා බුබුළු ලනවා නේද?
‘
ඒ වගේ
ආත්මයකුත් ඇතුළතින් පැහෙනකොට
සියලඟම ගිනිගන්න පුලුවන්
පිටතින් බුබුළු ලන්නත් පුළුවන්
වෙදනෝ ඊට නෙක
නම් පටබඳින්නත් පුළුවන්
මේ රෝගය කායික රෝගයක් ම නොව බියකරු සමාජ අවනතීන්ගෙන් බැට කන සංවේදී හදවතක ආවේගය ගොජ දමා උණුවතුර මෙන් පිටට ඒමක් බව
කවියෙන් කියැවෙයි.
ආකෘති හරඹ නොමැති වුව ද කවියාගේ වියමන් විවිධ හැඩතල ගනී.
සුසුදු පිරිසිදු හිමපෙද
ඉසෙන්නේ සිසිරයේ නොනැවත
සුනිල පැහැදුල් ගගනතින් නොව
හැඩිවුණු කිළිටි අහසින
(නිමල දිය උනා එන තැන)
මිහිරිතම දිගු සැඳෑවන්
සෘංගාර නිසාවට යා විය
ඒ නිසායම ආල දාහය
උදෑසනකදි පෑරිණ
(මා හෙමි හෙමින් පාද තබමින්…..)
චිත්තරූපික කවිබස,ධ්වනිතාර්ථ,ව්‍යංගාර්ථ පිළිබඳ අවබෝධයක් නොමැති කවියෙකුට මෙවැනි කාව්‍යොක්ති නිර්මාණය කළ නොහැක.
මේ සටහන අවසන් කිරීම සඳහා ඉරක්වීමත් දුකක් බව කවියෙහි මුල් කොටස උපුටා දක්වන්නේ කාව්‍යාවලියෙහි සමුදයාර්ථය කුළුගැන්වීමක් ලෙස ය.
ඉර ගමන් යයි
ඔබ නොදන්නා,
හිතාගන්නත් බැරි
දුර ගමන් යයි
උපන් පොළොවට මුල් ඇදුණු ඔබ
හිතාගන්නත් බාරි ගමන් යන
ඉර දිහා බැති දෑස් බැඳගෙන
වන්දනාවට වුවන හරවයි
ඉරට වැඩ,
ඔව්
හුඟක් මල්වතු බලාගන්නට
ඉරට සුදු වෙයි.